කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොර අවකාශ සඳහා එක්සත්ව



කාන්තාවන්ගෙන් තුනෙන් එකක් ම සිය ජීවිතයේ කිසියම් අවස්ථාවකදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දී තිබේ. එබැවින් එය ලොව වැඩියෙන් ම ව්‍යාප්ත මානව හිමිකම් උල්ලංඝනයන් අතරින් එකක් වේ. එහෙත්, එය වැඩිපුර කතාබහට ලක් නොවන මාතෘකාවකි. ඒ ගැන කතා කිරීම අපකීර්තිමත් ලෙස හා එය තහනම් විෂයක් ලෙස සලකනු ලැබේ. එයට හේතුව වන්නේ සමාජය එසේ කතාකිරීම හෙළාදැකීමයි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් වීමේ මානව හිමිකම අහිමි වූ විට, අප තව තවත් ප්‍රචණ්ඩත්වයන්ට සහ මානසික ආතතියට නිරතුරුව ම ලක්වන්නෙමු. පුද්ගලයන් හා සමස්තයක් ලෙස සමාජය ම වැඩියෙන් අවදානමට ලක් වේ. 

මානුෂීය අර්බුද අවස්ථාවන්හිදී කාන්තාවන් සහ ගැහැණු ළමයින් වැඩිපුර අවදානමට ලක් වේ. සුනාමියෙන් පසු සමයේදී ශ්‍රී ලංකාව විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය පිහිටුවනු ලැබුවේ එබැවිනි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ඔක්ස්ෆෑම් (OXFAM) ආයතනය සම සභාපතිත්වය දරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය යනු ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක රාජ්‍ය සංවිධාන, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූලික සංවිධාන 50කට වැඩි සංඛ්‍යාවක සහ පුද්ගල විශේෂඥයන්ගේ එකතුවකි.  

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කිසිසේත් ම නොඉවසීම වෙනුවෙන් පෙනී සිටීමේ හා උද්දේශනය කිරීමේ 15 වසරක ක්‍රියාකාරිත්වය ජාතික සංසදය විසින් මෙම වසරේදී අනුස්මරණය කරනු ලැබේ. මෙම සන්ධිස්ථානය සිහිපත් කිරීමට පුවත්පත් සාකච්ඡාවක් පවත්වන ලදී. එම පුවත්පත් සාකච්ඡාවේ තේමාව වූයේ ‘කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොර අවකාශ සඳහා එක්සත්ව’ යන්නයි. නිවසේදී, සේවා ස්ථානයේදී සහ පොදු ප්‍රවාහනයේදී සුරක්ෂිත අවකාශවල අවශ්‍යතාව මෙම පුවත්පත් සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී. මෙම පුවත්පත් සාකච්ඡාවට සමගාමීව ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය’ ද පැවැත්වේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් 25දා ආරම්භ වන එය මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10දා දක්වා පැවැත්වේ.  



සමාරම්භක කතාව පවත්වමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදයේ සම සභාපති සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මෙසේ පැවසුවා ය: “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල හේතුවෙන් කාන්තාවන් පසුබෑමට ලක්වෙනවා. අප එයට එරෙහිව තිරසරව පෙනී සිටිමින් අපගේ හඬ අවදි කළ යුතුයි. එය අවසන් කිරීම සඳහා යෝග්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බව අප සහතික කළ යුතුයි. මිනීමැරුම් සැකකරුවකු නිදහස් කිරීම පිළිබඳ මෑතදී ඇති වූ පොදු කතිකාව සැලකිල්ලට ගත් විට වැඩිදුරටත් අවධාරණය වන්නේ එවැනි සිදුවීම්වල කෘරත්වය යථාර්ථයක් බව සහ එහි සුවිසල් අදාළත්වයක් ඇති බවයි. ජාතික සංසදයේ 15 වසරක අඛණ්ඩ ප්‍රයත්නයන් ඔස්සේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් වඩා සුරක්ෂිත අවකාශ නිර්මාණය කිරීමට අප සමත් වී තිබෙන නමුදු ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව අත්පත් කරගැනීම සඳහා අප විසින් තව බොහෝ දුරක් යා යුතුව තිබෙනවා.” 



ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදයේ සම සභාපති සහ ඔක්ස්ෆෑම් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය අධ්‍යක්ෂ බෝජන් කොලුන්සිජා මෙසේ පැවසුවේ ය: “ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ඇති බර පිළිබඳව මහජන දැනුවත්භාවය නැංවීමටත්, ප්‍රතිපත්ති වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටීමටත් ජාතික සංසදය ලෙස අප අඛණ්ඩ හා ස්ථිරසාර ලෙස කටයුතු කළා. එහෙත්, තව කළ යුතු දේ බොහෝයි. ප්‍රචණ්ඩ සිදුවීම් නිවසේදී සිදු වුණත්, සේවා ස්ථානයේදී සිදු වුණත්, පොදු ප්‍රවාහනයේදී සිදු වුණත්, ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකු ම වගකියන තත්වයට පත්වන ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම සඳහා අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා, මෙම ප්‍රශ්නය දෙස සමාජය බලන ආකාරයේ වෙනසක් ඇති කළ යුතුයි.”


මෙම අවස්ථාවේදී ජාතික සංසදයේ සියලු සාමාජිකයන් විසින් ප්‍රතිඥාවකට අත්සන් තබන ලදී. එමගින්, ශ්‍රී ලංකාවේ සිදු වන සියලු ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා තම සාමූහික කටයුතු කෙරෙහි නැවත ඇපකැපවීම තහවුරු කරන ලදී.