''පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ගුවන්තොටුපළ ඕනදැයි ඇතැමුන් ඇහුවා'' - අගමැති




වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අගමැති  රනිල් වික්‍රමසිංහ ඊයේ (17) යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බවත් ඒ සඳහා වැය වූ මුදල් වසරක් තුළ උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු පැවසුවේය. 

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවැති මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්,  ඊ. සරවනභවන්, අංගජන් රාමනාදන්, කේ.කේ. මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, යාපනය නගරාධිපති ඉමානුවෙල් ආර්නෝල්ඩ්, උතුරු පළාත් සභා හිටපු සභාපති ජී.වී.කේ. සිවඥානම්, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ  යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥාණසෝති,  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් දෙනායන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ, 

අද යාපනයට ඵෙතිහාසික දිනයක් 

අද දිනය යාපනයට ඓතිහාසික දිනයක් වෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රථම වතාවට අද දින විවෘත කළා. යාපනය ගුවන් තොටුපොළ ගොඩනැගිම පිළිබඳව ඇති වු කතිකාව අද ඊයේ ඇති වුවක් නොවෙයි. මීට වසර 20කට 30කට පෙරත් යුද්ධය ඇතිවිමට පෙරත් මෙම ප්‍රදේශයේ ජත්‍යන්තර ගුවන් තොටුපොළක් ගොඩනැගිම පිළිබඳව සාකච්ඡාවන් ඇති වුනා. නමුත් එම සාකච්ඡා සියල්ල වචනයට පමණක් සීමා වුණා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ යාපනය ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කිරිමේ සාකච්ඡාව අපි නැවත ආරම්භ කළා.  මෙම වසරේ ජනවාරි මාසයේ දි ඒ සදහා අපි වැඩකටයුතු ආරම්භ කළා. එහිදි  විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විශාල උනන්දුවකින් හා කැපවීමකින් ක්‍රියාකරනු ලැබුවා. මැයි මාසයේදි මෙම ව්‍යාපෘතියට අදාල කැබිනට් පත්‍රිකාව අපි ඉදිරිපත් කළා. පස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙවැනි ව්‍යාපෘතියක් සදහා කැබිනට් පත්‍රිකාවක් යොමුකිරිමට අවශ්‍ය ද යන්න ඇතමුන් අපෙන් ප්‍රශ්ණ කළා. පවතින තත්වය මත මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමට හැකිද යන්න ඔවුන් විමසුවා. කෙසේ වෙතත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගොඩනැගීමට අපි නොබියව තීරණය කළා. මාස 6ක් ගතවීමට පෙර එම තීරණය යථාර්ථයක් බවට පත්කර ගැනිමට අපිට හැකිවී තිබෙනවා.


අද විවෘත කළේ පළමු අදියර පමණයි - තව අදියර කීපයක් තියෙනවා 

අද දිනයේ මෙම ගුවන් තොටුපොළේ පළමු අදියර පමණක් විවෘත කළා. තවත් අදියර කිහිපයක් තිබෙනවා. දෙවන අදීයරේදි ගුවන් පථය තවත් දිගු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ හරහා ඒ320 වර්ගයේ ගුවන් යානා මෙම ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමටත් මැද පෙරදිග රටවල් මෙන්ම සිංගප්පුරුව, මැලේසීයාව හා තායිලන්තය වැනි රටවල් සමග ද ඝෘජු ගුවන් සේවා ආරම්භ කිරිමටත් නුදුරු අනාගතයේ දී අපිට හැකියාව ලැබෙනවා.

මෙම ගුවන් තොටුපොළ ආරම්භ කිරිමේදි ඒ සදහා ගොඩනැගිලි ඉදිකිරිමට ඩොලර් කෝටි ගණන් හෝ මිලියන සිය ගණන් මුදල් වියදම් කිරිමට අපට සිදුවුයේ නැහැ. මෙහි ඇති ගොඩනැගිල්ල මාස කිහිපයකින් ඉදිකර අවසන් කිරිමට අපිට හැකි වුණා. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට වියදම් වු සියලූ මුදල් අවුරුද්දක් ඇතුලත නැවත උපයා ගැනිමට හැකියාව ලැබෙනවා. ගුවන් හමුදාවේ ශක්තියෙන් හා මහමාර්ග දෙපාර්තුමේන්තුවේ සහාය ඇතිව ගොඩනැගුණු මෙම ගුවන් තොටුපල තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස අද දින රටේ ජනතාවට තිළිණ කෙරෙනවා. 

කිසිවෙකුත් අපේක්ෂා නොකළ ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න හැකිවුණා

කිසිවෙකුත් අපේක්ෂා නොකල ව්‍යාපෘතියක් මෙලෙස සාර්ථකභාවයට පත්කරගැනිමට හැකියාව ලැබිම පිළිබඳව මම සතුටට පත්වෙනවා. මෙම ගුවන් තොටුපල විවෘත වීම හරහා යාපනයේ ආර්ථිකයේ විප්ලවයක් සිදු වෙනවා. මේ තුලින් යාපනයේ ආර්ථිකය ශක්තිම කිරීම සඳහා සංචාරක ව්‍යාපාරයද දායක කරගැනිමට හැකි වෙනවා. සංචාරක කර්මාන්තය හරහා විශාල රැකියා ප්‍රමාණයක් ඉදිරියේ දි  බිහිවෙනවා.

දැනට මෙම ගුවන් සේවාව යාපනයට පමණක් සිමා වුවත් ඉදිරියේදි මඩකලපුව දක්වා ව්‍යාප්ත කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. යුද්ධය හේතුවෙන් විනාශ වු උතුරු නැගෙනහිර ආර්ථිකය නගාසිටුවිමට සාංචාරක ව්‍යාපාරය හරහා විශාල පිටුවලක් ලැබෙනවා. මෙය ආරම්භයක් පමණයි. ඉදිරියේදි සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වන නිසා ඊට සාපේක්ෂව ප්‍රදේශයේ පවතින හොටල් දියුණු කිරිමට පියවර ගත යුතුයි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යාපනයට හෝටල් පාසලක්

සංචාරක ව්‍යාපාරය දියුණු කිරිම වෙනුවෙන් ඉදිරියේදි හෝටල් පාසලක් යාපනයේ අලූතින් ඉදිවන බවට වන සුභ ආරංචිය මට දැන් දැනගන්නට ලැබුණා. සංචාරකයින් සදහා සේවා සැපයිමට මෙන්ම සංචාරකයින්ට මඟපෙන්වන්නන් පුහුණු කිරිමට ආයතනයක් ද  ඉදිරියේදී ආරම්භ කළ යුතු වෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ මෙම විශාල පරිවර්තනය ජෝන් අමරතුංග මැතිතුමාගේ සහයෝගය ද ඇතිව ඉදිරියට ගෙනයාමට අපි බලාපොරත්තු වෙනවා. මෙහිදි යාපනය නගරාධිපතිතුමාටත් එම කටයුතු වෙනුවෙන් විශාල වගකිමක් පැවරෙනවා. එමෙන්ම යාපනයේ මහජන නියෝජිතයින් හා සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව ඉදිරි කාලය තුළදි සංචාරක ව්‍යාපාරය ක්‍රමාණුකුලව දියුණු කිරිමේ වැඩසටහන් ඇති කරනු ඇතැයි මා බලාපොරත්තු වෙනවා.

ආර්ථික විප්ලවයේ ප්‍රතිලාභ ඉදිරි වසර කීපයේදී හිමිවේවි

මෙම ගුවන්තොටුපොළ විවෘත කිරිම මගින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සීඝ්‍ර වර්ධනයකට ලක්වෙනවා. මඩකලපුව දක්වා ගුවන් සේවා ආරම්භ වු විට පාසිකුඩා, අරුගම්බේ වැනි ප්‍රදේශවල විශාල සංචාරක දියුණුවක් ඇති වෙනවා. ඉදිරියේදි තවත් පියවරක් ලෙස යාපනයේ සිට කොළඹ දක්වා මෙන්ම මඩකලපුවේ සිට කොළඹ දක්වාත් ගුවන් සේවා ඇති කිරීමට අප ක්‍රියාකරනවා. ඒ සදහා සංචාරක අමාත්‍යාංශය වසරක් පුරාවට මුල්‍යාධාර ලබාදෙන වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. මේ තුළින් ඉන්දීය සංචාරකයින්ට කොළඹට පැමිණිමෙන් තොරව යාපනයට ගමන් කිරිමටත් යාපනයේ ජනතාවට කොළඹට නොගොස් ඉන්දියාවට ගමන් කිරිමටත් හැකියාව හිමි වන බවට කිසිදු සැකයක් නැහැ.

මෙම ආර්ථික විප්ලවයේ ප්‍රතිලාභ ඉදිරි වසර කිහිපය තුල යාපනය ජනතාව හිමිවනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව රැකියා බිහිවීම මන්දගාමිව සිදුවූවත් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති හරහා නව රැකියා උත්පාදනය වේගවත් කිරීම අපේ සැලසුමවී තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති මගින් ලැබෙන ප්‍රතිලාභ ලබාගැනීමට යාපනය ජනතාව කටයුතු කළ යුතුයි.


කන්කසන්තුරේ වරාය සංවර්ධනය 

අප විසින් ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ඉන්දීය රජයේ ආධාර ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. කන්කසන්තුරේ වරාය සංවර්ධනය වීමත් සමග ඉන්දියාව මෙන්ම කලාපිය අනෙක් රටවල් අතර සහයෝගය තවදුරටත් වර්ධනය වන බව කිව යුතුයි.

2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව යාපනය සංවර්ධනය කිරීමේ වැඩකටයුතු අප ආරම්භ කළා. එහිදී යාපනය ප්‍රදේශයේ ඉඩම් නැවත ලබාදීමට අප පළමුවෙන් පියවර ගත්තා. සංහිදියාව ඇතිකිරීමට සමගාමිව සංවර්ධනය ව්‍යාපෘති අපි ආරම්භ කළා.

ඒවගේම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන මගින් මුදල් ලබාදීමත් ප්‍රදේශයේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමටත් අප කටයුතු කළා. අතීතයේ මෙන් යාපනය මෙරට ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කිරීමට ඉදිරි වසර පහක කාලය තුල අපට හැකිවන බවට මා තුල කිසිදු සැකයක් නැහැ.

එදා පැවති ගැටළු විසඳා ගැනීමට අපට හැකිවූ නිසා අද විශාල වශයෙන් යාපනය දියුණුවක් අත්කරගෙන තිබෙනවා. මෙම දියුණුව වර්ධනය කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට අප සියලූ දෙනාම කටයුතු කළ යුතුයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් විශාල පිරිසක් කැපවිමෙන් යුතුව වැඩකටයුතු කළා. 1996 වසරේ ලෝක ක්‍රිකට් කිරුළ ජය ගැනීමත් ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ආරම්භ කිරීමත් නිසා අර්ජුන රණතුංග මැතිතුමා ලෝක වාර්තා දෙකක් තබා තිබෙනවා. මෙම ගුවන් තොටුපොළ ඉතා කෙටිකලක් තුල ආරම්භ කිරීමට අර්ජුන රණතුංග මැතිතුමා කැපවීමෙන් යුතුව ක්‍රියාකළා.

ඒ වගේම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සහය ලබා දුන් අමාත්‍යාංශයේ නිලධාරීන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂකතුමා, සමාගමේ සභාපතිතුමා, ගුවන් හමුදාව, යුද හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය, වගේම යාපනය දේශපාලන නියෝජිතයන්ගෙන් ලැබුණ සහය මෙහිදී මතක් කළ යුතුයි.

ඉන්දීය රජයට ස්තුතියි 

මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යථාර්ථයක් බවට පත්කර ගන්නට අපට ලබාදුන් සහයෝගය පිළිබඳව මම ඉන්දීය රජයටත්, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලීය කාර්ය සාධන මණ්ඩලය වෙත බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපගේ රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ අපි පිළිබඳව පමණක් කටයුතු කළා නම් මෙම ගුවන් තොටුපොළ මෙසේ ඉදිකිරීමට අපට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතාටත් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ අනෙකුත් අනුබද්ධ ආයතනවලටත් අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් මාගේ විශේෂ ස්තුතිය පිරි නමනවා. අලායනස් එයාර් ගුවන් සමාගම පළමු වතාවට මෙම ගුවන් තොටුපොළට තම යානා ගොඩබැස්සවීමට නියමිතයි. මඩකලපුව වෙත ගුවනින් යාමටත් ඔබගේ ඉල්ලීම පරිදි කොළඹවෙත ගුවනින් ගොස් ආපසු ඒමටත් මෙම ගුවන් තොටුපොළ මගින් ඔබට අවස්ථාව හිමිවෙනවා.

යුද්ධයෙන් දැඩි ලෙස හානි වූ යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට ඉන්දියාව අපට සහයෝගය ලබා දුන්නා. ඔවුන් අප වෙත නොයෙකුත් ව්‍යාපෘති සඳහා අරමුදල් ලබාදෙනවා. යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය, කන්කසන්තුරේ වරාය වගේම දැන් මෙම ගුවන්තොටුපොළ එසේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ සියලූ දේ හරහා ඉන්දියාව විශේෂයෙන් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා වර්ධනය වීමට අවස්ථාව උදාවෙනවා. අප දෙරට සතුව තිබෙන හැකියාවන් පිළිබඳව අපට දැන් හොඳ අවබෝධයක් තිබෙන නිසා දෙරටේ ආර්ථික දියුණුව වෙනුවෙන් එකට එක්ව කටයුතු කරමු. මෙම එකමුතුව දෙරටටම අවශ්‍යයි. මොකද ලෝකයේ වැඩිම වේගයකින් වර්ධනය වන කලාපය ඉන්දීය සාගර කලාපයයි.

ඒ අවට සීඝ්‍ර වර්ධනය සහිත කලාපය වන්නේ දකුණු ආසියාවයි. ඉන්දියාව පමණක් නොව සමස්ථ දකුණු ආසියාවම එසේ වර්ධනය වෙනවා. අපට මොන තරම් ගැටළු තිබුණත් අපට සාකච්ඡා මාර්ගයෙන් ඒවාට විසඳුම් ලබාගත හැකියි. ද්විපාර්ශවික ගැටලූ සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම හරහා විසඳුම් ලබා ගැනීමටත්, කලාපීය ගැටලූවලට කලාපීය සාකච්ඡා තුලින් විසඳුම් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. සාකච්ඡා මාර්ගය එකම විසඳුමයි.  අපට මේ ගැටලූ සම්බන්ධයෙන් යුද්ද කරන්න බැහැ. ගැටුම් ඇතිකරගන්නවා කියන්නේ එය දකුණු ආසියානු ආශ්චර්යේ අවසානයයි. බෙදී වෙන් වී ගිය කොටස් එකතු කරන එක අමාරු කටයුත්තක්. එහෙනම් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකට එක්වී කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව පෙන්වා තිබෙනවා. ඒ වගේ ආසියාවේ සෑම රටකටම තම තමන් අතර පවතින ගැටළු නිරාකරණය කරගනිමින් නැවතත් එකට එක්වී කටයුතු කරන්න මෙය හොඳ ආරම්භයක් වේවි. මම දීර්ඝ කතාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුව අපට ලබාදුන් සහයෝගය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඔබ සැමට ස්තුති වන්ත වෙමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.