ජයවර්ධන සහ ප්‍රේමදාස අතර පැවති දේශපාලන සම්බන්ධය ගැන 1983 ජුනී මාසයේදී ඇමෙරිකානු ඔත්තු සේවය රහස් වාර්තාවක් සකස් කළේය. අදාළ වාර්තාව ඇතුළු ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් ගැන සී.අයි. ඒ. ලියු වාර්තා රාශියක් හිටපු ජනාධිපති ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ විධායක නියෝගයක් වසර ගණනාවකට පසු අනුගමනය කරමින් ප්‍රසිද්ධ කරනු ලැබීය. ඒ ඔබාමා ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසාන භාගයේදීය. පිටු 23කින් සමන්විත මෙම වාර්තාවේ ප්‍රේමදාස මහතා ගැන සඳහන් කොට ඇති කොටසේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (යූඑන්පී) ආණ්ඩුව අවම වශයෙන් 1989 වන තෙක් ශ්‍රී ලංකාවේ දේශාපාලන ආධිපත්‍යය දරණු ඇත. ඔක්තෝබර් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ පවතින පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීම සඳහා වූ දෙසැම්බර් ජනමත විචාරණයේ ප්‍රතිඵල ජයවර්ධනගේ පෞද්ගලික ජයග්‍රහණයක්ද වේ. 76 හැවිරිදි නිරෝගී ජනාධිපතිවරයා වෙනුවෙන් සහ ඔහුගේ නායකත්වය මෙන්ම ඔහුගේ බටහිරකරණය වූ, නිදහස් ව්‍යවසාය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැඩි විශ්වාසයක් ජනතාව අතර පවතින බව ඉන් පෙනේ. දශක තුනකට ආසන්න කාලයක් තුළ බලයට පත්වූ රජයක් එකවර ජයග්‍රහණ දෙකක් ලබාගත් පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් කරයි. බැරිවෙලාවත් ජයවර්ධන මරණයට පත්වුව හොත් එය රජයේ ස්ථාවරත්වයට හෝ සුමට ක්‍රියාකාරිත්වයට ක්ෂණික තර්ජනයක් නොවන බව අපි විශ්වාස කරමු.
නව ජනවරම, ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයක් සහිත නිදහස් වෙළඳපොල ආර්ථිකයක් කරා ගමන් කිරීමේ වෑයම සම්පූර්ණ කිරීමට ජයවර්ධනට ලබාදුන් අවස්ථාවකි. 1977 දී බලයට පත් වූ වහාම තම රජය විසින් සිදුකරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්පූර්ණ කිරීම කෙරෙහි ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එමඟින් අපි බලාපොරත්තු වන්නේ රට ස්වයංපෝෂිත මාවතකට යොමු කිරීමයි.
1983 දී සමස්ත වර්ධනය ඉහළ යා හැකි වුවද, ශ්‍රී ලංකාව ඔහුගේ දෙවන ධූරයේ මැද භාගයේදී කටුක ආර්ථික ගැටලුවලට මුහුණ දෙනු ඇත. වසර ගණනාවක් තිස්සේ ලාභාංශ ලබා දීමට පටන් නොගන්නා සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙවීමට රජය විශාල වශයෙන් ණය ලබාගෙන ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිශතයක් සේ සැලකෙන ජාතික අයවැයේ දැවැන්ත හිඟයන් මැඩපැවැත්වීම, එක්සත් ජාතික පක්ෂයේ වඩාත්ම හදිසි ප්‍රමුඛතාවය බව අපි විශ්වාස කරමු.
ප්‍රේමදාසගේ පහත් කුලයේ සම්භවය නිසැකවම ඔහුගේ ජනප්‍රියත්වයට හේතුවුවද, ජනාධිපති ධුරයට හෙවත් ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයා වීමට එය බාධාවක් විය හැකිය. මන්ද, නිදහසින් පසු ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ගොයිගම (වගා කරන්නන්ගේ ) කුලයේ අයයි. - CIA
ජයවර්ධන නැවත තේරී පත්වීමෙන් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාව ලෝක සංසදවල මධ්‍යස්ථ හා ඵලදායි කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි. වත්මන් ආණ්ඩුව විසින් බටහිර හිතවාදී දිශානතියක් රඳවා ගැනීමට උත්සාහ කරන අතරම, නොබැඳිජාතීන්ගේ විශ්වසනීයත්වය පවත්වා ගෙන යයි. එබැවින්, එක්සත් ජනපදයට හිතකාමී පරිසරයක් තවදුරටත් පවතිනු ඇත. එසේම, රජය ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන දේශපාලන වාතාවරණය දිගටම පවත්වාගෙන යනු ඇත.
සාම්ප්‍රදායික විරුද්ධ පක්ෂවල දුර්වලතාවයන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධික ආධිපත්‍යය ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය සඳහා වූ අපේක්ෂාවන් ඉහළ නංවනු ඇත. නමුත් දුර්වල විපක්ෂයක් ඇති බැවින් එය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට අහිතකර බව ජයවර්ධන දැනගෙන සිටින සැටියෙකි. විශ්වසනීය විරුද්ධ පක්ෂයක් නොමැති නිසා ජයවර්ධනගේ පක්ෂයේ බොහෝ දෙනෙක් දූෂිත, අහංකාර සහ ජනතාවගේ අවශ්‍යතා ගැන නොසැලකිලිමත් විය හැකි අන්තරායෙන් මෝදු වෙමින් සිටින බව ජයවර්ධන දැනගෙන සිටින බවක් පෙනේ.
වාර්ගික අසමගිය යනු ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට ඇති බරපතලම තර්ජනය වේ. එය දිගුකාලීන සහජීවනය සඳහා වන අපේක්ෂාවන් සඳහා යහපත් නොවේ. බහුතරයක් වන සිංහල හා සුළුතර දෙමළ ජනයා අතර වඩා හොඳ සබඳතා වර්ධනය කිරීමට ජයවර්ධන කැපවී සිටියද, ඔහුගේම පක්ෂයේ බලවත් සාමාජිකයන් ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරති. වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ ඉල්ලීම යළිත් වරක් පුළුල් ලේ වැකි ගැටුමකට යොමු වුවහොත් ජයවර්ධන විශේෂ හදිසි බලතල පාවිච්චි කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
ජයවර්ධන බලයෙන් ඉවත් වූ පසු ප්රජාතන්ත්රවාදී භාවිතයන් සහ වාර්ගික සබඳතා වල සැලකිය යුතු වෙනස්කම් සිදු විය හැකිය. විශේෂයෙන් අඩු කැපවීමකින් යුත් ප්රජාතන්ත්රවාදියෙකු ජනාධිපති ධුරයේ උරුමයන් උරුම කර ගැනීමේ ඉඩක් තිබේ. නව පරපුරේ නායකයින්ට බටහිර රාජ්‍ය දර්ශනයන්හි ප්රජාතන්ත්රවාදී මූලධර්ම කෙරෙහි දෘෂ්ටිවාදාත්මක කැපවීම සහ අවබෝධය විරලය.
ප්‍රේමදාස අනුප්‍රාප්තිකයා ලෙස
ජයවර්ධන හොඳ සෞඛ්‍යයකින් පසු වනබව අප විශ්වාස කළත්, ඔහුගේ දෙවන ධූර කාලය තුළ ඔහු මියයාමේ ඉහළ සම්භාවිතාවක් තිබේ. එසේ වුවහොත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, අගමැති රණසිංහ ප්‍රේමදස , වැඩබලන ජනාධිපති වනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අවිවාදිත නායකයා ලෙස, ජයවර්ධනගේ ධුර කාලය පිරවීම සඳහා තෝරා ගත හැකි හොඳම අපේක්ෂකයා ප්‍රේමදාස වනු ඇතැයි අපි විශ්වාස කරමු. එම අවස්ථාවෙහිදී ඔහු, එක්සත් ජාතික පක්ෂයේ නිදහස් වෙළඳපොල, සංවර්ධන අරමුණු කරගත් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
58 හැවිරිදි ප්‍රේමදාස තමා ජයවර්ධනගේ උරුමක්කාරයා ලෙස හඳුනා ගෙන ඇත. ඉහළ ජනප්‍රිය, දක්ෂ හා වෙහෙස මහන්සි වී වැඩ කරන ඔහු ජයවර්ධනට ඇති අඩුපාඩු රාශියක් සපුරා ඇති පොදු අවබෝධයක් සහිත නායකයෙකු වන අතර පක්ෂයට විශාල ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය කරන්නෙකු බව ඔප්පු කර තිබේ. තානාපති කාර්යාල වාර්තාකරණයට අනුව, ජයවර්ධන, ප්‍රේමදාසගේ දේශපාලන කුසලතාවන් ඉතා ඉහළින් අගයන අතර ඔහුගේ කටයුතු බොහෝමයක් අග්‍රාමාත්‍යවරයා මත රඳා පවති. ඔහු, අගමැතිවරයා සමඟ සමීපව කටයුතු කරයි.
මෙහිදී මතුකළ හැකි වැදගත් කරුණක් නම්, ප්‍රේමදාසගේ අඩු කුලයේ සම්භවය නිසැකවම ඔහුගේ ජනප්‍රියත්වයට හේතුවුවද, ජනාධිපතිධුරයට හෙවත් ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයා වීමට එය බාධාවක් විය හැකිය. මන්ද, නිදහසින් පසු ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ගොයිගම (වගා කරන්නන්ගේ ) කුලයේ සාමාජිකයන් වන අතර ඔවුහුගේ අගය සෑම විටම සංඛ්‍යාත්මකව විශාලතම වේ. ප්‍රේමදාස වත්මන් දේශපාලන සන්දර්භය තුල සිටින, ප්‍රධාන දේශපාලන චරිත අතරින් අඩු කුලය නියෝජනය කරන එකම පුද්ගලයා වේ. ඒ නිසා, එක්සත් ජාතික පක්ෂය තුළ සිටින සමහර පුද්ගලයින් ඔහුගේ අනුප්‍රාප්තිය වැළැක්වීම සඳහා ක්‍රියාකරන බව තානාපති කාර්යාලයේ වාර්තාවලට අනුව පෙන්නුම් කරයි. උප ජනාධිපති ධුරයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට මෑතකදී කරන ලද යෝජනා මගින් පිළිබිඹු වන්නේ ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය වළක්වාලීමට උත්සාහ කිරීමකි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන පක්ෂවල දක්නට ලැබුණු ගැටුම් කිසිවක් තවමත් ප්‍රදර්ශනය කර නැත. ජනාධිපති අපේක්ෂකයින් සහයෝගය බලාපොරොත්තුවෙන් සිටියද, ජයවර්ධන නිරෝගීව සිටින තාක් කල්, විශාල දේශපාලන වෙනසක් සිදු වෙතැයි අපේක්ෂාවක් අපට නැත.
Post a Comment