මරණයේ වේදනාව කෙතරම් කටුක සහ අවලස්සන ලෙස මේ අහිංසකාවියන් අත්විඳින්නට ඇත්ද? ඒ බිහිසුණු අත්දැකීමෙන් මොර හඬ දෙන විට මේ මුළු ලෝ තලයම කම්පා වන්නට ඇත. අපි මිනිසුන් ලෙස, සතා සිව්පාවාගේ අයිතිය කෙලසමින් ඔවුන්ට හිමි සම්පත් හොරකම් කරමින්, මේ ගෙවා දමන ජීවිතයේ ඇත්තටම අරුතක් තිබේද?
කතුවැකිය
මේ දින වල අගනුවර පැතිරෙමින් පවතින කතාවක් තිබේ. ඒ හබරණ කැලයේ ඇතින්නියන් හත් දෙනෙකු මිය ගියේ යම් බලවත් අයකුගේ බිලි පූජාවක් ඔප්පු කිරීමටලු. මේ කතාව අසන සෑම දෙනාගෙනම ඇඟේ හිරිගඩු පිපේ. ඇත්ත නැත්ත කෙසේ වෙතත්, අපේ රටේ අතීත කතා වස්තුව එතරම් යහපත් එකක් නොවේ. බිලි පූජාවන් සඳහා ඉතාම භයානක ලෙස දරුවන් පවා පැහැර ගැනීමට ලක් වූ ඉතිහාසයක් ඇති අපට, ඇතින්නියන් හත් දෙනාගේ අභිරහස් මරණ ගැන අගනුවර පැතිරෙමින් පවතින කතාව කාගේත් අවධානයට යොමුවීම වැළක්විය නොහැකිය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන සියලු දෙනාටම, එම සියලුම මරණ වලට හේතුව සොයා ගැනීමට මෙන්ම එම සොයාගත් තොරතුරු මගින් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යය ශක්තිය මෙන්ම අවස්ථාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
මැරී වැටී සිටී ඇතින්නියන් දුටු සියලුම දෙනාගේම නෙත්වලින් කඳුලක් වැටීම වලක්වා ලිය නොහැකිය. එසේම මරණයට පත් වූ ඇතැම් ඇතින්නියන් බඩදරු අම්මලාය. මරණයේ වේදනාව කෙතරම් කටුක සහ අවලස්සන ලෙස මේ අහිංසකාවියන් අත්විඳින්නට ඇත්ද? ඒ බිහිසුණු අත්දැකීමෙන් මොර හඬ දෙන විට මේ මුළු ලෝ තලයම කම්පා වන්නට ඇත. අපි මිනිසුන් ලෙස, සතා සිව්පාවාගේ අයිතිය කෙලසමින් ඔවුන්ට හිමි සම්පත් හොරකම් කරමින්, මේ ගෙවා දමන ජීවිතයේ ඇත්තටම අරුතක් තිබේද?
ඇතින්නිය මරා ඇගේ පැටියා කොළඹට ගෙනවිත් ලොකු නෝනා-මහත්වරුන්ගේ ගෙවල් වල සහ ඇතැම් පන්සල් වලත් එම අලි පැටවුන් ඇතිකරනු ලැබූ අමිහිරි කාලයක් අපට තිබුණි. නීතියේ අධිපත්‍යය රැකීමට ලෝකය ඉදිරියේ සපත වී සිටි එක්තරා අධිකරණ මහතෙකුද ඒ අතර විය. තම පව් වසා ගැනීමට, ඒ වැරදි වලට අසු වූ බොහෝ හාදයින් අමුතු අමුතු කතා කියා මාධ්‍යය සංදර්ශන පැවැත් වූහ. එහෙත් මේ එක මහතකුට හෝ හිමි නමකට මෙම අහිංසක සතුන්ගේ මව්පියන්ට අත්කළ ඉරණම නිසා එකතු වූ පව් කමා කළ හැකිද? බුදුන්ගේ පිළිම ඉදිරියේ කෙතරම් පුද පූජා පැවැත්වුවත්; එම පව් වලින් පිරුණු ඒ සිත් පිරිසුදු වේ කියා ඔබ සිතන්නේද? කිසිසේත්ම නැත.
අපි මහා අවලස්සන ජාතියකි. අපේ ඔක්කෝම උදාන වාක්‍යයන් සහ කෙරුවාවන් පිටට පේන්නට පමණි. නමුත් හොර රහසෙන් කොතනකින් හෝ හොරකම් කොට කම්සැප විඳීම හැර තම තමන්ගේ ජීවිතයට වැදගත් අර්ථයක් දීමට අපි කටයුතු කරන්නේ නැත. මාධ්‍යය ආයතනයක පළවන පුවත් ගෙන බලන්න. ඒවායෙහි සේවය කොට මාසික වැටුපක් ලබන අයෙකු ගත්තද මෝඩ නිවට හිවලුන් සේ, එකිනෙකාගේ දේශපාලන න්‍යායපත්‍ර වලට යටත් වී තමන් ඇතුළු සමස්ථය මුලාවේ හෙළීමට හැකි උපරිම වෙහෙස දරති. අනෙකත් ක්ෂේත්‍රද එසේම පල් වෙමින් පවතින දෑ නොවේද?
අධ්‍යාපන, අහාර, සෞඛ්‍ය, ආගම, ප්‍රවාහන, වෙළඳාම, ක්‍රීඩා, රාජ්‍යය පරිපාලන, සංස්කෘතික, එන්.ජී.ඕ. ආදී කුමන ක්ෂේත්‍රයක් ගෙන බැලුවද, අපට සතුටු වෙන්න කියා ඇත්තේ මොනවාද? එක්කෝ උඩ එකාගේ සිට පහල එකා දක්වා වූ ධූරාවලීය පුරා ව්‍යාප්ත වී ඇති ගැහිළිය. නැත්තම් රටේ අසරණ දුප්පතා ඇපයට තබා "පරමාදර්ශී රාජ්‍යයක්" වෙනුවෙන් කරන නිමක් නැති වර්ජනය. අහිංසක ජනතාවගේ ජීවිත බිල්ලට දී "අයිතිවාසිකම්" දිනා ගන්න යැයි වරජනයේ යෙදෙන එක වෙදෙක් ඉන්නවාද, ඉර බැසගිය පසු ඔහුගේ හෝ ඇයගේ "පුද්ගලික වෛද්‍යය සේවා චැනල්" එකට නොරිංගන? එසේ, රිංගා, රෝගියෙකුගෙන් සූරා කෑමට පුළුවන් හැම සතේම සූරා නොකන එකෙක් හෝ සිටීද මේ රටේ? ළමුන්ගේ අධ්‍යාපනය ඇපයට තබා පාසල් කාලය වර්ජනය කොට, පෞද්ගලික පන්තිය නොකරන එක ගුරෙක් ඉන්නවාද මේ රටේ?
අපට අපේ ජීවිත වලට හිමි අරුත නැතී වී ඇත. එක්කෝ නැති කොට දමා ඇත. අපි මහා හිස් ජාතියක් බවට පත්වී ඇත. ඒ හිස් බව ආක්‍රමණය කොට ඇත්තේ හදි හූනියම් වලින් සහ මෝහයෙන් පිරුණු වීර කතා වලිනි. අපට ඕනා තවකෙකුගේ හිස්නොවන අදහස්වලට අහුන්කන් දෙන්න නොවේ. අපට ඕන කටට ලේරහ දැනෙනකම් කෑ ගහන්නටය. අපට ඕන ඉගෙන ගන්න නොවේ, උගන්නන්නය. ඉතින් මේවගේ ජාතියකට පැවැත්මක් තිබේද?
තමන්ගේ වාසිය වෙනුවෙන් තුන් කුළුඳුල් දරුවෙකුගේ බෙල්ල කපා හෝ වස්තුව හොරකම් කරගෙන ඒ වස්තුවෙන් තමන්ගේ පෞද්ගලික බලය පෙන්වීම හැරෙන්නට අපි ජාතියක් ලෙස ලෝකයට ලබා දුන් යහපත් පාඩම් ඇත්තේද?
අපට අතීතය ගැන දෙඩීමට පුරසාරම් රාශියක් තිබේ. ඒ වගේම, රටක් ලෙස ලෝකය හමුවේ මුහුණ දෙන ගැටලු වලට දාර්ශනික අර්ථකතන ලබාදීම සඳහා දර්ශනිකයෝ වැසි වසින්නා මෙන් බෝ වී ඇත. නායකයෝද එසේය. හන්දියක් හන්දියක් ගානේ නයකයෝය. එසේම අම්ම මුත්තාගේ පරම්පාවේ සිට ඊළඟ පරම්පරා දහය ගැන අනාවැකි කියන කේන්ද්‍ර කාරයෝ රට පුරාමය. එහෙම වුන්ගේ දේවාල සොරුන් කඩන විට එම සොරා හොයා ගන්නේ CCTV කැමරාවේ බලයෙන් මිස දෙවියන්ගේ බලයෙන් නොවේ. ඉතින් මේවගේ මංමුලා වෙලා ඉන්න සිංහල ජාතියකට, වෙන කොහෙන් හෝ පාත් වූ සතුරෙක් ඕනෑද මේ ජාතියේ වින්නැහියට?
ඇතින්නියන් හත්දෙනෙක් මියගොස් ඇත. වන ජීවී මහත්වරුන් කියන්නේ, ඒ අහිංසකාවියන්ගේ මරණ අභිරස් බවය. මේ බිමේ අඟලක් - අඟලක් පාසා එසේ අභිරහස් ලෙස මිය ගිය මිනිසුන්ය. ඉතින් ඇතින්නියන් ගැන කවර කතාද?
ඉතින් අපි දැන්වත්, හැදෙමු! අපි දැන්වත් එකා පිට එකා මැරෙන්න නොව එකෙකුට තව එකෙක් උදව් කරමින් නැගී සිටින ජාතියක් බවට පත්වෙමු. අපේ ගෝත්‍රික ගති මකා දමා ලේකයට ගැලපෙන ජාතියක් වීමට උත්සහ කරමු. ඊට ඇති පළමු පියවර, වෙලී සිටින ව්‍යාජ වෙස්මුහුණු ගලවා දැමීමය. මිය ගිය බඩදරු ඇතින්නියන් ඇතුළු හත්දෙනාගේ නාමයෙන්වත් අපි වෙනස් වීමට උත්සහ කරමු.
Post a Comment