‘‘කොළඹ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරනවා‘‘ - අගමැති



දකුණු ආසියාවේ අලංකාර සහ හොඳම නගරය බවට කොළඹ නගරය පත්කිරීම තම බලාපොරොත්තුව බවත්  ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගෙන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සූදානම් බව අද (22) කොළඹ, ඩී. ආර්. විජේවර්ධන මාවත, බේරේ වැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. 

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර අවුරුදු 50 – 60 ක කාලය තුලදී ඉටු කිරීමට නොහැකි වූ ඉතා විශාල සංවර්ධන කටයුතු රැසක් කොළඹනගරයේදී මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, 

කොළඹ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරනවා 

"කොළඹ නගරය නවීකරණය කර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කැපවී වැඩකටයුතු කර තිබෙනවා. එයින් එක් ප්‍රතිඵලයක් ලෙස මෙම බෝට්ටු සේවාව හැදින්විය හැකියි. 

කොළඹ නගරය අලංකාර නගරයක් බවට දැන් පත්වී තිබෙනවා. එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් එම නගරය තවත් දියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඉදිරි  වසර 03ක් තුලදී කොළඹට අලූත් මාර්ග පද්ධතියක් එකතු වෙනවා. සැහැල්ලූ දුම්රිය මාර්ග සහ කුළුණු මතින් ඉදිවෙන මාර්ග යනුවෙන් කොළඹනගරයේ අලූත් මාර්ග පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා. මෙම දියුණුව සමගින් කොළඹනගරය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා. 

කොළඹ නගරය සංවර්ධනය කරන්න පසුගිය රජයන් වලට සැලැස්මක් තිබුණේ නෑ

කොළඹ නගරය සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජයන් වල‍ෙ කිසිදු සැලැස්මක් තිබුණේ නැහැ. කොළඹ නගරය සංවර්ධනය කිරීමේ නිසි සැලැස්ම අපි විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එහි ප්‍රථිපල මේ වන විට ලැබෙමින් පවතිනවා.

ඉදිරියේදී දේශීය සහ විදේශීය ආයෝජන ලබාගෙන ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා. මහා මාර්ග පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය, සංචාරක යන විවිධ ක්ෂේත්‍රවලින් කොළඹ නගරය සංවර්ධනය කරනවා.‘‘  යන්නයි. 

කොළඹ කුණු ප්‍රශ්නය විසදීම සඳහා අපිත් සමග කොළඹ මහ නගර සභාව එක්ව කටයුතු කළ යුතු බව පැවසූ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, අරුවක්කාලූ අංගනයෙන් පුත්තලම අවට ජනතාවට කිසිදු අපහසුතාවයක් ඇතිවීමට ඉඩ ලබා නොතබන බව ද පැවසීය. මෙම යාත්‍රා සේවය මහජනතාවගේ බඳු මුදලින් නොව රාජ්‍ය ඉඩම් සංවර්ධන සංස්ථාව මෙම වසරේ ලබාගත් ලාභය යොදා ගනිමින් සිදු කර ඇති බවත් එම නිසා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව විසින් අපේ අමාත්‍යාංශය අංක 01 බවට ශ්‍රේණිගත කර ඇති බව ද පැවසීය. 

මෙම අවස්ථාවට ජෝන් අමරතුංග, සාගල රත්නායක, ඒ. එච්. එම්. ෆවුසි, මුජිබර් රහුමාන් ආදී දේශපාලඥයින් ද  නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස සහභාගී විය.