ජනාධිපති මාධ්‍ය සම්මාන සඳහා නිර්දේශිත මාධ්‍යවේදීන්ට සහතික පිරිනැමීම හෙට



මාධ්‍යවේදින් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 සඳහා නිර්දේශිත මාධ්‍යවේදීන්ට සහතික පත් පිරිනැමීම හෙට (23) පෙරවරු 10 ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් ද, සහභාගිවීමට නියමිතය. 

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ 2018 වර්ෂය සඳහා පවත්වන ලද සම්මාන ප්‍රධානෝත්සවයේදී ටෙලිවිෂන්, ගුවන්විදුලි, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය වන ලෙස භාෂාත්‍රයෙන්ම සම්මාන ප්‍රදානය සිදුකෙරිණ. මෙහිදී මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් ඉටුකළ මාධ්‍යවේදින් 4 දෙනෙකුට ජිවිතයේ එක්වරක් පමණක් හිමි වන ජූරියේ විශේෂ සම්මාන 4 ක්  ද, පිරිනැමිණ.

මෙම සම්මාන උළෙලේ ටෙලිවිෂන්, ගුවන්විදුලි, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය යන අංශ නියෝජනය කරමින් ජූරිය විසින් නිර්දේශිත මාධ්‍යවේදීන් 78 දෙනෙකුට හෙට දින සහතික පත්‍ර පිරිනැමෙනු ඇත.