අනේ අපි කවදාක හිනැහෙමුද ? ඒ රටේ


අල්ලස, දූෂණය මැඩලමු පස් අවුරුදු සැලැස්ම ?

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සතිය ආරම්භයේදී ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වූවේය. මේ අවස්ථාවට ජනපතිතුමා සමග සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර අත්වැල් බැඳගෙන සිටියේ කලක් ජනපතිතුමා විසින්ම දූෂකයෙක් යැයි චෝදනාවට ලක්වූ හිටපු ජනාධිපතිතුමාය. 

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර තිබෙන පණිවිඩයේ දක්වා තිබෙන්නේ, ‘‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරී ඇති ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ විමර්ශනය හා නඩු පැවරීමයි. එම කාර්යයන්හි කොමිෂන් සභාව මේ වනවිට කාර්යක්ෂමව සහ සඵලදායී ලෙස නිරත වෙමින් සිටී‘‘ යන්නයි. 

වත්කම් බැරකම් නඩුවෙන් ජොනී නිදහස් 

මේ ප්‍රතිඥාව එලෙස තිබියදීම මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළ දිනට පසුදින වූ ඊයේ (19) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දුන් නියෝගයක් ගැන සඳහන් කළයුතුවේ.  ඒ 2011, 2012, 2013 සහ 2014 යන වර්ෂ වලට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීමෙන් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු හතරකින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කිරීමයි. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තීරණය සාධාරණද ? 

ඔහුව නඩු වලින් නිදහස් කිරීමට හේතුවී ඇත්තේ තාක්ෂණික දෝෂ නිසා මෙම නඩු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බැවින් අධිකරණයේ කාලය නාස්ති නොකර මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස එම  කොමිසමේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ගංගා හෙයියන්තුඩුව අධිකරණයෙන් ඉල්ලා සිටීමයි. 

තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ජනපති සිරිසේන අවධාරණය කර සිටින්නේ, 2015 ජනවාරි 8 වැනිදා ඔහු ලැබු ජනවරමේ ‘පරම අභිලාෂය‘ අල්ලස හා දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරිම බවත් ‘මහජන දේපළ භාරකරුවන් වන අප සියලු දෙනා වෙත පැවරී ඇති යුතුකම වන්නේ අවශ්‍ය පමණට සම්පත් පරිභෝජනය කොට ඉතිරි සියල්ල අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට තැබීමය‘ යන්නයි.

දේශපාලඥයින් වත්කම් - බැරකම් ජනගත කිරීම සාධනීය ලක්ෂණයක් 

මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Transparency International Sri Lanka දායකත්වයෙන් පසුගිය පෙබරවාරි 28 වැනිදා වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න හා තාරක බාලසූරිය යන දේශපාලඥයින් ස්වෛච්ඡාවෙන් සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීම සිදුවිය. ඉන් අනතුරුව රන්ජන් රාමනායක හා සයිඩ් අලි සාහීර් මවුලානා ද මීට එකතු විය. 

මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය දේශපාලඥයෙකුගේ වසර හතරක වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නඩු පවරන රටක, ස්වෛච්ඡාවෙන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කරන දේශපාලඥයින් ද ඇති වග සිහිපත් කළයුතුය. වගවීමෙන් යුතු දේශපාලනයක් වෙනුවෙන් කැපවෙන සැබෑ මහජන නියෝජිතයින් මේ ලැයිස්තුවට එක්වනු ඇති බව සියලු මහජනතාවගේ අපේක්ෂාවයි.    
ජනපති සිරිසේන පවසන අන්දමින් මහජන දේපළ භාරකරුවන් යැයි සියලු දෙනා සැබෑ මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන්නේ කවදාදැයි යන ප්‍රශ්නය අප හමුවේ ඇත්තේ, එක් පසෙකින් දේශපාලඥයින් අතලොස්සක් ජනතාවට සිය වගවීම සහතික කරමින් දූෂණය පිටුදැකීමට කටයුතු කරන අතරතුරදී මෙරට දේශපාලඥයින්ගෙන් බහුතරය වඩ වඩා සිය පටි තදකරගනිමින්, සංවෘත පිළිවෙතක් අනුගමනය කර නිසාවෙනි. සමස්ත මහජනතාවම පෙළගැසී තමන් නියෝජනය කිරීමට සූදානමින් සිටින දේශපාලඥයින්ට මනාපය පළකිරීමට පෙරාතුව ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ විමසන හෙට දිනක් ගැන බලාපොරොත්තුව අප හමුවේ ඇත. 






සබැඳි පුවත්