“ගින්නෙන් උපන් සීතල” සහ “අසන්ධිමිත්තා” බැංගලූරු සිනමා උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශයට සුදුසුකම් ලබයි

බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) නියෝජනය කිරීමට අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සහ අසෝක හඳගමගේ “අසන්ධිමිත්තා” යන සිනමාපට ද්විත්වය පසුගියදා සමත්විය.


11 වෙනි වරට පැවැත්වෙන මෙවර බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල පෙබරවාරි මස 21 සිට 28 දක්වා ඉන්දියාවේ බැංගලූර් නුවරදී පැවැත්විමට නියමිතය. ශ්‍රී ලාංකේය සිනමාපට ද්විත්වයත් සමග ආසියානු කලාපයට අයත් සිනමාපට 15 ක් මෙවර බැංගලූරු උළෙලේ ප්‍රධානතම තරඟ අංශය යටතේ තරඟ වැදීමට සුදුසුකම් සපුරා ඇත.
කර්ණාටක ප්‍රාන්ත රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව පළමු වරට 2006 වර්ෂයේදී ඇරඹි බැංගලූරු සිනමා උලෙළ කෙටි කාලයක් තුල දේශීයව හා විදේශීයව ලද ඉහළ අවධානය නිසාවෙන්, මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන පනහකට අධික අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල (ගෝව), කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙල, මුම්බායි සිනමා උළෙල සහ කේරළ අන්තර්ජාතික සිනමා උළෙල යන උළෙලයන්ට පසුව වැඩිම ජාත්‍යන්තර අවධානයකට නතුවන සිනමා උළෙල බවට පත්ව ඇත.


සංජීව පුෂ්පකුමාරගේ “ඉගිල්ලෙන මාළුවෝ” සිනමාපටය උළෙලේ “ආසියානු සිනමා තරඟය” නියෝජනය කල පළමු ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙසින් 2011 වර්ෂයේදී බැංගලූරු උළෙල නියෝජනය කිරීමට සමත්වූ අතර, ඉන්පසු අසෝක හඳගමගේ “ඉනි අවන්” හා ප්‍රසන්න විතානගේගේ “ඔබ නැතුව ඔබ එක්ක” 2012 වර්ෂයේදීද, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ” තණ්හා රතී රඟා” 2013 වර්ෂයේදීද, ධර්මසේන පතිරාජගේ “සක්කාරං” 2014 වර්ෂයේදීද, කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ “ප්‍රේමය නම්” 2016 වර්ෂයේදීද, චත්‍ර වීරමන්ගේ “ආලෝකෝ උදපාදී” හා ප්‍රියන්ත කළුආරච්චිගේ ” රතු සමනල හීනයක්” 2017 වර්ෂයේදීද එකී තරඟ අංශය නියොජනය කිරීමට සමත්විය.

එහෙත් මේ දක්වා බැංගලූරු උළෙලේදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත්ව ඇත්තේ “ඉගිල්ලෙන මාළුවෝ” සිනමාපටය පමණකි.

චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයක් වන “ගින්නෙන් උපන් සීතල” මෙයට පෙර 2018 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ පැවති 12 වෙනි ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් එවෝර්ඩ්ස් නම් සිනමා සම්මාන උළෙලෙහි මූලික තරඟ වටයත්, 2019 වර්ෂයේ ඇමරිකාවේ පැවැත්වෙන 91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලෙහි මූලික තරඟ වටයත්, 2018 වර්ෂයේ ඉන්දියාවේ පැවති 04 වෙනි ඕල් ලයිට්ස් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ “ජගත් සිනමා” අංශයත් නියෝජනය කිරීමට සමත්විය.

එච්.ඩී ප්‍රේමසිරිගේ නිෂ්පාදනයක් වන “අසන්ධිමිත්තා” මෙයට පෙර 2018 වර්ෂයේ දකුණු කොරියාවේ පැවති 23 වෙනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ “අ වින්ඩෝ ඔන් ඒෂියන් සිනමා” අංශයත්, 2018 වර්ෂයේ එස්තෝනියාවේ පැවති 22 වෙනි ටැලින් බැලැක් නයිට්ස් සිනමා උලෙළේ අන්තර්ජාතික තරඟකාරී අංශයත් නියෝජනය කිරීමටත් සමත්විය.


සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි