ඇලෝසියස්ට ඇප හිමිවූ - පොලිස් කොස්තාපල් වසර 8 කට සිරගෙට යැවූ නීතිය මොකක්ද ?






මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පාලිසේන පසුගියදා (ජනවාරි 1) ඇප මත මුදාහැරුණි. මේ සිදුවීමෙන් අනතුරුව පසුගියදා (ජනවාරි 3) රථවාහන වරදක් සිදුකළ රියදුරෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 3,000 ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය වසර 8 ක බරපතල වැඩසහිත සිරදඩුවම් නියම කර තිබේ. මේ සිද්ධි දෙක දේශපාලන පිටියේ දැඩි ලෙස කතාබහට ලක්වූ අතර ආණ්ඩුව හොරු නිදහස් කරන බවට ද විපක්ෂ දේශපාලඥයින් චෝදනා කර සිටියි.









මේ සිදුවීම් ද්විත්වයට අදාළ නීතිමය හේතූන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ නීතිඥ වසන්ත සිරි වටගොඩගේ සටහනක් මෙහි උපුටා දක්වන්නේ හුදු දේශපාලන වාසි වලට වඩා නීතිය සැමට ඉහළින් පවතින බව සිහිගන්වමිනි.





''පොදු ‍‍දේපල පනත මෙන්ම 1954 අංක 11 දරන අල්ලස් පනත ද සුවිශේෂී පනතකි. පොදු දේපල පනතේ 8 (1) වගන්තිය අල්ලස් පනතේ 30 ( අ) වගන්තියට සමාන ය.






එම වගන්තියට අනුව අල්ලස් පනත යටතේ චෝදනා ලබන සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් ඇප මත මුදා හැරිය නොහැකිය. නමුත්, මහේසත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරනු ලබන අති විශේෂ සහ අවස්ථානුගත කරුණු මත සහ වාර්තා ගත කරනු ලබන හේතු මත නඩු විභාගයට පෙර ඕනෑම අවස්ථාවක එවැනි චූදිතයෙකු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකිය.






යම් චූදිතයෙක් ඇප මත මුදා හැරීම ඔහුව සම්පූර්ණ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමක් නොවන අතර ඔහුව සම්පූර්ණයෙන් මුදා හැරිය හැක්කේ නඩු විභාගයෙන් පසුව පමණි.






අල්ලස් පනත යටතේ වන චෝදනාවකට මහාධිකරණය විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වසර හතක් නොඉක්මවන කාලයක සිර දඩුවම් නියම කිරීමට මහාධිකරණයට හැකියාව ඇත.






මෙහි සිටින පොලිස් නිලධාරියා දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඒ සියලු චෝදනා වලට වරදකරු බව ඔප්පු වීම නිසා වසර අටක සිර දඩුවමක් නියම වූවෙක්ය. අල්ලස් පනතට අනුව ඔහු ලබා ගත් අල්ලස් මුදල රු.3000 ක් ද මිලියන 3000 ක් ද යන්න අදාළ වන්නේ නැත. නමුත්, මිලියන 3000 ක් වැනි අල්ලසක් ලබා ගත්තේනම් එම මුදලෙන් ලබා ගත් සියලු දේපල රාජසන්තක කිරීමේ බලය ද අධිකරණයට ඇත.






අල්ලස් පනත යටතේ යමෙක් වරදකරුවකු ලෙස ට සාක්ෂි මගින් ඔප්පු කිරීම ඉතාමත් අපහසු වන අතර කෙනෙක් වරදකරුවෙක් වන්නේ එහෙමත් අවස්ථාවක පමණි. අර්ජුන් ඇලෝසියස්ට ඇප ලැබුණේ ද පොදු දේපල පනතේ 8 (1) වගන්තිය ප්‍රකාරවය. එහෙත්, ඔහුට එරෙහිව නඩු විභාගය තවම ආරම්භ කර නැත. ඔහු වරදකරුද නිවැරදිකරුද යන්න තීරණය කෙරෙන්නේ එකී නඩු විභාගයෙන් අනතුරුවය.






එකී නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රධානම බාධාව වී ඇත්තේ නඩුවේ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති වීම ය.ඔහුවඅත් අඩංගුවට නොගැනීම නිසා නඩු විභාගයකින් තොරව දිගින් දිගටම අනෙක් සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තැබීම අසාධාරණයි යන පදනම මතය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ව ඇප මත මුදා හැර ඇත්තේ.






ඔවුන් ඇප මත මුදා හැරීම කලේ අයුතු බලපෑමක් මතයැයි පවසන අය , මාස 11 ක් පමණ ඔවුන් රිමාන්ඩ් භාරයේ සිටියේ කෙසේදැයි යන්න පැහැදිලි කරන්නේ නැත.‘‘













සබැඳි පුවත්









රුපියල් 3000 අල්ලස් ලෙස ගත් පොලිස් නිළධාරියෙකුට වසර 8 ක සිරදඬුවම්