නූතන චානක්‍යගේ ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය ගැන විමසුමක්











කවුද මේ චානක්‍ය ?





චානක්‍ය නමින්ද ප්‍රසිද්ධ වූ කෞටිල්‍ය භාරතයේ සිටි අග්‍රගණ්‍ය රාජ්‍ය පාලන උපදේශකය. ඉන්දීය මෞර්ය අධිරාජයේ පළමු පාලකයා වූ චන්ද්‍රගුප්ත අධිරාජයාගේ අගමැති, අර්ථ ශාස්ත්‍රඥ හා ප්‍රධාන උපදේශකයා ලෙස චානක්‍ය කටයුතු කළේය. එමෙන්ම, තක්ෂිලා විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මහැදුරු වශයෙන් සිටි කෞටිල්‍ය අධිරාජයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නට පටන්ගන්නේ පසුකාලීනවය. ක්ෂත්‍රීය පාලනයට යටත් නොවී පැවති මගධ දේශය යටත් කරගෙන මෞර්ය පාලනය ඉන්දියාව පුරාම ඇති කිරීමට චන්ද්‍රගුප්ත අධිරාජයාට උපදෙස් හා උප ක්‍රම ලබා දුන්නේ කෞටිල්‍ය විසිනි. ඔහු ඉතා ඥාණවත් වුවද කෲර ගති පැවතුම් ඇති පුද්ගලයෙකු විය. රජතුමාට ඔහුගෙන් ලැබුණ රාජ්‍ය පාලන උපදෙස්, ආර්ථික, සමාජීය මෙන්ම ආක‍්‍රමණකාරී යුධෝපායන් උදෙසා ද විය. ඔහුගේ චර්යා ධර්ම හා උපදෙස් ඇතුලත් වූ වඩාත්ම ප්‍රසිද්ධියට පත් ප‍්‍රකාශනය වූයේ ‘‘චානක්‍යගේ අර්ථ ශාස්ත්‍රය” නම් වූ ග්‍රන්ථයයි.









නූතන චානක්‍ය විසින් රචිත ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය



















නූතන චානක්‍ය විසින් රචිත ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය









මෙහිදී අවධානයට බඳුන් කරන ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතියේ රචකයා චානක්‍ය නම් ආරූඪ නාමයෙන් පෙනී සිටින තැනැත්තෙකි. චානක්‍ය මහරජ ධර්මාශෝකට රාජ්‍ය බලය ලබාගැනීමට උපකාර කළාක් මෙන් මේ පොත් පිංච ද මෙරට විධායක ජනපතිධූරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇතිකර තිබෙන දේශපාලන වියවුල්කාරී තත්ත්වය හමුවේ ලියැවුණක් වුවද එතුමාට ඕනෑතරම් උපදෙස් සපයාගත හැකි අත්පොතක් වනු ඇති බව නිසැකය.










ජනපතිතුමාගේ සිතැඟියාවන් මනාව තේරුම්ගෙන අවශ්‍ය උපදෙස් ලබාදීමට පිරිසක් නැතිකමේ වියවුල ගැන චානක්‍ය සිය කෘතියේ පෙන්වා දේ. ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතියේ දෙවැනි පරිච්ඡේදයේදී චානක්‍ය දක්වන්නේ ජනපතිතුමාගේ විශ්ලේෂණ දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගමන් නොකරන බවත් වැඩිම වුවහොත් ඒවායේ සීමාව වී ඇත්තේ පැරණි මාක්ස්වාදී මූලෝපායන් හා ධනපති පීඩිත බද්ධ වෛරය සමග ගෙතුණු අනාවැකි බවත් දක්වා ඇත
මෑතකාලීනව ප්‍රසිද්ධියේ ජනපතිතුමාට චෝදනා කර සිටි මංගල සමරවීර මහතාගේ දරදඬු ප්‍රකාශයට පවා හේතුවී තිබෙන්නේ තැතිගැන්ම බව ද පවසන චානක්‍යගේ අදහස වී ඇත. ඊට හේතුවන්නේ යමක් සර්ව සම්පූර්ණයෙන්ම සිය අවබෝධයට හෝ අත්දැකීම් වලට පරිබාහිරව සිදුවීම හා සිය පෞද්ගලික සිතැඟියාවන් වලට අනුව තීරණය කරන පූර්ව නිගමන වලට මුල්තැන දීම බව ද දක්වා තිබේ.






මේ කම්පනයෙන් අත්මිදීමට මඟක් ලෙස ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතියේ යෝජනා කරන්නේ සිරිසේන මහතා පුද්ගලයෙකු ලෙස නොව සමාජ සංසිද්ධියක් ලෙස ගෙන සලකා විමසීම අවශ්‍ය බවයි. බුද්ධිමය ස්වයං වින්දනයේ (ඉන්ටලෙක්චුවල් මාස්ටර්බේඩින්) දී සිරිසේන යන පුද්ගල චරිතය කේන්ද්‍ර කරගනිමින් වත්මන් දේශපාලන ප්‍රවණතාවය ගැන තේරුම් ගන්නා විට අනිවාර්යයෙන්ම ඔහුගේ පවුල් පසුබිම නැතිනම් ඥාතීන් ගැන කීම හැර අන්කිසිවක් සිදුනොවන බව ද චානක්‍යගේ විශ්වාසයයි. අනිවාර්යයෙන්ම අප අත්මිදිය යුත්තේ ද එයිනි.






ජනපතිතුමා පුද්ගලයෙකු වශයෙන් ගෙන දේශපාලනික වශයෙන් තේරුම්ගැනීමට අවශ්‍ය නම් අන් කිසිවක් ගැන නොසොයා පසුගිය දිනවල උණු කැවුම් මෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ චතුරිකා සිරිසේන ලියු ‘ජනාධිපති තාත්තා‘ කෘතිය කියවන්නට යැයි මින් ආරාධනා කර සිටී. සැබැවින්ම, ලංකාවේ පුරවැසියන් තාමත් පුද්ගල බද්ධ දේශපාලන විඥානය පැතිරවීමේ රුසියන් බව පෙන්වන්නේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ චතුරිකාගේ ජනාධිපති තාත්තා කෘතියේ යම් යම් කොටස් වෙනුවට අද වනවිට සමස්ත කෘතියම බාගත කරගැනීමේ අවස්ථාව සමාජ මාධ්‍ය හරහාම උදාවී ඇති බැවිනි.






ජනාධිපති තාත්තා හා දීප්ති





චතුරිකාගේ කෘතිය එළිදක්වන අවස්ථාවේදී එහි ප්‍රධාන දේශකයා ලෙස කටයුතු කරන්නේ කලක් X කණ්ඩායම නමින් විකල්ප ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි පිරිසකට නායකත්වය දුන් දීප්ති කුමාර ගුණරත්න ය. චානක්‍යට අනුව දීප්ති යනු ‘පැරණි ලෝකය විසින් දායාද කරනු ලැබූ ලේසියෙන් කඩා බිඳ දැමිය නොහැකි යදම් වලින් සිරවී සිටින අයෙකු වේ‘.










https://youtu.be/EP0jUX7rbVI








සමහරවිට දීප්ති කවුරුන්දැයි දැනගත හැකි හොඳම පුද්ගලයා සිය දර්ශනපති උපාධි නිබන්ධනයේ ‘To my Comrades of the ‘’Group X’’ නමින් පිළිගැන්වීම සිදුකළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වනු ඇත.






සිය සගයා වන දීප්ති ගැන අද (12) ෆේස්බුක් සටහනක් තබන නිර්මාල් දීප්ති හමුවේ තිබෙන අවදානම ගැන සටහනක් තබමින් පවසන්නේ,













‘‘ආරංචි විදිහට දීප්ති කුමාර ගුණරත්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිට්ටුවෙන් වැඩ කරයි. දැන් මෛත්‍රීපාලගේ දේශපාලන විරුද්ධවාදීහු ඔහුට මානසික රෝගියෙක් ලෙස ලේබල් අලවමින් සිටිති. මේ නිසා දීප්තිට විශාල අලකලංචියක් සිදු වනු ඇත. මක්නිසාද යත් දේශපාලන විරුද්ධවාදීන් මානසික රෝගීන් ලෙස ලේබල් කිරීමේ ක්‍රමයට දාර්ශනික පදනමක් ලබා දුන්නේ ඔහු බැවිණි.‘‘ 











කෙසේවුවත්, වාසනාවකට හෝ අවාසනාවකට ජනපති සිරිසේනගේ උපදේශක මඩුල්ලට අළුතින්ම එකතු වූ සාමාජිකයා වූයේ ආචාර්ය සුරේන් රාඝවන් ය. ඔහු ද කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන්නෙකු වීම ද විශේෂය. දිගු කලක් ජනපති සමග සමීපව කටයුතු කළ චමින්ද සිරිමල්වත්ත පන්නා දමා සුරේන් සේවයට බඳවාගත් බවට වූ කතාවක් පැතිරුණේ මීට සතියකට දෙකකට පෙර ය. කෙසේවුවත්, මේ ගැන සමාජ මාධ්‍ය තුළ ද සටහනක් තැබූ සුරේන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේ තමා කිසිවෙකුගේවත් රැකියාව අහිමි නොකළ බවත් අවශ්‍ය ඕනෑම මොහොතක සිය සේවය ඉල්ලා සිටින සිය මතවාදයට ගරු කරන අයවලුන් වෙනුවෙන් සේවය ලබාදීමට සූදානම් බවත්ය. (චමින්ද සිරිමල්වත්තට කුමක්වූවාදැයි නොදනිමු.).









ඉන් නොනැවතී පසුගිය දෙසැම්බර් 9 වැනිදා දින සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ඔහු පවසන්නේ සිය කාර්යයන් වලට අකුල් හෙලූ අය දැන් පිටු ගණන් ලියමින් සිය දේශපාලන පතිවත ගැන සෙවීම ‘සෝෂලිස්ට් ලිබරල් විහිළුව‘ බවයි. ඊට උල්පන්දම් දී තිබුණේ රුසියානු තානාපති වීමට මත්තෙන් ඉංග්‍රීසි පත්තර පිටු පුරා රාජපක්ෂවරුන්ව හෙලාදකිමින් ජනපතිගේ ගුණ වැයූ දයාන් ජයතිලක ය.













සුරේන් රාඝවන් හා චන්න ජයසුමන අතර කිසිදු වෙනසක් නැත - චානක්‍ය









චානක්‍යට අනුව සුරේන් හා චන්න ජයසුමන අතර කිසිදු වෙනසක් නැත. මෑතකාලයේදී අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ මතවාද ගැන විද්‍යාර්ථින් අතර ප්‍රබෝධයක් ඇතිකළ සුරේන්ට, චානක්‍ය යෝජනා කර සිටින්නේ නලින්ද සිල්වාගේ ජීවිතයෙන් ඉගෙනගෙන තම තරුණ ජීවිතයෙන් රටට අවශ්‍ය වෙනත් වැදගත් හා අත්‍යවශ්‍ය කටයුත්තක් සිදුකිරීම වටින බවයි.






සිරිසේන මහතා ජාත්‍යන්තරය තමන්ට කිසිසේත්ම නොවැදගත් බවට පුරසාරම් දෙඩුවත් විශේෂයෙන්ම, මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වල තමන් ගැන කියන්නේ මොනවාදැයි යන්න ගැන නිරතුරු අවධානයෙන් සිටියි. රාත්‍රී 10 ට නින්දට යන ඔහු උදෑසන අවදි වී බලන මාධ්‍ය විශ්ලේෂණ වාර්තා අතර ප්‍රමුඛ තැනක් ගන්නේ මේ ජාත්‍යන්තරයයි. කෙසේවුවත්, ඔහුව බේරාගැනීමට පෙරමුණ ගන්නා පිරිස් වල උපායන්හි අසාර්ථකත්වය මෑතකාලීනව පිළිබිඹු වු සුවිශේෂී අවස්ථාවක් වන්නේ විදෙස් ජනමාධ්‍ය ආයතන වල කටයුතු කරන මෙරට වෙසෙන ජනමාධ්‍යවේදීන් සමග සිදුවූ හමුවීමය. කම්මුලට අත තබාගෙන, වික්ෂිප්ත ස්වභාවයෙන් සිටි මේ ජනමාධ්‍යවේදීන් මේ මිනිසා පවසන එකිනෙකට පරස්පර කතා අසා සිටින්නේ තමන් මහත් අකරතැබ්බයකට මුහුණදුන් විලාසයෙනි. ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය පවසන අන්දමට මේ ‘සර්ව සම්පූර්ණ අසමත් සැලසුමක් වූ අතර ජනාධිපතිවරයා අගාධයට ඇද දැමීමකි.‘‘. මෙහි වගකීම ශිරාල් ලක්තිලක වැන්නන්ට හිමිවිය යුතු බව චානක්‍ය නගන තර්කයයි.
ශිරාල් අරාජිකවාදියෙක්ද ?









කෙසේවුවත්, අනෙක් පසින් ශිරාල් ලක්තිලක සමීපයෙන් ඇසුරු කරන බොහෝ දෙනා පවසන්නේ ඔහු අරාජිකවාදියෙකු බවත් ඔහු හා සම දැනුමින් යුතු අයෙකු රනිල් වික්‍රමසිංහ ළඟ පවා නැති බවත්ය. කෙසේවුවත්, මේ මෙහෙයුම පිටුපස සිටින්නේ ශිරාල් ලක්තිලක නම් මේ මොහොතේ හැබෑවටම රටේ ජනාධිපති ලෙස තිරය පිටුපසින් සිට කටයුතු කරන්නේ ඔහු විය හැකිය.






‘‘පරළු වී ගිය දේශපාලන උපායන් ඔස්සේ පවති තුෂ්නිම්භූත තත්ත්වය විසඳීමට, දීප්ති කුමාර ගුණරත්න, චන්න ජයසුමන, දයාන් ජයතිලක, සරත් විජේසූරිය හෝ සුරේන් රාඝවන් ආදී නම් සඳහන් කළ සහ නොකළ දේශපාලන විචාරකයින් සිතෙන්නේ නම් එය මුලාවක් පමණි. මන්ද, එවැනි උපායන් වසර 2015 සිට මේ දක්වා ලක්තිලක වැනි පුද්ගලයින් විසින් භාවිතා කොට ඉතුරු වී ඇත්තේ ඒවායේ හප පමණි‘‘









මේ පිරිසගෙන් සිරිසේන ජනපතිතුමාට කිසිදු යහපතක් සිදුනොවුණි නම් ඉදිරියේදී සිදුවිය යුත්තේ කුමක්ද ?. චානක්‍ය යනු රජෙකුගේ උපදේශකයෙකු බව අමතක නොකළ යුතුය. ඔහුට අනුව නම් නැවත සිරිසේන මහතාගේ බලය යළිත් තහවුරු කිරීමට නම් අපූරු යෝජනාවක් ඉදිරිපත් කරයි.










‘‘සිරිසේන මහතාගේ බලය යළිත් තහවුරු කළ හැක්කේ, කොටි සංවිධානයේ දේශපාලන අංශය යැයි කියාගත් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමිල් චෙල්වන් මට්ටමේ පුද්ගලයෙකු හෝ ඒ හා සමාන පුද්ගලයින් කණ්ඩායමකටය. ජනාධිපතිවරයා මෙරට වෙසෙන විදෙස් ජනමාධ්‍යවේදීන් සමග මුහුණට මුහුණ මුණගස්වා අසාම් අමීන් වැනි තරුණ ජනමාධ්‍යවේදියෙකු හමුවේ අසරණ කිරීමට කිරීමට වඩා සිදුවිය යුතුව තිබුණේ තමිල්චෙල්වම් පන්නයේ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා ලෙස ඉදිරිපත් කිරීමය.‘‘












මින් අදහස් කෙරෙන්නේ ත්‍රස්තවාදියෙකු ළංකරගැනීම නොවන බවත්, ‘තමිල් චෙල්වන් යනු කොටි සංවිධානයේ නායකයාගේ මූලික සන්නද්ධ උපායන් වලට දේශපාලන වටිනාකමක් ලබාදෙමින් සමාජගත කළ මූලික චරිතයක්‘ බවත් සිහිපත් කරදෙයි.






සිරිසේන මහතා කිසිදු දේශපාලන නායකයෙකු සමග සංසන්දනය නොකළ යුතු බවත් ඔහුටම ආවේණික ක්‍රමෝපායන් ඔස්සේ ඔහු ගැන තේරුම්ගත යුතු බවත් චානක්‍ය පවසයි. කෙසේවුවත්, මේ උපදේශකයා වත්මනේ රටේ ජනතා විඥාණයට කිඳාබැස තිබෙන ගැටළුවක් වන ‘‘රාජ්‍ය පරිපාලනය කිරීම සඳහා, බලයට ගෙන එනු ලබන ආණ්ඩු සහ ඒවායේ සිටින පුද්ගලයින් ගැන අපට විශ්වාසයක් තිබේද ?‘‘ යන්නද අමතක නොකරයි. රාජපක්ෂවාදීන් දකින මැතිවරණ හීනය බොඳව යනු ඇති බවත් පවතින නොසන්සුන්කාරී වාතාවරණය වෙනස් කිරීමේ සුබ සිහිනයක් ඇති බවත් පෙන්වා දේ. එනම්, ජනපතිගේ දේශපාලන තීරණ වලින් සමාජය හමුවේ මතුවී ඇති ප්‍රවණතා තේරුම් ගෙන එය සමාජ අවශ්‍යතාවක් බවට පත්කළ හැකි කුඩා කණ්ඩායමක් බිහිවී පවතින තත්ත්වය වෙනතකට ගෙන යාමයි. මේ මොහොතේ අවශ්‍යතාවය වන්නේ මැතිවරණ නොවන ආණ්ඩුවක් නැතිව ගෙවෙන මේ කාලය ජනපතිට නිළ වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන දිනය දක්වා පවත්වා ගැනීම බව ද ‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතියේදී ඉස්මතු කරයි.






ජනපතිගේ දේශපාලන තීරණය උපායක්





චානක්‍ය නැවත නැවතත් පවසන්නේ ජනපතිගේ දේශපාලන තීරණයෙන් අරක්කු බෝතලය හා බත් පැකට්ටුව ඉක්මවා ගිය රටේ අනාගතය වෙනුවෙන් සිදුකළ යහපත් දේශපාලන උපායශීලී බවක් යන්නයි.
ඉතින් රටේ අනාගතය කෙලෙස විසඳේද ?, ජනපති දැන හෝ නොදැන සිදුකළ ක්‍රියාවන්ගේ අවසන් ශේෂ පත්‍රය කුමක්ද ? චානක්‍ය මුල මැද අග ගලපා කියන කතාව නිමාකරන්නේ, මේ වෙනස රාජ්‍යය හා ජනතාව දශක ගණනාවක් තිස්සේ ආයාසයෙන් බලා සිටි එකක් බව පවසමිනි. වඩා වැදගත්ම කාරණය වන්නේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ඒ වෙනුවෙන් සන්නද්ධව සටන් කළ අසාර්ථක වී තිබීමය.






ජනාධිපති සිරිසේන රටට ආණ්ඩුවක්, කැබිනට් මණ්ඩලයක් නැතිකර ඒකාධිපති පාලනයක් ගෙන යනවා කියන පිරිසට අපූරු උත්තරයක් ද චානක්‍ය ලබා දේ. ඒ ‘ජනාධිපති සිරිසේන, අත්‍යවශ්‍ය දේශපාලන පරිසරයක් නිර්මාණය කරදී තිබේ. එය සාධනීය ලෙස භාවිතා කිරීම රටේ ජනතාවගේ වගකීමකි. ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, නව අගමැතිවරයෙකු පත්කිරීම දැනගෙන සිදුකළේ නම්, ඔහුගේ දේශපාලන කෞශල්‍යය කිසිවකුත් සිතනවාට වඩා ගැඹුරුය. ඔහු අදාළ මූලික නෛතික කරුණු ගැන අනවබෝධයෙන් අදාළ දේශපාලන තීන්දු ගෙන ඇත්තේ නම් එය සිදුවී ඇත්තේ සමස්ත සමාජයේ දිගුකාලීන වාසිය සහ රාජ්‍යය ස්වාධීන සහ ජනතාවාදී ආයතනික ව්‍යුහයක් ලෙස සකස් කරගැනීමටය‘ යන්නයි.









මෙහිදී ජනපති සිදුකළ යුතු හා නොකළ යුතු කරුණු කීපයක් ද චානක්‍ය යෝජනා කරන අතර ඉහළින්ම තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත මැතිවරණයකට යාමට සිදුවුවහොත් ඊට හැකි පමණ කාලයක් ගතයුතුය යන්නයි. අවාසනාවකට චානක්‍ය ජනපති සිරිසේනගේ උපදේශකයෙකු නොවන අතර එසේ වූවානම් මහින්ද මෙන්ම රනිල් පිළ ද ඉල්ලන මැතිවරණය කල්යෑම නිසැකය.










ලෝක බලවතාට පවා ආණ්ඩුවක් නැති කාලයක් තිබුණා









‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය කියවන අතරවාරයේදී සිහිපත් වන අනෙක් කරුණ වන්නේ ආණ්ඩුවක් නැතිව දියුණුව කරා ළංවූ රාජ්‍යයන් ද ලොව පවතින බවයි. අද ලෝක බලවතා යැයි කියන ඇමරිකාවට පවා ආණ්ඩුවක් නැතිව ගෙවුණු යුගයක් තිබුණි. මේ මොහොතේ සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇතැයි පවසන චානක්‍ය මේ තත්ත්වය නිවැරදිව තේරුම්ගැනීමට හැකි වුවහොත් සෑම අයෙකු තුළම සිටින මෛත්‍රී කෙනෙකු අපට හමුවනු ඇති බවත් පවසයි. ඒ රාත්‍රී නින්දට යන, ලෝකේ රටේ වෙන දේ පුවත්පතින් දැනගන්නා පුලතිසිපුර ඉපදුණු මෛත්‍රී කෙනෙකුදැයි අප නොඅසන්නේ මංගල සමරවීර මහතා ඇතුළු පිරිස වරද්දාගත්තා මෙන් මෙතැනදී පුද්ගල බද්ධ දේශපාලනය අදාළ නොවන බැවිනි.






‘‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ සැබැවින්ම ‘‘මෛත්‍රී ජයගෙනද ?‘‘ යන්න ගැන චානක්‍ය කෘතියේ අවසන් ඡේදයේ දක්වන මේ කතාව කියවා නිදහසේ සිතා බලා හෙට දිනයේදී කළයුත්තේ කුමක්දැයි සිතා බලන්න.










‘‘අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් රාජ්‍යයක්ද ?, රාජ්‍යය වහලෙකු බවට පත්කරගෙන අපේ ශ්‍රමය හූරා කමින් තම පෞද්ගලික සැප සොයා කලින් කලට රටේ සැප සම්පත් සූරාකෑම සඳහා ආණ්ඩු නමින් බිහිවන කොල්ලකාරීන්ගේ පරිපාලනයක්ද ?, ඔබ, ඔබ විසින් පිළිතුරු සෙවිය යුතු සහ පෙරමුණ ගෙන ශක්තිමත් කළයුතු මූලික කාරණා වන්නේ මේවාය‘‘

























සබැඳි පුවත් 













‘මෛත්‍රීට ජයගත හැකිද ?‘‘ කෘතිය කියවන්න









ජනපති මෛත්‍රිට විවෘත ලිපියක්