මෙරට සෞඛ්‍ය පද්ධතිය ජනගහන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් ද ?







කිසිවකු අතහැර නොදමන විශ්ව සෞඛ්‍යාවරණය









හෙට (දෙසැම්බර් 12) ලෝවැසි සැමට සෞඛ්‍යාවරණය පිළිබඳ ජාත්‍යන්තර දිනයයි. ලෝවැසි සැමට සෞඛ්‍යාවරණය යනු සෞඛ්‍යය සඳහා මානව හිමිකම් තුළ ගැඹුරින් මුල්බැසගත් මූලික අරමුණකි. පුද්ගලයකු කවරෙකු ද, කොතැන ජීවත් වන්නේ ද යන කාරණය නොතකා, මුල්‍ය දුෂ්කරතාවලින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාගැනීමට තිබෙන හැකියාව එමගින් තහවුරු කරනු ලැබේ. ලෝවැසි සැමට සෞඛ්‍යාවරණය තහවුරු කිරීම මගින් කිසිවකු අත් නොහරිමින් ආන්තික දිළිඳුකම අවසන් කිරීමේ, ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව අත්පත් කරගැනීමේ සහ සෞඛ්‍ය සුරක්ෂිතභාවය වර්ධනය කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කරනු ලැබේ.









ශ්‍රී ලංකාවේදී මෙයින් අදහස් වන්නේ රටේ සෞඛ්‍ය පද්ධතිය වත්මන් ජනගහන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව තහවුරු කිරීම යි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු වසර 2030 වන විට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයකු වන බව පුරෝකථනය කර තිබේ. මෙම ජනවිකාස වෙනස හේතුවෙන් ශ්‍රී ලංකාව වඩාත් වේගයෙන් වියපත් වන ජනගහනය ජීවත් වන දකුණු ආසියාතික රට බවට පත් කරනු ඇත. වියපත් වන ජනගහනයක් යනු රටක් විසින් තම ජනතාවගේ ආයු කාලය වැඩි කිරීම සඳහා කරන ලද අඛණ්ඩ ආයෝජනවල ප්‍රතිඵලයකි. කෙසේ වෙතත්, වැඩි වන වැඩිහිටි ජනගහනයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සෞඛ්‍ය පද්ධතිය හැඩගස්වා තිබේ ද යන්න තහවුරු කිරීම වැදගත් ය.









වසර 2018 ලෝවැසි සැමට සෞඛ්‍යාවරණය පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය සමග එක්ව කොළඹදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වන ලදී.










මහජන කේන්ද්‍රීය සෞඛ්‍යයක්






ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය රුවයිස් හනීෆා මහතා එහිදී මෙසේ පැවසී ය: “අතීතයේදී අප කරමින් සිටියේ රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමයි. එමගින් අපට ඉතිරි කරනු ලැබුවේ මහජන කේන්ද්‍රීය නොවන සෞඛ්‍ය පද්ධතියකි. මෙම සෞඛ්‍ය පද්ධතිය මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට දැන් කාලය එළැඹ තිබේ. දැන් අපට කලින් කටයුතු කළ ආකාරයෙන් වැඩ කරගෙන යා නොහැකි ය. සෑම තැනක ම සිටින සෑම කෙනෙකු ම ඇතුළත් කරගැනීම අපගේ වගකීම යි.”













ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය පරිපාලක ආචාර්ය ඔලීවියා කොරසන් නීවෙරස් මෙසේ පැවසුවා ය: “යහපත් සෞඛ්‍යය යනු වරප්‍රසාදයක් නොව මානව හිමිකමකි. සෞඛ්‍ය පද්ධතිවල අවධානය යොමු විය යුත්තේ ලෙඩ රෝග සුවකිරීමට නොව සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටයි. අරමුණ විය යුත්තේ වැඩිපුර ජීවත් වීම නොව හොඳින් ජීවත් වීමයි. රෝහල් සහ ලෙඩරෝග කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතිය මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් බවට වැඩිදියුණු කළ යුතුව තිබේ. අනාගත සෞඛ්‍යාරක්ෂාවේ පළමු මට්ටම විය යුත්තේ මිනිසුන් ජීවත් වන හා වැඩ කරන තැන් වෙත වඩාත් සමීප වීමයි. අපගේ අවශ්‍යතා ජීවන අවධි අනුව වෙනස් වේ. එහෙත්, සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය එසේ නොවිය යුතු ය. ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ප්‍රතිසංවිධානය වෙනුවෙන් ආයෝජනය කිරීම මගින් ශ්‍රී ලංකාව සැමට සෞඛ්‍යාවරණය කරා වන මාවතේ ඉදිරියට පැමිණ තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර යනු ජනගහනය වෙනුවෙන් මනා සෞඛ්‍යාවරණය අත්පත් කරගැනීම සඳහා තිබෙන වඩාත් ම කාර්යක්ෂම මාර්ගයයි.”










සැමට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා 






පුවත්පත් සාකච්ඡාව අමතමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා සහකාර නියෝජිත මධූෂා දිසානායක මෙසේ පැවසුවා ය: “තරුණයන් විසින් වර්තමානයේදී තොරතුරු මත පදනම් වූ තීරණ ගන්නා විට, ඔවුන්ට වයසත් සමග ගරුත්වයෙන් යුතුව ආර්ථික වශයෙන් බලසතු විය හැකි ය. සැමට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය තහවුරු කිරීම ශ්‍රී ලංකාව මෙම ජනවිකාස වෙනසට මුහුණ දීම සඳහා සූදානම් කිරීමේදී අත්‍යවශ්‍ය ය. එමගින් ජනතාවට සක්‍රිය හා සෞඛ්‍ය සම්පන්න ලෙස වියපත් වීමේ හැකියාව ලබා දෙයි. එමගින් සෞඛ්‍ය පද්ධතිය ද ශක්තිමත් කරනු ලැබේ.”













වසර 2030දී සැමට සෞඛ්‍යාවරණය යන දැක්ම සාක්ෂාත් කරගැනීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන්ට දිළිඳුකම වෙත තල්ලු කරදැමීමෙන් හෝ තම ජීවිත අවශ්‍යතා අත්හැරදැමීමට සිදුවීමෙන් තොරව තමන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර වෙත ප්‍රවේශය ලබා දිය යුතු ය. ශ්‍රී ලංකාව සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ජීවන චක්‍රය හා සම්බන්ධ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු ය. එය මුල්කාලීන ජීවිතයෙන් ආරම්භ වී ප්‍රජනන ශක්තිය ඇති කාලය හරහා මහලු වයස දක්වා සමාන අන්දමින් පැවතිය යුතු ය. ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයන්ගේ ශාරීරික හා භාවමය යහපැවැත්මට උපකාර සිදු කළ හැක්කේ එමගිනි.













සෑම වසරක ම ලෝවැසි සැමට සෞඛ්‍යාවරණය සඳහා වන ජාත්‍යන්තර දිනය විසින් සිහිපත් කරනු ලබන්නේ අපට අවශ්‍ය ලෝකය ගොඩනැගීම සඳහා සැමට සෞඛ්‍යය කෙතරම් වැදගත් ද යන්න යි. ජනතාව සෞඛ්‍යසම්පන්න වන විට, පවුල්වලට, ප්‍රජාවන්ට සහ ආර්ථිකයන්ට තම පූර්ණ හැකියාවන් වෙත ළඟා විය හැකි ය. ඒ වෙනුවෙන් අපට දැන් ශ්‍රී ලංකාවේ ශක්තිමත්, සාධාරණ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා සාමූහික ක්‍රියාකාරකම් අවශ්‍ය ය.






















https://www.facebook.com/WHOSriLanka/videos/470156786721845/
















සබැදි පුවත් 









ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ක්‍රියාකාරීත්වය ඇරඹේ