අලුත් බුද්ධාගම: බුදු සරණය වෙනුවට අබ සරණය

| සුනන්ද දේශප්‍රිය

ඥණසාර (හිමි) වැන්නෙකුට හිමි වචනයෙන් ආමන්තුණය කිරීම පවා මා දන්නා බුදු දහමට අනුව පාපයකි. මන්ද යත් ඔහුගේ පැවැත්ම ම බුදු දහමට විරුද්ධ නිසා ය.  එය තේරුම් ගැනීමට නම් කළ යුත්තේ අලුත්ගම සහ බේරුවල ගිනි තැබීමට  සංඥාව ලෙස ඥානසාර (හිමි) විසින් කරන ලද ක්‍රෝධ ජනක කතාවට සවන් දීම පමණි.

එසේ නමුත් එම කතාව ඇතුළත් විඩියෝව අපට තවත් පණිවිඩයක් දෙයි. එනම් ඥනසාර (හිමි)‍ෙග්  ක්‍රෝධ ජනක  මුර ගෑමට අවනතව ප්‍රචන්ඩ ක්‍රියාවන්ට පෙළඹිමට සූදානම් දහස් ගණනාවක්  සිටින බව ය. එක සිංහලයකුට හෝ මුස්ලිම් අයකු අත තැබුවහොත් අලුත්ගම සහ බේරුවල මුස්ලිම් ජනයාට අබ සරණයි කියා මරණ වරෙන්තුව කියවන විට ඊට ඔල්වරසන් දී ජය ඝෝෂා නගන දහස් ගණනාවක් ජනයා එම වීඩියෝවෙහි  දැක්ක හැකි ය. මෙම රණ ඝෝෂා නගන පිරිස් ගොඩ නැගුනේ රාජපක්ෂ පාලනය සහ බෞද්ධ අන්තවාදය අතර ඇති වූ අශුද්ධ සන්ධානය නිසා ය. එය හුදෙක් ඥණසාර (හිමි)ගේ නිර්මාණයක් නොවේ.

අබ සරණයි යනු කරුණාව පෙරදැරි කරගත් බුදු සරණ වෙනුවට වෛරයෙන් යුතුව නැති වෙන්නම දෙනවා යනු ය. එදා ඥනසාර (හිමි)  කීවේ මෙරට මුස්ලිම් ජනයාට බුද සරණ නොව අබ සරණ වෙන්නට  නෙලන බව මිස අන් කුමක්ද?

මෙයට මාස කිහිපයකට ඥානසාර(හිමි)ගේ අලුත් බුද්ධාගම කුමක් වැනිදැයි ඔහුගේම වචන උපුටා දක්වමින් පුරවැසි සටහනක් මම ලීවෙමි. එහි මා ලියුවේ ඥණසාර(හිමි)ගේ ම වචන ය. එදා ද එම වචන වලින් පිට වෙමින් තිබුනේ ධර්මය නොව වෛරය සහ ප්‍රචන්ඩත්වය යි.

එහි මෙසේ ලීවෙමි:

'' ඥානසාර දේශනාවන්හි එන කුණුහරුප අසන සදැහැතියන් සාදු කාර වෙනුවට නගන්නේ යුද ඝෝෂා ය. මේ යුද ඝෝෂා හුදෙක් මුස්ලිම්වරුන්ට එරෙහිව පමණක් එල්ල වන්නේ යැයි සිතා සිටි මුල් කාලය දැන් අවසන් ය. එය ගොඩ නැගුණේ උතුරු නැගෙනහිරින් බැහැර ජිවත් වන මුස්ලිම් ජනයා පමණක් නොව දෙමළ ජනයා ද බිය ගැන්වීමේ සහ මැඩලමේ අරමුනිනි. දැන් තත්ත්වය වෙනස් ය.

මේ වනාහී රාජපක්ෂ මර්දනයේ මූලෝපායේ තවත් බිය ජනක පියවරක් මිස ඥනසාර හීනයක් යැයි අප නොසිතිය යුතු ය.‍"

මෙම මූලෝපාය වැඩ කරන අන්දම පසුගිය සතියෙහි මෙම තීරුවෙහි සාකච්ජා කළ  දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ කලු ජූලියෙන් අපට දැක ගත හැකි විය. නැගෙනහිර අඥාපති ජෙනරල් ලාල් පෙරේරා වැඩ මුළුව කඩා කප්පල් කිරීමට යොදා ගත්තේ අන්තවාදී බෞද්ධ භික්ෂුන් පිරිසක විසින් කළ හැකිව තිබූ  ආක්‍රමණයකි. හමුදාවේ එම ක්‍රියාව සාධාරණ කරමින් අමාත්‍ය කෙහෙළිය බීබීසී සන්දේශයට කීවේ එවැනි අන්තවාදී ප්‍රහාරයකින් ජනමාධ්‍යවේදීන් ගලවා ගැනීම පිණිස මහ රුයෙහි පවා එම ජනමාධ්‍යවේදීන් හෝටලයෙන් එළියට දැමීමට සිදු වූ බවයි!.  අන්තවාදී භික්ෂු තර්ජනයක නාමයෙන්  හමුදා අඥාපති මර්දනය සහ ආන්ඩුවේ ඇමැති එය සාධාරණ කිරීම තුන් කොන් භයානක සන්ධානයට යස නිදසුනකි.

අලුත්ගම නගරයෙහි බොදු බල සේනාව පා ගමනක යෙදුණ හොත් මුස්ලිම් විරෝධී ක්‍රියා ඇති වනු ඇතැයි පොලිස්පතිට ම කියා තිබුණ ද  ඒ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු පියවරක් ගත්තේ නැත. එපමණක් නොව (1983 දී මෙන්) ඇදිරි නීතිය පණවා වර්ගවාදී මැරයන් ලිහා යැවුයේ ය.  හිටපු විදේශ ඇමැති මංගල සමරවීර අසා තිබූ පරිදි  සාමකාමී ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ ඇස් උගුල්ලන පොලීසියේ වතුර විදින බවුසරවල එදින අලුත්ගම දී වතුර තිබුණේ නැත! මුස්ලිම් තුවාලකරුවන් පිරිසක් රෝහලට ගෙන යමින් සිටිය දී ප්‍රහාරයකට ලක් වූ පා.ම. පාලිත තෙවරප්පෙරුමගේ ඇසින් දුටු සාක්ෂිය කියන්නේ බීමත් බෞද්ධ අන්තවාදී පිරිස් පොලු මුගුරු රැගෙන සිය රියදුරුට, මුස්ලිම් තුවාලකරැවන්ටසහ වාහනයට පහර දෙත්දී (ගොඨාභය රාපක්ෂගේ) වි‍ශේෂ පොලිස් කාර්‍ය  බලකාය අසළට වී බලාගෙන සිටි බවයි. අලුත්ගම ප්‍රහාරය සාධාරණ කරමින් ඊට හේතුව අගමැති කියා සිටියේ (අමූලික බොරුවක් බව දැන් හෙළිදරව් වී තිබෙන) බෞද්ධ භික්ෂුවකට පහර දීම ‍බව යි. ආන්ඩු පක්ෂය වන ශ්‍රීලනිප මෙම අලුත්ගම ප්‍රහාරය හෙළා දුටුවේ නැත. චිනයේ හෝ පකිස්ථනයේ හෝ සිදුවන කුඩා පරිමාණ මිනිස් ඝාතනවලදී පවා හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරන  රාජපක්ෂ ආන්ඩුව මෙම ප්‍රහාරයන් නිල වශයෙන් හෙළා දැක්කේ නැත.

පසුගිය සතියෙහි ස්විස්ටර්ලන්තයේ අගනුවර වන බර්න්හි  දී  මානව හිමිකම් ආරක්ෂකයින් සම්බන්ධ ස්විස් ආන්ඩුවේ පිළිවෙත පිළිබඳ සාකච්ජා සභාවක් පැවැත්වුනි. එම සාකච්ජාවට දායක වෙමින්, වත්මන් ශ්‍රී ලංකාවේ දක්නට ඇති භයානක වර්ධනයක් නම් රණකාමී සහ ප්‍රචන්ඩ බෞද්ධ අන්තවාදී බලවේග, රාජපක්ෂ ආන්ඩුව සහ රාජ්‍යය (ආරක්ෂක හමුදා) අතර ඇති වී තිබෙන ඒකබද්ධතාවය බව මම කියා සිටියෙමි. ඒ අලුත්ගම දී මෙකී අශුද්ධ සන්ධානය වැඩට බැසීමට තෙදිනකට ‍පෙර ය.

මෙම බලවේග තුන මෙම ඒකාබද්ධවීම කරා පැමිණ ඇත්තේ තනි තනිවය. වෙනත් වචනයෙන්  කියන්නේ නම් ආක්ෂක හමුදා සහ පොලීසිය විසින් මෙකී අන්තවාදී කල්ලිවලට ලබා දෙන සහායට හේතුව රාජපක්ෂ ආන්ඩුව ම නොවේ. දෙමළ ප්‍රදේශයන්හි නිරනුකම්පික ජන ඝාතක යුද්ධයක් කර ගෙන යනු පිණිස යුද සමයෙහි ආරක්ෂක හමුදා සහ පොලීසිය  භාජනය කරන ලද උග්‍ර ජාතිකවාදී දෘෂ්ඨිවාදය යි. එම මතවාදය විසින් මෙරට යුද හමුදා සහ පොලීසිය සුළුතර විරෝධි මහජාතියේ උපාංගයක් බවට පත් කරන ලදී. අද එම දෘෂ්ඨිවාදයේ ප්‍රකාශක ඥණසාර (හිමි) ය. කලින් එතැන අල්ලා ගෙන සිටියේ නලින් ද සිල්වා( චින්තක පර්ශදය), චම්පික රණවක (හෙළ උරුමය), ගුණදාස අමරසේකර (විමල් වීරවංශ කන්ඩායම) යනාදීන් ය. 

ඥණසාර (හිමි) පශ්චාත් යුද සමයේ සුලුතර ජනයා සහ සාම සහ මානව හිමිකම් ලැදි විකල්ප සිවිල් සමාජය මැඩලීම පිණිස ‍නිර්මානය වූ සහ කරන ලද  යුදධ අවතාරය යි. ඔහුගේ වචන ද හැසිරීම ද බිය ජනනය කරයි. වත්මන් ශ්‍රී ලංකාවේ ක්‍රෝධ දේශපාලනයේ උච්චතම වාග් ප්‍රහාරකයා ඥනසාර (හිමි) ය.

අප තවමත් හරියට නොදන්නා සංඛ්‍යාවක් මුස්ලිම්වැසියන්ට මරු කැදවමින් සියයකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් සහ දැවැන්ත දේපල විනාශයක් කරමින් අලුත්ගම සහ බේරුවල වර්ගවාදී ප්‍රචන්ඩත්වයක් ඇති කරන ලද්දේ එවැනි ක්‍රෝධ ජනක  වචන සහ හැසිරීම් විසින් බවට අද විවාදයක් නැත.

දැන් සිදුව ඇති වෙනස බලන්න.

මුස්ලිම් කොන්ග්‍රසය පතෝලයක් බවට පත් කළ එහි නායක රවුප් හකීම් දැන් මහ කොමසාරිස් නවි පිල්ලේ සමඟ තමා එකඟ වන බවත් ඇය විසින් පිහිටුවනු ලබන ශ්‍රී ලංකාව සම්බන්ධ අන්තර් ජාතික පරීක්ෂණ කන්ඩායම ශ්‍රී ලංකාවට පැමිණය යුතු යැයි ද ප්‍රකාශ කරයි.  අලුත්ගම සහ බේරුවල ප්‍රහාරයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් අවශ්‍ය යැයි ද රවුප් හකීම් ප්‍රංශ පුවත් සේවයට කියා තිබුණි. ශ්‍රී ලංකාවේ සිටින හොදම රාජ්‍ය පාලකයා මහින්ද රාජපක්ෂ මිස අන් කවරෙක්වත් නොවේ යැයි කී දේශපාලන විචාරකයෝ ද රාජපක්ෂ පෙරළා දැමිය හැකි මං යෝජනා කරති. 

ශ්‍රී ලංකාවේ මෙම යතාර්ථය තේරැම් ගැනීමට මුස්ලිම් ජනයා කොතරම් වන්දියක් ගෙවිය යුතු වීද? 

මෙවැනි භයානක වර්ගවාදී ප්‍රහාරයක් ගිනි දලු මෙන් වර්ධනය වෙමින් එනු නොදුටු පුරවැසියකු ශ්‍රී ලංකාවේ සිටිය හැකි ද? 

එවැනි ප්‍රහාරයක නිරතවීම ජාතික යුතුකමක් ලෙසද එවැනි ප්‍රහාරයන් විසින් කිසිදු  වරදකට හසු නොවනු ඇති බවට ද ඥනසාර අනුගාමිකයින්ට එත්තු ගැන්වෙන දේශපාලනය පරිසරයක් මෙරට ගොඩ නැගී තිබූ බව දැකිය නොහැකි දේශපාලන විචාරකයකු, ලේඛකයකු සිටිය හැකි ද? 

මෙවැනි භයංකාර තත්ත්වයක් ඇතිවන්නට නියමිත බව නොපෙනිය  හැකිව තිබුණේ දේශපාලන අන්ධයකුට පමණි. එසේ නමුත් අප එවැනි තත්ත්වයක් ඇතිවනු වැළැක්වීම පිණිස කුමක් කළෙමු ද?

විශේෂයෙන්ම මෙරට මුස්ලිම් දේශපාලන නායකත්වය, ( එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලන නායකයින් කිහිප දෙනෙකු හැරුණ විට නැගී එන මුස්ලිම් විරෝධි අන්තවාදී ජාතිවාදය සම්බන්ධයෙන් කළේ කුමක් ද?

ඊළඟ අබ සරණ ප්‍රහාරයට පෙර මදක් මේ ගැන කල්පනා කළොත් නරක ද?