දකුණේ යුද ජය උතුරේ යුද බිය : බෙදී ගිය දේශයක ප්‍රතිබිම්භය


| සුනන්ද දේශප්‍රිය

යුද්ධය නිමාවී පස් වසරක් ගත විය.. දකුණෙහි අසන්නට දකින්නට ලැබුනේ යුද ජයග්‍රහණයේ සතුට ය. සන්නාහ සන්නද්ධ ස්වරනාදය.. උතුරෙහි දකින්නට අසන්නට ලැබුනේ බියගන්වන ලද ජනතාවකගේ ඉකි බිඳුම්, සුසුම් සහ කේන්තියයි.

අප කැමැති වුවත් නැතත් මේ වනාහී යුද්ධයෙන් පස් වසරකට පසු බෙදී යමින් බවතින ශ්‍රී ලංකාවේ යථාර්ථය යි.

සැබෑ සංහිදියාවක් ඇති කරනු පිණිස යුද්ධයෙන් විපත‍ට පත් සියළු දෙනා සිහි කැරෙන එක් ජාතික දිනයක් යොදා ගන්නැයි යනුවෙන් උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද මාහැඟි නිර්දේශය අද ඇත්තේ කුණු කූඩුවේ ය.

මැයි 18 දිනය ශ්‍රි ලංකාවේ යුද විජයග්‍රහණයේ දිනය ලෙස රාජපක්ෂ ආන්ඩුව විසින් නම් කර තිබේ.  එදින ආන්ඩුව යුද හමුදා සංදර්ශණයක් පවත්වා වාර්ශික යුද ජයපානෝත්සව දිනය සමරයි.. එදින අනේක වර්ණයෙන් සැරසී සීරුවට හා මහ හඩින් පා තැබූ පාබල හමුදා  සේනාංක මහ පොළව දෙදරුම් කවති.. බිය ජනන ලතාවට හඹා ගිය යුද ගුවන් යානා ගගන තලය වෙව්ලුම් කවත්. මහ බලැති ගිනි බිදින  යුද ටැංකි සිය තුවක්කු කදින් කතා කරමින් මේ බලව් කියන්නාක් සේ  ඇදී එති.. හරියට නිදහස් දිනයක මෙන් ය.

යුද රථයක නැගී මෙවර මාතර පැවැති ජයපානෝත්සව උළෙලෙහි යුද ආචාර සමාචාර පිළිගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ "අපේ හමුදා පෙන්වන්නේ අපට කළ හැකි සටනක තරමය" යැයි මාතර සිට රටටද ලොවට ද ඇසෙන සේ කීවේ ය‍. " "කවරකු කීවද මෙම ජය සැමැරීම අප නතර නොකරමු" යැයි ද කීවේ ය.  

මැයි 19 දින කොළඹ බත්තරමුල්ලේ යුද විරු ස්මාරකය අබියස තවත් උළෙලක් පවත් වන ලදී. එහි දී මිය ගිය සොල්දාදුවන්ගේ ඥතීනට ද මුල් තැනක් ලැබී තිබූ අතර මිය ගිය සිය ඥාතීන් වෙනුවෙන් සාමූහික පුෂ්පෝහාර දැක්වීමට ද සාමූහික ශෝක වීමට ද අවස්ථාව සළසා තිබුණි.

මාතරින් කිලෝ මීටර 400යකට එපිටින් යාපනයේ පැවැති දසුන ඊට හාත්පසින්ම වෙනස් එකක් විය. යුද්ධ මරණ සමරන කිසිදු ප්‍රසිද්ධ ක්‍රියාවකට ඉඩ නොදෙන බවට යුද හමුදා ප්‍රධානීන් විසින් කරන ලද නියෝගය අනුව පාලුවට ගිය වීදි ගිනි අවියෙන් සන්නද්ධ වූ යුද හමුදා පිරිස් විසින් අරක්ගෙන තිබුණි.

දෙමළ ජනයාගේ  දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද ලොව පුරා විසිරී සිටින මිලියනයක් තරම් වන ශ්‍රී ලාංකික දෙමළ ජනයා ද ඉන්දියාවෙහි තමිල් නාඩුවෙහි දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ද මැයි 18වන දිනය අනුස්මරණ දිනය ලෙස නම් කර තිබේ‍.

දකුණෙහි යුද විජයග්‍රහණයේ  දිනය සැමරෙන විට උතුරෙහි යුද මරණ සැමරුමකි. ‍මැයි මාසයේ මුල සිටම ආන්ඩුව එක් අතෙකට ද දෙමළ ජනයාගේ සංවිධාන අනෙක් අතට ද මැයි 18 සැමැරීමට සූදානම් වූහ. එසේ නමුත් ශ්‍රී ලංකාන්ඩුව දෙමළ පාර්ශවයට එවැනි අනුස්මරණයකට අවශ්‍යතාවයක් නැතැයි කියා තහනම් නියෝග පණවා රාජ්‍ය ආරක්ෂක හමුදා පාරට බැස්ස වූහ.

ශිෂ්‍ය පිරිස් සාමුහිකව එම දිනය සැමරීමට යොදා තිබූ සැළසුම් මර්දනය කිරීම පිණිස යාපන සහ මඩකළපු විශ්ව විද්‍යල වසා දමන ලදී. යාපන විශ්ව විද්‍යාලයේ ක්‍රියාශිලී ආචාර්යවරුනට සහ ශිෂ්‍ය නායකයින්ට මරණ තර්ජන ඇතුළත් දැන්වීම් විශව විද්‍යලය තුළ බෙදා හැර තිබුණි. යාපන අඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා යාපන සරසවියේ පීඨාධිපති අතුළු ආචාරයවරුන් සහ ශිෂ්‍ය නියකයින් අමතා කියා සිටියේ කවර හෝ අනුස්මරණ උත්සවයක් පැවැත්වුවහොත් එය ත්‍රස්තවාදයට සහාය දැක්වීමක් ලෙස සළකන බවයි. අනතුරුව එම අනතුරු හැඟවීම සැබෑ කරමින්  20 දින සරසවිය යළි විවෘත කිරීමෙන් පසු අනුස්මරණය පිණිස සූදානම් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරු කොළඹ රහස් පොලීසියට කැඳවූහ.  

18 -20 යන දිනයන්හි ලෙස කිතුනු දේවස්ථාන සහ හින්දු කොවිල් හි ගන්ඨා හෝ සීනු නාද නොකරන ලෙස යාපනයේ දී යුද හමුදාව නීති පැනවූහ. පූජනීය කීරමලෙයි හින්දු කෝවිලට යාම දෙමළ ජනයාට තහනම් කළ හමුදාව සංචාරකයින්ට පමණක් ඊට ඇතුල්විය හැකි බව පැවසීය. අතුරුදහන්වූ සිය සැමියා වෙනුවෙන් පූජාවක් පැවැත්වීමට එහි යාමට පැමිණි පළාත් සභා මංත්‍රීනි ආන්නදි සසිධරන්ට නොසුරුප් වචනයෙන් බැන වැදුණහ.

යාපනයේ කයිතඩි හි උතුරු පළාත් සභා කාර්යාලයෙහි සංවිධානය කර තිබූ අනුස්මරණ දින රුස්වීමක් වැළැක්වීම පිණිස පොලීසිය එහි දොරකාවල් මුර කපොලු බවට පත් කළහ. අනතුරුව ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත් වූ කුඩා අනුස්මරණ අවස්ථාවෙහි දල්වන ලද පහන පොලීසිය විසින් පොඩි කර දමා පූෂ්පෝහාර මල් පයට පාගා දමන වීඩියෝ පටයක්  අන්තර් ජාලයේ නැරඹිය හැකි ය. එම අවස්ථාවට නායකත්වය දුන් දෙමළ දේශපාලන නායකයා පත් වූ අසරණ තත්ත්වය ද එහිම පෙනේ.

යාපනයේ හින්දු කොවිල් අතර මුල් තැනක් ගන්නා නල්ලූර් කොවිලෙහි අනුස්මරණ පූජාවකට එක් වූ දේශපාලන සහ සිවිල් පිරිසකට බැණ වදිමින් පූජාවට ගෙන ආ පොල් බලයෙන් පැහැරගෙන යනු දැක්වෙන තවත් එවැනි වීඩියෝවක් තිබේ.  අනුස්මරණ පූජාව අවස්ථාවෙහි  කෝවිල තුලට යාමට සූදානම්න් සිටින නිල කලිසමින් සැරසී යුද හමුදා පිරිසක් කමීස නැතිව සිටිනු ද එහි දැක්වේ.  හින්දු භක්තික ආගමික පූජාව අවස්ථාවක යුද හමුදා පිරිස් එහි ගියේ මන්ද යන්න පැහැදිළි ය.

18 වන දින උදෑසන සිට යාපනයේ වැඩිම අලෙවියක් සහිත උදයන් පුවත් පත් කාර්යාලය  යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු පමණ ඇතුළත් වූ බළ ඇනියක් විසින්  වටලන ලදී. කාර්යාලායට යාහැකි මාර්ග දෙකම වසා  මුර කපොලු දැමූහ.  උදයන් කරා පැමිණි සියළු දෙනාම හමුදා ප්‍රශ්ණ කිරීම්වලට ලක් විය.  යාලනයෙ ්පළ කැනෙ යාල් තිනක්කූරල් කාර්යාලය වටා ද යුද හමුදා මුර කපොලු පිහිටු වන ලදී.

උතුරු පළාත් මැතිවරණයේ දී  දෙමළ ජනයාගේ සියයට 70ක කැමැත්ත දිනා ගත් දෙමළ ජාතික සන්ධානයේ යපනය සහ කිලිනොච්චි කාර්යාල ද මුහුණ දුන්නේ එම සන්තැසියටම ය. හමුදාව එම කාර්යාල වටා මුර කපොලු දැමූහ. තවත් දෙමළ දේශපාලන පක්ෂයක් වන දෙමළ ජාතික මහජන පෙරමුනෙහි යාපන කාර්යාලය ද හමුදාව විසින් වටලන ලදී.

මියගිය සිය ජනයා ‍අනුස්මරණය කරමින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ ව්‍යාපාරයන්ට නොයන ලෙස යාපන රෝහලේ රුධිර ඒකකයට අණකළ පොලීසිය තනි තනි පුද්ගලයින් ලෙස හෝ පැමිණ ලේ පර්ත්‍යාග කරනු ඇතැයි බියෙන් රුධිර ඒකකය වසා දැමූහ. එවැනි එක් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණේ හමුදා වැටලීමට ලක් වූ උදයන් පුවත්පත් කාර්යාලයෙහි ය‍.

අනතුරු හැඟවීම් මෙන්ම තර්ජන ගර්ජන ද නොසළකා උතුරු නැගෙනහිර සෑම ප්‍රධාන නගරයකම පාහේ කුඩාවට හෝ අනුස්මරණ උත්සව පැවැතුණි. දේශපාලන සහ ආගමික නායකයෝ ඒවාහි පෙරමුණ ගත්හ. මෙම සෑම අවස්ථාවකදී ම  යුද හා පොලිස් බුද්ධි අංශ ජායාරූප ගනිමින්  සටහන් ගත් බව ද වාර්තා වී තිබේ.

මැයි 18 දින කේන්ද්‍ර ගත කර ගනිමින් විදේශගත දෙමළ ජනයා විසින්  විශාල අනුස්මරණ රුස්වීම් ගණනාවක් ම ‍ලොව පුරා පවත්වන ලදී. දකුණු ඉන්දියාවෙහි ද විශාල අනුස්මණ උත්සවයක් පැවැත් වුණි.  මෙම අනුස්මරණ උත්සව පිළිබඳ ජායාරූපමය වාර්තා දෙමළ අන්තර් ජාල පුවත් අඩවි පුරා පළ වී  තිබේ. එමෙන්ම අනුස්මරණ දිනයෙහි ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනයා මුහුණ දුන් මර්දනකාරී තත්ත්වය ද දැන් ප්‍රචලිත ය.

තවත් එක් වැදගත් නිරීක්ෂණයක් තිබේ. මැයි 18 දින අනුස්මරණ දිනය ලෙස සැමැරීමේ මෙරට දෙමළ ජනයාගේ අධිශ්ඨානය වසරින් වසර ඉහළ ගොස් ඇති බවයි.  ජල බදුනක ගිල්වන සුළං පිරි බෝලයක් අතහැරී විගස දිය කළඹාගෙන මතුපිටට එන්නා සේ සිය ජනයා අනුස්මරණය කිරීමේ දෙමළ ජනයාගේ අධිශ්ඨානය පෙරටම ගමන් කරන බවයි. එය ‍දැන් හුදෙක් අනුස්මරණයක් පමණක් නොව දේශපාලන ප්‍රකාශනයක් ද බවට පත්ව තිබේ.

මෙරට දෙමළ ජනයා යුද්දයෙන් මියගිය සිය ජනයා අනුස්මරණය කිරීම වැළැක්වීමට  යුද්ධාවසානයෙන් පස්වසරකට පසුත් පිඩාකාරී යුද බලය යෙදවීමට සිදු වී නම් තව කොතෙක් කල් එම මර්දනය ගෙන යෑමට සිදුවනු ඇත් ද? එම ජනයාගේ නැගී එන දේශපාලන අභිලාශයන් අභියස මෙම මර්දනය තව තවත් ඉහළ නැංවීමට මෙම මාර්ගයේ ම ගමන් කරන්නේ නම් ශ්‍රී ලංකා රාජ්‍යයට සිදු නොවනු ඇත් ද?

යුද්ධාවසානයේ පස්වන වසර අප පසු කරන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික බෙදීම අවම කරමින් නොවේ. ඉහළ නවමිනි‍. එය හොඳක් නොව නරකකි. පසුගිය 18 දා අප මුහුන දුන් යථාර්තය එයයි. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් කරා ගමන් කිරිමට නම්  වත්මන් දේශපාලන මාවතෙහි තිරනාත්මක වෙනසක් ඇති කළ යුතු බවට මැයි 18 දා අප දුටු දකුනේ යුද ජය සහ උතුරේ යුද බිය පුබල සාක්ෂියක් සපයයි.