ලංකාවේ යුධ අපරාධ ගැන පරීක්ෂණයේ ප්‍රධානියා කොෆි අන්නන් ?

ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සහ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් පත් කිරීමට නියමිත විශේෂ කමිටුවේ ප්‍රධානියා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆි අනන් මහතා නම් කිරීමට නියමිතය.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හිටපු මහ ලේකම්වරයාට ඇති පිළිගැනීම මීට හේතු වී ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික
විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල උපක්‍රමයක් බවයි.

කොෆි අනන් වැනි නොබෙල් සාම ත්‍යාගලාභියකු මේ සඳහා පත් කළහොත් ශ්‍රී ලංකා ආණ්ඩුවට ඔහුට මෙරටට ඒමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ඔහුට මේ රටේ යන - එන ස්ථාන සහ හමුවන පුද්ගලයන් සම්බන්ධයෙන් සීමා පැනවිය නොහැකි වන බවත් අවධාරණය කරන අදාළ විශේෂඥයෝ කොෆි අනන්ට එරෙහිව එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් එය ලංකාවට පක්ෂපාතී රටවල පවා දැඩි විවේචනයට හේතුවනු ඇති බවත් අවධාරණය කරති.

මීට පෙර 2011දී මෙලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් තමන්ට වාර්තාවක් ලබාගැනීම සඳහා පත් කළ දරුස්මාන් කමිටුවට මෙරටට ඒමට වීසා ලබා නොදීමට ආණ්ඩුව කටයුතු කළ අතර, ඊට හේතුව ලෙස ආණ්ඩුව පෙන්වා දුන්නේ ඉන්දුනීසියාවේ නීතිඥවරයකු ලෙස කටයුතු කරන කාලයේ මර්සුකී දරුස්මාන් පක්ෂපාතී ලෙස කටයුතු කර ඇති නිසා ඔහු විශ්වාස කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් කොෆි අනන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හත්වැනි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ 1997 ජනවාරි 01 වැනිදා සිට 2006 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයේදී ඔහුගේ ක්‍රියාකාරිත්වය අදටත් ලොව පුරා ඇගැයීමට ලක්වන අතර ඊට පෙර දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සමඟ එක්ව එරට කළු ජාතීන් වෙනුවෙන් කළ සේවයද අදටත් කතාබහට ලක් වෙයි.

2012 වසරේදී කොෆි අනන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස අරාබි ලීගය සමඟ එක්ව සිරියා ප්‍රශ්නය විසඳීමට මැදිහත් වූ අතර, සිරියාවේ අර්බුදය විසඳීමට ඔහු කළ මෙහෙවරද එකල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇගැයීමට ලක් කෙරිණි.

මෙලෙස රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකය පුරා පිළිගන්නා පුද්ගලයකුට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළහොත් එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් පවා තරහ කර ගැනීමක් වනු ඇතැයි රාජ්‍යතාන්ත්‍රික විශේෂඥයෝ අනාවැකි පළ කරති.

පසුගිය මාර්තු මාසයේදී ජිනීවාහි පැවැති මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී මේ කමිටුව පිහිටුවීමට තීරණය කෙරුණු අතර, එය ඇමෙරිකාව ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනා වැඩි ඡන්දයෙන් සම්මත වීමේ ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව එහිදී අදාළ කමිටුව පිහිටුවීම ප්‍රතික්ෂේප කෙළේය.