සෝභිත, ඛොමේණි කියවීම හෙවත් පොදු අපෙක්ෂකයාගේ ෆැන්ටසිය

| නිලන්ත ඉලංගමුව

පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින විවාදය දිනෙන දින උණුසුම් වෙමින් තිබේ. රටේ ප්‍රභල විවාදයක් ගොඩ නැගිය යුතු මොහොතක ඊට මාධ්‍යයේ අවධානය යොමු වී තිබීම වාඩාත් වැදගත් සහ සතුටු විය හැකි  මට්ටමින් සැලකිය හැකි කාරණයකි. මෙම විවාදය අර්ථ සම්පන්න කිරීම මීට සහභාගී වන සියලු දෙනාගේම පූර්ව වගකීම වුවද තම තමන්ගේ මානසික ප්‍රමෝදය සංතෘප්ත කර ගැනීම සඳහා තමාගේ ලෝකයේ සිටින වීරයා පොදු අපේක්ෂකයා බවට පත් කොට “ජෝකර්” කෙනෙකුට වඩා එහා ගිය අයෙකු වීමේ උදාන  භාග්‍යද ඔබට ලැබී තිබේ. උතුරේ ප්‍රභාකරන් නමැති සංසිද්ධිය විසින් වඩාත් උපායශීලිව නිර්මාණය කොට ආකල්පමය ගත කරනු ලැබූ රාමුවේ දීර්ඝ කාලයක් ජීවත් වීමට සිදුවීමේ පශ්චාත් ඛේදවාචකය වන්නේ මෙයයි. කෙසේ වෙතත්, තේරීම ඔබ සතුය. මන්ද අයිතිය සහ ඉඩ ( අවකාශය) ඔබට තිබේ.  නමුත් පද්ධතිය ලිහා බැලීම සහ අර්ථවත් පොදු අපේක්ෂකයෙක්  නිර්මාණය කිරීම මෙන්ම ඔහුට බුද්ධිමය වශයෙන් සහයෝගය දැක්විය හැකි දේශපාලන කෞශල්‍ය ඇති බහුපාර්ශවික දෙවැනිපෙළ නායකත්ව මණ්ඩලයක් නිර්මාණය කිරීම අතිශය සංකීර්ණ නමුත් ඉතා කෙටි කාලයක් තුළ වඩාත් සුක්ෂමව සිදු කළ යුතුව ඇති සාමුහික වගකීමක්ද වේ. 


පොදු අපේක්ෂකයා සම්බන්ධ වූ විවාදය කෙතරම් පුපුල් වී ඇත්ද කියතහොත් එය මේ වන විට ඉරාණයේ 1979 දී සිදු වූ විප්ලවය පිටුපස සිටි සත්‍ය රූපයට අනුව අන්තවාදී වන නමුත් පිටත හැඩරුව මඟින් හුදෙක් ආගමික මූලයන් මූලික කොට ගනිමින් අධ්‍යාත්මික තත්වයක් ලබා දුන් අයතුල්ලා රුහුල්ලාහ් ඛොමේණි දක්වා ගමන් කොට ඇත. බැලූ  බැල්මට ආකර්ශනීය ගැලපීමකි. එසේම, ඉතිහාසය නොදන්නා අයෙකුට සහ කරුණු නොදැන තම මානසික වින්දනය සඳහා දේශපාලන උණ විසින් උග්‍ර ඇමෙරිකානු විරෝධයක් ආරූඪ කරගත් අයෙකුට සිත් ඇදගන්නා ලෝක ඉතිහාසයේ පිටුවක් ලංකාවේ වත්මන් භූමිකාව මත ඇලවීමකි. මෙය මෙතනින් නොනැවතී තව දුරටත් ගමන් කරමින් මහද්වීප තරණය කරනු ඇත. උතුර දකුණ මෙන්ම දිවයිනේ සෑම කොනක්ම යාකරනු ඇත. එය එසේම විය යුතුමය.
  
පුද්ගල  අත්දැකීම සහ එම අත්දැකීම් ඔස්සේ ඔහු හෝ ඇය සතුවන පරිකල්පනය කිරීමේ හැකියාව තම සිතුව්ලි සඳහා මුලික අඩිතාලම වේ. එය න්‍යාය බිහිවීමේ මුල් බීජයද වේ. ඉඳ හිට පෙනෙන විකාර රූපී සිහිනයකින් කරන බලපෑම මඟින් එම පෙළගැස්මේ ධුරාවලීය හෝ හැඩය  වෙනස්කොට ඔබට සාස්තරකාරයකු හෝ අනාගත වක්තෘවරයෙකු වීමේ භාගයද උදා වේ. එවැනි සිහින සැබෑ නින්දකදී දුටු  අයවලුන් මෙන්ම හොර නින්දක් ගෙන එවැනි සිහින මවා එය අනෙකා ඉදිරියේ අලංකාරව ගෙතීමෙන් තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකරගත් අයවලුන්ද එමටය. දවල් සිහිනයකදී මාක්ස් මෙන්ම ලෙනින් ප්‍රාදූර්භූත වීම  නිසා පිරිත් නූල් බඳින සහ  තම කේන්ද්‍රය අනුව ශුභ හෝරාවෙන් විප්ලව ආරම්භ කළ , “ලාංකික ලංකට් මාක්ස්වාදීන්” බිහි වූ අයුරු අපි ඉතිහාසයේ අත්වින්දෙමු. මෙය ඇල්කොහොල් නොමැතිව බීර සෙවීම, සීනි නොමැතිව කේක් සෙවීම, පිටි නොමැතිව පාන් සෙවීම, චීස් නොමැතිව පීට්සා සෙවීම, වින්දනය නොමැතිව ලිංගිකත්වය සෙවීම, ස්පර්ශය නොමැතිව ආදරය සෙවීම, නමැති එකක් අනෙකේ පැවැත්මට හේතුවන මුත් යතාර්ථය හමුවේ එකක් අනෙකින් වියුක්ත කොට ඇති එහෙත් එය එසේ වී ඇති බව පිළිගැනීමට අකමැති මුල් අවුලේ ප්‍රකාශනයකි.

සෝභිත හිමි, ඉරාණයේ  අයතුල්ලා රුහුල්ලාහ් ඛොමේණි 1979 දී ඉරාණයේ පහ්ලවි රජ පෙළපතේ මොහොමඩ් රිසා ශාහ් එලවා දැමීම සඳහා රටේ විසිරී පැවති බලවේග ඒකරාශී කළ ආකාරයේ වික්‍රමයක් කිරීමට හැකියාව මෙන්ම ඉඩ ඇති එකම විකල්පය බවට වූ අදහස් මතුවෙමින් පවතී. එය, බැලූ බැල්මට රසවත්ය.  

1979 සිදුවූ විප්ලවය සහ එමඟින් ඇතිකළ දේශපාලන වෙනස්කම් ගැන සිතා ඉරාණය වූ කලී 1979 විප්ලවය සහ ඉන්පසු තත්වය පමණක් යැයි සිතා තම තර්කය ගෙන ඒමේදී මෙය සාර්ථක එකක් යැයි බොහෝ දෙනෙකු විස්වාශ කරනු ඇත. නමුත් ලංකාවේ දේශපාලනය කියවීමේදී ඊට එහා ගිය වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතර එය තේරුම් ගැනීම සඳහා, විප්ලවයෙන් පසු ඇති කළ  ඉරාණ දේශපාලනය විසින් ලබාදුන් ණය ආධාර මත නවීකරණය කරනු ලැබූ සපුගස්කන්දේ තෙල්පිරිපහදුවත්, 1979 ට පෙර එනම් 1921 සිට 1979 දක්වා වූ කාලයත් ගෙන විමසීම අතිශය වැදගත් වේ. සපුගස්කන්දේ තෙල්පිරිපහදුව දෙවැනි වන්නේ නොරොච්චෝලේ සහ කෙරවලපිටියේ ව්‍යාපෘති වලට  වන අතර විප්ලවයෙන් පසු අන්තවාදය විසින් නූතන ධනවාදී වෙළඳපොලේ කුණු කරනු ලැබූ ඉරාණය ඉතා සරලව තේරුම් ගැනීමට එය පිටිවහලක් වේ. ඛොමේණි වූ කලී නායකයෙකි, එසේම ඛොමේණි වූ කලී සමාජ කාරණා මුලික කොට ගනිමින් පැරණි ආගමික වංශකතාව කෙසේ හෝ රැකගැනීම සඳහා බිහි වූ නායකයෙකි. ඔහු මහා පුද්ගලයෙකු බවට පත් වූයේ ඔහු හා සමානව මහා පුරුෂයින් එරට බිහි වූ නිසාය. විශේෂයෙන්ම අලි ෂරියාටි මෙන්ම මොටෙසා මෝටාහරී ආදී ප්‍රභල නායකත්ව ගතිගුණ මෙන්ම බුද්ධිමය කෞශල්‍යයක් ඇති වූ අයවලුන් ඛොමේණි හා සමානතරව සිටගත් පුද්ගලයින් වූහ. ශාහ් පරිපාලනය, ආණ්ඩුකරණය ආගමෙන් වියුක්ත කොට එය දේශාපලන න්‍යාය සහ අමෙරිකානු සහ යුරෝපානු වෙළඳපොල  සමඟ ගමන් කරවීමට තීරණය කිරීම සහ කාන්තාව දේශපාලනයට ගෙන ඒම එරට බුද්ධිමය සංවාදයක හැරවුම් ලක්ෂයක් විය.

විශේෂයෙන් ඛොමේණි තනි බලවතෙකු ලෙස ඉදිරියට පැමිණීම සඳහා හේතු වූ කාරණා රැසක් තිබුණි. ෂරියාටි එංගලනතයෙදී මිය යෑම ඉන් ප්‍රධාන එකක් විය. විශේෂයෙන් ෂරියාටි වූ කලී කුරාණය පවතින සමාජ භූමිකාව සහ අවශ්‍යතාවයන් සමඟ සමාන්තරව ගෙන යාමට යන්ත දැරූ එක්තරා ආකාරයක ප්‍රතිසංස්කරණවාදියෙකි. ඉස්ලාම් ආගමට නව ආකාරයක සමාජ විද්‍යාත්මක කියවීමක් අවශ්‍ය බවත් එය ඉස්ලාමය පදනම් වී ඇති පාරභෞතිකයෙන් ගලවා ගැනීමේ මාර්ගය බවත් ඔහු ලිව්වේය. පුද්ගලයා සතු දැනුම ඔහුගේ හෝ ඇයගේ කටුයුතු වල වගකීම තීරණය කරණ සාධකය ලෙස ගෙන හැර පාමින් රටේ නවාකාරයක සංවාදයක් ඇති කළේය. නමුත් ඉතාමත් කෙටි කාලයකින් වසර ගණනකට සිරගත කරන ඔහු 1977 දී රටින් පිටුවහල් කරනු ලැබීය. ඉන් පසු එංගලන්තයේදී මිය යාමට හේතුව, සිරභාරයේ සිටියදී ඔහුට වදහිංසා  සිදුකිරීම යැයි පැවසේ.
එසේම මෝටාහරී තම සංවාදය ගොඩ නගනු ලැබුවේ බටහිර ජීවන ක්‍රමයට අනුගත විය යුතු බවට රටේ ගොඩ නැගුනු බුද්ධිමය සංවාදයට ප්‍රතිචාර ලබා දීම මුලික කොට ගනිමිනි.  එකල සිදු වූ සමාජ වෙනස් වීම ගැන සැලකීමේදී වඩාත් වැදගත් වන්නේ ඛොමේණි වැනි තවත් මාහා පුරුෂයින් එහි පිටුපස සිටි බව සහ ඔවුන්ගේ අවංක දායකත්වය රටට ලැබුණු බවය. 

නමුත් බොහෝ දෙනෙකු විප්ලවයෙන් පසු ඉස්ලාමීය ආගමේ උලමාවරුන්ගේ ගොදුරු බවට නිරායාසයෙන්ම තල්ලු වූහ. මේ නිසා විප්ලවීය ගුණාංග හීන වී ගිය අතර එය බොහෝ දුරට ඉස්ලාම් ආගමේ පැවැත්ම සම්බන්ධයෙන් වූ ගැටුමකට වඩා උලමාවරුන්ගේ අන්තවාදී පෞද්ගලික අසාවක් බවට තල්ලු විය. මෙය ආවරණය කරනු ලැබුවේ මතුපිටින් පෙන්වනු ලැබූ බටහිර විරෝධය සහ සෝවියට් මිතුරුකම මඟිනි. 

නමුත් ලංකාවේ පවතින්නේ ඒ හා සමාන කළ හැකි මට්ටමේ අර්බුධයක් නොවන අතර ලංකාව පත් වී ඇත්තේ අතිශය ඛේදනීය තත්ත්වයකටය. රාජපක්ෂට සාපේක්ෂව ශාහ් වූ කලී ගුණාකාර කිහිපයකින් වටිනා පුද්ගලයෙකි. රාජපක්ෂ වූ කලී මහා භයානක අදේශපාලනික සත්වයෙකි. ලෝකයේ සෑම රටකම පාහේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු විය. එම රටවල් යුද්ධ ගණනාවකට මුහුණ දුන්හ. එසේම ආඥාදායකයින් බිහිකොට ඔවුහු එක රැයෙන් පන්නා දැමූහ. ඒ සඳහා මහජනතාව මෙන්ම එම රටවල දේශාපලන කණ්ඩායම් අවංකව දීර්ඝ කාලීන කටයුතු වල නිරත වූහ. 

සෝභිත හිමි, ඛොමේණි කියවිය යුත්තේද නැද්ද යන්න උන්වහන්සේගේ නිදහසය. නමුත් ලංකාවේ පවතින ආරවුලට ඊටම ආවේණික වූ ගති ලක්ෂණ සහ භයානක දෙදරා යාම් තිබේ. එය ඇතුළත, පිටත මෙන්ම සෑම තැනකම පවතින ආරවුලකි. එකල ඉරාණයේ පර්දාව සම්බන්ධයෙන් බුද්ධිමත් කතිකාවක් ඇති විය. එය ආගමික සහ සම්ප්‍රදායික රාමුවෙන් ගලවා ඊට දේශාපලන වටිනාකමක් දීමට සිදු වූයේ ශාහ්, පර්දාව දේශපාලනික වශයෙන් වඩාත් ක්‍රමෝපායිකව භාවිතා කළ හෙයිනි. මෙකල ලංකාවට පැමිණෙන විදේශිකයෙකු තම භක්තිය නිසා මුදල් වියදම් කොට ගසාගත් පච්චය දැකීමෙන් ඇමසන් වනාන්තරය අභ්‍යන්තරයේ සිටින ගෝත්‍රිකයෙකු අහස් යානාවක් දැක එය තම දුන්නෙන් බිම හෙළීමට  උත්සහ කරන ආකාරයෙන් හැසිරෙති. 1920 දී ඉරාණයේ තත්වය මීට සාපේක්ෂව දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් විය. ලංකාව රාජපක්ෂ විසින් ඇද දමා ඇත්තේ කුවේණී රවටා තම බලය අතට ගෙන එම බලය සමඟ සෙල්ලම කළ විජයගේ යුගයටය. රටේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පමණක් නොව විශ්ව විද්‍යාල, පාසල් සහ අනෙකුත් සෑම තැනක්ම ගරා යකුන්ගේ ස්ථාන බවට පත් කොට ඇත. රටේ සැබෑ බුද්ධිමතුන් එක්කෝ නිහඬය නැතහොත් රටින් පලාගොස් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සමඟ හුදෙකලා වී සිටිති. එවැන්නක් එකල ඉරාණයේ සිදු වූයේ නැත. 

මොහොමඩ් රිසා ශාහ් හට ඇමෙරිකානු සහයෝගය දැඩිව ලැබුණු බව කවුරුත් දන්නා කාරණයකි. එය මෙකල ඇමරිකාව සෞදි ආරාභියට සලකන ආකාරයෙන් පැවතුණු අතර 1979 විප්ලවයෙන් පසු මොහොමඩ් රිසා ශාහ් පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද ඇමරිකාව පෙනී සිටියාය. 

ඔහුගේ පියාවන රිසා ශාහ් රටේ දේශපාලනික වශයෙන් වැදගත් තීරණ රැසක් ගැනීමට කටයුතු කළේය. විශේෂයෙන්ම ආගමික අන්තවාදය දේශාපාලන තීන්දු තීරණ වලින් ඈත් කොට තැබීමට මහත් පරිශ්‍රමයක් දැරීම පැසසිය හැකි කාරණයකි. ඔහු දේශපාලනික වශයෙන් වැඩ වරද්දා ගනු ලැබුවේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සමඟ ඇතිකරගත් මිත්‍රත්වය සහ දෙවැනි ලෝක යුද්ධයේදී එය මහත් අවාසී ගෙන දුන කාරණයක් වූ නිසාය. ඒ හේතුව නිසා, රිශා ශාහ් හට රටින් පැනයාමට සිදු විය. ඉන් පසු බලය ඔහුගේ පුත්‍රයාට පැවරුණි. එය වූ කලී රාජාණ්ඩුවක් ආඥාදායකත්වයක් කරා තල්ලු වීමක් වුවද එම ආඥාදායකත්වය තුළ දේශපාලන කියවීමක් තිබුණි. අවාසනාවට මෙන්, එම දේශාපලන පරිවර්තනය තුළ රටේ දුෂණය මෙන්ම ආණ්ඩුව තුළ අභ්‍යන්තර ආරවුල් වැඩිවන්නට විය. ඒ වෙනුවට ඔහු සතු වූ විසඳුම වූයේ ඇමෙරිකානු සහයෝගය වැඩි කරගැනීම සහ රටට නව දේශපාලන ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදීමය. 

ඒ අනුව ප්‍රධාන කාරණා හයක් මූලික කොට ගනිමින් 1963 ශ්වේත විප්ලවය ප්‍රකාශ කරනු ලැබීය. එය ඇමෙරිකානු මැදිහත් වීමක් මත සිදු වූ නමුත් අදාළ ප්‍රතිසංස්කරණය සතු වූ මූලික කාරණා අතර ඉඩම් ප්‍රතිසංස්කරණය, වනාන්තර රාජසන්තක කිරීම, කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදීම, ආණ්ඩුව සතු වූ ව්‍යාපාර පෞද්ගලික වෙළඳුන්ට පොලියට දීම, සහ ලාභය බෙදාගැනීමේ ව්‍යවසායන් හඳුන්වාදීම ආදිය මත එය පදනම් විය. මීට පළමුව එරෙහි වූයේ තම පෞද්ගලික ඉඩම් අහිමිවීම පිළිබඳව වූ භීතියෙන් පසු වූ උලමාවරුන්ය. ඔවුහු මීට එරෙහි වීම වඩාත් සුක්ෂමව සංවිධානය කළා පමණක් නොව එය රටේ සහ ඉස්ලාම් ආගමේ පැවැත්මට තර්ජනයක් බවට ගෙන හැර පෑවේය. සැබවින්ම රාජාණ්ඩුව  යටතේ කාන්තාවන්ට  ලබා දී තිබු නිදහස කෙරෙහි උලමාවරුන් ඇතුළු ඉස්ලාම් ආගමේ ඉහළ පෙලේ අයවලුන් මහත් කෝපයෙන් ඊට එරෙහිව කටයුතු කළහ. එය අනෙක් පසින්, ඛොමේණිහට අවසථාවක් ලබා ගැනීම සඳහා මාවතද විවර කළේය. ශාහ් විසින් 1978 දී එටෙල්ලට් පුවත්පතට ලියනු ලබූ ලිපියට එරෙහිව ඉරාණයේ බහුතරයක් මහපාරට ගෙන ඒමට සමත් වූයේ ඒ වන විට ප්‍රංශයේ පැරිස්හී වාසය කළ ඛොමේණි සහ  ඔහුට දේශීය වශයෙන් දායකත්වය ලාබාදුන් කණ්ඩායමය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පසු හෝටලයක සිර වී සිටින විට අඩුතරමින් මිනිසුන් දාහක් මහපාරට ගෙන තම අයිතිය වෙනුවෙන් සටන් කරන ලෙස ඉල්ලා සටන කිරීමට නොහැකි වූ ජාතියක් බවට අපි පත් වූහ. ඒ වෙනුවට සිදු වූයේ සරත් ෆොන්සේකාගේ දියණියන් තම පියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා තම මුහුණු පොත පිරවීම සහ ඊට සියගණනකගේ  සංවේදී අදහස් සහ කැමැත්ත ලබාගැනීම පමණි.  එහි අවසන් වාසිය ලංකාවට නොව මුහුණු පොත නිර්මාණය කොට එය වෙළඳාම සඳහා මාවතක් කරගත් මාර්ක් සුසේර්බර්ග්ටය. 

1979 විප්ලවයෙන් පසු ඉරාණය නව මාර්ගයක ගමන් ගත් අතර එය ඇමෙරිකානු විරෝධී ගෝලීය ව්‍යාපාරයට මඟ පෙන්වීමට උත්සහ කරනු ලැබුවේ, මෝදු වෙමින් පැවති  සෝවියට් සංගමය සතු වූ න්‍යෂ්ඨික දැනුම සහ සම්පත් තම රටට ක්‍රමෝපායිකව ලංකර ගැනීමෙනි. ඉන්පසු මීඛයිල් ගොර්බචෙව් ගේ විවුර්තභාවය සහ ප්‍රතිව්හුහගතකිරීම හෙවත් ග්ලාස්නොට් සහ පෙරෙස්ත්‍රෝයිකා නමැති උපායන් මඟින් සීතල යුද්ධය නිමා කොට සෝවියට් සංගමය 1991 දී විසුරුවා හැරීමෙන් පසු සෝවියට් සංගමය සතු වූ බොහොමයක් මානව සම්පත් මෙන්ම ඇතැම් භෞතික සම්පත් ලබා ගැනීමේ භාග්‍ය ආධ්‍යාත්මක නායක ඛොමේණි  යටතේ වූ ඉරාණයට ලැබුණාය. 

සත්‍ය වශයෙන්ම ගොර්බචෙව්ගේ ප්‍රතිපත්ති සඳහා වත්මන් පුටින් පරිපාලනය මෙන්ම ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව නඩු පැවරීමට උත්සහ කළද ඔහුට එවැනි ප්‍රතිපත්තියට යාමට දේශපාලන පමණක් නොව කුඩාකල සිට ඔහු  මුහුණ දුන් පෞද්ගලික අත්දැකීම්ද හේතු විය. විශේෂයෙන් ඔහු උපත ලැබූ ප්‍රිව්ල්නොයියේ ගමේ විසු මිනිසුන්ගෙන් හරි අඩක් 1932- 33 අතර කාලයේ පැවති සෝවියට් සාගතයෙන්, කුසගින්න හේතුවෙන් මරුමුවට පත් වූහ. කාරණා රැසක් හමුවේ  ගොර්බචෙව් තල්ලු කරනු ලැබුවේ ඓතිහාසික දේශපාලන තීන්දුවක් ගැනීම සඳහාය. මෙම සිදුවීම ලෝක ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් බවට පත් වූ බව සියල්ලෝම දනිති. එහි ඇති යුක්ති යුක්ත භාවය වෙනම විමසා බැලිය යුතු කාරණයකි. කෙසේ වෙතත් අදාළ දේශපාලන ප්‍රතිසංස්කරණය, විපලවයෙන් පසු නව දේශපාලන අභියෝග වලට මුහුණ දෙමින් සිටි ඉරාණය වඩාත් සුපරික්ෂාකාරිව කියවීමට සමත් වූවාය. එය පිටුපස සිටි දාවක බලවේගය වූයේ අයතුල්ලා රුහුල්ලාහ් ඛොමේණිය. මෙය සුභවාදී එකක් ලෙස බැලූ බැල්මට පෙනෙන නමුත් ඊට විරුද්ධව සිදු වූ සිදුවීම් දාමයක්ද සිදුවිය. එනම් ඇමෙරිකානු විරෝධී දේශපාලන ප්‍රවණතාවයක් ඉරාණයේ ඉස්මතු වීම සහ ඊට සාපේක්ෂව අමෙරිකාව තම විදේශ ප්‍රතිපත්තිය බටහිර ආසියාව සම්බන්ධයෙන් වෙනස් කිරීමයි. ඇමෙරිකාව, ඊශ්‍රායලය තව දුරටත් ශක්තිමත් කිරීමත්, විස්වාශනීය රාජ්‍යක් ලෙස සෞදි අරාබිය කිට්ටු කර ගැනීමත් එහි ප්‍රතිඵලය විය. ඊට ආගමික සහ සම්ප්‍රදායික වශයෙන් මුහුණ දීමේ කෞශල්‍යයක් ඉරාණය සතු වූ බව සැබෑය. නමුත් ක්‍රමෝපායික වශයෙන් ඉරාණයට බරපතල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූවාය. එහි වඩාත් ඛේදනීය සිදුවීම් වලින් එකක් වූයේ ගෙවී ගිය වසර කිහිපය තුළදී ඉරාණ භූමියේ සිටම එරට න්‍යෂ්ටික විද්‍යාඥයින් රැසක් මරුමුවට පත් කිරීමය. එය දේශීය, කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉරාණයට ප්‍රභල බලපෑමක් එලල් වූ සිද්ධියකි. 

ඉදිරි ජනාධිපතිවරණයෙදී පොදු අපේක්ෂකයා පිළිබඳව වූ අදහස සහ ඒ සඳහා සෝභිත හිමිට ඇති ඉඩ තීරණාත්මක එකක් පමණක් නොව එය අතිශය සංවේදී එකක්ද වේ. නමුත් සෝභිත හිමි ජීවත් වන්නේ, එකළ ඛොමේණි ජීවත් වූ සමාජ භූමිකාව තුළ තබා ඊට සිහිනයකිඳු ගැලපිය නොහැකි වටපිටාවකය. දේශපාලන පක්ෂ වල පවතින ව්‍යාකූල භාවය සැබෑය. නමුත් මෙය කෙතරම් දුරට අත්‍යවශය සාධකය සඳහා රැගෙන යාමේ කෞශල්‍ය තමා සතුද යන්න වඩාත් වැදගත් කාරණය වේ. එසේ නොවුන හොත් මීට පෙර රටේ පොදු අපේක්ෂකයාට වූ හාස්‍යජනක ඛේදවාචකයම යලිත් සිදුවීමේ සම්භාවිතාව අඩු නැත. එය පළමුව ඛේදවාචකයක් විය, නමුත් දෙවනුව එයම විකාරයක් ලෙස සිදුවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙන බව අමතක නොකළ යුතු කාරණයකි.  මෙය සෝභිත හිමි සහ රාජපක්ෂ අතර පවතින කාරණයක් ලෙස තේරුම් ගැනීමට පෙර ජුලම්පිටියේ අමරේ සහ ඥාණසාර අතර පවතින ගැලපීමේ සහ එම ගැලපීම මඟින් ඇතිකොට ඇති සංකීරණයේ කාරණයක් ලෙස තේරුම් ගැනීම පළමුව වැදගත් වේ. මන්ද එම ආරම්භය, මේ දක්වා අඳුරු කාමරයට වී මැස්සන් ඇල්ලීමට උත්සහ කළ බොහෝ දෙනෙකුට තම තමන් ඇල්ලීමට උත්සහ කළ මැස්සා ඇස් දෙකෙන් දැකීමේ භාග්‍ය උදාවීමකි.