කුරිරු දෛවයක් නොපිට පෙරලූ කාන්තාරයේ කුසුම; වොරිස් ඩයිරි

   
~කුරිරු දෛවයක් නොපිට පෙරලූ කාන්තාරයේ කුසුම; වොරිස් ඩයිරි ~
~The Desert Flower That Transmogrified Her Horrid Destiny; Waris Dirie ~






  • දෛනික විරුවන් (Everyday Heroes)
  • පළමුව දිවිය ද, දෙවැනුව හිමිකම් ද, තෙවැනුව  ලොව ද ජයගත් වොරිස් ඩයිරි නම්වූ අද්විතීය කත
  • රංජිත් කුරුප්පු ගේ Desert Flower හි අපූරු පරිවර්තනය
  • චර්මඡේදනය: එෆ්. ජී. එම්.’ – ‘ෆීමේල් ජෙනිටල් මියුටිලේෂන්’ හෙවත් ෆීමේල් සර්කම්සිෂන්

 සටහන : සුනාලී රත්නායක

උපන් මොහොතේ පටන්, මෙලොව ජීවත් වන ඕනෑම සත්වයකු හට, ස්ත්‍රී-පුරුෂ, තරුණ-මහළු භේදයකින් තොරව, විශේෂයෙන්ම මානවයකු හට නම් උගත්-නූගත්, දුප්පත්-පොහොසත් භේදයකින්ද තොරව නිරන්තරයෙන්ම සපැමිණෙන ප්‍රධානතම සිද්ධාන්තයක් ලෙස ‘අභියෝග’ හැඳින්විය හැකිය. ජීවිතෙයේ අභියෝග නොමැති අයෙකු හෝ කිසිදා අභියෝගයකට මුහුණ නුදුන් අයෙකු මෙලොව සිටිත් යැයි යමෙකු පවසත් නම්, එය සිදුවිය නොහැක්කක් මෙන්ම අඥාන වූ තර්කයක් මැ පමණි. එසේනම්, අභියෝග යනු කාහටත් පොදු සාධකයන් මැ වන්නේය. වෙනසකට පවතින්නේ, මෙම අභියෝග වල ස්වරූපයන්හි විවිධත්වය, එම අභියෝග ජීවිතයකට ලඟා වන මෙන්ම ජීවිතයේ රැඳී පවත්නා කාල සීමාවන් මෙන්ම එකිනෙකා එම අභියෝග හමුවේ හැසිරෙන ආකාරය හෝ එම අභියෝගයන් මැඩ ගැනීමෙහිලා ක්‍රියාත්මක වන ආකාරයන් ය. තවද, අභියෝග තනි පුද්ගලයෙකුට බලපෑමට කඩ ඉඩ ඇතිවා මෙන්ම, සමූහයකට අභියෝගයන් එල්ල වන අවස්ථාවන්ද ලොව එමටය.

එනම්, අභියෝග එල්ල වන ‘පද්ධතිය’, තනි පුද්ගලයෙකුගේ සිට පවුලක් දක්වා ද, කණ්ඩායමක් දක්වා ද, වසමක් / ගමක් දක්වා ද, නගරයක් දක්වා ද, ප්‍රාන්තයක් / දිස්ත්‍රික්කයක් දක්වා ද, රටක් දක්වා ද, ලොවක් දක්වා ද ආදී වශයෙන් දිවෙනු ඇත. අවසානයේ මෙම සිද්ධාන්තය, වෙනත් ග්‍රහවස්තූන් හෝ අභ්‍යවකාශයේ සැරිසරන පෘථිවියට පරිබාහිර වූ යම් යම් දෑ පෘථිවියට අභියෝගයක් වීම දක්වා ද දිවෙනු ඇත. එනම්, ‘අභියෝග’ වල නිමක් කොනක්, පරක් තෙරක් නොමැත.

එමෙන්ම, එදිනෙදා දිවියේ අභියෝග වලට මුහුණ දෙමින්, ‘කුසට අහරක්’, ‘ගතට සළුවක්’, ‘හිසට සෙවනක්’ යන මූලික ජීවන අවශ්‍යතා හුදෙක් ‘අභියෝගන්’ බවට පෙරැලුනු විපරීත ලොවක, අනේකවිද අසාධාරණයන් හමුවේ එම අභියෝග දෛනිකව ජය ගැනීම උදෙසා අප හට සිතා ගත නොහැකි වූ පරතෙර වෙත පවා යොමු වෙමින්, අනේකවිද දුක් ගැහැට විඳිමින්, හැඟීම් දැනීම් පසෙකලා, දිවි පරදුවට පවා තබමින්, දවසින් දවස, මොහොතින් මොහොත ජීවන අරගලයෙහි යෙදෙන්නාවූ ලොව පුරා සුවහසක් “දෛනික වීරයන් සහ වීරවරියන්” (everyday heroes and heroines) කෙරෙහි බාල වියේ සිටම කවදත් මා තුල සදාතනික ගෞරවයක්, කැක්කුමක්, ඇල්මක්, ලෙන්ගතුකමක් පැවතුණේ නිරන්තරයෙනි. අදටත් ඊට හේතුව මා හරියටම නොදනිමි. එය සෙවීමට උත්සාහ දැරීම ද අනවශ්‍ය යැයි සිතමි. සිදුවිය යුත්තේ ලොව වෙසෙනා දෛනික විරුවන්හට සුභවාදීව බලපාන්නා වූ ඕනෑම සංසිද්ධියකට හෝ කර්තව්‍යයකට ඉතසිතින් අත හිත දීමක් මැ පමණි. එවැන්නවුන් ජීවිතය ගැන මෙන්ම ජීවිතය හට කියා දෙන විරල එහෙත් බලවත් පාඩම් තරයේ උකහා ගැනීම මැ පමණි. එසේත් නැතිනම්, දෛනික විරුවකු ලෙසින්ම සමාජයට කල හැක්කක් වේ නම්, ජීවත්ව සිටිනා කෙටි කල තුළ එය ඉෂ්ට සිද්ධ කිරීම මැ පමණි. 
අවුරුදු තුනක් වැනි බාල අවධියේ සිටම රටවල් කිහිපයක්ම වාසස්ථාන කරගනිමින් විටින් විට, කඩින් කඩ එම ස්ථානයන්හි මා පවුලේ උදවිය ද සමග දිවි ගෙවා ඇත්තෙමි. දිවියේ ඒ ඒ අවස්ථාවන්හිදී කිනම් රටක ජීවත් වුවද, නිවස තුල සිටිනා විට මෙන්ම පාර තොටට බසිනා සෑම මොහොතකදීම පවා අනේකවිද දුෂ්කරතා හමුවේ ජීවිතය ජය ගැනීමට උත්සාහ දරන, යම් අරගලයක නිරතවූ මනුෂ්‍ය මෙන්ම, ඉන් පරිබාහිර වූ ලොකු කුඩා ජීවින් මගේ නේත්‍රා යුවලට පහසුවෙන් ග්‍රහණය වූයේ අද ඊයේ නොවේ. එමෙන්ම, නිරායාසයෙනි. මෙවැන්නවුන් මගේ නෙත ගැටී නොනැවතී, අදටත් මා හට වචන වලින් ප්‍රකාශ කළ නොහැකි වූ මොකක්දෝ සදාකාලික රිදුමක් මා තුල තබා, ඔවුහු තාවකාලිකව නික්ම ගොස් ඇතැයි විටෙක මට සිතේ.  එනම්, හෙට උදෑසන ද යලිත් එවැන්නන් මාගේ දර්ශන පථයට ලක්වනු ඇතැයි මා දනිමි. එවිට නැවතත් මගේ සාමාන්‍ය මනස අසාමාන්‍ය සිතීමේ ක්‍රියාදාමයක නිරත වනු ඇත.

මැදපෙරදිග රටක (සාජා නුවර) මා කුඩාකල ඉගෙන ගත් පාසල තුල එරට අධික ග්‍රීෂ්ම සමයක එය මැඩලීමට දැල්වූ විදුලි පංකාවකින් හමන වියලි සුළං හමුවේ විජලනය අවම කරනු වස් අප පන්ති හාර කන්‍යා සොයුරිය විසින් තබණු ලැබූ ජල බේසමකට වැටි දිවි බේරාගැනීමට බෙසම් දාරය වෙත වෙර දමා පිහිනා ගිය එඩිතර කළු කුහුඹුවාගේ සිට, ශ්‍රී ලංකාවේ ගලගෙදර ප්‍රදේශයට මදක් ඔබ්බෙන් කිහිප විටක් බස් රථ වලට හසුව පසුගාත දෙපොලම අබලන් වුවද බඩගාමින් මහ පාරේ වසර ගණනාවක් වෙරෙන් මැරෙමින් නොමැරී ජීවත් වූ උදරයට සම ඇලී ඇට පෑදුණු කුෂ්ට සහිත අසරණ සුනඛයාකගේ සිට, දෙහිවල පටුමගක කුණුබාල්දියක් අවුස්සමින් කන්නට සුදුසු යැයි සිතන යමක් සෙවූ කිලිටි හිඟන මැහැල්ලිය ගේ සිට, විටෙක මා ගමන් කළ මදුරාසියේ වීදියක දුර්ගන්ධය වහනය වන අපිරිසිදු කොනක සිය පවුල ජීවත් කරවීම උදෙසා ‘ගුලාබ් ජමූන්’ සාදමින් ඒවා අලෙවියෙහි යෙදුනු රැළි වූ වත හෙබි කත දක්වා ද, ලොස් ඇන්ජලීස් නුවර ඩවුන් ටවුන් (Down Town Los Angeles) ප්‍රදේශයේ කාඩ්බෝඩ් පෙට්ටි තුල දිවි ගෙවන අසරණ වූ මිනිසුන් (homeless people) ජීවත් වන සීමාවේ අත් කකුල් නොමැතිව බඩ ගාමින් වීදි දිගේ ගී ගයමින් ජීවන අරගලයෙහි නිරතවූ සුදු ජාතික තරුණයා දක්වා අපමණ “දෛනික විරුවන්” මා නෙත ගැටී ඇත්තේ, එම දසුන් සදා මතකයන් ලෙස මගේ හිතේ ගැඹුරු තැනක තැන්පත් වන්නට ද කඩ ඉඩ සලසවමිනි. මිනිස්-තිරිසන් භේදයකින් තොරව එම ජීවීන් සිය ජීවන අරගලය අත්හැරියේ නැත. එය මා දැඩි කනස්සල්ලට ද,  මවිතයට ද පත් කරයි. මට ජීවිතය පිළිබඳව සිතන්නට යමක් ඉතිරි කරයි.

මෙපමණ නොව, දෛනික විරුවන් ඝනයට තව බොහෝ දෙනා අයත් වෙති. දෛනික විරුවන්ගේ ප්‍රභේද ද බොහොමයකි. එනම්, උත්සාහය අත් නොහරිමින්, තමාගේ ජීවිතය ජය ගැනීමට හෝ අඩුම තරමින් ජීවත් වීමට හෝ වෙර දරන්නන් මෙන්ම, අභාග්‍යය සම්පන්න තත්වයන්ට පාත්‍ර වූවන් හට ස්වේච්ජාවෙන් උපකාර කරන්නන් ද, විවිධ රැකියාවක් මාර්ගයෙන් ඒ වෙත හවුල් වන්නන් ද හුදෙක් දෛනික විරුවන් වෙති. ගිනි නිවන්නන්, හමුදා භටයන්, සෞඛ්‍ය සේවයේ නිරත වූවන්, අධ්‍යාපනය ව්‍යාපාරයක් නොකරගත් ගුරුවරුන්, සමාජ සේවකයන්, ගංගා ඇල දොළ හි කුණු ඉවත්කරන්නන්, පිළිකා වලට ගොදුරු වූ කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් වෙත මුල්‍යමය උපකාරයන් මෙන්ම චිත්ත  ධෛර්යය ලබා දෙන්නවුන්, ජීවිත බේරාගැනීමේ අදිටනින් රුධිරය, පටක  හෝ අනිකුත් ශරීර ඉන්ද්‍රියයන් දන් දෙන්නවුන්, වීදි අතුගාන්නවුන්, කුණු අදින්නන්, භව බෝග වගාකරන්නන්, ලොව වටා ජලය නොමැති අති-දුෂ්කර පළාත් වලට පිරිසිදු ජලය ලබාදෙමින් ජල හිඟය පිරිමසන්නන්, පාලම් බෝක්කු තනන්නන්, සපත්තු මසන්නන්, ආපසු පැමිණේදැයි නිශ්චිතවම නොදැන පවුල් ජීවත් කරවන්නාවූ මුහුදු යන්නන් ආදී වශයෙන් සිය දහස් ගණනින් දෛනික විරුවන්, ගතවන සෑම මොහොතකදීම එම සේවාවන් ලොවට ඉටු කරති. 
ලොව පුරා වෙසෙන, ආයාසයෙන් නොතැනු, නොපිම්බූ එවන් දෛනික විරුවෝ (unsung everyday heroes) බොහොමයක් පිළිබඳව පත පොතෙහි සනිටුහන් වීමක් හෝ, ලේඛනගත වීමක් හෝ, සමාජ අවධානයට හෝ ඇගැයීමට ලක්වීමක් සිදු නොවෙති. එසේ සිදු වුවත්, එය අල්ප වශයෙන් පමණි. ඉක්මනින් ඔවුහු අපගේ මතකයෙන් පවා ගිලිහී යන්නේ නිරායාසයෙනි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුලින් දිනපතා ලොවට සිදුවන අද්විතීය සේවාවන් පිළිබඳව අප එතරම් තැකීමක් ද නොකරමු. ඇතැම් විට, ඒ, ඔවුන් අප ආකර්ෂණය ග්‍රහණය කර ගැනීම උදෙසා කිසිඳු ව්‍යාජත්වයක් උපයෝගී කොට නොගන්නා නිසාවෙන් වන්නට පුළුවන.

බොහෝ විට මාධ්‍ය හරහා වුවද උලුප්පා පුම්බන්නේ, මා කලින් සඳහන් කල සැබෑ දෛනික විරුවන් නොව, හුදෙක් ජීවන අරගලය ගෙන යාම උදෙසා සැබෑ දෛනික විරුවන් සිදු කරන්නාවූ කැපකිරීම් වල අර්ථයවත් හරිහැටි අවබෝධ කොට නොගත්, එය නොදත්, කමකට නොමැති, සමාජය විසින්ම පුම්බන ලද පුහු විරුවන්ම වීම කනගාටුවට මෙන්ම පිළිකුලට ද හේතුපාඨ වේ. නමුත්, එය වෙනම කතාවකි.

එය එසේ වෙද්දී, අභාග්‍යයසම්පන්න වූ කර්කෂ ජීවිත ගතකරන්නවුන්, සමාජයේ ඇති හැක්කවුන් ගෙන් පිහිට නොපතා තම කුරිරු උරුමයන් සිය මරණ මංචකය තෙක් කර ගසාගෙන අපමණ දුක් විඳිති. ඇතැම්හු සිය මතු පරම්පරාවන්ට ද තමනට අත්වූ කුරිරු ඉරණම ඒ අයුරින්ම උරුමකොට යති. ඊළඟ පරම්පරාව එම ඉරණම සදාතනික උරුමයක් ලෙස භාරගනිති. ඉන් මිදීමට යත්න නොදරති. යත්න දරන්නවුන් බොහෝ විට ධනය, බලය ඇත්තවුන්ගේ හෝ අනිකුත් අධමයින්ගේ ගොදුරු බවට පාත්‍ර වෙති. උත්සාහවන්තයින්ගේ කොට්ඨාශයට අයත් තවත් සමහරු, රැල්ල ගසා යන සුපුරුදු දිශාවට පටහැනිව පිහිනීමට තැත් කොට මෙලොවින් අකාලයේ තුරන් ව යති. 
තමන් හට උරුමවූ අඳුරු, කුරිරු දෛවය හේතුපාඨ කොටගෙන සමාජයට ඔවුහු මැසිවිලි නොනගති. ඉන් ඔබ්බට ජීවිතයක් නැතැයි සිතන ඔවුහු, දුකට උරුමකම් කියමින් අසරණව ඉපිද, අසරණයන් සේ දිවි ගැටගසා අහවර වූ පසු, අසරණයන් සේ ම මිය පරලොව යති. මෙය ජීවන අරගල චක්‍රයේ එක් කොටසකි. නමුත්, එය එසේ විය යුතු නැති බව වටහා ගනිමින්, ඊට එරෙහිව නැගී සිට, ඉන් මිදීමට තරම් කායික ශක්තිය අභිභවා ගිය මානසික ශක්තියක් ඇත්තවුන් ද ලොව සිටිති. 
දෛවය හුදෙක් ඇති සැටියෙන් භාර නොගෙන, දෛවය වෙනස් කල හැක්කක් බව ඔප්පු කළවුන් ද මේ ඉර හඳ යට ම සිටිති, වෙසෙති.  
මෙම ලිපිය පාදක කොටගෙන ඇත්තේ, එසේ දෛනික වීරවරියක් ව, උපතේ සිට සිය ජීවිතයේ වසර ගණනාවක් මුළුල්ලේ  අනේකවිද දුක් කම්කටොලු, තර්ජන ඝර්ජන, හැල හැප්පීම්, තාඩන පීඩන, හෙණ කුණාටු වලට මුහුණ දෙමින්, ලොව අභාග්‍යසම්පන්න වූ අඳුරු ඉසව්වක ඉපිද, අලුත් දිවියක් සොයා යන අභීත ගමනේදී, ගතේ සවිය ක්ෂීණ වූ සෑම මොහොතකදීම එය අභිබවා ගිය පුදුමාකාර වූ හිතේ ධෛර්යයෙන් ම තෙරක් හමුවන තෙක්, ඉදිරියට තැබූ පියවර ආපස්සට නොතබා, කාන්තාර පමණක් නොව, මුහුදු, අර්ධද්වීප පවා තරණය කොට, මරණය පෙනී පෙනී වුවද වඩාත් භාග්‍යසම්පන්න ලොවක් දැකීමේ ඒකායන අරමුණින්, ඒ කරා පිවිසීමට වෙර දරමින් එම අහිංසක අධිෂ්ඨානසම්පන්න අරගලය අත් නොහළ, අවසානයේදී ලොව දස දෙස විමතිය උපදවා, ජීවිතය ජයගත් කාන්තාරයේ උපන් විරල කුසුමක් පිළිබඳවය. 
ඇය නම ඇසුණු සැනින් අප අදටත් කියවා, අසා, නරඹා, දන්නා, සෝමාලියාවේ එඬේර දුවෙකු වැ ඉපිද , ලෝකප්‍රකට මෝස්‌තර නිරූපණ ශිල්පිනියක බවටද, ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතීන් සුරැකීම පිළිබඳව තානාපතිවරියක් වශයෙන් ද කටයුතු කළ වොරිස් ඩයිරි - Waris Dirie” නම්වූ එඩිතර කත පිළිබඳව මැ වේ. ‘වොරිස්’ ගේ නමෙහි අර්ථය ‘කාන්තාරයේ කුසුම’ වන්නේය. ඇගේ පියා ඇය හට නම තැබුවේ ‘සොෆියා’ කියා වුවද, මව තැබූ නම ‘වොරිස්’ විය. ඒ නම් දෙක පිළිබඳව බොහෝ කලක් තිස්සේ සිය මව සහ පියා අතර නිතර ආරවුල්, මතහේද ඇති වුවද, වොරිස් ගේ මව තරයේ කියා සිටියේ ‘වොරිස්’ යන නම ‘සොෆියා’ යන නමට වඩා බෙහෙවින්ම ඇය හට ගැලපෙන බවය. පසු කලෙක, තමා වෙත තැබූ ‘නම’ පිළිබඳව තම මව දැරූ මතය නිවැරදි බව ඈ ඔප්පු කළාය.
  
මෙම ලිපිය මේ මොහොතේ හිටි හැටියේ මගේ පෑන් තුඩින් ලියැලීමට හේතුව ද කිවැ යුතුමය. එනම්, “Desert Flower” නමින් රචිත, වොරිස් ඩයිරි ගේ ජීවිත කතාව සිංහල බසට පරිවර්තනය වෙමින්, වසර ගණනාවකට ඉහතදී ලියැවුණු රංජිත් කුරුප්පු මහතාගේ “කාන්තාරයේ කුසුම” නම්වූ ග්‍රන්ථය, දැනට ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වන මා අතට මෑතකදී පාත්‍ර වීමය. ශීඝ්‍රගාමී තැපෑලෙන් මා වෙත සපැමිණි එම ග්‍රන්ථය මසක් හමාරක් පමණ මාගේ නිවසේ ලියන මේසය මත තිබීණි. අද කියවන්නම්, හෙට කියවන්නම් කියා සිත-සිතා සිටියද, දිනෙන් දින එය මග හැරුනෙන්, සිය උනන්දුවෙන්ම ග්‍රන්ථය මා වෙත එවූ, මගේ ජීවිතයේ සුවිශේෂීම වන හෙතෙම; “අනිත් හැම දේටම වෙලාව හොයාගන්නවා, එත් ඔයා මං එවන පොත් කියවන්නේම නැහැ නේද?”, යනුවෙන් ඊයේ පෙරේදා දිනක දුරකථනය ඔස්සේ මැසිවිලි නැගීම හමුවේ, අනිකුත් වැඩ මධ්‍යයේ වුවද, දින එක හමාරක් වැනි කෙටි කාල සීමාවක් ඇතුලත පිටු 318කින් සමන්විත වූ එම පරිවර්තන කෘතිය කියවා හමාර කොට, එහි අන්තර්ගතය තුලින් මා සිත තුල ක්ෂණිකව උපන් සංවේග, සංතාප, සංවේදනා අභියස මෙම ලිපිය ලිවීමට සිත්වූයෙමි.

වොරිස් ඩයිරි නම් වූ අපූරු චරිතය පිළිබඳවත්, ඇය මුහුණ දුන් අති භයංකර අත්දැකීම් තුලින් ලොව හමුවට ගෙන ආ අරුත්බර පණිවුඩය පිළිබඳවත්, රංජිත් කුරුප්පු නම් වූ ශ්‍රී ලාංකේය ලේඛකයාගේ අපූරු පරිවර්තන කෘතිය මා රස විඳි අයුරුත්, ඒ සියල්ල හමුවේ මා තුල ජනිත වූ සිතුවිලිත් අලලා මෙම ලිපිය දිග හැරේ.
 
කාන්තා ‘චර්මඡේදනය’ හෙවත් ‘එෆ්. ජී. එම්.’ - ෆීමේල් ජෙනිටල් මියුටිලේෂන් (F.G.M. - Female Genital Mutilation) මෙන්ම ‘ෆීමේල් සර්කම්සිෂන්’ (Female Circumcision) ලෙසින් හඳුන්වනු ලබන, වෛද්‍ය විද්‍යාත්මක ව හෝ සෞඛ්‍ය හේතූන් මත අත්‍යවශ්‍ය කර්තව්‍යයක් ලෙසින් කිසිසේත්ම ඔප්පු නොකලාවූ, කිසිඳු සත්‍යවාදී හෝ සුභවාදී පදනමක් රහිත වූ, හුදෙක් සංස්කෘතික මෙන්ම සමාජයීය වශයෙන් පමණක් දිගහැරෙමින්, පටු අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අදිටනින් මෙම ක්‍රියා පටිපාටිය අදටත් බොහෝ අප්‍රිකානු මෙන්ම මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල කතුන්ට හිමිව පවතින කුරිරු ඉරණමක් වීම, මෙතරම් දියුණු යැයි පුරසාරම් දොඩන ලොවක සිදුවන තවත් ම්ලේච්ඡ, තුච්ඡ ක්‍රියාවක් මැ වන්නේය. 
මෙහිදී, ඉතා දරුණු ආකාරයෙන් ස්ත්‍රී ජනනේන්ද්‍ර අවයවයන් සහමුලින්ම හෝ කොටස් ලෙස සුන්නත් කරනු ලබන අතර, ඊට බොහෝ විට භාවිතා කරණුයේ මළ බැඳුනු උපකරණයන් බව වාර්තා වී ඇති ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන්ම, චර්මඡේදනය මගින් ලොව පුරා මිය යන කුඩා ගැහැණු ළමුන් සංඛ්‍යාත්මකව ගහනය. ඊට අමතරව කතුරු, පිහි, රේසර් තල, කැඩුණු වීදුරු කැබලි ආදියද චර්මඡේදනය සඳහා උපයෝගී කරගනු ලබන උපකරණ වේ. 
එම ක්‍රියාව තුලින් ස්ත්‍රී  ජනනේන්ද්‍රයන් තුවාල කරණු ලබන්නේ කාන්තා ලිංගික හැඟීම් අවහිර කිරීමේ පටු කුරිරු අරමුණිනි. ගැහැණු දරුවන් ගේ වැඩිවිය එළැඹීමට මත්තෙන්, වයස හතරත් අටත් අතර දී මෙය බොහෝ විට සිදු කරනු ලබයි. වර්තමානයේ මෙය දින කිහිපයක්, සති කිහිපයක් හෝ මාස කිහිපයක් පමණක් වයසැති බිළිඳුන්ගේ පවා සිදුකරනු ලබන බවට වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුකුලව, චර්මඡේදනයට පාත්‍ර වන ගැහැණු දරුවන් ලොව පුරා සංඛ්‍යාත්මකව මිලියන 150ක් පමණ සිටිති. මෙම කුරිරු තුච්ඡ ඉරණමට වොරිස් ඩයිරි ද මුහුණ දුන්නේ ඇයට යාන්තම් වයස අවුරුදු පහක් සපිරුණු සමයේදීය.
Desert Flower හෙවත් “කාන්තාරයේ කුසුම” නමින් දිග හැරෙන ඇගේ සත්‍ය කතාව ලොවට කියාපාන්නාවූ ග්‍රන්ථය තුලින්, තවත් කාන්තාවක් වශයෙන්, ඇඟ කිළිපොලා යන, දුක්මුසු, කර්කෂ, අනුවේදනීය අත්දැකීම් සමුදායක් හරහා වොරිස් ඩයිරි මා රැගෙන ගිය බව කිසිසේත්ම අතිශයෝක්තියක් නම් නොවේ. 
“කාන්තාවක් වීම පිළිබඳව මා කුමක් දැන සිටියේද?  අප්‍රිකානු කතක් වීම පිළිබඳව නම් මා බොහෝ දෑ දැන සිටියා. වේදනාව, දුක තුරුළු කරගෙන නිශ්ෂබ්දව කුඩා දරුවකු මෙන් ඒ සියල්ල විඳ දරාගෙන ජීවත් වීමට මා දැන සිටියා,” යනුවෙන් වොරිස් ඩයිරි පවසන්නේ,  අප්‍රිකානුවකූ වී ඉපදීම පිළිබඳව දෛනිකව දෙවියන්ට පිං දෙමිනි. ඒ මන්ද යත්, ජීවිතයේ එක් වකවානුවකදී කුමන දුක් ගැහැට වින්ද ද, කෙතරම් බඩගින්නේ සිටියද, නිරායාසයෙන් තමා තුල පවතින උණුසුම් ස්භාවය, පවුල් සංස්ථාවේ බැඳීම්, සමාජයේ පුරුකක් ලෙස දැනෙන බැඳීම්, ස්වාභාවධර්මයේ කොටස්කරුවෙක් සේ දැනෙන හැඟීම, අනන්තවූ සත්ව කරුණාව, සුළු පටු දෑ තුළින් අප්‍රමාන වූ අහිංසක සතුටක් ලැබීම යනාදී සියල්ල තමා හට උරුම කොට දුන්නේ තමා තුළ පවත්නා අප්‍රිකානු භාවය නිසා වෙන් යැයි ඈ විශ්වාස කරන හෙයිනි. ඇය කිසිවිටෙකත් එම කුරිරු අතීතයට ශාප නොකරන්නීය. ඇය ජයගත් ජීවිතයට ඒ සියලු සංත්‍රාසජනක අත්දැකීම් පිටිවහලක් මැ කර ගන්නීය. එය ඇගේ විශේෂත්වයක් ලෙස මා දකිමි. 
ජීවිතයත් මරණයත් අතර අද්විතීය සටනක යෙදෙමින්, වයස අවුරුදු දහ තුනේදී, වයස අවුරුදු හැටක මිනිසකු හට තම පියා විසින් ඇයව සරණ පාවා දීමට නියමිත වූ මොහොතක, පීඩාකාරී ජීවිතයෙන් මිදෙනු වස්, වොරිස් ඩයිරි, අප්‍රිකානු කාන්තාරයේ වූ සිය තාවකාලික වාසස්ථානයෙන් පලා යන්නේ, දිළිඳු කමත්, ඇඟ දැවටුණු සාළු කඩමාල්ලත්, නූගත්කමත්, ඇගේ මවගේ ආශිර්වාදයත් පමණක් රැගෙනය. ආහාර, පාවහන්, මුදල්, සාක්ෂරතාවය, ඒ කිසිවක් නොමැතිවය. එහෙත්, ජීවත් වීමේ අද්විතීය අපේක්ෂාවෙන් මැ ය. ඇගේ ජීවිතයේ අරමුණක් ඇති බව දිව්‍යමය බලවේගයක් තුළින් කුඩා වොරිස් හට හැඟී යාම හේතුවෙන්, මෙතරම් භයානක සාධකයන් හමුවේ වුවද, සිය පියාණන් නිදා සිටි මොහොතක කූඩාරමෙන් පලා යාම උදෙසා ඇයට විශ්මිත ශක්තියක් ලබා දෙන්නේ ඇයට පමණක් පැහැදිලි කළ හැකි හැඟීම් සමුදායක් ඔස්සේ මැ ය.

තම එඬේර දිවිය පුරාවට වොරිස් විසින් වර්ධනය කොටගත් මෙම අද්විතීය විශ්මිත බලවේගය, ජීවත් වීමට පමණක් නොව, ජීවිතය විඳීමේ දැඩි අපේක්ෂාව ඔස්සේම දියුණු කොට ගනිමින්, කාන්තාරය හරහා යන ගමනේදී මරණය පෙනී පෙනී, හැඩි දැඩි සිංහයෙකූ ගේ හුස්ම තම වත දැවටුණු බිහිසුණු නිමේෂයක් පවා නිසොල්මන් ව ගෙවමින්, සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයේ නෑදෑයෙකු කරා පියනගන ඇය, ඉන් නොනැවතී ලන්ඩන් නුවර සෝමාලියානු තානාපති කාර්යාලයේ මෙහෙකාරියක වශයෙන් කටයුතු කිරීම ආරම්භ කරන්නීය.
මේ වන විට කාන්තාරයේ කර්කෂ දිවියෙන් මිදී, සුරූපී ලලනාවක් බවට හැරෙමින් සිටි වොරිස් ව, ලන්ඩන් නුවර වීදියක දී  ඇය නෙත ගැටුණු මෝස්‌තර නිරූපණ ජායාරුප ශිල්පියකු හරහා ‘රෙව්ලෝන්’ නම් ලෝකප්‍රකට සම්-ආලේපන ද්‍රව්‍ය ප්‍රචාරන කටයුතු සඳහා නිරුපිකාවක් ලෙසින් යොදාගනු ලැබේ. මෙය ද ඇගේ දෛවයේ අවසානය නොවන අතර, ඇගේ දිවිය වෙනස් මගකට යොමු කළාවූ එම පරිච්ජේදය ද පසුකොට තවත් ඔබ්බට ඈ පිය නගන්නිය. එනම්, ලෝක ප්‍රකට නිරූපිකාවක් වශයෙන් නිව්යෝක් නගරය වෙත ඇදෙමින් ඇය අහඹු සිදුවීම් සමුදායත් වටා දෝලනය වීමයි. 
මෙම ලිපියේ මුලින් ‘චර්මඡේදනය’ හෙවත් ‘එෆ්. ජී. එම් - F.G.M.’ පිළිබඳව මා කෙටි හැඳින්වීමක් කළෙමි. වොරිස් නිරූපණ ක්ෂේත්‍රයට යොමු වූ පසු ඇගේ සියැසින්ම වටහාගත්, ස්ත්‍රීත්වය පිළිබඳව ඇය විශ්මයට පත් කළ තවත් දැයක් වේ. එනම්, ඇය සමග නිරූපණ කටයුතු කළ සෙසු සුදු ජාතික කාන්තාවන් ගෙන් තමා බෙහෙවින්ම වෙනස් බවය. ඒ බව ඇය මෙසේ පැහැදිලි කරන්නීය; “මුත්‍රා පිට කිරීමේදී, සෙසු සුදු ජාතික කාන්තාවන් නදියක් ගලන්නාක් මෙන් වේගයෙන් හරි හරියට මුත්‍රා පිටකළ අතර, මා හට එක් මුත්‍ර බිංදුව බැගින් මුත්‍රා බැහැර කිරීම උදෙසා විනාඩි දහයක් වැනි කාලයක් ගතවේ. එමෙන්ම, මාසික ආර්තවයේදී දරා ගත නොහැකි වූ වේදනාවක් හරහා මා යන්නෙමි. ඇතැම් මාස වලදී දින දහයක් පමණ කලක් පවතින මෙම ක්‍රියාදාමය අතරතුර මා සිහිමුර්ජා වී වැටේ. මේ කිසිවක් මාගේ මව හට අමුතු අත්දැකීම් නොවුණේ ද, ඒ කිසිවක් අසාමාන්‍යය ලෙස ඈ නොදුටුවේද, ජීවිත කාලය පුරාවටම ඇය වටා සිටි සියලු කාන්තාවන් චර්මඡේදනය නම් වූ කරුමක්කාර බිහිසුණු ක්‍රියාදාමයේ උරුමකරුවන් වූ හෙයින්, ඒ සියල්ලෝම මා හට හිමිව තිබූ අසාමාන්‍යය වූත්, දැඩි අවධානම් සහිත වූත් අතුරු අබාධ වලට ද මුහුණ දුන් නිසාවෙනි. කාන්තාවක් වී උපත ලැබීමේ අවාසනාවන්ත දෛවයේ එක් අංගයක් පමණක් ලෙස මේ සියල්ල සැලකුණු නිසාවෙනි.”
වොරිස්, සිය චර්මඡේදනය ද ඇතුළුව ඇය කාන්තාරයේ ගෙවූ දිවිය පුරාවටම මුහුණ දුන් බිහිසුණුම අත්දැකීම් විවෘතව සමාජගත කිරීමට ආත්ම ශක්තියක් උපදවා ගත්තේ, චර්මඡේදනය හේතුකොටගෙන ඇගේ ජීවිතයට අත්වූ අභාග්‍ය සම්පන්න ඉරණම වෙනස් කිරීමට දැන් ප්‍රමාද වැඩි වුවද, ඇගේ රට ඇතුළු ලොව පුරා අදටත් චර්මඡේදනය හරහා යමින් ජීවත් වන, මෙන්ම ඒ හේතුවෙන්ම මිය යන සිය ගණන් නොව, දහස් ගණන් නොව, එහෙත් සංඛ්‍යාත්මකව මිලියන ගණන් වූ  අසරණ ගැහැණු දරුවන්ගේ ඉරණම වෙනස් කිරීමේ අවංක අභිලාෂයෙනි. 
අසරණ අහිංසක ගැහැණු දරුවන් මුහුණපන්නාවූ මෙම කුරිරු ක්‍රියාදාමය තුළින් ශාරීරිකව පමණක් නොව, මානසික වශයෙන්ද ගැහැණුන් විශාල බිඳවැටීමකට පාත්‍ර වන බව වොරිස් ගේ විශ්වාසයයි. එය කිසිදා ජීවිතයෙන් මකා දැමිය නොහැකි බිහිසුණු චිත්ත ඝාතනයකි.

වේදනාව, දරාගැන්ම, ඉවසීම, ත්‍රාසය, භීතිය, අමානුෂිකත්වය, තිරිසන්භාවය, මානුෂිකත්වය, මිනිසත්භාවය, සංවේගය, සන්තාපය, ධෛර්යය, බලාපොරොත්තුව, අධිෂ්ඨානය, වීර්යය යනාදී විවිධ වූ හැඟීම් මුලිනුපුටා ගැන්මෙන් උද්ගත වන අවස්ථාවන් ගෙන් සපිරි, විශ්මිත සත්‍ය කතාවක් සමාජගත කරන්නාවූ මෙම ග්‍රන්ථය (සිංහල අනුවාදයේ) අවසානයේදී (311 වැනි පිටුවේ සිට) වොරිස් ඩයිරි දාර්ශනික අදහස් පෙළක්ද මෙසේ සනිටුහන් කරන්නීය; “මගේ මිත්‍රයින් බොහෝ දෙනකු පවසන්නේ, මා අප්‍රිකාව බලා පිටත්ව ගියහොත්, ආගමික අන්ධ භක්තිකයන් විසින් මා මරා දැමීමට බොහෝ සෙයින් කඩ ඉඩ ඇති බවයි. නමුත් මා මගේ හඬ අවදි කරණුයේ, හුදෙක් මූලධර්මවාදීන් ශුද්ධවූ ක්‍රියාවක් ලෙසින් හඳුන්වා දී, කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රියාත්මක කරන්නාවූ එම බිහිසුණු ම්ලේච්ඡ ක්‍රියාවට විරුද්ධව ම නිසා, එය නිසැකයෙන්ම ආන්ත්‍රාදායක කටයුත්තක් වනු නොඅනුමානය. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් මා තුළ බියක් හටගෙන තිබෙන බව මා පිළිගනිමි.  ඊට හේතුව දැන් මා හට බලා හදා ගන්නට පිරිමි දරුවකු සිටිනා බැවිනි. නමුත්, මාගේ දෛවය මා හට ඕනෑම කරුණක් ඉදිරියේ ශක්තිමත් වන මෙන් ඉල්ලා සිටිත්. ඒ මන්ද යත්, දේවයන් වහන්සේ විසින්, නිශ්චිත කරුණක් පෙරදැරි කොටගෙන මා මෙම මාවත කෙරෙහි කැඳවාගෙන විත් සිටින නිසාවෙනි. දැන් මෙය මගේ ‘මීසම’ වී හමාරය. එම දූත මෙහෙවරේ දුතිකාව අන් කවරකුවත් නොව, මා මය. මා ඉදිරියේ ඇති අරමුණ ජය ගැනීම උදෙසා සර්වබලධාරී දෙවියන්වහන්සේ කටයුතු සූදානම් කොට හමාරය. මා ඉපදීමට බොහෝ කලකට පෙර, මා මිය යන දිනය දෙවියන්වහන්සේ විසින් තීරණය කොට හමාර බව මා දනිමි. එමනිසා, එම දිනය වෙනස් කිරීමට මා හට බලයක් නොමැත.  සැබවින්ම, මා මගේ ජීවිතයේ සෑම සියලු අවස්ථාවකදීම, අන්ත්‍රාව නොතකා තීරණ ගත අයෙකු වශයෙන්, මෙවරත් එවැනිම තීරණයක් ගෙන බලමි.”

තමා අයත් වූ ඛේදනීය පවුල් පසුබිමත්, නූගත් කුරිරු සමාජයකුත් විසින් ඉපදුනු දා පටන් ඇගේ ජීවිතයට අපරිමිත රිදුම් දුන්නද, ප්‍රහාර එල්ල කළද, සුව නොවන මානසික තුවාල මෙන්ම කායික අබාධද තබා ගියද, ඒ සියල්ල කහටක් ලෙසින් සිත් හි කොනක හෝ නොතබා ගනිමින්, තමන් අධිෂ්ඨාන වීර්යයෙන් ජයගත් දිවිය ඔස්සේ පෙරලා යළි සමාජයට ද යමක් දීමේ අදිටන මුදුන් පමුණුවා ගන්නා වොරිස් ඩයිරි තුල උපතින්ම තිබූ නිහතමානීත්වය සහ අව්‍යාජත්වය, ඇගේ පසු කාලීන ක්‍රියාකලාපයන් තුලින් මනාව පැහැදිලි වේ. 
මේ අයුරින් 1999 වසරේදී ලොව පුරා වැඩියෙන්ම අලෙවි වූ ‘Desert Flower ග්‍රන්ථය කාන්තාරයේ කුසුමනමින් සංහල බසට අපූරු ලෙසින් පරිවර්තනය කොට මීට වසර ගණනාවකට ඉහතදී දායාද කළ රංජිත් කුරුප්පු ලේඛකයාගේ අනුවාදය ද, වොරිස් ඩයිරි ගේ සත්‍ය කතාව ඇසුරින් මීට වසර හතරකට පමණ ප්‍රථම තිරගත වූ චිත්‍රපටය ද, ලොව වෙසෙනා සෑම සියළු තරාතිරමකම කාන්තාවන් විසින් මෙතෙක් සිදු කර නැතිනම්, අනිවාර්යයෙන් කියැවිය යුතු සහ නැරඹිය යුතු ග්‍රන්ථ-චිත්‍රපට ද්විත්වයක් මැ වෙති. 
 
~ නිමි -
·සුනාලී ෂානිකා රත්නායක ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදිනියකි.
·sunalie.secretandbeyond@yahoo.com හෝ sue@srilankaguardian.org හරහා ඇය හා සම්බන්ධ විය හැක.