මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ළමා කෘති අංශයේ හොඳම පිටකවරය සඳහා සම්මාන දිනාගත්තේ දුලන්‍යා කුරේ නමැති තවමත් එකොළොස් වියෑති දියණියයි. ඒ ප්‍රවීණ ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහගේ කිරිහාමි, චන්ද්‍රා මාලනී තිලකසේනගේ වටු කිරිල්ලිගේ කතාව යන කෘති අභිබවමිනි. ඉතා කුඩා වයසකදී දරුවෙක් මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම අපේ සාහිත්‍ය වංශ කතාවේ නොමැකෙන සටහනකි. එබැවින් අපි මේ පුංචි ලේඛිකාවගේ ජීවිතයට එබී බැලුවෙමු. මේ සංවාදයට ඇගේ මවද එකතු විය.
දුලන්‍යාගේ වයස ?
අවුරුදු 11 යි.
ඉගෙන ගන්නා පාසල...
ආසියානු ජාත්‍යන්තර පාසල.
මීට කලින් පොත් ලියල තියනවද?
නැහැ. මේ පළවෙනි පොත.
මේ පොත ලියන්න (A Free Breeze) හිතුණෙ ඇයි?
පොතක් ලියන්න හිතුවෙ නෑ.
එහෙනම් ? (ඒ පැනයට දුලන්‍යා නිහඬය. ඊට පිළිතුරු බැන්දේ ඇගේ මවය.)
මව - මෙයාට ලිවීමේ හැකියාවක් තිබුණා. ඒක අපි දැනගත්තෙ දුවගෙ පාසලේ ගුරුවරුන්ගෙන්. මේ කවි පොත පොතක් කරන්න අදහසින් ලිවූ කවි පෙළක් නෙවෙයි. කවි ලිවීම මෙයාට පුරුද්දක් වෙලා තිබුණෙ. මෙයා සාමාන්‍යයෙන් අඩුවෙන් කතා කරන ළමයෙක්. ඒක නැති කරන්න ගුරුවරු අපිත් එක්‌කත් සාකච්ඡා කරල වැඩිපුර කතාබහ කරන අය අතරට මෙයාව දැම්මා. ඒත් ඒ පරිසරය මෙයාට ගැලපුණේ නෑ. ඒ දරුවො අතර ගැවසෙන කාලයේදී මෙයා කරල තියෙන්නෙ මේ විදියට කවි ලියන එක. ඒ කවි දැක්‌ක ගුරුවරු තමයි දුවට කියන්නෙ දුලන්‍යා ඔයා මේවා එකතු කරල පොතක් කරන්න කියල.
එහෙම බිහිවුණ පොතකට මේ වගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබෙයි කියල හිතුණෙ නැද්ද?
සම්මානයක් ගැන අහලකවත් බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. දෙමාපියන් වශයෙන් අපි කළේ දුව ලිව්ව කවි තවත් කෙනෙක්‌ට රස විඳින්න පුළුවන් කියල දැනුණ නිසා එය පොතක් වශයෙන් එළිදැක්‌වීම පමණයි.
ළමා කෘති අංශයෙන් හොඳම පොත් පිටකවරය සඳහා සම්මානය හිමි වන්නෙ.
දුලන්‍යාගෙ චිත්‍ර ඇඳීමේ පුරුද්ද ඇති වෙන්නෙ මොන වගේ වයසකදිද?
ඒක මට මතක නෑ. පොඩි කාලෙ ඉඳන්
අඳිනවා.
ඒක ඔබේ සාමාන්‍ය පුරුද්දක්‌ද?
නැහැ. මම පුරුද්දක් වශයෙන් කරන්නෙ පොත් කියවන එක.
මව - මෙයා ටිකක් හරි අමුතු ළමයෙක්. ඇත්තෙන්ම අඩුවෙන් කතා කරන මෙයා වැඩිපුරම කරන්නෙ පොත් කියවන එක. ඒ පුරුද්ද කොච්චරක්‌ද කිව්වොත් පෝලිමක හිටිගෙන හිටියත්, පාටියකට ගියත් මෙයා පොතක් කියවනවා දැකීම සාමාන්‍ය දෙයක්.
දුලන්‍යාට මේ හැකියාව ලැබෙන්න ඇත්තෙ මොනවගේ හේතුවක් නිසාද?
මව - පොත් කියවීමම තමයි. පුංචි කාලෙ ඉඳන් දුලන්‍යා ඉංග්‍රීසි භාෂාවට දක්‍ෂයි. ඉංග්‍රීසි සාහිත්‍යය පොත් විශාල ප්‍රමාණයක් දුලන්‍යා මේ වයසට කියවල තියනවා.
මේ වෙනකොට පොත් කොච්චරක් විතර කියවල තියනවද?
බ්‍රිටිෂ් කවුන්සිල් එකේ පුස්‌තකාලයෙ තියෙන පොත්වලින් සියයට හැත්තෑවක් විතර මම කියවල තියනවා.
සාමාන්‍යයෙන් මාසයකට පොත් කීයක් වගේ කියවනවද?
පොත් 20 ක් විතර.
ඉංග්‍රීසි භාෂාවෙන් රචිත පොත් විතරද කියවන්නෙ?
නැහැ. සිංහල ලේඛකයන්ගෙ පොත් කියවල තියනවා.
ඒ අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ලේඛකයා හෝ ලේඛිකාව කවුද?
සිබිල් වෙත්තසිංහගෙ පොත්වලට ගොඩක් කැමැතියි. මහාචාර්ය ඡේ. බී. දිසානායක, මාර්ටින් වික්‍රමසිංහ වගේ ලේඛකයන්ගෙ පොතුත් ආශාවෙන් කියවල තියනවා.
දුලන්‍යාගේ පුංචි කාලේ හැසිරීම දෙමාපියන් වශයෙන් ඔබ දැක්‌කෙ කොහොමද?
මව - මෙයා කරදරයක් නැති ළමයෙක්. අපිට කිසිම විටකදි මෙයාගෙ වැඩ ගැන අමුතුවෙන් හොයා බලන්න අවශ්‍ය නෑ. සාමාන්‍යයෙන් පුළුවන් කාලෙ ඉඳන් දුලන්‍යා එයාගෙ වැඩ කරගන්න පුරුදු වුණා. කොහොමටත් එයා අපි එයාගෙ වැඩ කටයුතු කරල දෙනවට කැමැති නෑ.
අනික අපි දැක්‌ක දෙයක් තමයි පුංචි කාලෙදි මෙයාට ගෙනත් දෙන සෙල්ලම් බඩුවලිනුත් දුලන්‍යා උත්සාහ කළේ මොකක් හරි කතාන්දරයක් ගොතන්න.
මේ පොතේ පිට කවරයේ චිත්‍රය අඳින්න දුලන්‍යා භාවිත කළ මාධ්‍ය මොකක්‌ද?
අයිපෑඩ් එකේ තියන පෙපර් කියන සෆ්ට්‌වෙයාර් එකෙන් අයිපෑඩ් එකේ තමයි මේ චිත්‍ර ඇන්දේ. මේ පොතේ කවිවලට ඇන්ද හැම සිතුවමක්‌ම ඇන්දෙ එහෙම.
කවි ලිවීම, චිත්‍ර ඇඳීම හැර දුලන්‍යා වෙනත් විෂය බාහිර කටයුතුවලත් නියෑළෙනවද?
දුලන්‍යා නිහඬව සිනා සේ.
මව - පියානෝ ප්ලේ කරන්න මෙයා ගොඩක් කැමැතියි.
දුලන්‍යා මේ වගේ තැනකට ගෙනෙන්න දෙමාපියන් ලෙස ඔබලා මොනවද කළේ?
මව - අපේ රටේ වැරැදි මතයක් තියනවා හැම ළමයෙක්‌ම මේ විදියට ඉන්න ඕන මේ දේවල්වලින් ඉදිරියට යන්න ඕන කියල. බොහෝ දෙමාපියන් කොටුවෙලා ඉන්නෙ. ඒ මතයෙ අපි හිටියෙ නෑ. ළමයා කැමැති දේකට යොමු කරන්නයි අපි හැම විටම උත්සාහ කළේ.
මේ පොතට (A Free Breeze) ලැබුණ සම්මානය ඔබට දිරිගැන්වීමක් වුණාද?
ඇත්තෙන්ම මෙය මාව දිරිගැන්වීමක්. සමහර ලේඛකයන් මට කිව්වෙ පුංචි ළමයින්ට රස විඳින්න පුළුවන් පොත් ලියන්න මම තාම පොඩි වැඩියි කියලයි. ඒත් මේ සම්මානයෙන් මගේ ලේඛන කලාවට හොඳ වටිනාකමක් ලැබුණා. මගෙ වයස ගැන අවධානය යොමු නොකර මගේ කුසලතාව ඇගයීමකට ලක්‌කිරීම ගැන ඊට සම්බන්ධ සියලු දෙනාටම මම ස්‌තුති කරන්න කැමැතියි.
මොනවද දුලන්‍යාගේ අනාගත බලාපොරොත්තු...?
නාසා ආයතනයේ තාරකා විද්‍යාඥවරියක් වෙන්න හරි, පුරා විද්‍යාඥවරියක් වෙන්න හරි, ලේකාවක් වෙන්න හරි.
සාහිත්‍ය කටයුතුවලට ඔබ කාලය සොයා ගන්නෙ කොහොමද?
උවමනාවක් තියෙනව නම් ඕනම දේකට වෙලාවක් හොයාගන්න පුළුවන්.
සාකච්ඡා කළේ - තිස්‌ස ගුණතිලක
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන