බුදු බණ අහනවනම් අපි මරණයට බයවෙන්න ඕන නෑ!


- පිළිකා රෝහලේ ඉඳන් ලියලා ශිෂ්‍යත්වය පාස්‌ වූ දමිත්

මගෙ දැසට කඳුළු බිඳු නැඟී තිබේ. ඒ ඇයිදැයි මට නොදැනේ. මොණරාගල, වැල්ලවාය ප්‍රදේශයේ ඒ කටුක ශුෂ්ක බිම සිහිවේ. ඒ බිම්කඩේ මහ පොළව සමග හැප්පෙන ප්‍රේමතිලක ගොවි මහතාගේ කරගැට පිරි අත්ල ද මැවී පෙනේ. අශෝකමාලා නම් කාන්තාවක්‌ මේ ප්‍රේමතිලක නම් වන පුද්ගලයා සමග කැත්ත උදැල්ල ගෙන මහ පොළව සමග කරන සටන ද පෙනේ. මහ පොළව සමග මේ දෙදෙනා මෙලෙස ගැටෙන්නේ රටක්‌ රාජ්‍යයක්‌ ඇල්ලීමට නොව ජීවිතය ගැට ගසා ගැනීමටය.


මේ දෙදෙනා හරි දුප්පතුන්ය. මොණරාගල වැල්ලවාය වැනි ප්‍රදේශවල ජීවත්වන කොයි කවුරුත් මහේශාක්‍ය ජීවිත ගත නොකරන අයය.

ප්‍රේමතිලක මහතාත්, අශෝකමාලාත් මහපොළව සමග උරෙනුර ගැටී, ගොවිතැන් බතක්‌ කරන්නේ ජීවිතය ගැට ගසා ගැනීමට වෙනත් ක්‍රමයක්‌ ද නැති නිසාය.

මොවුන් දෙදෙනාට දාව මීට වසර දහතුනකට පමණ පෙර දුවක්‌ උපන්නේ කර්කශක ජීවිතයට අරුතක්‌ එක්‌ කරමිනි. ඇය ඩී. ඒ. ඒ. සරෝජනීය. දැන් ඇය බුදුරුවගල මහා විද්‍යාලයේ අටවන ශේ්‍රණියේ ඉගෙනුම ලබන දක්‍ෂ දරුවෙකි. ඒ දැරිය මීට වසර තුනකට පෙරාතුව පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූයේ ගොවිතැන් කර ජීවිතය යන්තමින් ගැටගසා ගන්නා ප්‍රේමතිලක හේරත්, අශෝකමාලා යන මව්පිය යුවළගේ දැස්‌ කඳුළින් තෙත් කරමිනි.

එපමණක්‌ නොව ඒ මව්පිය යුවළට අහිංසක ලස්‌සන බලාපොරොත්තු පොදියක්‌ ද ඒ දියණියගේ හපන්කමින් ලැබිණි.

අද කතා කරන්නට යන්නේ ඒ හපන් දියණිය පිළිබඳව නොව, ඒ දැරියගේ මල්ලී පිළිබඳවය. ඔහු ද හපනෙකි. පසුගිය අගෝස්‌තු 25 වැනිදා ශිෂ්‍යත්ව විභාගය ලියූ ඒ දරුවා අන් සියලුම ශිෂ්‍යත්ව හපනුන්ට වඩා හපනෙකි. ඒ හපනා දමිත් නුවන් කුමාර දරුවාය. ඌව පළාතේ, මොණරාගල, වැල්ලවාය වැනි පෙදෙසක උපන් මේ දරුවා ද පාසල් ගියේ බුදුරුවගල මහා විද්‍යාලයටය. දරුවා හරි දක්‍ෂයෙකි. උපන් හපනෙකි. පළමු ශේ්‍රණියේ සිටම මේ දරුවා ඉගෙනීම කළේ කැපී පෙනෙන දක්‍ෂතා පෙන්වමිනි. පංතියේ පළමු තැනට පත්වන දරුවන් පස්‌දෙනා අතරේ උන් මේ දරුවා ඇතැම් කරුණු කාරණාවලදී මෙන්ම විෂය බාහිර කරුණුවලදී පුදුමාකාර දක්‍ෂතා පෙන්වන්නට වූයේ ගුරුවරුන්ගේ සිත්වලට සතුට එක්‌ කරමිනි. ඒ දරුවා ලබාදෙන ඇතැම් පිළිතුරු, ගුරුවරුන්ගේ දැස්‌වලට සතුටු කඳුළු එක්‌ කළේ ඒ පිළිතුරු මෙවැනි දරුවකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ අපූර්ව ඒවා වූ නිසාය.

දමිත් නුවන් කුමාර හතර ශේ්‍රණියට සමත් වූයේ 2012 වසරේදීය. ඒ දරුවාගේ පංති භාර ගුරුවරයා වූයේ එච්. එන්. ප්‍රේමවතී ගුරු මෑණියන්ය. ඇය දක්‍ෂ ගුරුවරියකි. රුපියල් ශත නොව ගුරුකම ආත්මය කොටගත් මේ ගුරු මෑණියන්ට මේ දරුවා පිළිබඳ දැනුණේ අපමණ සතුටකි. විශ්වාසයකි. දරුවා දක්‍ෂයෙකි. බුද්ධිමතෙකි. හතර වන ශේ්‍රණියේ මෙන්ම පස්‌ වැනි ශේ්‍රණිය ද භාර වූයේ මේ ගුරුවරියටය. දිනක්‌ මේ දක්‍ෂ දරුවා රෝගීව සිටින අයුරු ගුරුවරිය දුටුවේ පංති කාමරයේදීය.

"ඇයි පුතේ... මොකක්‌ද අසනීපය" ගුරුවරිය දරුවාගෙන් විමසුවේ හිස අතගාමිනි.

"ටිකක්‌ ඔළුව කකියනවා" පුතු කීවේ ඔළුව මේසය මත තබාගනිමිනි.

එදා වේදනා නාශක පෙත්තක්‌ ද දී මේ පිළිබඳව දරුවාගේ දෙමාපියන්ට දැන්වීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු ක්‍රියා කළහ.

මෙම දක්‍ෂ දරුවා ඊට ටික දිනකට පසු අසනීප තත්ත්වය වැඩි වී වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කළේය. පසුව බදුල්ල රෝහලට මාරු කර යෑව්වේ අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට යම් යම් කාරණා අවබෝධ වූ නිසාය. දින එකොළහක්‌ම මේ දරුවා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේ වෛද්‍ය පරීක්‍ෂණ ගණනාවකට මුහුණ දෙමිනි.

ගොවිතැනින් යන්තම් ජීවිතය ගැටගසා ගනිමින් උන් දමිත්ගේ දෙමාපියන්ගේ, අතමිට තිබූ මුදල් සියල්ල මේ දරුවාගේ බෙහෙත් හේත්වලට වැය කළ පසු අහල පහල අයට ණය වන්නට ද ඒ අයට සිදුවූයේ දරුවා සුවවන දින ගණන දිනෙන් දින පසු වූ නිසාය.

සිත එකලස්‌ කරගත නොහැකිය. ගිනි ගහන අව් රශ්මිය ද වගා බිම් ගිනිබත් කර දමමින් තිබිණි. ඒත් දරුවා මේ රෝගී තත්ත්වයෙන් මුදාගත යුතුය. ඒ සඳහා දෙමාපියන් මෙන්ම වැඩිමල් සොයුරිය ද කළ කැප කිරීම පුදුමාකාරය.

අන්තිමේදී මේ දුප්පත්, සාමාන්‍ය දිවි පෙවෙතක්‌ ගෙවූ මව්පිය දෙදෙනාගේ දැස්‌ අග තිබූ අවසන් කඳුළු බිඳු කිහිපය ද බිමට හෙළමින්, දරුවා මහරගම පිළිකා රෝහලට ඇතුළත් කරන ලෙසට වෛද්‍යවරු නිර්දේශ කළහ.

දරුවා මොන තරම් දක්‍ෂ දරුවකු වුවත්, මේ රෝගී තත්ත්වය නිසා දරුවාගේ අධ්‍යාපනයට කණකොකා හඬන්නට පටන්ගෙන තිබිණි. එක අතකින් නැති බැරිකමය. අනෙක්‌ පසින් රෝග පීඩාය. දරුවා මොණරාගල සිට මහරගමට රැගෙන එන්නටත්, ආපසු රැගෙන යන්නටත් බස්‌ ගාස්‌තු ලෙස රුපියල් හත්සියයක්‌ම වැය කිරීමට ඒ පියාට සිදුවී තිබිණි. බසයේ යන විට දරුවාට ද භාග ටිකට්‌ කඩන කොන්දොස්‌තරවරු හමුවේ මේ පියාත්, මවත් අසරණ වූ වාර අපමණය. කාටත් අත නොපා ගොවිතැනින් ජීවිතය ගැටගසා ගැනීමට පුරුදු වූ මොවුනට දරුවාගේ අසනීපය නිසා ඇති වූ අමාරුකම් හමුවේ නම් ඒ දුක දෙවියන්ට කියනවා හැර කියන්නට ද වෙනකකු නොවීය. වේලක්‌ හැර වේලක්‌ කමින් ද, ඇතැම්විට රණවරා කෝප්පයකින්, බෙලිමල් ටිකකින් වේල පිරිමසා ගනිමින් මේ දරුවාට බේත් හේත් කරන්නට මේ මාපියන් පෙළඹුණේ මොන දේටත් වඩා දරු සෙනෙහස අප්‍රමාණව වටිනා නිසාය. ලේ කිරි කළ දරු පැටියා රෝගී වූ විට කෑමට බීමට පිරියක්‌ ද නොඑන බව මව්පියවරු දනිති.

කොහොමින් කොහොමහරි 2013 වසරේදී දරුවා පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට වාඩිවීමට නියමිතව තිබිණි. ඒත් දෛවය පුදුම විදිහට සරදම් කරමින් තිබිණි.

2013 වසරටම දරුවා පාසල් ගියේ දවස්‌ දෙකක්‌ පමණි. "අනේ පව් මේ දරුවා ඉගෙනීමට හරිම දක්‍ෂයි" ගුරුවරු ඔවුනොවුන්ට කියා ගත්හ.

මහරගම පිළිකා රෝහලට මේ දරුවා රැගෙන ගිය පසු දරුවාට පිළිකාවක්‌ වැළඳී ඇතැයි වෛද්‍යවරු කී විට මාපියන්ගේ පමණක්‌ නොව ගුරුවරුන්ගේ ද නෙතග තිබූ කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා ගලා හැලෙන්නට පටන් ගත්තේ ඇතිවූ දුක වාවාගත නොහැකිය.

කෙසේ හෝ මේ දරුවා පිළිකාවට බිය වූයේ නැත.

"ඇයි අම්මේ අඬන්නේ. අපි කවුරුත් මැරෙනවා. අම්මා හැම පෝයටම සිල් ගන්නවා නේද? බුදු බණ අහනව නම් අපි මරණයට බිය වෙන්න ඕනේ නෑ" මේ පොඩි පුතුව සිප ගනිමින් හඬන විට පුතු මවට දිරිය දුන්නේ එවැනි ලොකු හරවත් පිළිතුරුවලිනි.

තලන විට මුවත තියුණු වන පිහි තලයක්‌ සේ මේ පොඩි පුතු පිළිකාව හමුවේ හිතට ධෛර්ය ඇති කරගත්තේ කොයි කවුරුත් පුදුමයට පත් කරමිනි.

පුතු එලෙස හැසිරෙන විට ඒ පොඩි පුතුගේ මව්පියන්ට ද දැනුණේ පුදුම හයියකි. මේ දුක කාටත් පොදුය. අපිට වඩා දුක්‌ විඳින අය තව කොතෙක්‌ද? ටික කලකින් මේ අයට එලෙස සිතුණේ පුතු ශිෂ්‍යත්ව විභාගයට තනියෙන්ම ඉගෙන ගන්නට වූ කලය.

පාසල් යැමට නොහැකි වුවද පුතා පාඩම් පොත අමතක කළේ නැත. පාඩම් පොත පමණක්‌ නොව අනෙකුත් පොත් පත්ද, පත්තර ද මේ පොඩි පුතුගේ මිතුරන් වූයේ ඔය පරිද්දෙනි.

"පුතේ... මගේ පුතේ ඔයාට වරදින්නේ නෑ. අනේ මගේ පුතුව මේ ලෙඩෙන් ගලවලා දෙන්න." මව හැම පෝයකටම සිල්ගෙන ප්‍රාර්ථනා කළේ ඔය ටිකය.

පසුගිය අගෝස්‌තු 25 වැනිදා ඉරිදාවකි. එදින මේ පුතු ශිෂ්‍යත්ව විභාගයට ගියේ ලෙඩ පිටිනි. මවගේ දැසේ කඳුළුය. පියාගේ හදවතේ ගින්නකි. පුතුගේ සිතේ තිබුණේ මව්බස, ගණිතය, සාමාන්‍ය දැනීම ආදී උත්තර ගොඩකි. ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රවල පෙළ ගස්‌වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීමට මේ පොඩිපුතු සිටියේ දැනුමින් සන්නද්ධවය. සිතේ ගින්දර නොතිබුණාම නොවේ. හිත යට තිබූ ඒ ගින්දර මේ පොඩි පුතුගේ සිතට දුන් වධ වේදනා දන්නේ ඒ පුතුත්, ඒ පුතුගේ මව්පිය දෙදෙනාත්, සොයුරාත්, පාසල් ගුරුවරුත් පමණකි.

විභාගය ලියා නිවසට පැමිණි පුතු සිටියේ පෙර පරිදිම සැහැල්ලුවෙනි.

මරණයට බිය නැති මේ පුතු මිස, අපට නම් විභාගයට තබා ජීවත්වීමටවත් නොහිතෙන බව ඇතැමුන්ට සිතෙනු ඇත. නමුත් මේ පුතු අපි කොයිකාටත් ආදර්ශයකි. පූර්වාදර්ශයකි. සිත කැඩී කැබලි වී යන තරමේ දුක්‌ කරදර පැමිණියත්, සිත ලෙඩ කරගත නොහැකි බව මේ පුතු අපට කියා දී ඇත. අධ්‍යාපනයේ ඒ හැටි ගැඹුරක්‌ නොදත් මේ පොඩි පුතුගේ මව්වරුන්ට, පියවරුන්ට, ජීවිතයේ ගැඹුර හොඳ හැටි දැනී තිබිණි. පුතුට ජීවිතයේ ගැඹුර පමණක්‌ නොව අධ්‍යාපනයේ ගැඹුර ද දැනී තිබිණි.

ලෝක ළමා දිනය යෙදී තිබූ පසුගිය බදාදා (02 වැනිදා) බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබිණි.

ඩී. ඒ. ඒ. දමිත් නුවන් කුමාර දරුවාගේ නම ඉදිරිපිට ලකුණු 164 ක්‌ ලකුණු වී තිබිණි. විදුහල්පතිවරයා මුලින්ම කළේ සිත සැහැල්ලු වී, උගුරේ සිරවී තිබූ මහා වේදනාව තුනී වෙන තුරු සුසුමක්‌ හෙළීමය. නොදැනම දැසට කඳුළු නැගින.

මුළු පාසල පමණක්‌ නොව පළාතම මේ දරුවාගේ හපන්කම පිළිබඳ කතා කළේ රෝගී නොවූයේ නම් ලංකාවෙන්ම පළවැනියා වීමට තරම් මේ දරුවා දක්‍ෂයකු බව කියමිනි.

මේ දරුවා පිළිකාවෙන් ගලවා ගන්නට හැකි වෛද්‍යවරු නැතිවා නොවේ. ඒ සඳහා මුදල් අවශ්‍යය. මෙවැනි රෝගයකට ගොදුරුව ලකුණු 164 ක්‌ ලබාගැනීම සුළුපටු දක්‍ෂතාවක්‌ නොවේ. එය අසමසම එකකි.

වැල්ලවාය, නුගයාය මේ දරුවාගේ ලිපිනයය. පිං කැමති ඔබට පමණක්‌ නොව පිං නොපතන ඔබටත් මේ දරුවා මෙතැනින් ගලවා, උගන්වා බේරාගත හැකිය. වැල්ලවාය, බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ද දරුවා පිළිබඳ විමසිය හැකිය. පොඩි පුතේ නුඹ සැබෑ දක්‍ෂයෙකි. අපි නුඹට නිරෝගී සුව පතමු. නුඹට ජයෙන් ජය පතමු. නුඹේ ජයග්‍රහණය අපට දැනෙන්නේ අපේ පුතුගේ ජයග්‍රහණයක්‌ ලෙසිනි. නුඹ මෙවර පහේ ශිෂ්‍යත්වයේ අපේ කතා නායකයා කරගත්තේ නිකම්ම නොවේ. ඒ නුඹේ නොසැලෙන අධිෂ්ඨානශීලී ජයග්‍රහණය නිසාය.

ශිරාන් රණසිංහ
ඡායාරූප සහ පසුබිම් වාර්තා
මොණරාගල - නයන ඉහළගෙදර