ඇමෙරිකානු තානාපතිනිය සෝභිත හිමි හමු වුණේ ඇයි ? - උපුල් ජෝශප් ප්‍රනාන්දු


දැනට සතියකට දෙකකට උඩදී ආණ්ඩුව කලබලයට පත් කළ සිද්ධියක් සිදු වුණා. ඒ තමයි සෝභිත හිමියන් බැහැ දකින්න ඇමෙරිකානු තානාපතිනිය පැමිණීම. ඇමෙරිකානු තානාපතිනිය සෝභිත හිමියන් බැහැ දකින්න ගිහින් තිබුණේ උන්වහන්සේගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සමාජ ව්‍යාපාරය ගැන කරුණු අහන්න.
 
ඇමෙරිකාව මේ කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මැදිහත් වුණ රටවල් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි බංග්ලාදේශය. 2007 බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජනතාව පාරට බැස්සාම ලොකු දේශපාලන අර්බුදයක් ඇති වුණා. එම අර්බුදය විසඳන්න හමුදාවේ සහායෙන් අන්තර් පාලන ආණ්ඩුවක් බලයට පත් වුණා. එරට අර්බුදය විස¼දන අන්තර් පාලන ආණ්ඩුව පිහිටුවීමත් එම අන්තර් පාලන ආණ්ඩුව හරහා එරට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීමත් පිටුපස ඇමෙරිකාව ලොකු කාර්යභාරයක් කළා. එකල බංග්ලාදේශයේ ඇමෙරිකානු තානාපතිනිය ලෙස සිටියේ ලංකාවෙ හිටපු ඇමෙරිකානු තානාපතිනිය ප්‍රැටිෂියා බුටනීස්. ඇය බංග්ලාදේශයේ මැතිවරණ කොමසාරිස් ගෙන්වා සාකච්ඡා පැවැත්වීම එරට විශාල ආන්දෝලනයකට තුඩුදුන් පුවතක් වුණා. එසේම ඇය එරට ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලනඥයන් හමුවීමත් විනිසුරුවන් හමුවීමත් කතාබහට ලක් වුණා. ඇයගේ අරමුණ වූයේ බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමයි. කෙසේ හෝ ඇය එරට අන්තර් පාලන ආණ්ඩුව හරහා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න සමත් වුණා. එහිදී ඡන්දදායකයන් අලුතින් ලියාපදිංචි කොට මැතිවරණ කොමසාරිස් කළ සේවය අති විශිෂ්ටයි. එහිදී ඇයට හයියක් වුණේ එරට සිවිල් සංවිධානයි.
 
බංග්ලාදේශයට කලින් නේපාලයේදී ඇමෙරිකාව දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවන රජයන් බිහි කරන හැටි අත්හදා බලා තිබුණා. නේපාලයේ රජුගේ පාලනයත් මාඕවාදීන්ගේ කැරැල්ලත් නිසා 2006දී රට තුළ විශාල දේශපාලන අර්බුදයක් මතු වුණා. මෙම අර්බුදය නිම කොට එරටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන ව්‍යාපාරය පිටුපස ඇමෙරිකාව බංග්ලාදේශයේ වගේම ලොකු කාර්යභාරයක් කළා. කෙසේ හෝ රජුව ඉවත් කොට මහජන ආණ්ඩුවක් ඇති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාඕවාදී කැරැලි නායකයන්ගේත් සහභාගිත්වයෙන් අන්තර්පාලන ආණ්ඩුවක් ඇති කිරීමට ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට හැකි වුණා. එහෙත් ඉන් පසුව කලින් කලට බලයට පත්වූ ආණ්ඩු වැටීමෙන් රට යළි අස්ථාවර වුණා. අස්ථාවරත්වයට හේතුව ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වූ පරිදි රටට සරිලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්න එරට දේශපාලන පක්‍ෂවලට බැරි වීමයි. දැන් ආපහු ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීමෙන් ඔක්කොම දේශපාලන පක්‍ෂවල එකඟත්වයෙන් අන්තර් පාලන ආණ්ඩුවක් පත් කර ගන්න සමත්වෙලා තියෙනවා. ඒ ආණ්ඩුවේ නායකයා එරට අගවිනිසුරුයි. අගවිනිසුරුගේ නායකත්වයෙන් එරට නිදහස් සහ සාධාරණ ඡන්දයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රජයන නව ආණ්ඩු ක්‍රමයක් සකස් කර ගැනීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මැදිහත්වී ක්‍රියා කරනවා. කෙසේ හෝ රජුගේ පාලනය බිඳ දැමීම එහි විශාල ජයග්‍රහණයක්.
 
පසුගිය වසරේ මාලදිවයිනේද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කළේ ඒකමයි. වසර ගණනාවක් එක දිගට මාලදිවයින පාලනය කළ අබ්දුල් ගයුම් එරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට තිබුණේ බලයට පත් මුල් කාලයේ. 2008 දී එරට විපක්‍ෂයේ සියලු පක්‍ෂ එකතු කොට දේශපාලන සන්ධානයක් නිර්මාණය කොට මාලදිවයිනට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්න ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සෘජුවම මැදිහත් වුණා. ගයුම් පරාජය වී නෂීඩ් බලයට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන නව ව්‍යවස්ථාවක් යටතේ නෂීඩ් එරට ජනාධිපති වෙනවා. ඒත් නෂීඩ් ගයුම් වගේ එරට විපක්‍ෂය මර්දනය කරන්න උත්සාහ ගන්න කොට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තම සහායෙන් බලයට පත් නෂීඩ්ව මෙල්ල කරනවා. නෂීඩ් එරට අගවිනිසුරුව අත්අඩංගුවට ගන්නා තරමේ පිස්සුවක් කෙළිනවා. අවසානයේදී නෂීඩ්ව බලයෙන් පහකොට ඔහුගේ උප ජනාධිපතිව ජනාධිපති ධුරයට පත් කරන සැලැස්මක් දියත් වෙනවා. උප ජනාධිපති, ජනාධිපති ධුරයට පත්වී මාලදිවයිනට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලබා දෙන බවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට පොරොන්දු වෙනවා. පසුගිය දින පැවැත්වූයේ ඒ ඡන්දයයි.
 
දකුණු ආසියාවේ ඒකාධිපතිත්වයට පාර කපන ව්‍යවස්ථා වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදය කැඳවන ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාර්ග සිතියම බංග්ලාදේශයෙන් පටන්ගෙන මාලදිවයින දක්වා ව්‍යාප්ත වුණේ ඔහොමයි. ඇමෙරිකාව මේ රටවලට මාර්ග සිතියම හදන කොට චීනය මේ රටවල් ගිලගන්න බලාගෙන හිටියේ මකරුන් වගේ. චීනයට ඉඩ නොලැබුණේ ඇමෙරිකාවේ මාර්ග සිතියමට කලාපයේ බලවතා ඉන්දියාව ආශීර්වාද කළ නිසයි.

ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය හැකි සේම ජනාධිපති බලය තර කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇමෙරිකාව සිය විරෝධතාව ප්‍රකාශ කළේ එළිපිටම. එම නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සෝභිත හිමිගේ සමාජ ව්‍යාපාරයට ඇමෙරිකාවේ හිත ඇදිලා ගිහින් තියෙන්නේ නිකම්ම නොවේ.