එදා කණ්ඩලම අද රතුපස්වල - උපුල් ජෝශප් ප්‍රනාන්දු

 "වතුර කියන්නේ ජනතාවගේ මූලික අයිතියක්. ත්‍රස්තවාදීන්ට ජනතාවගේ ඒ මූලික අයිතිය නැති කරන්න දෙන්න බැහැ. ඒ නිසයි මාවිල්ආරු සොරොව්ව එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස් කර ගන්න මේ යුද්ධය පටන් ගත්තේ. මේ යුද්ධයට මානුෂීය මෙහෙයුමක් කියලා මම කියන්නේ ඒ නිසයි..."
 
මහින්ද රාජපක්ෂ
2013.03.21
                                අනේ සකෝ බල ලෝ කියන්නේ ඒකටය.
 දැනට මාස කිහිපයකට පෙර මෙහෙම කිවුව මහින්ද අද වැලිවේරියේ ජනතාවට කියන්නේ මොකක්ද කියලා කල්පනා කරනවා විය යුතුය.

එදා එල්.ටී.ටී.ඊ.ය මාවිල්ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර අහිමි කළේය. අද මේ ආණ්ඩුව වැලිවේරියේ ජනතාවට වතුර පමණක් නොව ජීවිතත් අහිමි කර ඇත. වතුර ඉල්ලා හඬන අහිංසක ජනතාවගේ ජීවිත බිලිගන්න තරම් "අපේ මිනිහාගේ ආණ්ඩුව" අපේ මිනිහට මේ තරම් කුරිරු වුණේ ඇයි?

 එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදීන්ය. ත්‍රස්තවාදීන්ට ජනතාව ගැන කැක්කුමක් නැත. ඒත් මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවකට ත්‍රස්තවාදීන් හෝ ජනතාවගේ මූලික අයිතීන් අහිමි කළ නොහැකිය.
 
මේ ආණ්ඩුව ආණ්ඩුවට එරෙහි වන කවුරුන් හෝ ත්‍රස්තවාදීන් ලෙස සලකා දඬුවම් දෙන්න පටන් ගත්තේ යුද්ධය අවසන් වෙන්නත් කලින්ය. ඉස්සෙල්ලාම පටන් ගත්තේ මාධ්‍යවේදීන්ට දඬුවම් දෙන්නටය. ඊට පස්සේ එන්.ජී.ඕ.කාරයන්ටය. ඊටත් පස්සේ ආණ්ඩුව ඇතුළේ ඉන්නා ආණ්ඩුවට එරෙහි දේශපාලනඥයන්ට මෙන්ම ආණ්ඩුවට එරෙහි වන විපක්ෂ දේශපාලනඥයන්ටය. අධිකරණයෙන් ආණ්ඩුවට එරෙහිව තීන්දු දෙන අය පමණක් නොව ආණ්ඩුවට අපලයි කියන ජේ‍යාතිෂවේදීන් පසුපසද ආණ්ඩුව පන්න පන්නා දඬුවම් දුන්නේය.
 
දැන් ආණ්ඩුව දඬුවම් දෙන්න පටන් ගෙන තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව පාරට බහින ජනතාවටය. ඇත්තටම වැලිවේරියේ ජනතාව පාරට බැස්සේ ආණ්ඩුවට එරෙහිව නොව කොම්පැනියකට එරෙහිවය.

"රනිල් මහත්තයයි මහින්ද මහත්තයයි අතරෙ වෙනස රනිල් මහත්තයා නියෝජනය කරන්නේ කොම්පැනිකාරයෝ. මහින්ද මහත්තයා නියෝජනය කරන්නේ සේවකයෝ. අහිංසක ජනතාව....."

2005 ජනාධිපතිවරණ කාලයේ විමල් වීරවංශලා මිනිස්සුන්ට කියලා දුන්නේ එහෙමය.
 
කතාව ඇත්තය. ප්‍රේමදාසගේ ආණ්ඩුව කණ්ඩලම හෝටලය හදන කාලයේ ගම්මු එක්ක පාරට බැහැලා සත්‍යග්‍රහ කළේ මහින්ද මහත්තයලාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කොම්පැනිකාරයන්ට සහන දෙන කොට ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී සේවක අයිතීන් වෙනුවෙන් සටන් කළේ මහින්ද මහත්තයාය.

"එහෙව් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් යටතේ මෙහෙම වෙන්නේ කොහොමද?......"
 
ඉතිහාසය පුරාම මහජන උද්ඝෝෂණවලට වෙඩි තියපු අවස්ථා ඇත. හැබැයි ඒ මරණ අවම කරගෙනය. වැඩිම වුණොත් එක් මරණයක් පමණි. ඒ මරණයත් අහම්බයෙනි. මෙතැන මරණ තුනකි. ඒ කියන්නේ මරන්න බලාගෙනම කරපු මෙහෙයුමකි. හරියට යුද්ධ කාලයේ එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට ගහනවා වගේය.

"වැලිවේරියේ නිරායුධ මිනිස්සු මරන්න මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද...?"

අද වැලිවේරියේ වතුර ඉල්ලන ජනතාවටය. හෙට බඩගින්නේ කන්න ඉල්ලන ජනතාවට විය හැකිය.
 
මේ මෙහෙයුමට නියෝග දුන්නේ කවුරු වුණත් දීලා තියෙන්නේ බය කරන්නටය.

"පාරට බැස්සොත් වෙඩි කන්න වෙයි..."

ආණ්ඩුව වැලිවේරියෙන් රටට දෙන්න ගිය පණිවුඩය ඒකය. හැබැයි රට අරන් තියෙන පණිවුඩය නම් ඒක නොවේ.
 
"මේ අයට වැඩි කලක් තිබ්බොත් අපි හැමෝටම වෙඩි කන්න වෙයි...."

මේ මිනිස්සු අරගත්ත පණිවුඩයය. වැලිවේරිය හුදකලා සිද්ධියක් නොවේ. කටුනායක කම්කරු උද්ඝෝෂණයකදී තරුණ කම්කරුවෙක් මිය ගියේය. හලාවත ධීවර උද්ඝෝෂණයකදී ධීවරයෙක් වෙඩි කා මළේය. මේ ඊළඟ උද්ඝෝෂණයය. මේ උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරයෙන් දැනට මිය ගිහින් තියෙන්නේ එක්කෙනෙක් නොව තුන්දෙනෙකි.
 
දයාසිරිව අරගෙන උර්ෂූර් වුණ ආණ්ඩුව දැන් අත්වල ලේ තවරාගෙන ඉන්නේ ඔළුව හංගාගෙනය. මේ ආණ්ඩුව කමිටු දාන්න හරි දක්ෂය. වෙඩි තිබ්බේ කවුද කියලා හොයන්න, නියෝග දුන්නේ කවුද කියලා හොයන්න හරිම දක්ෂය. කටුනායක වෙඩි තැබීමටත් කමිටු දැම්මේය. හලාවතටත් කමිටු දැම්මේය. මේ රස්නේ යනකන් දමන කමිටුය. තුනෙන් දෙකක බලයක් තියෙන ආසියාවේ ශක්තිමත්ම ආණ්ඩුව වෙඩි තියන්න නියෝග දුන්නේ කවුද කියලා දන්නේ නැත.
 
මේකත් හරියට 13 වගේය. ඉඩම් සහ පොලිස් බලයත් එක්ක පළාත් සභා ඡන්ද තියනවාට ආණ්ඩුව විරුද්ධය. ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි ආණ්ඩුවම කියයි. කිය කියා පොලිස් සහ ඉඩම් බලයත් එක්ක ඡන්දේ තියන්නෙත් ආණ්ඩුවමය. මේවා ආණ්ඩුව කියන්න ඕනා කොණ්ඩේ බැඳපු චීන්නුන්ටය. මේක බලාගෙන ගියාම ලෝකයේ තියෙන දුර්වලම ආණ්ඩුවය. ඉඩම් සහ පොලිස් බලය එක්ක ඡන්දේ තියන්නේත් ආණ්ඩුව අකැමැතිවය. වෙඩි තියන්න නියෝග දෙන්නෙත් ආණ්ඩුව දන්නේ නැතිවය. අනේ සකෝ බල ලෝ කියන්නේ ඒකටය.