දේශප්‍රෙමීන් ආපසු හැරෙව් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

"පිල්ලේ කොටි බළල් අතක්..."

"පිල්ලෙගේ කොටි පිල්ලිය පරදවමු...."
 
 වැඩි කාලයක් නැත. මේ අවුරුද්දේ මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව එද්දී ආණ්ඩුවේ දේශප්‍රේමීන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කෑමොර දුන්නේ එහෙමය. පිල්ලේගේ මුහුණට කොටි රැවුල දමා පිල්ලේ කොටිදෙනක් කර පෙන්වන පින්තූර රැගෙන දේශප්‍රේමීහු කොළඹම දෙවනත් කළහ.

එහෙව් පිල්ලේව දැන් මේ ආණ්ඩුව රතු පලස් එළා පිළිගන්න සූදානම් වේ. පිල්ලේ එන්නේ තායිලන්තයේ හෝ ජපානයේ කුමරියන් වගේ හායි හූයි කියල යන්න නොවේ. පිල්ලේ එන්නේ යටත්විජිත සමයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාවේ තත්ත්වය පරීක්‍ෂා කර බලන්න ඩොනමෝර්, සෝල්බරි සාමිලාව එව්ව වගේය. පිල්ලේ හමුවන්නේ කවුද කියල තීරණය කරන්න ආණ්ඩුවට බැරිය. ඒක තීරණය කරන්නේ පිල්ලේය.
 
සාමාන්‍යයෙන් ලංකාවට එන විදේශ අමුත්තන් හමුවන්නේ කවුද, ඔවුන් යන එන තැන් ගැන කලින්ම මෙරට විදේශ අමාත්‍යංශයට දන්වා අනුමැතිය ගත යුතුය. විදේශ අමුත්තෙක් තමන් ලංකාවේදී හමුවන්න කැමැති අයගේ ලැයිස්තුව විදේශ අමාත්‍යංශයට එවපු විට එම විදේශ අමුත්තා යම්කිසි අයෙක් හමුවීම තමන්ට ප්‍රශ්නයක් යැයි ආණ්ඩුව හිතන්නේ නම් එම හමුවට විරෝධය පළකොට එය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුවට පුළුවන. එවිට එයට එරෙහි වෙන්න විදේශ අමුත්තාට බැරිය. නිදහසින් පසු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය විදේශ අමුත්තන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ එසේය.
 
ඒත් මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව ඉදිරිපත් කොට සම්මත කළ යෝජනාව නිසා එම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට මහින්දගේ ආණ්ඩුවට සිදුවී තිබේ.

මෙම මානව හිමිකම් කොමිසමේ යෝජනාවෙන් ලංකාව යළි යටත්විජිතයක් බවට පත්වීමේ අනතුරක් ඇති බව විපක්‍ෂය කලින් සිටම ආණ්ඩුවට පෙන්වා දුන්නේ එම නිසාය. පිල්ලේ ලංකාවට එන්නේ ලංකාව මානව හිමිකම් කොමිසමට යටත් කොට තමාට එම කොමිසමෙන් පවරපු බලය ක්‍රියාත්මක කරන්නටය.
 
ඇය එන්නේ විදේශ අමුත්තියක් ලෙස නොව බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ සෝල්බරි සාමිලා ආවා වගේ යැයි කීවේ එහෙයිනි.

බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍ය යටත්විජිතයක් වූ ලංකාවට නියෝජිතයෙක් එවන විට එකල ලංකාවේ යටත්විජිතය ආණ්ඩු කළ ආණ්ඩුකාරවරුන්ගේ කකුල් වෙව්ලයි. හේතුව එම නියෝජිතයා තම පාලනයට එරෙහිව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට කේලාම් කියයි කියන බයටය. අද මේ ආණ්ඩුවේත් කකුල් වෙව්ලන්නේ පිල්ලේ ඇවිත් ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කොමිසමට වාර්තාවක් දෙයි කියන බයටය.

ආණ්ඩුවේ දේශප්‍රේමීන් පිල්ලේගේ පිල්ලිය ලෙස හැඳින් වූ පිල්ලේ ලංකාවට එන්නේ මෙලෙස ආණ්ඩුවේ කකුල් වෙව්ලද්දීය.
 
ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට පළමු යෝජනාව ඉදිරිපත් වූයේ 2012 දීය. එදාත්, මෙම වසරේ මුල ඉදිරිපත් වූ යෝජනාව වේලාවේදීත් ආණ්ඩුව පිල්ලේට එරෙහිව විරෝධතා ව්‍යාපාර පවත්වන්න වෙනම මුස්ලිම්වරුන් සංවිධානය කළේය. ඔවුහු පිල්ලේ සී.අයි.ඒ. පිල්ලියක් බව කියමින් පෙළපාළි ගියහ. හැබැයි වැඩි කාලයක් ගියේ නැත. ආණ්ඩුවේ දේශප්‍රේමීහු මුස්ලිම්වරුන්ට ගහන්න පටන්ගත්හ. එවිට මුස්ලිම්වරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළේ පිල්ලේය. පිල්ලේ ලංකාවට එන විට මුස්ලිම් සංවිධානද පිල්ලේ හමුවීමට සූදානමින් සිටින බව ආරංචිය. රතුපස්වල සිද්ධිය සම්බන්ධ මෙරට කතෝලික පල්ලියේ රතු නිවේදනයද පිල්ලේගේ අවධානයට ලක්වී ඇත.
 
එහෙම බලන කොට පිල්ලේ ලංකාවට එන්නේ එදා බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ බේ්‍රස්ගර්ඩ්ල් සිද්ධිය පරීක්‍ෂා කොට විභාග කර බලන්න බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාවට යවපු නියෝජිතයන් සේය.

බේ්‍රස්ගර්ඩ්ල් සිද්ධියට මුල්වුණේ වතුකරයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බි්‍රතාන්‍ය ජාතික වාමවාදී බේ්‍රස්ගර්ඩ්ල්ය. එවකට යටත්විජිත ආණ්ඩුකාර ස්ටබ්ස්, බේ්‍රස්ගර්ඩ්ල් ලංකාවේ වාමාංශික පක්‍ෂ සමඟ එක්වී දියත් කළ කම්කරු සටන්වලට එරෙහිව දැඩි මර්දනකාරී පියවර ගත්තේය. අවසානයේදී ඔහු බේ්‍රස්ගර්ඩ්ල්ව රටින් පිටමං කරන්න තීරණය කළේය. මෙම තීරණයට එරෙහිව වාමාංශික පක්‍ෂ කම්කරුවන් සංවිධානය කරද්දී බණ්ඩාරනායකලාගේ සිංහල මහ සභාවද, සේනානායකලාගේ ජාතික සංගමයද එයට සහාය පළ කළහ. මෙහිදී තමන් පත්කළ ආණ්ඩුකාරවරයා නිවැරැදි ලෙස ක්‍රියා කර ඇතිදැයි බලන්න බි්‍රතාන්‍ය අධිරාජ්‍ය ලංකාවට නියෝජිතයන් යැවීය. මෙහිදී පොලිස්පතිවරයාද බලය අයුතු ලෙස යොදවමින් ක්‍රියා කර ඇති ආකාරය අනාවරණය විය. එසේම 1915 කැරැල්ලේ සිට ආණ්ඩුකාරවරයා පොලිස්පතිවරයා පාවිච්චි කොට ක්‍රියාත්මක කොට ඇති මර්දනකාරී ක්‍රියා කලාපයද බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අවධානයට ලක්විය.
 
ලංකාවට නිදහස ලබා දෙන්න බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් වූයේ බේ්‍රස්ගර්ඩ්ල් සිද්ධියේ කොමිෂන් වාර්තාවය.

පිල්ලේ ලංකාවට එන්නේත්, මහින්දගේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන එවැනි වාර්තාවක් හදන්නටය. ඒ සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව පිල්ලේට බලය පවරන විට පිල්ලේ වටා හිටියේ ලංකාවේ දමිළ ජනයා පමණි. දැන් මේ වෙනකොට මුස්ලිම් ජනතාව පමණක් නොව ආණ්ඩුවෙන් බැටකන සිංහල ජනතාවද පිල්ලේගෙන් සාධාරණයක් බලාපොරොත්තුව සිටී.
 
ආණ්ඩුවත් කපන්න බැරි අත සිඹිනවා වගේ පිල්ලේට රතු පාවඩ එළයි. පසුගිය මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව දෙවැනි යෝජනාව ඉදිරිපත් වූ විට ආණ්ඩුවේ මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ කීවේ පිල්ලේ පක්‍ෂග්‍රාහී බවත්, ලංකාව සම්බන්ධ ප්‍රශ්නයේදී පිල්ලේ පැත්තක් ගෙන ක්‍රියා කරන බවත්ය. ලංකාවට එරෙහි යෝජනාව සකස් කරන්න පිල්ලේගේ කාර්යාලයද මැදිහත් වූ බවට ලංකා ආණ්ඩුව චෝදනා කළේය. එම නිසා මානව හිමිකම් කොමිසමේ සම්මත වූ යෝජනා ලංකාව පිළිගත්තේ නැතැයි මහ හයියෙන් කීවේය. එතකොට දේශප්‍රේමීහු අත්පොළසන් දුන්හ. වික්ටෝරියා රැජනගේ පිළිමය ජනාධිපති මන්දිරයෙන් ගලවා කොළඹ මුල්ලකට දමන විටද දේශප්‍රේමීහු අත්පොළසන් දුන්හ.

දැන් වික්ටෝරියා රැජනගේ පිළිමය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ප්‍රතිසංස්කරණය කොට කොළඹ ප්‍රධාන තැනක සවිකරන්න යයි. ඒ බි්‍රතාන්‍ය මහ රැජනට බයේය. කොටිදෙන කියපු පිල්ලේට රතු පාවඩ එළා පිළිගෙන පිල්ලේගේ පිල්ලිය පල්ලියක් කරගෙන වඳින්න දත කට මැදගෙන බලා සිටී.
 
"දේශප්‍රේමීන් ආපසු හැරෙව්..."

ආණ්ඩුවේ අලුත්ම සටන් පාඨය ඒකය.