පිල්ලෙට එන්න පාර කැපුවෙ ආණ්‌ඩුවමයි! - ආචාර්ය දයාන් ජයතිලක


එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට අපේ රටේ විවිධ පාර්ශවයන්ගේ විග්‍රහයට ලක්‌වූ කාරණයකි.

මහකොමසාරිස්‌වරියගේ මෙම සංචාරය පිළිබඳ 2011 වසරේදී විරෝධය පළ කළ එවකට ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක අද ඇයගේ මෙම සංචාරය සිදුවිය යුත්තක්‌ මෙන්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයක්‌ ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු බවද ප්‍රකාශ කරයි. එම ප්‍රකාශයට පසුබිම් වූ සිදුවීම්දාමය ඔහු මේ හෙළිකරන්නේ මුල් වරටය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නියෝජ්‍ය සභාපතිවරයකු ලෙසද ප්‍රංශ සහ යුනෙස්‌කෝ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙසද ආචාර්ය දයාන් ජයතිලක කටයුතු කර ඇත.

නවනීදන් පිල්ලෙ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ඔබ අද දරන මතය කුමක්‌ද?

නවනීදන් පිල්ලෙ මහත්මියගෙ මේ ගමන ගැන මට මුලින්ම දැනගන්න ලැබුණේ 2011 අප්‍රේල් මාසෙ. ඒ මොහොතෙ ඒ ඇරයුමේ ප්‍රඥගෝචරභාවය ගැන මම තදින් ප්‍රශ්න කළා. ඒ අවස්‌ථාවේ එතන හිටපු ජනාධිපතිතුමාගේත් විදේශ ඇමැතිතුමාගේත් ප්‍රතිචාර මට දැනගන්න ලැබුණා. එවකට ජිනීවාහි සේවය කළ මෙරට නියෝජිතයා ඒ ආරාධනාව ලිතව නවිපිල්ලෙ මහත්මියගෙ කාර්යාලයට යවා තිබුණෙ කොළඹට නිසි දැනුම්දීමක්‌ හෝ නොකර.

2011 දී මම නවනීදන් පිල්ලෙ මහත්මියගෙ මේ සංචාරය ගැන යම් විරෝධයක්‌ පෑව තමයි. මගේ ඒ විරෝධාකල්පය අද වෙනස්‌ වෙලා තියෙනව. මගෙ අද මතය නවිපිල්ලෙ ලංකාවට පැමිණීම හොඳයි.

ඇයි ඔබ අද එහෙම කියන්නෙ?

2011 වනවිට 2009 දී අපි ජිනීවාවල අත්කරගෙන තිබූ ජයග්‍රහණය බිඳ වැටී තිබුණේ නෑ. නමුත් 2012-2013 වනවිට තත්ත්වය වෙනස්‌ වුණා. අපේ රට ජාත්‍යන්තර තලය තුළ කඩාවැටීමකට ලක්‌වුණා. ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ තුළින් යුද්ධයේ අවසාන දවස්‌ පිළිබඳ සොයා බැලිය යුතුයි කියන නවිපිල්ලෙගෙ සටන් පාඨය 2009 දී අපට පරාජය කරන්න පුළුවන් වුණාට 2012 - 2013 දී අපට පරාජය කරන්න බැරි වුණා. ජාත්‍යන්තර වශයෙන් අද අපට වාසිදායක තත්ත්වයක්‌ නෑ.

මේ කාසියේ එක පැත්තක්‌ විතරයි. මේ වන විට අපේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ මානව හිමිකම් සහ නිදහස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් තිබෙනව. ඒ කාසියේ අනිත් පැත්ත. උදාහරණයක්‌ හැටියට රතුපස්‌වළ සිදුවූ මිනිස්‌ ඝාතන. මෙන්න මේ අලුත් සාධක දෙක එනම් ජාත්‍යන්තරය තුළ අපේ රට පිරිහීම සහ මානව හිමිකම් ක්‌ෂේත්‍රය තුළ ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය නිසා 2011 දී නවිපිල්ලේගේ ලංකා සංචාරය පිළිබඳ සැක සංකා පළ කළ මම අද ඇයගේ පැමිණීම හොඳයි කියන මතයේ ඉන්නවා.

ඔබ හිතන්නෙ නවනීදන් පිල්ලෙ මහත්මියගෙ ගමනින් අපේ රටට වාසියක්‌ වෙයි කියලද?

අද හුඟදෙනෙක්‌ අමතක කරන කාරණයක්‌ නම් නවිපිල්ලේ මහත්මියට කලින් සිටි මහ කොමසාරිස්‌වරිය ලුවිස්‌ ආබර් මහත්මිය ලංකාවට පැමිණි බව. ඇය නවිපිල්ලෙටත් වඩා අධිරාජ්‍යවාදී කඳවුරේ සිටි කෙනෙක්‌. ඇය අපේ රටට ආවෙ යුද සමයේ. එතුමියගෙ ගමනින් අපට අවාසියක්‌ වුණේ නෑ. යුද්ධෙ කාලෙ ආව ලුවිස්‌ ආබර් වැනි මහ කොමසාරිස්‌වරියකගෙනුත් අපට අවාසියක්‌ වෙලා නැත්නම් සාමෙ කාලෙක ආව මහ කොමසාරිස්‌වරියකගෙන් අවාසියක්‌ වෙයි කියල හිතන්ඩ බෑ. නමුත් මම කැමතියි ඔබේ ප්‍රශ්නයට මේ විදිහේ පිළිතුරක්‌ දෙන්න.

දොaෂාභියෝගයෙන් පසුව අපේ රටේ අධිකරණයෙ ස්‌වාධීනත්වය පිළිබඳව සමාජය තුළ යම් යම් ප්‍රශ්න මතුවෙලා තියෙනව. අධිකරණය තවදුරටත් ස්‌වාධීනද නැතහොත් එය බල අධිකාරියෙ අංගෝපාංගයක්‌ බවට පත්වී හමාරද යන්න අද සමාජය තුළ මතුව ඇති සංකාවක්‌ බවට පත්වී තිබෙනව. ඒ වගේම උගත් පාඩම් කොමිසමෙන් කළ වැදගත් නිර්දේශයන් ආණ්‌ඩුව ඉෂ්ට කරල නෑ. ත්‍රිවිධ හමුදාව යාපනේ නිරායුධ ජනතාව ඝාතනය නොකළ බව උගත් පාඩම් කොමිසම තීන්දු කළා. ඒ නිගමනය නිවැරැදියි. නමුත් ඒ සමගම යම් අපරාධයක්‌ සිදුවූවායෑයි මතුපිටින් පෙනෙන සිද්ධි ගණනාවක්‌ උගත් පාඩම් කොමිසම හඳුනාගෙන තියෙනව. එම සිද්ධීන් ගැන සොයා බැලීමට ජාතික, ස්‌වාධීන කොමසාරිස්‌වරයෙක්‌ පත් කරන ලෙස කොමිසම නිර්දේශ කළා. නමුත් ආණ්‌ඩුව ඒ දේ කළේ නෑ වගේම කටුනායක වෙඩි තැබීම, ලලිත් කුගන් අතුරුදන් වීම, වැලිකඩ බන්ධනාගාරයෙ 27 දෙනෙක්‌ මරා දැමීම, වැලිවේරියේ රතුපස්‌වල වෙඩි තැබීම වැනි ඉතාමත් නරක සිදුවීම් ගණනාවකුත් සිදුවී තිබෙනවා. මේවා සිදුවුණේ සාමෙ කාලෙ.

යුක්‌තිය ඉටුවේවි කියන බලාපොරොත්තුව ජාතික වශයෙන් ගිලිහිලා යන විට ඉතුරුවෙන එකම විකල්පය බල තුලනයයි. රට තුළ ශක්‌තිමත් ආයතන පවතින්න ඉඩ දෙන්නෙ නැතිනම් සහ රටට පිළිගත හැකි ශක්‌තිමත් විකල්පයක්‌ හැටියට විපක්‍ෂ නායකත්වයක්‌ මතුවෙන්නෙත් නැත්නම් මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර තුලනයක්‌ අවශ්‍ය තත්ත්වයකට අද බේදජනක ලෙස පත්වෙලා තියෙනවා.

නමුත් නවනීදන් පිල්ලෙ මහත්මිය මධ්‍යස්‌ථ මතධාරිනියකට වඩා එල්. ටී.ටී.ඊ. හිතවාදිනියක්‌ බවට මතයක්‌ අපේ රටේ ගොඩනැඟිල තියෙනව. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්‌ඩු බිඳ දමල බෙදුම්වාදයට උදව් දෙන කාන්තාවක්‌ ලෙස ඇයට චෝදනා එල්ල වී තිබෙනවා. ඇයගෙ මේ පසුබිම අනුව ඇය අපේ රටේ මානව හිමිකම් පිළිබඳ සොයන්න සුදුසුයි කියල ඔබ හිතනවද?

ඔය තර්කය ඉදිරිපත් කරන කීදෙනෙක්‌ එතුමිය සමග ගැටිල තියෙනවද? එතුමිය සමගත් ලුවිස්‌ ආබර් කොමසාරිස්‌වරිය සමගත් මම ගැටිල තියෙනව. ගැටිල ජයග්‍රහණය කරලත් තියෙනව. තම ප්‍රතිමල්ලවයා ගැන නොදැන ගැටුමකින් ජයගන්න බෑ. නවිපිල්ලෙ මහත්මිය ගැන මම හොඳට දන්නව. ඇය සම්බන්ධයෙන් මටත් විවේචන තියෙනව. නමුත් එතුමිය ගැන අපේ රටේ ඔය ඉදිරිපත් කරන කිසිම විවේචනයක්‌ සාධාරණ විවේචන නෙමෙයි.

අපේ රටේ මේ ප්‍රශ්නයට අද සිදුව ඇති මේ බාහිර මැදිහත්වීම පිළිබඳ ඔබ ප්‍රසාදයෙන් කතා කළා. අපේ රටේ මේ ප්‍රශ්නය ඉන්දියාවට හෝ බටහිරට රැගෙන යැමට සිදුවීම පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

එය බරපතළ කනගාටුවට හේතුවක්‌. පවුලෙ කෙනෙක්‌ අසල්වැසියො ළඟට දුවන්නෙ ගෙදර අය හරියට සලකන්නෙ නැති නිසා කියල ප්‍රේමදාස ජනාධිපතිවරයා එක්‌ අවස්‌ථාවක ප්‍රකාශ කළා. ඉන්දියාවට හෝ බටහිරට අපේ ප්‍රශ්නය ගියේ ඇයි? ජිනීවාවලට ඉස්‌සෙල්ලම ගියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ සිදුවුණා යෑයි කියන මානව හිsමිකම් කඩවීම් ගැන ලිපිගොනුද රැගෙන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාත් වාසුදේව නානායක්‌කාර මහතාත් ජිනීවා ගියා. එදා ඒ ගමන සාධාරණ නම් අදත් ඒ ගමන සාධාරණයි. නමුත් අසාධාරණ විදිහට කවුරු හෝ අපේ රටට එරෙහිව චෝදනා ගෙන එනවානම් මම ඊට විරුද්ධයි. මගේ සේවා කාලය තුළ මම හැමවිටම ඒ වෙනුවෙන් පෙනී ඉඳල තියෙනවා. ඒ වගේම හෘද සාක්‍ෂියට එරෙහිව කිසිකෙනෙක්‌ ආරක්‍ෂා කරන්න මම ක්‍රියාකරල නැහැ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෝ ත්‍රිකුණාමල ශිෂ්‍ය ඝාතනය සාධාරණීකරණය කරන්න මම කටයුතු කළේ නෑ. නමුත් ශක්‌තිමත් අධිකරණයක්‌ පිළිබඳ විශ්වාසය මිලින වී තිබෙන අවස්‌ථාවක, ස්‌වාධීන මානව හිමිකම් කොමිසමක්‌ පිළිබඳ විශ්වාසයක්‌ නැති අවස්‌ථාවක ආණ්‌ඩුව තුලනය කළ හැකි විපක්‍ෂ නායකත්වයක්‌ නැති අවස්‌ථාවක බාහිර ආයතනවල සහ බලවතුන්ගේ පිහිට පතන්නට එසේ කරන්නට කවදාවත් නොහිතපු සමාජ කණ්‌ඩායම්වලට පවා අද සිදුවෙලා තියෙනවා.

මේ නිසාද ඔබ යෝජනා කරන්නෙ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක්‌ අපේ රටේ ආරම්භ කළ යුතුයි කියා·

ඔය යෝජනාව මුලින්ම මතුවුණේ 2007 - 2009 පමණ කාලයේ. ඒ යෝජනාවට මම එදා විරුද්ධ වුණේ යුද්ධය පැවැති ඒ වකවානුවේ යම් හෙයකින් මානව හිමිකම් කාර්යාලයක්‌ අපේ රටේ විවෘත කළා නම් සටන් විරාමයක්‌ ඇතිකිරීමට ඔවුන් මැදිහත් වන නිසයි. සටන් විරාමයකට යැම එල්.ටී.ටී.ඊ. ශක්‌තිමත් වීමට හේතුවක්‌. ලුවිස්‌ ආබර් මහ කොමසාරිස්‌වරියගේ යෝජනාවට මා දැඩිව විරුද්ධ වුණේ ඒ නිසයි.

නමුත් ඒ යුද්දෙ කාලෙ. අද යුද්ධයක්‌ නෑ. නමුත් මේ සාමෙ කාලෙත් සාමාන්‍ය පුරවැසියන්ට මේ විදිහේ සැලකුම් ලැබෙයි කියල අපි කවුරුවත් හිතුවෙ නෑ. අද අපේ රටේ හමුදාවට ලොකු උවදුරක්‌ තියෙනව. ඒ තමයි යුද්ධයෙ අවසන් කාල පරිච්ඡේදයේ සිදුවූවා යෑයි කියන යුද අපරාධ සහ ජාත්‍යන්තර මානවවාදී රීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි කියන සටන් පාඨය. ඒ සටන් පාඨයට අවශ්‍ය තර්ක දැන් හැදිල තියෙනව. දැන් මේ අවස්‌ථාවෙ එබඳු යෝජනාවක්‌ සම්මත වුණොත් එය අපේ ත්‍රිවිධ හමුදාවේ ගෙලට දමන තොණ්‌ඩුවක්‌. ඔය ජාත්‍යන්තර පරීක්‍ෂණ එක්‌ක අපේ ගනුදෙනුවක්‌ නෑ කියලා මෙහෙ ඉඳන් කියන්න පුළුවන්. නමුත් ගනුදෙනුවක්‌ තිබුණත් නැතත් පරීක්‍ෂණ යාන්ත්‍රණයක්‌ ආරම්භ වුණොත් එය නොනැවතී ඉදිරියට යනව. ඒක හරියට හිටපු අගවිනිසුරුතුමිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කළාට එහි වැඩ නැවතුණේ නෑ වගේ. ජාත්‍යන්තර පරීක්‍ෂණය අපි මග හැරියට එය දිගටම ක්‍රියාත්මක වෙනව. එහි තීන්දු අපේ රට භාර නොගත්තත් වෙන රටවල් බාරගන්නව.

අපි ක්‍රියාත්මක විය යුත්තෙ මේ ජාත්‍යන්තර පරීක්‍ෂණය වැළැක්‌වීමටයි. මේ ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත්‍රණය පිළිබඳ තර්කය යට තව තර්කයක්‌ තියෙනව. අපේ රට ගැන හොයන්න ජාත්‍යන්තර කොමිසමක්‌ ඕනෑ කියන තර්කය රැඳී පවතින්නෙ ඒ තර්කය මතයි. සත්‍යය සොයා ගැනීමට සහ යුක්‌තිය ඉෂ්ඨ කිරීමට ශ්‍රී ලංකා රජයට එක්‌කො ඕනෑකමක්‌ නෑ නැතිනම් හැකියාවක්‌ නෑ කියන තර්කයයි ඒ. දැන් අවුරුදු හතරකුත් ගෙවිල තියෙනව. දේශීය වශයෙන් මෙය නොකෙරෙන නිසා විදේශීය වශයෙන් හෝ එය සිදුකළ යුතුයි කියලයි මේ කියන්නෙ.

අපි ඒ වැඩේ කරනව කියල අපට මොනවද පෙන්වන්න තියෙන්නෙ? එල්. එල්. ආර්. සී. වාර්තාවෙත් ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කරල නෑ. උතුරේ පළාත් සභා ඡන්දෙ පෙන්වන්න පුළුවන්. එයින් යම් වාසියකුත් ලැබෙයි. නමුත් මානව හිමිකම්? ගම්පහදී මෙහෙම නම් යුද්දෙ කාලෙ කොහොම ඇද්ද කියලා වගේම ගම්පහ සිද්ධියෙන් පස්‌සෙ බොරු කියන්නෙ මෙහෙම නම් යුද්දෙ කාලෙ සිද්ධි ගැන දැන් කොහොම බොරු කියනව ඇද්ද කියල නවනීදන් පිල්ලෙ මහත්මිය වුණත් අහන්න බැරිකමක්‌ නෑ. අර කොටියා ආවෝ ළමා කතාවෙ ඇත්තටම කොටිය ආපු දවසෙ කවුරුවත් නෑ. ඒ කලින් බොරු කියපු හින්ද. ආණ්‌ඩුවෙ ක්‍රියා කලාපෙ හින්ද ඒ ළමා කතාව අද කනපිට හැරිල. අද කියන බොරු හින්ද එදා කියපු සත්‍ය වුණත් බොරු කියලයි කෙනකුට හිතෙන්නෙ.

එක්‌සත් ජාතීන්ගෙ මානව හිමිකම් කාර්යාලයක අද අවශ්‍යතාව මා දකින්නෙ මෙන්න මේ තත්ත්වයට මූණ දෙන්නයි. ඒ කාර්යාලය අවශ්‍ය වෙන්නෙ අතීත දේවල් හොයන්න නෙමෙයි. යුද්ධය ගැන හොයන්න නෙමෙයි. ජාත්‍යන්තර කොමිසම් දාන්නත් නෙමෙයි. අද සිද්ධවෙන දේ හෙට සිද්ධ වෙන දේ හොයන්නයි. මෙය මා දකින්නෙ ප්‍රඥගෝචර රාජ්‍ය තාන්ත්‍රික පියවරක්‌ විදිහටයි.

අද ජාත්‍යන්තරයට අපේ රට ලොකු පැටලැවිල්ලකට හසුවෙලා තියෙනව. සමහර ඒවා මහ විසකුරු බලවේග. දමිළ බෙදුම්වාදී ජාත්‍යන්තර ව්‍යාපාරය කොයිතරම් ශක්‌තිමත්ද කිව්වොත් එල්.ටී.ටී.ඊ. ය විවේචනය කරන මැඩ්ඩ්‍රාස්‌ කැෙµa චිත්‍රපටිය තමිල්නාඩුවෙ විතරක්‌ නෙමෙයි, එංගලන්තෙත් පෙන්වන්න බෑ. මේ වගේ බලවේග ජයගන්න යුද්දෙකින් බෑ. පුළුවන් බුද්ධිමය තරගයකිනුයි.

අපි 2009 ජිනීවාවලදී එහෙම කරල පෙන්නුව. නමුත් මේ ආණ්‌ඩුව දැන් මේ යන ගමන තුළින් ශ්‍රී ලංකාවේ හතුරන් පරද්දන්න බෑ. ශ්‍රී ලංකාවේ ජාතික ස්‌වාධීනත්වය ස්‌වෛරීභාවය රකින්න බෑ. එය කරන්න නම් මීට වඩා ප්‍රඥගෝචර බුද්ධිමය මූලෝපායයන් මත පිහිටා කටයුතු කරන්න ඕන. අප ලැබූ යුද ජයග්‍රහණ පවා පරදුවට තබන තත්ත්වයකුයි දැන් ඇතිවෙමින් යන්නෙ.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක