ඉංගිරියවත්ත දේවාලේ පූසාරියා සෞම්‍යපුරයේ කිරිසප්පයා බිලිගත්තේ මෙහෙමයි


... ආවේසෙන් පොඩිඑකීව අරගෙන අත්දෙකෙන් උස්‌සලා දේවරූපෙ ඉස්‌සරහ කීප සැරයක්‌ හෙලෙව්වා.... එදා රෑ දරුවගේ අතක්‌ ඉදිමුණා. පැය දෙකකින් විතර ඉදිමුම බැස්‌සා... පහුවදා උදේ පාන්දර දරුවා ලේ වමනෙ දැම්මා... පොඩි එකී මියගොස්‌ය. 

ඒ කිරිසප්පයා මිය යනවිට වයස මාසයකුත් දවසකි. ඇය මිය යන්නේ ඇයගේ සිරුරට අරක්‌ගත්තා යෑයි කියනා මලපෙරේතයෙක්‌ පන්නා දැමීමට කරනු ලැබුවා යෑයි කියනා ශාන්තිකර්මයකින් අනතුරුවය. 

 සංජානා මධුෂාණි නමැති මේ ළදැරිය මරා දැමුවාද මැරුණාද, ඒ මරණයට හේතුව අස්‌ථී භංගයක්‌ද, අභ්‍යන්තර අවයවවලට සිදුවූ හානියක්‌ද, එසේ නොවන්නේ නම් වෙනත් අභ්‍යන්තර රුධිර වහනයක්‌ ද යන්න පිළිබඳව අපට වැටහීමක්‌ නැත. වගවත්ත පෝරුවදණ්‌ඩ සෞම්‍යපුරයේ ඒ අන්ත දුගී නිවස අභියසදී අපට දැනෙන්නේ එකම එක කාරණාවක්‌ පමණය. එනම් මේ කිරිසප්පයාගේ මරණය එපමණම සරල ලෙස තේරුම් ගැනීම මරණය පිළිබඳව වන සංකල්පයටත් හානිකර බවය. 

 මියගිය ළදැරියගේ මව චන්ද්‍රානි තවමත් විසි වයස්‌හි මුල් කාර්තුවේය. ඇයට දෙවසරක්‌ වූ තවත් දියණියක්‌ හිඳී. අන්ත දුර්භෝගම වළදමින් ජීවිතය දියකර හරිනා බව කියෑවෙනා කෙසග සිරුරක්‌ සහිත මේ තරුණ මව වචනයකුදු නොකියයි. ඇය බලාගත් අතම බලාගෙනය. 

 පියා විසිපස්‌ හැවිරිදිය. නම රාජේන්ද්‍රන් දර්ශනය. ඔහුට මියගිය දියණිය වෙනුවෙන් ශෝක වෙමින් ගතකරන්නට ඉඩක්‌ නැත. බඩ වියත රැකගැනීමට දිනපතා කරන්නාක්‌ මෙන් හේ කුලියක්‌ සොයාගෙන ගොස්‌ය. 

 දළු කැඩීමෙන්ම විඩාපත්ව වයසට ගිය චන්ද්‍රානිගේ මව කාලිඅම්මා ජීවත්වෙමින් ඉන්නා දෙහැවිරිදි දැරිය හා චන්ද්‍රානි සමග නිවසේ උන්නාය. පිහිට සොයාගෙන ගිය දේවාලය හිස මත කඩා වැටී මේ දුගී මිනිසුන්ගේ ජීවිත සියල්ල කුඩුපට්‌ටම් කර ඇති ආකාරය අප බලා ඉන්නේ කම්පනයකිනි. කාලිඅම්මා ආයාසයෙන් යුතුව 

මේ සිදුවීම ගැන අපට කියනා කතාව මෙසේය. දරුව ඉපදිලා හරියටම මාසයයි දවසයි. ඒකි බොහොම හැඩට පිරිලා හැදිලා උන්නා. දැක්‌කොත් කාටවත් කියන්න බෑ මාසයයි කියලා. දෙයියන්ට කියන්න ඉහෙන් බහින ලෙඩක්‌ තිබ්බෙ නෑ. ඒත් මේ වැඩේ වෙන්ඩ දවස්‌ කීපයකට කලින් හිට දරුවගෙ මූණ අමුතු උනා. හරියටම බයවෙලා වගේ... දරුවා එකපාරට ගැස්‌සිලා කෑ ගහලා ඇඬුවා. කිරි බොන එක අඩු උනා. වටපිටේ ඈයො කිව්වා මේ ඇවිත් තියෙන්නෙ කිරිදෝසයක්‌ කියලා. කිරිදෝස එන්නෙ කිරිදෙන අම්මලා තනියෙන් එළියට පහළියට ගියාම පෙරේතයො බැල්ම දාන හින්දා.

 මේ පෙරේත බැල්ම කපා දාන්න අපට ඕන උනා. දරුවත් අරගෙන පූජාවට ඕන කරන ආම්පන්නත් අරගෙන පහුගිය තිස්‌වෙනිදා අපි ඉංගිරිය වත්ත දේවාලෙට ගියා. එතැන බොහොම ප්‍රසිද්ධ තැන. කපු උන්නැහැ එක්‌ක අපි කතා කළා. කපු උන්නැහැ කිව්වා අම්මවයි දරුවයි බලලා ගෑනිගෙ ඇඟට පෙරේතයෙක්‌ ඇතුළු වෙලා තියනවා. දරුවා කිරිබොනකොට දරුවගේ ඇඟටත් පෙරේතයා ඇතුල් වෙලා. ඒකව අයින් කරන්න මතුරලා ඇප නූලක්‌ දාලා දෙයියන්ට බාර කරන්න ඕන කියලා. අපි පඬුරු රුපියල් දාහක්‌ දුන්නා. ඊටපස්‌සේ පූසාරියා දරුවගේ අම්මාට මතුරලා ඇප නූලක්‌ බැඳලා ඇඟේ හිටපු පෙරේතයාව පැන්නුවා. උන්දැ කිව්වා "දැන් හරි පෙරේතය පැන්නුවා, හැබැයි කිරි බොනකොට අම්මාගෙන් දරුවගෙ ඇඟටත් පෙරේතයා ඇතුළු වෙලා" කියලා. ඉතින් පෙරේතයත් අරන් ආපහු ගෙදර යන්ඩ පුළුවනෑ කියලා හිතුණා. පූසාරියත් කිව්වා දරුව කිරිබොනකොට වැහුණු පෙරේතයව පන්නන්න ඕන කියලා.

 ඊට පස්‌සේ පූසාරිය මන්තර ජප කරලා ජප කරලා දේවරූපෙ ඉස්‌සරහ ආවේස උනා. ආවේසෙන් පොඩිඑකීව අරගෙන අත්දෙකෙන් උස්‌සලා දේවරූපෙ ඉස්‌සරහ කීප සැරයක්‌ හෙලෙව්වා. පොඩි එකී මරහඩ දීලා ඇඩුවා. පූසාරි කිව්වා එහෙම වෙන්නෙ පෙරේතයා යනකොට. ගණන් ගන්න එපා දැන් ඔක්‌කොම දෝෂ ඉවරයි. දරුව එක්‌ක ගිහින් දවස්‌ නවයකින් ආපහු එක්‌ක එන්න කියලා. එදා රෑ දරුවගේ අතක්‌ ඉදිමුණා. පැය දෙකකින් විතර ඉදිමුම බැස්‌සා. 

පහුවදා උදේ පාන්දර දරුවා ලේ වමනෙ දැම්මා. ළමයව ත්‍රී විල් එකකින් හොරණ ඉස්‌පිරිතාලෙට අරන් ගියා. යනකොටත් දරුව ලේ වමනෙ කළා. ඉස්‌පිරිතාලෙට අරන් යනකොට පොඩි එකී මැරිලා කිව්වා. එහෙන් අපට කිසි දෙයක්‌ කිවුවෙ නෑ. අනේ අපිට තේරෙන්නේ නෑ.... කාලිඅම්මා කාටවත් දොස්‌ කියන්නේ නැත. එහෙත් රෝහල් ආරංචි මාර්ග කියන්නේ පූසාරියා මේ මසක්‌ වයසැති නොදරුවා අත් දෙකින් ඔසවා සෙලවීමේදී ඇයගේ ඉලඇට වලට හානි වී මේ මරණය සිදුවී ඇති බවය. දැන් පූසාරියා රිමාන්ඩ් බන්ධනාගාරයේය. එහෙත් සියල්ල විනිවිද පෙනෙනා සරල ස්‌වභාවයකින් යුතුව නිමා වන්නේ නැත.

 මක්‌නිසාද යත් මේ ළදැරියගේ මරණය අපට ප්‍රකාශ කරන්නේ තර්ක බුද්ධිය විහීන මේ රටේ පොදු ජන සමාජය කරවටක්‌ ගිල්වා දැමූ, බොරුවේත් අමූලික මිථ්‍යාවෙත් , රැවටීමේත් අවසාන වේදනාත්මක ඵලය පිළිබ`දව වන නිවැරදිම කතාව වන බැවිනි. මීට පෙර වාර්තා වූ මෙවැනි සිද්ධීන්... වාර්තා වන හා වාර්තා නොවන මෙවැනි කාලකණ්‌ණි කතා මේ සමාජයට නුහුරු නොවේ. දේව බලයෙන් ලෙඩ සුව කිරීම ඉංගිරිය වත්ත දේවාලයේ මතුනොව, බොහෝ දේවාල පන්සල් හා පල්ලි වලත් සිදුවන්නේය. මුඩුක්‌කු පල්ලේ අටවාගත් ගුබ්බෑයම් වලත් සිදුවන්නේය. පෙරේතයන් පිනුම් ගසනා සැනකෙළි භූමි වල මතු නොව විටෙක සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේත් විටෙක විහාරමහාදේවී උද්‍යානයේත් සිදුවන්නේය. 

ඒ සෑම අවස්‌ථාවකම මේ මිථ්‍යා ප්‍රලාපයන් සහිත යාඥාමඩු දෙනෝදහක්‌ දෙනාගෙන් පිරී යන්නේය. ජීවත් වීම සදහා සැබෑ ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීමෙන් පලායන බලාපොරොත්තු රහිත මිනිසුන් සහිත සමාජයක ෙ€දවාචකය පෙනෙන්නේ මෙවැනි ගුබ්බෑයම් වලදීය. මීට දෙවසරකට ඉහතදී එක්‌තරා යක්‌දෙස්‌සෙක්‌ දේවබලයෙන් ලෙඩ සුවකිරීමේ මෙහෙයක්‌ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වූයේය. 

ඒ යාතිකා අතරතුර මේ අවස්‌ථාවට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුගේ රෝගී තත්ත්වයන් උත්සන්න විය. යක්‌දෙස්‌සාටත් දෙලෝ රත්වී ඊට මීටර් පන්සීයකට එපිටින් වූ ජාතික රෝහලට මේ රෝගී කාන්තාවන් පිටත් කර හැරියේය. ඒ වනවිටත් ඔවුහු මියගොස්‌ සිටියහ. 

බත්තරමුල්ල කොස්‌වත්ත ප්‍රදේශයේ මෙවැනිම යාඥා මෙහෙයකට සහභාගී වූ කාන්තාවක්‌ අතරමැදදී රෝගය උත්සන්නවී රෝහලට ඇතුළු කරනා විට මිය ගියාය. විශ්ව ශක්‌තියෙන් බයිපාස්‌ සැත්කම් කරගන්නට ගිය, පිළිකා සුව කරගන්නට ගිය, මානසික රෝග සුවකරගන්නට ගිය කීදෙනෙක්‌ අපේ රටේ දෛනිකව මිය යනවාදැයි කිසිවෙක්‌ ගණන් බලා නැත. 

සමහරුන් ලෙඩ සුව කරන බව කියන්නේ බුදු ගුණෙනි. මේ කාලකණ්‌ණි මිථ්‍යාව වැපිරීම සදහා සතරවරම් දෙවිවරුන් මතු නොව, බුදුන්වහන්සේත් ජේසුස්‌ වහන්සේත් සිල්ලරට අලෙවි කරන ආකාරය උන්වහන්සේලා දැනගෙන හිටියා නම් මේ ලෝකයට එතුමන්ලා පහළවන්නේත් නැත. එහෙත් ශාන්තුවරයින්ට ඇදගෙන, ජීවත්වීම පමණක්‌ ප්‍රාර්ථනා කරනා මිනිස්‌සුන්ගේ බලාපොරොත්තු හා ඔවුන්ට ජීවත් වීමට තෝරාගත හැකි අවස්‌ථා කොල්ලකන මේ සමාජ අපරාධකාරයින්ගේ ක්‍රියාකාරකම් වැලැක්‌විය හැකි වැඩපිළිවෙලක්‌ රට සතුව නැත. අපට හිතෙනා අන්දමට එවැනි පියවරක්‌ ගතහැකි මට්‌ටමේ සිටිනා බොහෝ දෙනා පව් කාරයින්ය. 

මේ පවු කාරයෝ දේව දූතයන්ට ඇ`දගත් පෙරේතයන්ටත් අප්‍රමාණ ලෙස බිය වෙති. ඒ බිය වීමේ ප්‍රමාණ ප්‍රකාශ වන්නේ සමාජය වසා වැපිරෙන මිත්‍යාවෙනි. ඒ මිථ්‍යාවට මහා මිලක්‌ තිබේ. ඒ මිලෙහි ප්‍රමාණය වැටහෙන්නේ මේ රටේ යථාර්ථය හ`දුනාගන්නට උත්සාහ කරනා පළමු මොහොතෙහිදීය. රටේ අනුමැතිය ලද ප්‍රධාන වෛද්‍ය සභාවන්ගේ ලියාපදිංචිය රහිතව වෙදකම් කරනා වෙද්දු තිස්‌දහසකට වඩා වැඩි ප්‍රමාණයක්‌ මිථ්‍යාවේ කරවටක්‌ ගිලී සිටිනා අපේ සමාජය විසින් නඩත්තු කරයි. ඔවුන් බොහෝ දෙනෙක්‌ හැදෑරූ විද්‍යාවක්‌ නැත. සමහරෙක්‌ වෙදකම් කරන්නේ රාත්‍රියේදී පහළ වූ දේව වරමකිනි. සමහරෙකුට රෑ නින්දෙන් දෙවියන් පෙනී හුදී ජනයා සුවපත් කිරීම සදහා රහසිගත වට්‌ටෝරු සහිත පුස්‌කොල පොත් දී තිබේ. සමහරුන්ට මේ වරම ලැබෙන්නේ උපතිනි. විශ්ව ශක්‌තිය හැසිරවීමේ අද්විතීය බලයක්‌ විශ්වයේ අනුකම්පාව මත සමහරෙකුට ලැබී ඇත. පොලොස්‌ කැද පොවා පිළිකා සුව කරන බව කියන්නේත්, තැඹිලි මතුරා පොවා ශරීරයේ අටඅනූවක්‌ රෝග විරේචනය කරන්නේත්, සම් මස්‌ ඇට මිදුළු විනිවිද යවා ඇට පමණක්‌ වෑල්ඩින් කරන විශ්වකර්ම ආතල් දෙන්නේත් මෙවැනි වෙදුන්ය.

 මොවුන්ගෙන් සමහරු මාර්ගඵල අවබෝධ කරගෙන සිටිති. සමහරු ඉන්නේ අනාගාමී තත්ත්වයේය. නොබෝ දිනකින් මේ පිරිස්‌ අතරින් බුදුවරු වුවද පහළවීමේ ඉඩකඩක්‌ තිබේ. තැනෙක මෛත්‍රී බුදුහු පහළවී ධර්මය දේශනා කරති. තවත් තැනෙක රාවණාගේ නැගණිය ඉපදී විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීමේ සමාජ සද්කාර්යය අරඹා තිබේ. රටේ ඉහළම තැන්වල වෙදකම් කරන්නේත් විශ්වකර්ම වෙදුන්ය. ඔවුන්ගෙන් ලෙඩ රෝග සුව කරගැනීමට ඩේවිඩ් බෙකම්ලාට ආරාධනා කළ ඉතිහාසයක්‌ අපට තිබිණි. මේ වෙදකමේ අරුමය ලෝක කුසලාන අවසාන මහා තරගයට සහභාගී වු උපුල් තරංගට තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාව පැමිණිමෙන් අනතුරුව හෙළිදරව් වූයේය. 

එහෙත් තවමත් මේ රටේ මිනිස්‌සු මේ මාරාන්තික මිථ්‍යාව මත යෑපෙති. චීවරයෙන් අමුඩය ගසාගෙන සිටි රුවන්වැල්ලේ සෝභිත නමැති සල්ලාල හොරා හෙළිවූ විට පහරදී පලවා හල මිනිස්‌සු ඔහු සිවුරු හැර යළි පැමිණ පුවත්පත් වල දැන්වීම් පළකර සුපුරුදු නින්දාසහගත රැවටීමට ආරම්භ කළ විට ඊට ඉඩ දුන්නෝය.

 පුවත්පත් ඒ දැන්වීම් පළකිරීමට භාර ගත්තේය. ස්‌ත්‍රී දූෂණ නඩුවකට සිරගත වනතෙක්‌ රුවන්වැල්ලේ සෝභිතගේ ගුරුකම් වලට මිනිස්‌සු බිය වූහ. විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීමේ ජාවාරමේ පිළිකුල් දනවනා රැවටිල්ල උසාවිය හමුවේ හෙළිදරව් වූ පසුත් වැලිගම මෝරවරල් දළුවත්තට පුවත්පත් දැන්වීමක්‌ පළකර මිනිසුන් අතට යන්නට හැකිවූයේය.

 දළුවත්තව මේ සමාජය යළිත් පිළිගත්තේය. එවැනි වටපිටාවක සියල්ලන් විසින් අත් හරින ලදුව, දෙවියන්ගේ පිහිට පමණක්‌ ප්‍රාර්ථනා කළහැකි වගවත්ත සෞම්‍යපුර චන්ද්‍රානිලාට තමන්ගේ දරුවන්ගේ කිරිදෝස මගහරවා ගැනීමට ඉංගිරිය වත්තේ පූසාරි හමුවීමට වඩා යහපත් විකල්පයක්‌ සමාජයෙන් තෝරා දී නැත. අප කම්පා වන්නේ ඒ තෝරාදීමේ වගකීම අප සියලූදෙනා සතුවීම පිළිබදවය. 

අප කම්පා වන්නේ මේ සමාජයේ චින්තනය වගවත්තේ සෞම්‍යපුරයේ නූගත් දුගී අසරණයින්ගේ විඩාපත් සිතිවිලිවලට වඩා වෙනස්‌ නොවීමේ ඛේදවාචකය පිළිබදවය. -->