| අමිල ගුණරත්න
ස්වාසිලන්තයේ රජතුමා ලංකාවට සැපත් විය. දැන් අපිට මිත්‍රකම් පාන්නේ මෙවැනි සුවාසේ සැදුනු රටවල් නිසා අපි එතුමාව පිළිගත යුතුය. ස්වාසිලන්තය සහ ලංකාව අතර වැඩි වෙනසක් නැත. දෙකම ගෝත්‍රික රාජ්‍යයන්ය. පාලනය කරන්නේ රජවරු සහ උන්ගේ නෑදෑ හැත්ත විසිනි. ස්වාසිලන්තයේ රජතුමා ඉගෙන ගෙන ඇත්තේ එංගලන්තයේය නමුත් ගෝත්‍රික ගති මැකී නැත. අපේ කට්ටියත් එසේමය. ඉසේ කෙස් ගානට පිටරට ගියත් ළමයින් පිටරට ඉගෙනීමට යැව්වත් පිටරට සමාජ වල තිබෙන ශිෂ්ඨ ලක්ෂණයන් මන්චාඩියක් තමන්ගේ රටවල පාලනයට මුසු නොකර ගනිති. දෙරටේම නායකයන් සහ උන්ගේ නැදි මයිලන් හිටු කියා රටේ සාරය මහා දවාලේම කොල්ල කති. මේ රටවල් දෙකේම මහා ජනතාව කියා ඇඟිල්ලෙන් පෙන්විය හැකි කෙනෙක් නැත. සිටින්නේ බියට පත් වූ ආත්මාර්ථකාමී තමන්ගේ වැඩේ පමණක් බලාගෙන සිටින ප්‍රේක්ෂකයන් සමුහයකි. සිවිල් සමාජයක් කියා දෙයක් නැත. දුර්වල අකර්මන්‍ය මොකක්දෝ එකක් මේ රටවල් දෙකේම තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයක් කියා දෙයක් බෙහෙතකටවත් නැත. හිතුන කෙනෙක් ආණ්ඩු විරෝධී කියා උස්සගෙන යති. රටවල් දෙකේම නිතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරම අනුවය. දෙරටේම අධ්‍යාපන කචල්ය. මුළු ලෝකයටම නයය. නමුත් ලෝකෙට පරකාසේ පිට සල්ලි නාස්ති කරමින් සුදි දමති. මහජනතාව කියා හැඳින්වෙන නන්දිවිසාලයන් හාමතේ සාගත මළු අරගෙන කෑමට යමක් හොයමින් රට වටේම කරක් ගසති. වන්ධිභට්ටයන් , ගොට්ට අල්ලන්නන්ගෙන් දෙරටම පිරී තිබේ. නමුත් ස්වාසිලන්තයේ සමහර දේවල් ලංකාවට වඩා ශිෂ්ඨය. ගෑනු පරානයක් ඕනෑ වූ විට ස්වාසිලන්තයේ රජතුමා රට පුරා සිටින ගැටිස්සියන් එකතු කොට ගෙන උන්ට කන්‍යා පරීක්ෂණ තබා මාලිගාවට ගෙන යති. අපේ දේශපාලකයන් වගේ අතට අහු වෙන එක දුෂණය කරන්නේ නැත. ඒ අතින් ස්වාසිලන්තයේ නායකයන් ලංකාවට වඩා ආදර්ශමත්ය. මෙහෙම බලන විට ආශ්චර්යට යන විට අපට පයිරු පාසනේටවත් ඉතුරුවන්නේ ස්වාසිලන්තය වගේ සුවාසේ සැදුනු රටවල්ය.
Post a Comment