ශ්‍රී ලංකාව නම් නොදියුණු ගෝත්‍රික සමාජය

| අමිල ගුණරත්න

ශ්‍රී ලංකාව යනු තවමත් සමාජයක් වශයෙන් නොදියුණු ගෝත්‍රික ජන සංයුතියක එකතුවකි. ඒ බව සනාථ කිරීමට වැඩිදුර උදාහරණ අවශ්‍ය නැත. 2012 පෙබරවාරි 23 දින ලංකාදීප පුවත්පත මේ සඳහා හොඳ සිදුවීමක් ගැන කියයි. ඝෝෂාකාරී ලෙස කන්කරච්චල් සංගීතය පාරේ යන එන අයටද මහත් කරදරයක් කර ගනිමින් ත්‍රිරෝද පදවන තරුණයෙකුට ගමේ තරුණයන් පිරිසක් පාඩම ඉගැන්වීමට සිතා ඔහුගේ ත්‍රිරෝද රිය නතර කොට බලෙන් බිමට බස්වාගෙන එම සංගීතය අනුව හති වැටෙන තෙක් නැටීමට ඔහුට බල කළහ. නැටීම නොකළහොත් පහර කෑමට සිදුවන නිසා ත්‍රිරෝද රියදුරු හති වැටෙන තෙක් නැටුවේය. මෙම සිදුවීම ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙම පුවත කියවා ප‍්‍රතිචාර දැක්වූ සියලුදෙනා පහේ එම තරුණයන් කල ක්‍රියාව පසසති. නමුත් මෙම සිදුවීම සිදුවීම සහ ප්‍රතිචාර පිලිබඳ සලකා බැලීමේදී නැවත වරක් ශ්‍රී ලංකාව යනු තවමත් නොදියුණු ගෝත්‍රික සමාජයක් බව ඔප්පු වේ. ත්‍රිරෝද රියදුරු සමාජ රීති නොතකා බලහත්කාරී ලෙස අන් යට හිරිහැරයක් වෙමින් ඝෝෂාකාරී සංගීතය වාදනය කරයි. එය නැවැත්වීමට තරුණ පිරිසක් බලහත්කාරයෙන් ඔහුව නටවයි. මෙම පුවත කියවන මිනිසුන් එම ක්‍රියාව පසසයි. බලහත්කාරය ලංකාවේ ජන ජිවිතයට කොතරම් දුරට කා වැදී ඇද්ද යන්න මින් පෙනී යයි.

පාර්ලිමේන්තුවේ බලහත්කාරය හිංසනය ක්‍රියාත්මක වේ. ලංකාවේ උගත්ම පිරිස සිටින විශ්වවිද්‍යාල වල බලහත්කාරය ක්‍රියාත්මක වේ. පාසලේ, පන්සලේ , පල්ලියේ , කෝවිලේ මේ සියලු ස්ථාන වල බලහත්කාරය ක්‍රියාත්මක වේ. පොදු සමාජ නීතිය වෙනුවට භාවිතා වන්නේ බලහත්කාරය සහ හිංසනයයි. මේවා රටේ නායකයන්ගේ අනුග්‍රහය ලද මර්වින් සිල්වා වැන්නවුන් උපරිම ලෙස භාවිතා කරන අතර ගම් වල ජිවත් වන සාමාන්‍ය ජනයාද තම ශක්ති ප්‍රමාණයට, හැකියාවේ සීමාව මත ගෝත්‍රික බලහත්කාරය යොදා ගනිති. බලහත්කාරය යනු නොදියුණු ගෝත්‍රික සමාජයක මුලික ලක්ෂණයකි. අන් අය පිළිබඳව සැලකිලිමත් නොවීම, අන් අයගේ අයිතිවාසිකම් වලට ගරු නොකිරීම , අන් අයට වාචික , කායික , බලහත්කාරය මුදා හැරීම මෙහි මුලික ලක්ෂණ වෙති. මේ ගෝත්‍රික ලක්ෂණ වලින් ලංකික සමාජය පොහොසත්ය. නූගත් ගැමි සමාජයේ සිට උගත් විශ්වවිද්‍යාල ප්‍රජාව දක්වා මේ ගෝත්‍රික බලහත්කාරය දකින්නට තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල යනු ගෝත්‍රික චින්තනය උපරිම ලෙස මුදා හරින ස්ථාන වේ. 1948 ලංකාවට නිදහස නොදී අපට නිදහස දීම සුද්දා තව වසර 25 ප්‍රමාද කළා නම් අඩුම ගන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්දතියවත් ශිෂ්ට වීමට ඉඩ තිබුණි. නමුත් අපට තිබු තදියමට සුද්දා නිදහස දී එංගලන්තයට ගියේය. අප තාම ගතිගුණ අතින් වනන්තරේය.

මෙන්න ලංකාදීප පුවත්පතේ පලවූ වාර්තාව


ත‍්‍රිරෝද රියේ කරච්චල් සංගීතයට තරුණයන්ගෙන් පාඩමක්
2012 පෙබරවාරි මස 22 09:29:05 | ඉංගිරිය නිමාලි කහවල

බෙල්ලෙනුත් පහළට කොණ්ඩය වවා ඇති මාතලීගේ කන් දෙකෙහිම රවුම් තෝඩු දෙකකි. කකුල්වල ඇඟිලිවල ද සුදු පැහැති මුදු දෙක තුනකි.මොහු පදවන රියද තොරණක් වැනිය. එය සැරසීමට විවිධාකාරයේ උපාංග යොදා ඇත. ඒ සියල්ල ඉවසිය හැකි වුවද රියෙන් නැඟන ඇසෙන ඝෝෂාකාරී කන්කරච්චල් සංගීතය පාරේ යන එන අයටද මහත් කරදරයකි. මහා හඬින් නිකුත් වන සංගීත රාවය හරියට සංගීත සංදර්ශනයක් පාවෙනවා වැනිය. මෙය නොරිස්සු ගමේ තරුණ පිරිසක් දිනක් මග රැක සිට රියට අත එසවූහ. කුලී ගමනක් යැයි සිතා රියැදුරු තරුණයාද එය නතර කළේ රථයේ සංගීත හඬ තවත් ටිකක් වැඩි කරමිනි.
මොකක්ද මල්ලී මේ කරච්චලේ. පාරේ යන එන අයටවත් කනක් ඇහිලා ඉන්න නෑනේ. යැයි එක් තරුණයෙකු කීය. ‘‘ගණන් ගන්න එපා අයියා. ඕක ඇග නැටවෙන සංගීතයක්නේ’’
රියැදුරු තරුණයා ගණනකට නොගෙන පැවසුවේය.

‘‘මල්ලි මේක තව වැඩි කරන්න බැරිද?’’ ඒ තවත් තරුණයෙක්ගේ පැනයකි.
‘‘අපොයි පුළුවන්. ඔන්න බලන්න. දැන් මේ සද්දේ මීටර් සීයක් දුරට ඇහෙනවා.” රියැදුරු තරුණයා ගීතයේ හඬ තවත් වැඩි කරමින් ඉමහත් උජාරුවෙන් පැවසීය.
‘‘ආ දැන් ඉතිං තමුසේ මේ සංගීතෙට නටනවා නැත්නම් අපි වාහනේ අර ඇළට පෙරළනවා.”
මෙසේ කී තරුණ පිරිස රියැදුරු තරුණයාට සංගීතයට අනුව නටන ලෙසට බල කර සිටියේ, එසේ නොකළ හොත් ඇඟ රිදෙන්න බේත් දෙන බවට ද තර්ජනය කරමිනි.
මෙය දුටු වටපිට සෙනඟ ද එතැනට රැස් වෙද්දී රියැදුරු තරුණයා ගීතයට අනුව හොඳහැටි නටන්නට විය.
බලනවා මීට පස්සේවත් අනිත් අයට කරදරයක් නැතුව පාරේ යන්න. ඔය සංගීතෙ අඩු කරලා. හොඳටම හෙම්බත් වනතුරු රියැදුරා නැටවූ තරුණ පිරිස ඔහුට යන්නට හැරියේය.

ත‍්‍රිරෝද රියේ කරච්චල් සංගීතයට තරුණයන්ගෙන් පාඩමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අදහස්(3) බැලූවෝ (6380)
බුද්ධික 2012-02-22 10:41:58
වැඩේ නම් මරු
සෙහාන් සමීර 2012-02-22 11:33:11
මරු.. ඔහොම තමයි වෙන්න ඕන..
ශිරෝමි එදිරිසිංහ 2012-02-22 13:04:46
නියම වැඩේ කරල තියෙන්නේ