කිරින්ද වරායේ එකතු වන මුහුදු වැලි සෙස් බද්දකින් තොරව විදේශගත කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් High Gold Trading සමාගමට ලබා දීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. එම හොර ගනුදෙනුවට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මෙවර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, එම කැබිනට් පත්‍රිකාවට අත්සන් යොදා ඇත්තේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ගෝලයෙකු වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාය.
මෙවර කැබිනට් මණ්ඩලයේ 23 අංකය යටතේ ඉදිරිපත් කෙරෙන 12/0154/532/005 දරණ එම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කොට ඇත්තේ ‘‘කිරින්ද වරායේ එකතුවන මුහුදු වැලි විකිණීම සඳහා ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් කැඳවීම’’ යන ශීර්ෂයෙන් යුතුවය.
එම ශීර්ෂයෙන් යුතුව 2008-12-019 වැනි දින ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2008 දෙසැම්බර් 23 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මගින් නියමිත ටෙන්ඩර් අනුමැතියකින් අනතුරුව කිරින්ද වරායේ එකතු වී ඇති වැලි කියුබ් ලක්ෂයක්, කියුබයක් ඇමෙරිකානු ඩොලර් 18.5 (රුපියල් 2035ක්) බැගින් ්‍යසටය ඨදකා ඔර්ාසබට ආයතනය වෙත අපනයනය සඳහා ලබා දීමට ලංකා ධීවර නීතිගත සංස්ථාව කටයුතු කර ඇත.
මෙම වැලි තොගයේ ගැණුම්කරු වන ්High Gold Trading සමාගම මගින් මෙම වැලි මාලදිවයින වෙත අපනයනය කිරීමට කටයුතු පිළියෙල කරන ලද නමුත්, වැලි කිලෝ 01කට රුපියල් 20ක පමණ ඉහළ සෙස් බද්දක් මෙම සෙස් සමාගමට අපනයනය කිරීමේදී ගෙවීමට සිදුවී ඇති බවත්, එහෙයින් මෙම වැලි තොගය එතරම් ඉහළ සෙස් බදු මුදලක් ගෙවා අපනයනය කිරීමට අපහසු බව එම සමාගම විසින් දැනුම් දී ඇති බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
මෙම අපනයනය කිරීමට නියමිත වැලි ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා යොදා ගත නොහැකි බව එම සමාගම විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත දන්වා ඇති අතර, මෙම වැලි මෙරට ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව වාර්තාවක් සපයන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් High Gold Trading සමාගමට උපදෙස් දී ඇත. ඒ අනුව එම වැලි සාම්පල පරීක්ෂා කර ඒ පිළිබඳ වාර්තාවක් EML Consultants pvt Ldt මගින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
එම වාර්තාවට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර අධ්‍යයනයට අනුව කිරින්ද වරායට ගොඩ ගැසෙන වැලිවලින් ඉදිකිරීම් කටයුතු සඳහා සුදුසු වැලි දේශීය ඉදිකිරීම් සඳහා දැනටමත් ඉවත් කර ගෙන යන අතර, එම ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන වැලි (දැනට ගොඩගසා ඇති වැලි) තොගයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතා සියුම් වැලි කාණ්ඩයට අයත් වන බවත්, මෙම වැලි අධික ක්ලෝරයිඞ් ප්‍රමාණයකින් සමන්විත වන බැවින් කිසිදු ඉදිකිරීම් කටයුත්තකට සුදුසු නොවන හෙයින් මේවා ඉවතලන වැලි (wast sand) ගණයට අයත් වන බව අමාත්‍යාංශ සංදේශයේ සඳහන් වේ.
ඒ අනුව මෙම වැලි භාවිතා කළ හැක්කේ පිරවීම සඳහා පමණක් වන බවත්, කිසිදු අයුරකින් ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා නොකළ යුතු බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති බවත්, එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් වේ.
එබැවින් මෙම වැලි තොගය ඉදිකිරීම් සඳහා යොදා නොගෙන නිකරුනේ ගොඩගසා තිබීම මගින් වැලි දූවිලි වශයෙන් පරිසරයට එක්වීම වැළැක්වීම සඳහා ද සලකා බලා මෙම වැලි තොගයේ අයිතිකරු වන High Gold Trading සමාගම මගින් මෙම වැලි කියුබ් ලක්ෂය පමණක් හම්බන්තොට වාණිජ වරාය හරහා සෙස් බදු මුදලක් රහිතව අපනයනය කිරීමටත්, මෙම අපනයනය කිරීම සඳහා මාස 06ක කාල සීමාවක් එම සමාගමට ලබා දෙන ලෙසත් මෙම රහස් අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබේ.
මෙම රහස් අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ මෙම කැබිනට් පත්‍රිකාව තම අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සැකසූවක් බවය. මෙම කැබිනට් පත්‍රිකාව කෙටුම්පත් කොට ඇත්තේ High Gold Trading සමාගමේ නිලධාරීන් විසින් බවද කියා සිටි එම නිලධාරියා වැලි කියුබ් ලක්ෂයක් ගෙන යෑමට අනුමැතිය ඉල්ලා ඇතත්, මෙම කැබිනට් පත්‍රිකාව සම්මත වීමෙන් පසු ඕනෑ තරම් වැලි ගෙන යෑමේ හැකියාව එම සමාගමට හිමිවන බවත් වැඩිදුරටත් පැවසීය.
Lanka News Web
Post a Comment