අවසන් විසඳුම තවත් ප්‍රමාද කළ යුතු නැත

| වී. ආනන්ද සංගරි
ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ

යුද්ධය අවසන් වූ පසු රටේ සිදුවන දේ දැක ඉතා කනගාටුවෙන් හා සිත් වේදනාවෙන් යුතුව මෙම ලිපිය ලියන්නට අදහස්‌ කළෙමි. යුද්ධයෙන් උතුරේ හෙළු ලේ වියළී යැමට පෙරාතුව රජය හෝ රජය නියෝජනය කරන්නන් තුවාල වූ හදවත් ඔවුන්ගේ ඉවසීමේ සීමාවන්ද ඉක්‌මවා තව දුරටත් තුවාල කරන්නේ ඇයිද යන්න මාගේ ප්‍රශ්නය වේ. ආයුධ සන්නද්ධ හමුදාවට පිටින් කටයුතු කිරීමේ ධෛර්යයක්‌ ඔවුනට නැත. ඒ සමඟම පසුගිය කාලයේ කෙබඳු සංවිධාන පැවැතියද එම සංවිධාන වලට අයත් උදවිය නිර්නාමිකව තර්ජනය කරමින් ජනතාව පාලනය කරති. උතුරේ පවතින එම තත්ත්වයම වන්නියේද පවතී. වන්නියේ දිස්‌ත්‍රික්‌ක හතරින් කිළිනොච්චිය හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක දැඩි ලෙස විපතට පත් දිස්‌ත්‍රික්‌ක බව ඔබතුමා නොදන්නවාද නොවේ. මෙම දිස්‌ත්‍රික්‌කයන්හි ජනතාව අවස්‌ථා කිහිපයකදීම පදිංචිය අතහැර ගොස්‌ අවසාන වශයෙන් නැවත පදිංචි කළ පසු තම නිවාස සම්පූර්ණව නොතිබූ බව දුටුහ. ඔවුන්ගේ නිවාස වලින් සමහරක්‌ සමතලා වී හෝ වහලය දොර ජනේල කිසිවක්‌ නොමැතිව තිබිණි. සුනාමිය හෝ වෙනත් ස්‌වාභාවික ව්‍යසනයක්‌ මෙම තත්ත්වයට සමාන කළ නොහැකිය. මොවුන් හට සිදුවී ඇති විපත සුනාමියකට හෝ සමාන කළ නොහැකි තත්ත්වයක පවතී. අවස්‌ථා කිහිපයකදීම පදිංචිය අතහැර ගොස්‌ ආපසු පැමිණි පසු ඇඳිවත හැර වෙන කිසිවක්‌ මොවුන්ට ඉතිරිව තිබුණේ නැත.

මෙවන් කරදර මධ්‍යයේ බොහෝ අයට ඥතීන් අහිමි වී ඇත. සමහරුන් අද දක්‌වාම අතුරුදන්ව සිටිති. තවත් අය බරපතල තුවාල සහිතව අත් පා දැස්‌ අහිමිව සිටිති. තවත් පිරිසක්‌ ඉවත් කළ නොහැකි බෝම්බ කොටස්‌ ශරීරයේ කා වැදුණු අයුරින්ම සිටිති. මේ ජනතාවට උදව් කරන්න දකුණේ ජනතාවට අවසර දී තිබුණේ නම් ඒ අය හොඳින් ඒ දේ කරයි. අවාසනාවකට මෙන් සරණාගත කඳවුරුවලට ඇතුල්වන්න රාජ්‍ය නොවන සංවිධානයකට හෝ ඉඩ නොලැබිණි. එහෙත් ප්‍රබල කොටි සාමාජිකයන් සිය ගණනක්‌ බාහිර අයගේ උපකාර ඇතිව කඳවුරු වලින් පැන ඉන්දියාවට පලා ගියහ. මා මෙහි සඳහන් කරනුයේ ජනතාවට අත්වූ හිරිහැර කරදර වලින් අල්පයක්‌ පමණි. නැවත පදිංචි කරවන ලද ජනතාව කුසගින්නේ නොයෙකුත් දුක්‌ ගැහැට විඳිමින් සිටිති. නැවත පදිංචිකර වන ලද සරණාගතයන්ට ලබාදෙන ආහාර රජයේ නිලධාරීන් මගින් සිදුකළේ නම් තත්ත්වය වෙනස්‌ වන්නට ඉඩ තිබිණි. ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම් රජයට දැඩි ලෙස අප්‍රසාදය ඇති කරවන ලදී.

තමන්ට සිදුවූ හානියන්ට කිසිදු වන්දියක්‌ ලබා නොදීම නිසා ජනතාව දැඩිලෙස කලකිරීමට පත්ව සිටිති. අමාත්‍යවරුන් විටින් විට සිදු කරන විවෘත කිරීම් උත්සව රැවටිලි තුළින් ජනහද දිනා ගත නොහැකිය. මාර්ග කාපට්‌ කිරීම ගැනද ඒ ජනතාව තුළ උනන්දුවක්‌ දක්‌නට නැත. ඔවුන්ට අවශ්‍ය කරන්නේ රජයේ වියදමින් පිළිසකර කරන ලද නැතහොත් අලුත්වැඩියා කරන ලද නිවාසය. එවැනි දෙයක්‌ කරන්න රජයට වගකීමක්‌ ඇත. නිවාස ඉදි කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට රජයෙන් ණය ලබා ගැනීමට ඔවුන් තුළ කැමැත්තක්‌ නැත. තමන්ගේ රන් ආභරණ යළි ලබා ගැනීමටද ඔවුහු කැමැත්තෙන් සිටිති. ඊට අදාළ කුවිතාන්සි ඔවුන් සතුව ඇත. හමුදාව නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින නිවාස ඉඩකඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. ඔවුන් අල්ලා ගෙන ඇති නිවාස ඉඩකඩම් බලහත්කාරයෙන් හෝ අඩු මුදලකට පවරා ගත් ඒවාය. ඔවුන්ගේ ප්‍රශ්න රාශියක්‌ අනුකම්පාවෙන් යුතුව විසඳිය යුතු ඒවා වේ. මොවුන් ඉතා දුක්‌ විඳි උදවියකි. ඔවුන්ට තව දුරටත් ශාරීරිකව හෝ මානුෂිකව දුක්‌ විඳින්නට ශක්‌තියක්‌ නැත. එසේ සිදුවුවහොත් එය රජයටද අප්‍රසාදය ගෙනදෙනු ඇත.

ජනාධිපතිතුමනි, අපට කාලසීමාවකින් තොරව මෙසේ ගමන් කිරීමට නොහැකියි. තව දුරටත් ප්‍රමාද නොවී වාර්ගික අර්බුදයට විසඳුමක්‌ සෙවිය යුතුය. ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ජාතීන් තමන් තුළ වූ බිය සැක අත්හැර එකාමෙන් විසඳුමකට සහාය ලබා දිය යුතුය. ශ්‍රී ලංකාවේ ජීවත්වන මහ ජාතීන් දෙවර්ගයක්‌ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එකිනෙකා අතර ඇති අවිශ්වාසය වර්ධනය වීමට ප්‍රධානම හේතුව අප රටේ ඉතිහාසයේ සිදුවූවා යෑයි කියන සමහර සිදුවීම් ගැන නොදැන සිටීමය. එහි විපාකය එක්‌ පාර්ශ්වයක්‌ අනෙක්‌ පාර්ශ්වය දෙස සැකෙන් බැලීම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදුවෙයි. මේ රටේ ජනගහනයෙන් කීයෙන් කී දෙනෙක්‌ සිංහල දෙමළ ජනතාවගේ පුරාතන සම්බන්ධකම් ගැන දැන සිටින්නේද?

අප අතුරින් බොහෝ දෙනකු දන්නා විදියට විජය රජු පාණ්‌ඩ්‍ය රජුගේ දියණිය හා විවාහ වීමත් ඔහුගේ සගයන් 700 කට විවාහ වීමට ඔවුනොවුන්ගේ තරාතිරමට සරිලන කුමාරිකාවන් පාණ්‌ඩු රාජ්‍යයෙන් රජතුමා විසින් පිටත් කර යවන ලද බව සිංහල ජනතාවට ඉතිහාසය ගෙන හැර දක්‌වන මහා වංශයේ 7 වන පරිච්ඡේදය පහත අයුරින් සඳහන් වෙයි.

"ඔහු (පාණ්‌ඩ්‍ය රජු) තම දියණිය වූ පාණ්‌ඩ්‍ය කුමරියට හා ඇයට අයත් ආභරණ ඔවුන්ට අවශ්‍ය විවිධ භාණ්‌ඩ විජයගේ සගයන්ගේ තරාතිරම අනුව තෝරා ගෙන ඔවුන්ගේ පවුල් වලට අදාළ වන්දිය ගෙන කැඳවන ලද කුමාරිකාවන්, අලි ඇතුන්, වාහන, රජුන්ට සුදුසු භාණ්‌ඩ විවිධ කලාකරුවන්, දහ අටක ශිල්ප ශ්‍රේණීන්ද දහසක්‌ කුල ජනයාද සමඟ රජුට ලිපියක්‌ද යවා තිබිණි. (පරිච්ඡේදය 7 පිටුව 55-58)"

ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව තමිල්නාඩුවේ ජනතාවත් සමඟ ඇති ලේ සම්බන්ධතාවයන් පිළිබඳව කතා කරන්නා සේ අදත් තමිල්නාඩුව හා සම්බන්ධ මධුරාපුර සිංහල ජනතාව හා ලේ සම්බන්ධතා පවතී. කෙටියෙන් කියන්නේ නම් දෙමළ හෝ සිංහල වෙන හැමෝටම මව් තුමිය වූයේ දෙමළ කාන්තාවකි. අප මහා වංශය විශ්වාස කරන්නේ නම් මේ සත්‍යය පිළිගත යුතුය.

අප රටේ අර්බුදය අප සියලු දෙනාටම පොදු ප්‍රශ්නයක්‌ ලෙස මා අදහස්‌ කළා මිස එය පෞද්ගලිකව එක්‌ ජන කොටසකට හෝ එක්‌ ජාතියකට හෝ එක්‌ කණ්‌ඩායමකට අදාළ ප්‍රශ්නයක්‌ ලෙස අදහස්‌ නොකළෙමි. මේ රටේ අර්බුදය විසඳීමට රටේ ජීවත් වන සියලුම දෙනාගේම අවංක සහභාගිත්වය අවශ්‍ය බව පෙන්වා දෙමි. ඔබතුමා විටින් විට ප්‍රකාශ කළ පරිදි මේ රටේ ජීවත්වන සියලු දෙනාම එක සමාන අයිතිවාසිකම් හිමිකම් භුක්‌තිවිඳීමට අයිතිය ඇත. අප එය පිළිගන්නේ නම් අර්බුදය විසඳීමට එතරම් අපහසු නොවේ. ප්‍රථමයෙන් සිංහල, දෙමළ, මුස්‌ලිම් හා අනෙකුත් ජාතීන් සියලුම දෙනාට ශ්‍රී ලාංකිකයන් යන පොදු හැඳින්වීම කළ යුතුය. අවංක දේශහිතෛෂියකු තම රට පමණක්‌ නොව ඒ රටේ ජීවත්වන සියලුම දෙනාට සමාන අයුරින් සැලකිය යුතුයි.

ජනාධිපතිතුමනි, මම ජාතිවාදියෙක්‌ නොවෙමි. සිංහල පවුලක්‌ සහ ඉස්‌ලාමීය පවුලක්‌ මාගේ නිවස දෙපස සිටිය යුතු යෑයි සිතන කෙනෙකි. මෙම කරුණේදී මාගේ අදහස මම කිසිවිටෙක වෙනස්‌ කර ගන්නේ නැත. මගේ මෙම ඉල්ලීම යම් කෙනකු කියවා ඊට පක්‍ෂව හෝ විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කළ හැකිය. ඒත් එය හදවතින් මිස ආවේගයෙන් නොවේය. මා සිතන ආකාරයට වෙනත් අය මෙන් ස්‌ථිරසාර විසඳුමක්‌ උදෙසා රජය ප්‍රමුඛතාවයෙන් කටයුතු කළ යුතුය. එය කඩිනමින් කළ හැකි දෙයක්‌ නොව, මේ රටට නිදහස ලැබීමට පෙර වසර ගණනාවක්‌ සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සෙසු ජාතීන් සමගියෙන් ජීවත් වූහ. සාමය සත්‍යය ලෙස ඒ ස්‌වරූපයෙන්ම මේ ලස්‌සන දූපතට ලැබිය යුතු යෑයි වැලපෙමි. 1948 දී නිදහස ලැබීමෙන් පසු මේ රටට සිදු වූයේ කුමක්‌ද යන්න වත්මන් පරපුර දන්නේ නැත. අතීතයේ ශ්‍රී ලංකාව කොතරම් සාමකාමීව පැවතුනේද යන්නත් මේ අය දන්නේ නැත. මේ කාලයේ මුළු මනින්ම තමන් ජීවත්වූ රටේ සිදුවූ හොඳ නරක සජීවී ලෙස දැක ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ පුරවැසි පනත වෙනස්‌ මුහුණුවරක්‌ ගෙන තිබිණි. 1956 යේ සිංහල රාජ්‍ය භාෂාවක්‌ කිරීමේ පනත එම තත්ත්වය වෙනස්‌ කර ප්‍රශ්නය ව්‍යාප්ත කිරීමට ඉවහල් විය. එදින පටන් අද දක්‌වා අඩසියවසකට අධික කාලයක්‌ ඔබ වැනි රටේ ජනාධිපතිවරයකුට හෝ මා වැනි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියකුට හෝ මේ රටේ කිසිදු ප්‍රදේශයක නිදහසේ ජීවත් වීමට නොහැකි විය.

අර්බුදය සම්බන්ධ එක්‌සත් රාජ්‍ය ක්‍රමයේ අඩුපාඩුකම්, ඉන්දීය ක්‍රමයේ බලය බෙදා හැරීමේ යහපත්කම පිළිබඳ පහත අයුරින් මා මීට පෙර ලියා ඇත.

දෛනිකව සිංහල, දෙමළ, මුස්‌ලිම් හා වෙනත් ජාතීන් දහස්‌ ගණනක්‌ ඉන්දියාවේ සංචාරය කරති. එම ජනතාව ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරති. බහුතරයක්‌ හින්දු ජනතාව වෙසෙන රටේ ජනාධිපති ලෙස පත්ව සිටින්නේ ඉස්‌ලාමීය විද්‍යාඥයෙක්‌. ඉන්දීය ජනගහනයෙන් සියයට 1 ක ප්‍රතිශතයක්‌ ඇති ජන කොටසක නායකයෙක්‌ ප්‍රධාන අමාත්‍යවරයකු ලෙස කටයුතු කරයි. ඉන්දියාවේ නූපන් ගෞරවනීය කාන්තාවක්‌ පාලක පක්‍ෂයේ නායිකාව ලෙස කටයුතු කරයි. අපේ අසල්වැසි රට එතරම් ගෞරවාන්විත රටකි. වෙනස්‌කම් තුළින් ද එක්‌සත්කම පෙන්වයි. අප එසේ නොසිටිය යුත්තේ ඇයි? ඉන්දියාවේ ක්‍රමයට බලය බෙදා හැරීමක්‌ අපේ පළාත් වලට ලබා නොදිය යුත්තේ ඇයි? කවුරුන් මැතිවරණය ජයග්‍රහණය කළත් දෙදෙනාම එක්‌ව මැතිවරණය අවසන් වූ වහාම දේශපාලන විසඳුමට සහාය දෙනවා යෑයි සහතික විය යුතු යෑයි ඉල්ලා සිටිමි. දුකින් ජීවත්වන අප ජනතාවට සාමය ලබා දීම සඳහා මේ සුදුසුම මාවත යෑයි මම විශ්වාස කළෙමි. ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය අප වෙත යොමුවී තිබෙන මෙහොතක මෙය විශේෂ අවස්‌ථාවක්‌ ලෙස මා සලකමි.

ජනාධිපතිවරණයෙන් ඔබතුමා ජයග්‍රහණය කළ පසු 2005/11/25 දින පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රතිපත්ති පැහැදිලි කිරීම් පිළිබඳ 2005/11/28 වන දින "ප්‍රතිපත්ති පැහැදිලි කිරීමත් සාම විසඳුමත්" යන මැයෙන් ලියන ලද ලිපියේ (ඇමුණුම්) ඡේද දෙකක්‌ පහත සඳහන් කරමි. පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරු පුරුද්දක්‌ වශයෙන් අලුත් ශ්‍රී ලංකාවක්‌ බිහි කිරීමට සියල්ලන්ගේ සහාය ඉල්ලා සිටි ආකාරයට ඔබ තුමන්ද ඉල්ලීමක්‌ කළා. අප්‍රසාදයෙන් ජීවත්වන සුළු ජාතීන්ගේ සහාය නොලබා එම ශ්‍රී ලංකාව ගොඩනැඟීම ඉතා අපහසු දෙයකි. මහ ජාතිය වන සිංහල පූර්ණ සහාය පවා නොලැබීයැමට හැකිය. ඒ මන්ද කිවහොත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකම අරමුණ සාමය ඇති කිරීමයි. එය ඇති කිරීම සඳහා සාධාරණ පිළිගත හැකි විසඳුමක්‌ අවශ්‍ය වේ.

ජනාධිපතිතුමනි, ඔබතුමන් කාලයක්‌ කැමැත්තෙන් සිටි පෙඩරල් ක්‍රමයට දැන් අකමැති නිසා පෙඩරල් ක්‍රමයට විකල්පයක්‌ ලෙස ඉන්දීය ක්‍රමයේ බලය බෙදා හැරීමක්‌ කෙරෙහි අවධානය යොමු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වතාවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සම්මේලනයේදී පවා පෙඩරල් ක්‍රමය පිළිගැනීමට ලක්‌විය. ප්‍රජාතන්ත්‍රවාදය යනු මහ ජාතියෙම පාලනයක්‌ නොවී ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළු ජාතීන්ගේ එකඟතාවය ඇතිව මහ ජාතිය විසින් කරන පාලනය යන සත්‍යය අප ජනතාවට දැන්විය යුතුය. 2005 පැවැති ජනාධිපතිවරණයෙන් පෙඩරල් පාලන ක්‍රමය විසඳුමක්‌ ලෙස ඉදිරිපත් කළ එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 49 කි. එබතුමන්ට ලැබුණු ඡන්ද වලින් වාමාංශික ඡන්ද ප්‍රමාණය පෙඩරල් පාලන ක්‍රමයට එකඟතාව පළ කරන ඡන්ද ලෙස පිළිගත හැකිය. මාගේ උපදේශය විහිළුවක්‌ කොට ගත්තත් ඊට ධර්මිෂ්ඨ වගකීමක්‌ පවතී. ඊට හේතුව මැතිවරණයකදී ඡන්ද ප්‍රතිශතය වසර 55 ක්‌ තිස්‌සේ විසඳුම නොසොයා වාසනාවන්ත ලෙස බැලිය යුතු රටක විනාශය ඇතිකර ප්‍රශ්නයක්‌ විසඳීමට බාධාවක්‌ නොකර ගත යුතුය. පෙඩරල් ක්‍රමය යටතේ හෝ ඉන්දීය ක්‍රමයේ විසඳුමක්‌ තෝරා ගත හොත් ශ්‍රී ලංකාවේ ජීවත් වූ මිය ගිය සියලු ජාතීන්ට අයත් දහස්‌ ගණනකට නිවන් සුවය ලැබෙනු ඇත. අප රටේ ඇති විය හැකි සාමයට විරුද්ධ විවිධ රටවල සිට ක්‍රියාත්මක වන්නන්ගේ ක්‍රියාකාරකම් වලක්‌වාලන එම රටවල සහතිකයද ලබාගෙන මෙවැනි සුදුසු විසඳුමකට යා හැකිය. දුකින් පෙළී ගොස්‌ තිබුණු රටක සාමය හා වාසනාව උදාකළ එකම නායකයා ඔබතුමන් බවට ඉතිහාස ගත වනු ඇත. හොඳ ෙච්තනාවෙන් හෝ ඔබතුමන්ට ලබාදෙන වැදගත් උපදේශය ඒකීය රාජ්‍යයක්‌ තුළ දීප්තිමත් ස්‌ථිරසාර විසඳුමක්‌ කිසිවිටෙක ලබා ගත නොහැකි බවයි.