කර්නල් ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය

ගඩාෆි මරා දැමූවේ ඇයි?


l මහින්ද පතිරණ


මේ මගේ අන්තිම කැමැත්තයි. මුවමර් බින් මොහොමඩ් බින් අබ්දුස්‌සලාම් බින් හුමායඩ් බින් අබු මන්යාර් බින් හුමායඩ් බින් නයිල් අල් ගඩාෆි වන මම අල්ලා හැර අන් දෙවියකු නැති බවටත් මොහම්ද් යනු දෙවියන්ගේ මුනිවරයා බවටත් දිවුරමි. ඔහුට සාමය වේවා·

මුස්‌ලිම්වරයකු ලෙස මම මියෙමි. යම් හෙයකින් මා මරා දැමුවහොත්, මුස්‌ලිම් ආගමික වතාවත්වලට අනුව මා මිහිදන් කළ යුත්තේ, මා මරා දමන මොහොතේ හැඳ සිටි ඇඳුම් සහිත ව දෙන නොසෝදා සර්ට්‌ සුසාන භූමියේ ඇති මගේ පවුලේ අයවලුන් සමීපයේ ය.

මගේ මරණයෙන් පසු, මාගේ පවුලේ සාමාජිකයින්, විශේෂයෙන් ම කාන්තාවන් හා ළමුන් හොඳින් රැකබලාගත යුතු ය. ලිබියානු ජනතාව තමන්ගේ අනන්‍යතාව, ජයග්‍රහණ, ඉතිහාසය හා එහි මුතුන් මිත්තන්ගේ හා වීරයින්ගේ ගෞරවනීය ප්‍රතිරූපය රැකගත යුතු ය. ලිබියානු ජනතාව ලිබියාවේ නිදහස්‌ හා හොඳ ම මිනිසුන්ගේ පරිත්‍යාගයන් නොහැරිය යුතු ය. ප්‍රතිරෝධය ඉදිරියට ම රැගෙන යන ලෙස මම මගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලමි, එසේම ලිබියාවට එරෙහි ඕනෑම විදේශීය ආක්‍රමණිකයකුට විරුද්ධ ව අද ද හෙට ද සැමවිට ද ඔබ සටන් කළ යුතු ය.

පෞද්ගලික ආරක්‌ෂාව හා සුවබර ජීවිතයක්‌ වෙනුවෙන් අපට අපගේ අරමුණ කේවල් කළ හැකි ව හා විකිණිය හැකි ව තිබූ බව ලෝකයේ නිදහස්‌ මිනිසුන් දැනගනු යෙහෙකි ය. මේ සඳහා අප වෙත බොහෝ ඉල්ලීම් පැමිණි අතර එහෙත් ඒ සියල්ල ම හැර යුතුකමේ හා ගෞරවයේ පැළඳුමක්‌ ලෙස අපි සටන් කිරීම තෝරා ගතිමු.

අප වහා ජයග්‍රහණය නොකළ ද, අන් අය ඔබට අන් ලෙස කීමට උත්සාහ කළ ද ජාතිය ආරක්‌ෂා කිරීම තෝරා ගැනීම ගෞරවයක්‌ බව හා එය විකිණීම ඉතිහාසය විසින් කිසි දා අමතක නොකරනු ඇති විශාලත ම පාවාදීම බවට අපි අපගේ අනාගත පරම්පරාවන්ට පාඩමක්‌ දෙන්නෙමු.



ලිබියාවේ හිටපු නායක මුවමර් ගඩාෆි මුහුණ දුන්නේ සුප්‍රකට ජර්මන් ලේඛක ද්‍ය්‍රාන්ස්‌ කද්‍ය්කා තම මව්බිමේ දී මුහුණ දුන් හඳුනාගැනීම පිළිබඳ අර්බුදයට ම ය. කද්‍ය්කා වරක්‌ පැවසූයේ තමා ජර්මානුවන්ගේ ඇස ඉදිරියේ යුදෙව්වකු බවත් යුදෙව්වන්ගේ ඇස ඉදිරියේ ජර්මානුවකු බවත් ය. කර්නල් ගඩාෆි ද ලිබියානුවන් ඉදිරියේ මුස්‌ලිම් විරෝධියෙකි. බටහිර ලෝකය ඉදිරියේ බටහිර විරෝධියෙකි. මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක්‌ පරම සතුරන් වූ ලිබියානුවන්ට මෙන් ම බටහිරයන්ට ද කලකින් එකට භුක්‌ති විඳිය හැකි වූ ජයග්‍රහණයක්‌ රැගෙන ආවේ ය. මේ අනුව, බටහිරයන් හා ලිබියානුවන් එක්‌ ව පැවැත් වූ හඳුනාගැනීමේ පෙරට්‌ටුවේ දී මුවමර් ගඩාෆි මෙසේ අවාසනාවන්ත ලෙස අසමත් වන්නේ කුමන කාරණයක්‌ නිසා ද යන්න සොයා බැලීම සිත් ගන්නා සුලු විය යුතු ය.

බටහිර ගැතිකමට එරෙහි ලේ නොසැලු ගඩාෆි විප්ලවය

ලිබියාවේ ඉතාලියානු ආක්‍රමණයට එරෙහි ව සටන් කොට 1911 දී කොම්හි දී මියගිය පළමු සටන්කරුවා වූ අබ්දෙසලාම් බෞමින්යාර් තම පිය පාර්ශවයේ සීයා ලෙස හඳුන්වන මුවමර් ගඩාෆි 1942 ජූනි මාසයේ දිනෙක ඉතාලි ලිබියාවේ සර්ට්‌ නගරයට තදාසන්න ව පිහිටි විශාල ග්‍රාමීය ගොවි පෙදෙසක්‌ වූ අබු හදී හි දී උපත ලබන්නේ ය. ගඩාෆි අයත් වන්නේ ඛදා ද්‍යා නම් කුඩා ආරාබි ගෝත්‍රයකට ය. කුඩා කල සිට ම පලස්‌තීනුවන්ගේ සාර්ථකත්වය හමුවේ කුල්මත් වූ ගඩාෆි 1948 දී ඊශ්‍රායලය විසින් පලස්‌තීනුවන් පරාජය කිරීම හමුවේ බරපතල ලෙස කනස්‌සලට පත්වන්නේ ය. සූවස්‌ ඇල සම්බන්ධ අර්බුදය තුළ 1956 දී ගඩාෆි ඊශ්‍රායල් විරෝධී විරෝධතාවන්ට සහභාගී වන්නේ දැඩි උනන්දුවෙනි. ද්වීතීයික පාසලේ දී ඉතිහාසය හදාරන ගඩාෆි නම් නැගී එන නායකයා 1961 දී ලිබියාවේ බෙන්ගාසි හි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළත් වන ලදු ව 1966 දී ඉන් උපාධි ලබා පිටවන්නේ ය. උපාධිය ලබා ගැන්මෙන් පසු වැඩිදුර හමුදා අධ්‍යයන සඳහා යුරෝපයට යන ගඩාෆි තරුණයා මාස හතරක්‌ පමණ එක්‌සත් රාජධානියේ දී සිදු කළ හමුදා පුහුණුවෙන් පසු මඳ කලක්‌ ලන්ඩනයේ ගත කිරීමට තීරණය කරයි. මින්පසුවය ඔහු රාජකීය ලිබියානු හමුදාවේ සංඥා බලකායට එකතු වන්නේ.

සෙසු අරාබි රටවල සේ ම ලිබියාවේ ද හමුදා සේවය උරුම වූයේ ආර්ථික වශයෙන් දුබල වූවන් වෙත ය. කෙසේ වෙතත්, මෙම සමාජ පන්තියට අයත් වූවන්ට ඉතිරි ව තිබූ එක ම දේශපාලන මැදිහත්වීම වූයේ ද හමුදා සේවයයි. 1967 දී පෙරමුණු තුනකින් ගමන්ගත් ඊශ්‍රායලය විසින් අරාබි හමුදාව ඉතා දරුණු ලෙස පරාජයට පත්කරන ලදී. මේ පිළිබඳ දැඩි ඉච්ඡාභංගත්වයෙන් හා ලඡ්ජාවෙන් පසුවූ බොහෝ ලිබියානු හමුදා නිලධාරීහු, ඊට එරෙහි ව කිසිවක්‌ ම නොකරන තම රාජාණ්‌ඩුව බලයෙන් පහකිරීමට සැලසුම් කරමින් සිටියහ. ඒ අනුව, ඊර්ප්තුවේ ගමාල් නසාර් ජනාධිපතිවරයාගේ අරාබි ජාතිකවාදය වීරත්වයෙන් සැලකූ ගඩාෆි හා ඔහු වන් වූ තරුණ හමුදා නිලධාරිහු පිරිසක්‌ හමුදා සේවය ම විප්ලවවාදී වෘත්තියක්‌ ලෙස සැලකූයේ 1969 සැප්තැම්බර් මස 1 වන දින ලිබියාවේ ඉඩ්‍රsස්‌ රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුර්කියේ කාලය ගතකරන අතරතුර රාජාණ්‌ඩුවට එරෙහි ව ලේ බිඳකුදු නොසැලු කැරැල්ලක්‌ මෙහෙයවා ලිබියාවේ බලය සියතට ගත්හ.

බටහිර තෙල් සමාගම්වලට කළ අවසන් දැනුම් දීම්

බලය සියතට ගත් සැණින් ගඩාෆි විසින් අණ කළේ ඒ වන විට ලිබියාව තුළ පවත්වාගෙන ගිය සියලු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමීමට ය. බටහිර තෙල් සමාගම්වලට දුන් අණ වූයේ එම සමාගම් තම ජනතාව වෙත වඩාත් වැඩි ලාභයක්‌ ලබා නොදෙන්නේ නම් එම සමාගම් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය. බටහිර සමාගමවලට අන් විකල්පයක්‌ නොවූ අතර අණෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියාවේ තෙල් ආදායම සියයට 50 සිට සියයට 79 දක්‌වා ඉහළ ගියේ ය.

මේ අතර, ගඩාෆි විසින් දිගින් දිගට ම තෙල් සමාගම්වල සූරා කෑම්වලට එරෙහි ව සටන් කළ අතර 1970 දී පමණ ගඩාෆි මෙම සමාගම්වලට එරෙහි ව කළ සටනේ ජයග්‍රහණය සෙසු ඔපෙක්‌ රටවලට මනා පූර්වාදර්ශයක්‌ වෙමින් ඉරානයේ ෂා රජු ඇතුළු තව බොහෝ තෙල් නිෂ්පාදන රටවල් බටහිර තෙල් සමාගම්වලින් තමා වෙත ලැබෙන ලාභය විශාල ලෙස ඉහළ නංවා ගත්තේ ය.

ගඩාෆි යටතේ ලිබියානු ආර්ථික පිම්ම

ලිබියාව ස්‌වාභාවික සම්පත් වලින් අනූන ය. ගඩාෆි විසින් මෙම සම්පත් තම රට වැසියාගේ යහපත වෙනුවෙන් යෙදවීමට සැම විට ම ක්‍රියාකර තිබේ. ගඩාෆි යටතේ ලිබියානුවන්ගේ සාක්‌ෂරතාව සියයට 10 සිට සියයට 90 දක්‌වා ඉහළ ගියේ ය. ජීවන අපේක්‌ෂාව වසර 57 සිට 77 දක්‌වා නැංවුණි. කාන්තාවන්ට හා කළු ජාතිකයින්ට සමාන අයිතිවාසිකම් හිමි වූ අතර සැමට නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය ලබා දෙන සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුණි. මුළු ලිබියාව පුරා පිරිසිදු ජලය රැගෙන ගිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ලිබියානුවන් හැඳින් වූ ස්‌වභාවික ගංගාවක්‌ නිර්මාණය කිරීමට ගඩාෆි කටයුතු කළේ ය. මේ සියල්ල ම කළේ කිසිදු විදේශ ණයක්‌ නොගනිමිනි. මේ අනුව, පසුගිය දා වීදියක දී ලිබියානුවන් විසින් ම ඉතා කෲර ලෙස මරා දැමූ ගඩාෆිගේ පාලන කාලය තුළ ලිබියාව ණයින් නිදහස්‌ රටක්‌ ලෙස ඉතිහාසයට එක්‌වේ. 2010 වන විට ලිබියානු ආර්ථිකයේ වර්ධන වේගය, සියර් අප්‍රිකානු රටවල් පරදවමින් සියයට 10.6 ක පැවතුණි.

ගඩාෆිට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ මර්දනය කිරීම

මේ අතර, ගඩාෆිගේ අරාබි ප්‍රතිරූපය දැඩි සේ සසල වූ ක්‍රියාවක්‌ 1978 දී සිදුවිය. ඒ ෂියා මුස්‌ලිම් ඉමාම්වරයකු වූ මූසා අල් සදාර් ලිබියාවට යන අතර තුර දී අතුරුදන් වීම ය. ලෙබනනය විසින් සෘජුවම මෙම අතුරුදන් වීමට එරෙහි ව ගඩාෆිට චෝදනා කළ අතර ගඩාෆි එය සපුරා බැහැර කරන්නේ ය. මෙම සිදුවීම නිසා, එතැන් පටන් අරාබි ලෝකයේ ෂියා මුස්‌ලිම්වරුන් ගඩාෆි දෙස බලන්නේ වපර ඇසිනි.

ගඩාෆිට විරුද්ධ ව පාලනයේ ම ඉහළ කොටස්‌ අතරින් කුමන්ත්‍රණ දියත් වූ අතර 1969 දෙසැම්බරයේ දී ඊජිප්තු බුද්ධි අංශ විසින් නිවේදනය කළේ තමා ගඩාෆිට එරෙහි කුමන්ත්‍රණයක්‌ පරාජය කළ බව ය. ඇත්ත වශයෙන් ම මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්‌ ලෙසය. ඉන්පසු පැවති ගඩාෆි පාලනය විසින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය හා තම පවුල හා සමීපතම ඥාතීන් සමග පමණක්‌ ඔහු බලය බෙදා ගැනීමට පෙළඹෙන්නේ.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස, 1969 දී විප්ලවවාදී කමිටු පිහිටුවන ගඩාෆි ඒ හරහා රට ඇතුළතින් නැගී එන විරුද්ධවාදීන් පාලනය කිරීමට කටයුතු කරන්නේ ය. ලිබියානු ජනගහණයෙන් සියයට 10 සිට සියයට 20 ක්‌ පමණ රජයේ ඔත්තුකරුවන් ලෙස සේවය කළ අතර රාජ්‍ය ආයතනවල, කර්මාන්තශාලාවල හා අධ්‍යාපන ආයතනවල මෙය වඩ වඩාත් ක්‍රියාත්මක විය. මේ අතර විදේශිකයින් සමග දේශපාලනය සාකච්ඡා කිරීම වසර තුන දක්‌වා වන සිර දඬුවමක්‌ ලබා දෙන වරදක්‌ ලෙස හඳුන්වා දුනි. දේශපාලන පක්‌ෂ පිහිටුවීම ද තහනම් විය. මේ අතර, විදෙස්‌ රටවල ක්‍රියාත්මක වූ ලිබියා විරෝධීන් මෙල්ල කිරීම සඳහා ගඩාෆි විසින් තම තානාපති කාර්යාල හරහා වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ අතර 1980 හා 1987 අතරතුර දී විදෙස්‌වල සිටි විරුද්ධවාදීන් 25 දෙනකු පමණ ගඩාෆි විසින් මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබේ. 1980 දී ගඩාෆි විසින් විදෙස්‌වල සිටින ලිබියානුවන්ට අවසාන නිවේදනයක්‌ නිකුත් කරමින් කීවේ එක්‌කෝ තම රටට පැමිණෙන ලෙස හෝ එසේ නැතිනම් විප්ලවවාදී කමිටුවල අතට හසුවන ලෙස ය. ලිබියානු ඒජන්තයින් විසින් ඇමරිකාවේ දී, යුරෝපයේ දී හා මැදපෙරදිග දී ගඩාෆි පාලනයේ විරුද්ධවාදීන් ගණනාවක්‌ ඝාතනය කර ඇති බව කියවේ.

ලොකර්බි බෝම්බ සිද්ධිය හා බටහිර ගඩාෆි-විරෝධය

1984 දී ලන්ඩනයේ දී ලිබියානු සරණාගතයින් පිරිසක්‌ විසින් ලන්ඩන් හි ලිබියා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවට තානාපති කාර්යාල නිලධාරීහු වෙඩි තබති. මෙහි දී බ්‍රිතාන්‍යයේ පොලිස්‌ කාන්තාවක්‌ වූ ඉවෝන් ය්ලෙචර් ද මිය යන්නේ ය. මෙම සිදුවීම එක්‌සත් රජධානිය හා ලිබියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දශකයක්‌ පමණ තිස්‌සේ වළකා ලීමට සමත් විය. කෙසේ වෙතත්, ගඩාෆි චෝදනා කළේ බ්‍රිතාන්‍ය විසින් තම විරුද්ධවාදීන් සමග එකතු වී තම තානාපති කාර්යාලයට පහරදුන් බව ය. 1985 දී ගඩාෆි ප්‍රකාශ කළේ තම රටට එරෙහි ව පිටරටවල සිට ක්‍රියාත්මක වන අයට සහාය දෙන රටවලට එරෙහි ව තමා ද ක්‍රියා කරන බව ය. මේ අනුව, ගඩාෆි විසින් අයි ආර් ඒ ඇතුළු යුරෝපයේ කැරලිකාර කණ්‌ඩායම්වලට සහාය වන්නේ ය. 1980 ගණන්වල දී සෙම්ටෙක්‌ස්‌ නම් පුපුරණ ද්‍රව්‍ය ටොන් ගණනක්‌ අයි ආර් ඒ සංවිධානය වෙත යෑවීම ගඩාෆි අනුමත කරන්නේ ය.

බටහිර හා ගඩාෆි අතර වන දශක ගණනාවක විරසකයේ එක්‌ සංධිස්‌ථානයක්‌ වන්නේ ලොකර්බි බෝම්බ ප්‍රහාරයයි. මීට ද හේතුඵල සම්බන්ධයක්‌ තිබේ. 1986 දී ජර්මනියේ බර්ලින් හි රාත්‍රී සමාජ ශාලාවක දී ඇමරිකානු සෙබළුන් දෙදෙනකු මරුමුවට පත්කරමින් බෝම්බ පිපිරිමක්‌ සිදුවන්නේ ය. මෙම ප්‍රහාරය සඳහා ඇමරිකාව සෘජුවම ලිබියාවට චෝදනා කළ අතර, අදාළ ප්‍රහාරයට දින 10 කට පසු ඇමරිකානු ප්‍රහාරක යානා, ඇතැම් ඒවා බ්‍රිතාන්‍යයේ සිට ගුවන්ගත වෙමින් ලිබියාවේ ටි්‍රපොලි හා බෙන්ගාසි වෙත බෝම්බ හෙළන්නේ ය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය අතර ගඩාෆිගේ හදාගත් දියණිය ද වූවාය. වොෂින්ටන් අදහසට අනුව, 1988 දෙසැම්බර් 31 වන දින මගීන් 259 දෙනකු රැගත් ඇමරිකානු පෑන් ඈම් ගුවන් සේවයට අයත් බොයිං යානාවක්‌ ස්‌කොට්‌ලන්තයේ ලොකර්බි නගරයට ඉහළ අහසේ දී පුපුරා යන අතර එහි දී යානාවේ ගමන්ගත් සියලු දෙනා ද බිම සිටි 11 දෙනකු ද මරණයට පත්වන්නේ ය. මෙම ප්‍රහාරය ඇමරිකාව විසින් ලිබියාවට බෝම්බ දැමීමට එරෙහි පළිගැනීමක්‌ ලෙස බවට ගඩාෆි වෙත චෝදනා එල්ල විය. ලොකර්බි සිද්ධිය අවසානයේ අඩක්‌ නිමාවට පත්වූයේ ලිබියාව විසින් 1998 එනම් ප්‍රහාරයට වසර 10 කට පසු දැඩි කොන්දේසි සහිත ව අදාළ සැකකරුවන් ස්‌කොට්‌ලන්කයට භාරදීමත් සමග ය.

උපක්‍රමශීලීව සතුරන් මිතුරන් කරගැනීම

මින්පසු ගඩාෆි සම්බන්ධයෙන් දිග හැරෙන්නේ මදක්‌ වෙනස්‌ කතාවකි. ඊට බරපතළ හේතු තිබුණි. ගඩාෆි පාලනයේ බොහොමයක්‌ විරුද්ධවාදීන් ඉස්‌ලාම් අන්තවාදීන් වීම නිසා හා මොවුන් ගඩාෆි විසින් මර්දනය කරගෙන යැම නිසා සිදු වූයේ මේතාක්‌ සිටි සතුරන් මිතුරන් වීම හා මිතුරන් සතුරන් වීමකි. මේ අනුව, මුල් දශකයන්හි දී සතුරන් ලෙස ක්‍රියාකළ බටහිර රටවල බුද්ධි අංශවල සහාය මේ වනවිට තම දේශපාලන මර්දනයේ දී ගඩාෆි වෙත බොහෝ සෙයින් ලැබෙමින් තිබුණි. ඇමරිකාවේ සී අයි ඒ හා බ්‍රිතාන්‍යයේ එම් 16 වැනි බුද්ධි අංශ විසින් ගඩාෆි වෙත ඔහුගේ පාලනයේ දේශපාලන විරුද්ධවාදීන්ගේ නම් ලැයිස්‌තු පිටින් දීමට පමණක්‌ නොව ඔවුන් පිටරටවල සිට එරටට ගෙන්වා දීමට ද සෘජුවම සම්බන්ධ වූ බවට මේ වන විට පැහැදිළි සාක්‌ෂි ලැබී තිබේ.

ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් කරන ලද ත්‍රස්‌තවාදයට එරෙහි සටනට ගඩාෆි බොහෝ සෙයින් සහාය දක්‌වන්නේ ය. මෙම සහාය දැක්‌වීම පෙරලා ගඩාෆි වෙත ප්‍රති උපකාර දක්‌වන්නේ ඇමරිකාව විසින් ත්‍රස්‌තවාදයට සහාය දෙන රටවල ලැයිස්‌තුවෙන් ලිබියාව ඉවත් කරමිනි. මේ අතර, 2004 වසරේ දී බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් ලිබියාවේ දී ගඩාෆි හමුවන අතර බ්ලෙයාර් ගඩාෆි හැඳින්වූයේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ නව මිතුරකු ලෙස ය. ප්‍රංශ ජනාධිපති 2007 වසරේ දී ලිබියාවට ගිය අතර එහි දී අත්සන් කළ බොහෝ ගිවිසුම් අතර මුහුදු ජලය පානීය ජලය බවට පත්කිරීමේ ගිවිසුම කැපී පෙනේ. මේ අතර, බටහිර එතරම් ම කැමති නොවූ, එහෙත් ගබාපි විසින් ආදරය කළ ක්‍රියාවක්‌ රුසියාව සමග එක්‌ව කිරීමට ගඩාෆි සිතාගෙන සිටියේ ය. ඒ රුසියානු හමුදා කඳවුරක්‌ ලිබියාව තුළ පිහිටු වීම ය.

අවසානයේ ගඩාෆි බටහිරට සමීප වන්නේ ඇයි?

ගඩාෆි විසින් එන්න එන්න ම බටහිර වෙත සමීපවීම පරෙස්‌සමෙන් සලකා බැලිය යුතු කාරණයකි. ගඩාෆි වෙත පෙරලා සිය රටේ දී එරෙහි වෙමින් සිටියේ ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ අදහස්‌ දැරූ අල්-ඛයිඩාව ප්‍රමුඛ කරගත් මුස්‌ලිම් අන්තවාදයයි. මේ අනුව, ගඩාෆි තම පාලනයට එරෙහි වූවන්ට එරෙහිව කළ මර්දනය ස්‌වභාවිකව ම එකී අන්තවාදයට එරෙහි එකක්‌ ලෙස පෙනී යන්නේ ය. මෙහි දී බටහිර හා ගඩාෆි පොදු සතුරාට එරෙහි ව එක්‌ කොටයක්‌ මතට එන්නේ ය.

කෙසේ වෙතත්, ගඩාෆි බටහිරට සමීප වන්නේ එසේ නොකර සිටිය නොහැකි යෑයි ඔහු විසින් ම සිතු කාරණයක්‌ නිසා ය. එනම් 2003 දී ඉරාකයේ සදාම් හුසේන්ට අත් වූ ඉරණම තමාට ද අත්වේ ය යන සැකය ඔහු තුළ විය. ගඩාෆි ම වරක්‌ මෙය ව්‍යංගයෙන් පිළිගනිමින් ප්‍රකාශ කළේ ඉරාක සිදුවීම තම වෙනස්‌ වූ ආකල්ප කෙරෙහි බලපාන්නට ඇති බව ය. දුර පිළිබඳ ගැටලු හා චීනය වන් නැගී එන රටවල් නිසා ඉරානය හා උතුරු කොරියාව ඇමරිකාවේ ඉලක්‌කයක්‌ නොවිය හැකි වු ව ද යුරෝපයට අත දික්‌කළ දුරින් පිහිටි ලිබියාව එවන් ආක්‍රමණයකට වඩාත් වැඩියෙන් බඳුන් විය හැකි ය. මේ අනුව, ගඩාෆි කල්පනා කළේ කෙටි හා හැ`ගිම්බර තීරණ වෙනුවට, උපක්‍රමහීලි ව කටයුතු කරමින් පැන නැගිය හැකි බටහිර ආක්‍රමණයකින් වහා ගැලවීමේ ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට ය. කෙසේ වෙතත්, පුටින් සමග එකතු වී රුසියානු කඳවුරක්‌ පිහිටුවීමට කටයුතු කිරීම ගඩාෆිගේ දිගුකාලීන සැලසුම් ගණයට යටත් වූවක්‌ ලෙස සැලකිය හැකි ය.

ලිබියා කැරැල්ලේ මුස්‌ලිම් අන්තවාදය

ගඩාෆිගේ දිගුකාලීන උපක්‍රමශීලිත්වය තේරුම් ගැනීමට ළ`ග බලන මුස්‌ලිම් අන්තවාදයට හැකි වූයේ නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය කළේ ගඩාෆිගෙන් පළි ගැනීම ය. මේ අනුව, 2010 අගභාගයේ පටන්ගත් අරාබි විප්ලවයේ සුළ`ග ලිබියාවට රැගෙන ගියේ මේ තාක්‌ ගඩාෆිට එරෙහි වෙමින් සිටි මුස්‌ලිම් අන්තවාදීන් ය. මෙම කණ්‌ඩායම් අතර ප්‍රමුඛතම එක වන්නේ අබ්දෙල් හකීම් බෙල්හාඡ් නායකත්වය දෙන ලිබියා ඉස්‌ලාමීය සටන් කණ්‌ඩායම ය. මෙම සංවිධානය විසින් අතීතයේ දී ගඩාෆි ඝාතනය කිරීම සඳහා තෙවරක්‌ ම උත්සාහ කර තිබේ. 1990 දී පිහිටුවන ලදු ව ඇෆ්ගනිස්තානය තුළ සටන්කරුවන් 1000 සමග ඇමරිකාවට එරෙහි ව සටන් කළ මෙම කණ්‌ඩායම 2010 වසරේ දී නිල වශයෙන් විසුරුවා හැරුණි. ඇමරිකාවේ සී අයි ඒ හා බ්‍රිතාන්‍යයේ එම් 16 විසින් බැංකොක්‌ හි දී අත්අඩංගුවට ගෙන ගඩාෆි වෙත බාර දෙන්නේ මෙම මෙම කණ්‌ඩායමේ නායක බෙල්හාඡ් ය. මොහු වසර 7 පමණ ලිබියාවේ අබු සලීම් සිරගෙය තුළ ගත කරන ලදුව- ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්‌ලාම්ගේ මැදිහත් වීමෙන් පසු 2010 දී නිදහස ලබන්නේ ය. සිරෙන් නිදහස්‌ වූ බෙල්හාඡ් ප්‍රමුඛ කරගත් හිටපු ර්හාඩි සටන්කරුවන් විසින් 2011 අප්‍රේල් මාසයේ දී වෙනස සඳහා වූ නව ඉස්‌ලාමීය ව්‍යාපාරය පිහිටුවා ගන්නේ ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී ගඩාෆි බලයෙන් පහකිරීම සඳහා බෙන්ගාසි නගරය මුල්කරගත් ලිබියා කැරැල්ල පටන් ගත්තේ බෙල්හාඡ් නායකත්වය දුන් මෙම කණ්‌ඩායම විසිනි. අගෝස්‌තු මාසයේ දී ට්‍රිපොලිහි පිහිටි ගඩාෆිගේ මාලිගය වෙත ප්‍රහාර එල්ල කොට එය අල්ලා ගැනීමට මෙම කණ්‌ඩායම සමත් විය. මෙහි නායකත්වය දරන බෙල්හාඡ් මේ වන විට ලිබියාවේ ටි්‍රපොලි අගනුවර හමුදා පාලක සභාවේ අණදෙන නිලධාරියා ද වන්නේ ය. මෙම හමුදා පාලක සභාවේ දෙවැනියා වන සාමි අල් සාදි ද බෙල්හාඡ් සමග ම ලිබියානු සිරගෙය තුළ සී අයි ඒ හා එම් 16 නිලධාරීන්ගේ අනුදැනුම ඇති ව වධබන්ධනයට හා පීඩාවට පත් වූ තවත් මුස්‌ලිම් සටන්කාමියෙකි.

ගඩාෆි ඝාතනය කෙරේ

මේ වන විට, 1969 සිට 2011 වසරේ ආගෝස්‌තු මාසය දක්‌වා ම ලිබියාව පාලනය කළ 69 හැවිරිදි මුවමර් ගඩාෆි ලිබියා අන්තර්වාර පාලනයට ලැදි සටන්කරුවන් විසින් සර්ට්‌ නගරයේ දී අමානුශික වධයට යටත් කොට මරා දමා ඇත. එපමණක්‌ නොවේ, ලිබියාවේ මිශ්‍රාටා හි මස්‌ කල් තබා ගන්නා අධිශීත ගබඩාවක්‌ තුළ තම ජයග්‍රහණයේ කුසලානය ලෙස ගඩාෆිගේ, ඔහුගේ පුත්‍රයාගේ හා ආරක්‌ෂක ඇමතිවරයාගේ ලේ ගලමින් තිබූ සිරුරු පසුගිය සඳුදා වන තුරු ප්‍රදර්ශනය කෙරුණි. ගඩාෆි සමග ඔහුගේ අවසන් මොහොත දක්‌වා ම සිටි පුද්ගලයෙක්‌ මේ වන විට සර්ට්‌ හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින්නේ ය. ඔහුගේ ප්‍රකාශය, මෙම පිටුව තුළ ම පළකොට තිබෙන ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය විසින් ද හෙළි කරන්නා සේ ම- පරාජය නිසැක බව දැනදැන ම ඒ අන්තිම දින උදෑසන ගඩාෆි විසින් කරමින් සිටියේ කුමක්‌ දැයි පැහැදිළි කරන්නේ ය. ගඩාෆිගේ ගුවන් විදුලි සංඥා සන්නිවේදන තුළ අංක 3 ලෙස හැඳින්වෙන මොහු මන්සූර් ධාවෝ ය. හියුමන් රයිට්‌ වොච් ආයතනයේ හදිසි අවස්‌ථා භාර පීටර් බෞකර්ට්‌ වෙත අදහස්‌ දක්‌වමින් එදින සිදු වූ නිය ම සිදු වීම පිළිබඳ ධාවෝ මෙසේ පවසන්නේ යග

"ගඩාෆි පැනල ගියේ නෑ. එයාට පැනල යන්න ඕන උනේ නෑ. අපි නැවතිලා හිටිය ප්‍රදේශය දාලා අපි වෙනත් තැනකට ගියා. ඒ ගඩාෆි උපන් ජාරිද්‍ය් ප්‍රදේශයට යන්න. කැරලිකරුවො මුළු පළාතම වට කරල තිබ්බ නිසා අපි ඔවුන් එක්‌ක දරුණු ලෙස සටන් කළා. එහෙම කරල අපිට ඕන කළේ ජාරිද්‍ය් පැත්තට ගිහින් මේ වටකිරීමෙන් ගැලවෙන්න. එතකොට කැරලිකරුවෝ අපි ව එළියෙන් වටකරල තිබ්බෙ. අපිට බැරි උනා ජාරිද්‍ය් දෙසට යන පාරට යාගන්න. ඒ ගොල්ල අපිට දරුණු ප්‍රහාරයක්‌ එල්ල කළා. එකෙන් අපේ වාහනත් ඒ වාහනවල හිටපු බොහෝ අයත් මැරුණා. ඊට පස්‌සේ කාර්වලින් එළියට ආපු අපි කණ්‌ඩායම් කීපයකට බෙදිලා පයින් ඇවිදන් ගියා. මම හිටියෙ ගඩාෆි, ආරක්‌ෂක ඇමති අබු බකර් යුනුස්‌ හා ඔහුගේ දරුවන්, සමහර ස්‌වේච්ඡා මිනිසුන් හා සෙබළුන් කීප දෙනෙක්‌ හිටිය කණ්‌ඩායමේ. අන්තිම මොහොතේ මොකක්‌ උනා ද කියල මම දන්නේ නැහැ. මගේ කොන්දට වෙඩි වැදිලා මට සිහි නැති උණා."

එක්‌ කරුණක්‌ පිළිබඳ මන්සූර් ධාවෝ දැනුවත් ව නැත. ඒ ස්‌වභාවික ය. ඔහු සිතා ගෙන සිටින්නේ තමා වෙත ඒ ඉරණම්කාරී දින උදෑසන ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකානු ද්රෝන් යානාවක්‌ හා ප්‍රංශ ජෙට්‌ යානා දෙකක්‌ විසින් නොව කැරලිකරුවන් විසින් බව ය. කර්නල් ගඩාෆිගේ සිරුර සර්ට්‌ හි වීදි පුරා ඇදගෙන ගිය බවට වන වීඩියෝ දර්ශන තිබෙන අතර ඔහු මරා දමා ඇත්තේ හිසෙහි වම් අත පැත්තට හා දෙපයට වෙඩි තැබීමෙනි. මතු ව තිබෙන වීඩියෝ දර්ශනයකට අනුව සටන්කරුවන් විසින් ගඩාෆි සර්ට්‌ හි වීදි පුරා ඇදගෙන ගියේ ඔහුට දැඩි සේ පහර දෙමින් හා ඇඳුම් පවා නොමැතිව ය.

ගඩාෆි ඝාතනය ජයග්‍රහණයක්‌ ද? පරාජයක්‌ ද?

පසුගිය මාස 7 හෝ 8 තිස්‌සේ ම නේටෝ ගුවන් යානා ලිබියා අහස පීරන ලද්දේ අන්කිසිවක්‌ සඳහා නොව ගඩාෆි සොයා ඝාතනය කිරීම සඳහා ය. ඔවුන්ට මේ සඳහා ඕනෑ තරම් හේතු තිබුණි. ගඩාෆි බලයට පැමිණි දා සිට බටහිර රටවල නායකයින්ට හා එහි තෙල් සමාගම්වලට සිදුවූයේ ඔහුගේ අණට හා අභියෝගවලට මුහුණ දීමට ය. මේ අනුව, ගඩාෆි ඝාතනය පිළිබඳ කිසිදු දෙගිඩියාවකින් තොරව සතුටුවන එක ම පාර්ශ්වය වන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා තවත් නේටෝ රටවල් 8 කි. ගඩාෆි මරණයෙන් පසු ඩෙවිඩ් කැමරන් කළ ප්‍රකාශයක ඒ බව සඳහන් වේ. "ලොකර්බි බෝම්බ ප්‍රහාරයේ සිට ලන්ඩන් වීදියක සිදු වූ ඉවොන් ය්ලෙචර්ගේ මරණය හරහා සියලු අයි ආර් ඒ මරණ සිහිපත් කිරීමේ දිනයයි මේ" යන්න එහි විය. තවදුරටත් සඳහන් වූයේ තමා මෙම ඝාතනයෙන් සතුටු වනවා පමණක්‌ නොව ආඩම්බර ද වන බව ය. කෙසේ වෙතත්, කැමරන්ගේ ප්‍රකාශය හමුවේ කිසිවකු කලබල වියයුතු නැත. ඒ වීශිෂ්ටත්වයේ අලුත් ම පැහැයයි.

මෙම ඝාතනයෙන් ප්‍රීති ප්‍රමෝදයට ලක්‌ වන තවත් පිරිසක්‌ අපි පසුගිය කාලය පුරා ම රූපවාහිනි තිරවල දුටුවෙමු. ඒ ගෝත්‍රික ලිබියානුවන් ය, විශේෂයෙන් ම තරුණයින් ය. ඔවුන් ගඩාෆි සම්බන්ධයෙන් ද කල්පනා කළේ ඇමරිකාවට ගැතිකම් කළ ඊජිප්තුවේ හොස්‌නි මුබාරක්‌ සේ ය. ටියුනීසියාවේ බෙන් අලි සේ ය. මෙම තරුණයින්ට ක්‌ෂණික ව කල්පනා වූයේ මුබාරක්‌ ගියානම් ගඩාෆි ද යා යුතු බවකි. එහෙත් යට සාකච්ඡා කළ පරිදි මුස්‌ලිම් ලෝකයේ අභිමානය පිළිබඳ කාරණයේ දී ගඩාෆි සිටින්නේ අන් සියලු අරාබි නායකයින්ට වඩා ගවු ගණනක්‌ දුරිනි. බටහිර ලෝකයට අවශ්‍ය වූයේ කෙසේ හෝ අරාබි විප්ලවය හරහා තම දොරකඩ සිට තමාට අභියෝග කරන මේ දැවැන්තයා අරාබි දේශපාලන සිතියමෙන් පන්නා හැරීමට ය. දශක 4 ක්‌ තිස්‌සේ ගඩාෆි පෙනී සිටි අරමුණු කිසිවක්‌ නොදත් අන්තවාදී ගෝත්‍රික බෙන්ගාසි කැරලිකරුවෝ බටහිරයාගේ මෙම ඇම ගෙඩි පිටින් ගිලදැමූහ. ඒ මතු නොව, ලිබියාව පමණක්‌ නොව අරාබි ලෝකය ම ලෝකයේ කිසියම් උස්‌ තැනකට ඔසවා තැබීමට වසර 40 ක්‌ පමණ කැප වූ නායකයකු මහමග ඝාතනය කොට, ඔහුගේ සිරුර දඩයම්කරුගේ ගොදුර සේ ප්‍රදර්ශනය කරමින් ඒ වටා සිට සියතින් ජයග්‍රහණයේ සංකේත දැක්‌විය හැකි මිලේච්ඡ මානසිකත්වයක්‌ සහිත මිනිසුන් කොටසක්‌ බවට පත්වීමට තරම් ලිබියානුවන් මෝඩ විය. ඌරාගේ මස්‌ ඌරාගේ ම ඇඟ මත කැපෙනු දුටු බටහිරයා මෙවර සිනාසුනේ දෙකොනෙනි.

කෙසේ වෙතත්, වෙන වෙන ම හේතූන් නිසා ගඩාෆි ඝාතනය හරහා සතුටුවන ඉහත දෙපිරිසට ම තව වසර කීපයකින් උදා වන්නේ ගඩාෆි හට කළ දෙය පිළිබඳ වෙන වෙන ම පසුතැවෙන කාරණා ය. බටහිර රටවලට එසේ වන්නේ ලිබියාව මුස්‌ලිම් අන්තවාදයේ කඳවුරක්‌ වෙමින් එහි ප්‍රතිඵලයක්‌ ලෙස තම රටවල බෝම්බ පුපුරන විට ය. ලිබියානුවාට ගඩාෆි පිළිබඳ සිහි වන්නේ ලිබියාවේ ගෝත්‍ර අතර ඉදිරියේ දී ඇතිවන සිවිල් යුද්ධය හරහා තම සමාජ-ආර්ථික-දේශපාලන ජීවිතය නන්නත්තාර වන විට ය.

Tell a Friend