යොවුන් පාර්ලිමේන්තුව තවත් සුදු අලියෙක්ද?

රුණ කටයුතු අමාත්‍යංශය විසින් පසුගිය මැයි මාසයේදී ජාතික තරුණ සේවා සභාව සමග එක්වී පිහිටවූ යොවුන් පාර්ලිමේන්තුව පිළිබද මා තුළ පැවතියේ සුභවාදී ආකල්පයකි. එයට හේතු කිහිපයක් බලපෑවේය. එකක් නම් ග්‍රාමීය මට්ටමේ සිටින තරුණ තරුණියන්ට ලෝකය හා සම්බන්ධ වීමට කදිම අවස්ථාවක් වන බැවිනි. තවත් හේතුවක් වූයේ යොවුන් පාර්ලිමේන්තුව තුළ තරුණයන්ට බලපාන ගැටළු ජාතික මට්ටමෙන් සාකච්ඡා කිරීමට පිළිගත් වේදිකාවක් සකස් වීමයි. නමුත් යොවුන් පාර්ලිමේන්තුවේ තරුණ ‘මන්ත්‍රී වරු’ මුණ ගැසී මිනිත්තු කිහිපයක් යන්නට මත්තෙන් ඒ සිතුවිලි වෙනස් විය.

යොවුන් පාර්ලිමේන්තුවේ සැබෑ අරමුණ ඉතා වටින්නේය. ඒ තුළින් තරුණයන්ට සමාජය හා ගැටීමට ලැබෙන අවස්ථාව මෙන්ම එක් එක් මාසයේදි විවාදයට ගන්නා මාතෘකා වලින් ලබා ගත හැකි දැනුම අපමණය. සැබවින්ම යොවුන් පාර්ලිමේන්තුවේ කාර්ය භාරය විවිධ මාතෘකා පිළිබද විවාද කිරීමයි. නමුත් යොවුන් පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී වරුන්ගේ’ ආකල්පය එය නොවේ. ඔවුන්ගේ අරමුණ මේ තුළින් සැබෑ පාර්ලිමේන්තුවට යාමය. තරුණ කටයුතු ඇමතිතුමාගේ පොරොන්දුවද තව අවුරුදු 5කින් යොවුන් පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රීවරු’ 25ක් වත් සැබෑ පාර්ලිමේන්තුවට යැවීමය. මගේ ගැටළුව වන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කරන්නේ මැති ඇමතිවරු ද නැතිනම් පරමාධිපත්‍ය හිමි ජනතාවද යන්නයි. මන්ද යොවුන් පාර්ලිමේන්තුව සහ ක්‍රියාකාරී දේශපාලන අතර කිසිදු නම්බන්ධයක් නැත. එසේම යොවුන් පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගේ අරමුණ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම නම් එය කිසි දිනෙක පරමාදර්ශී “යොවුන් පාර්ලිමේන්තුවක් ” වන්නේ නැත.

එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සිටින්නේ ජාතික වශයෙන් වැදගත් වන තරුණ ප්‍රජාවට අදාල වන කරුණු පිළිබද විවාද කිරීම සහ සාකච්ඡා කිරීමයි. නමුත් අපේ තරුණ ‘මන්ත්‍රීවරුන්ට ’අවශ්‍ය එය නොවේ. මා සමග පෞද්ගලිකවම කතා බව කළ සාමාජිකයන් පැවසුවේ “මේකෙන් සල්ලි අරන් ගමේ පාරවල් දෙක තුනක් හදලා ඡන්දෙ ඉල්ලනවා. එතකොට ගොඩනෙ.” පත් වී මාස තුනක් යන්නටත් මත්තෙන් මෙවැනි ආකල්පයක් ගොඩ නගා ගත් තරුණ ‘මන්ත්‍රී’ වරුන් යොවුන් රටට ආදර්ශයක් වේ යැයි සිතිය හැකිද?

මෙයට යොවුන් පාර්ලිමේන්තුව ලෙස නම් කරන්නේ මෙම වැඩසටහන තරුණයන්ටම ආවේණික සහ තරුණයන්ට වැඩි ප්‍රතිලාභ ලැබෙන එකක් නිසාය. එසේ නම් යොවුන් පාර්ලිමේන්තුව තුළ තාරුණ්‍යය විද්‍යමාන විය යුතුය. නමුත් තරුණ ‘මන්ත්‍රීවරුන්ගේ ’ හැසිරීමෙන් කිසිදු තාරුණ්‍යයක් පෙනෙන්නේ නැත. ඔවුන් හැසිරෙන්නේද සැබෑ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හැසිරෙන ආකාරයටය. කතා බහ කරන්නේ ද එසේය. ඔවුන් සාකච්ඡා කරන මාතෘකාව තරුණයන්ට අදාල එකක් වුවත් හැසිරෙන්නේ වැඩිහිටියන් ලෙසය. මෙයින් සිදු වන්නේ තරුණ බව වියැකී ගොස් වැඩිහිටි බවක් යොවුන් පාර්ලිමේන්තුවට ආරෝපණව වීමය. එය වෙනත් වචනයෙන් කියනවානම් ලිටිල් ස්ටාර් තරගකරුවන් ප්‍රසංග වේදිකාවේ අමරදේවගේ සිංදු ගැයීම වැනිය. එහිදී සිදු වන්නේ පොඩි එකාගේ ලොකු සිංදු අසා “ආතල්” එකක් ගැනීම පමණි. සැබෑ වින්දනයක් නැත. අපේ තරුණ ‘මන්ත්‍රී වරු’ වැඩිහිටි සිංදුව පසෙකලා තරුණ සිංදුව ගයනවානම් වටින්නේය.

ඇතැම් විට මෙහි සැබෑ අරමුණ මොවුනට පැහැදිළි නැති වන්නට පුළුවන. ඔවුන් සැබෑ පාර්ලිමේන්තුව අනුගමනය කරන්නේ ඒ නිසා වන්නට පුළුවන.

යොවුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් තරුණ කටයුතු අමාත්‍යංශය ආයෝජනය කර ඇති මුදල මිලියන 60කි. මෙතරම් මුදල් සම්භාරයක් වියදම් කොට පිහිටවූ යොවුන් පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී’ වරු‘මන්ත්‍රීවරුන්’ ද සිදු කරන්නේ අපේ “සැබෑ ” රටේ ජනතා නියෝජිතයන්ගේ මග යමින් ජනතා මුදල් නාස්ති කිරීමක් නොවන්නේද?

Tell a Friend