ලංකාවේ බත් කන ජනතාවගෙන් වසන් කල ගෝල්ඩන් කී මගඩිය

සුපුන් පෙරේරා

ගෝල්ඩන් කී මගඩිය සිදුවී බොහෝ කාලයක් ගතවී තිබේ. නමුත් මුල්‍ය රෙගුලාසි උල්ලංගනය කරමින් සිදු කල ගෝල්ඩන් කී මගඩියයේ නියම තතු ජනතාවගෙන් වසන් කිරීමට ලලිත් කොතලාවල පමණක් නොව ගෝල්ඩන් කී මුදල් තැන්පතුකරුවන්ද ලංකාවේ ප්‍රධාන පෙලේ පුවත්පත් කතුවරුන් මාර්ගයෙන් සිදු කල බව දන්නේද ? ජාතික යයි කියාගන්න පුවත්පත් කතුවරයන්ද ගෝල්ඩන් කී මගඩිය නිසා තම මඩිය තර කරගත් බව සැඟවුණු රහසකි. මෙය ලංකාවේ මාධ්‍ය මාෆියාව සඳහා හොඳම උදාහරණයකි.

මෙම මගඩිය පටන් ගත්තේ ලලිත් කොතලාවලගේ පුර්ණ අනු දැනුම ඇතුවය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති වීමත් දිගු කාලයක් වියාපාරික ක්ෂේත්‍රයේ සිටීමත් දේශමාන්‍ය බුහුමන් නාමයත් තිබු නිසාත් ලලිත් කොතලාවලට මෙම මුල්‍ය වංචාව පහසුවෙන්ම කල හැකි විය. ඔහු රටට පෙන්වා සිටියේ මහා ධාර්මිකයෙකු ලෙසිනි. සෑම ඉරිදා දිනකම ඔහු යාචකයන්ට තම බම්බලපිටිය නිවසේදී දානය දුන්නේය. සමාජ සේවය සඳහා නොමසුරුව ආධාර කළේය. මෙම සියල්ල ඔහු කලේ යටි අරමුණකිනි. විශාල ධනස්කන්දයක් එකවර ඩැහැ ගැනීමේ අරමුණකිනි. ඔහු තැන්පත් මුදල් සඳහා වැඩි පොලියක් සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනය දෙන බවට ප්‍රචලිත කළේය. මොහු විශාල පොලියක් ගෙවිය.

ආර්ථික විශේසඥයන් පෙන්වා දෙන ආකාරයට මෙවැනි පොලියක් ගෙවා ව්‍යාපාරයක් දිගු කාලයක් නඩත්තු කල නොහැකිය. නමුත් කෙටි කාලීන අපේක්ෂාවෙන් යුතුව ඔහු ගෝල්ඩන් කී ව්‍යාපාරය කරගෙන ගියේය. මෙහි මුදල් තැන්පත් කල සෑහෙන පිරිසක් අහිංසක සාධාරණ ලෙස මුදල් උපයාගත් තැන්පතුකරුවන් නොවුහ. (යම් ප්‍රමාණයකට අහිංසක හා සාධාරණ ලෙස මුදල් උපයාගත් තැන්පතුකරුවන්ද නොසිටියා නොවේ ) නමුත් සැලකිය යුතු කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් , අල්ලස් ගැනීමෙන් , , ක්‍රිකට් තරංග පාවා දීමෙන්, පොදු මුදල් වංචාවෙන් මෙන්ම වෙනත් අයතා ක්‍රම මගින් උපයාගත් මුදල් මිලියන ගණනක් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ තැන්පත් කළහ. මෙය ලලිත් කොතලාවල ද අපේක්ෂා කල දෙයක් විය. ඔහුගේ අරමුණ වුයේ හැකි තරම් මුදල් මෙම ව්‍යාපාරයේ භාරයට ගෙන ගෝල්ඩන් කී මුල්‍ය ආයතනය බංකොලොත් කිරීමය. මේ සඳහා ඔහු බළල් අත් ලෙස යොදා ගත්තේ ඔහුගේම නිලධාරීන් පිරිසකි. ඔවුන් මගින් මුදල් රටින් පිටට යවා මෙම නිලධාරීන්ගේ වරදින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනය බංකොලොත් වූ බව රටට පෙන්වීම ඔහුගේ මුලික සැලසුම විය. නමුත් මෙම සැලසුම අතරමගදී අනපේක්ෂිතව කඩා වැටුනේ සක්විතිගේ පැනයාම නිසාය. ඉන් බියට පත් ගෝල්ඩන් කී තැන්පතුකරුවන් තැන්පතු ආපසු ඉල්ලීම නිසා මුල්‍ය අර්බුදයක් හට ගත්තේය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පත්කරුවන් 9000 සිටි අතර ලලිත් කොතලාවල විසින් රුපියල් බිලියන 26ක මුදලක් මේ අනුව වංචා කර ගන්න ලදී. මුලදී මෙය එහි ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂවරුන්ගේ වරදින් සිදු වුවක් බව හුවා දක්වන ලදී. නමුත් තැති ගත් සමහර අධ්‍යක්‍ෂවරු සත්‍ය වැමෑරීම නිසා ලලිත් කොතලාවල ගේ සහ ඔහුගේ බිරිඳ වූ සිසිලියා කොතලාවලගේ භූමිකාව හෙළිවන්නට පටන් ගත්තේය. මෙහිදී ලලිත් කොතලාවල සහ සමහර ගෝල්ඩන් කී කළු මුදල් තැන්පතුකරුවන් කලේ මුදල් සහ වෙනත් බලපෑම් මතින් ලංකාවේ ප්‍රබල ජනමාධ්‍ය වල සිටි මාධ්‍ය ඔස්තාර්ලා මිලදී ගැනීමය. සක්විතිගේ මුල්‍ය වංචාවේ .A සිට Z දක්වා වාර්තා කල පුවත්පත් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනය ගැන ලිව්වේ මතුපිටිනි. අත්අඩංගුවේ සිටි 15වන සැකකරු වන මනෝජ් චමින්ද ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ රහස් ක්‍රියා ගැන බොහෝ දේවල් හෙළිදරව් කොට තිබේ. නමුත් මෙම කරුණු අදටත් ලංකාවේ ජනයාගෙන් වසන් කොට තිබේ. පෙනේද ලංකාවේ මාධ්‍ය මාෆියාවේ බලය?. සමහර පුවත්පත් කතුවරු ලලිත් කොතලාවල සහ ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ ක්‍රියාකලාපය ගැන අදිසි වරණ පනවා තතු පාඨකයාගෙන් වසන් කළහ. මෙසේ කුඩු කෑම නිසා සමහර විකල්ප පුවත්පත් ද ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ පුවත් එලියට යන්නට දුන්නේ නැත. මේ සඳහා ලලිත් කොතලාවල මෙන්ම ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ කළු සල්ලි තැන්පත් කල තැන්පත්කරුවන්ද ලංකාවේ මාධ්‍ය හසුරවන්නන්න්ට විවිධ බලපෑම් කළහ. මුදල්, ආයාචන, නොයෙකුත් බලවත් පුද්ගලයන් ලවා බලපෑම් , විස්කි ,තනතුරු, දරුවන්ට රැකියා, විවිධ පොරොන්දු, රූමත් කතුන් මෙන්ම ඇතැම් විට තර්ජනයද , බ්ලැක් මේල් කිරිම් ද යොදාගත් බවට වාර්තා තිබේ. මේවාට නොසැලී පුවත් පල කලේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පුවත්පත් කලාවේදින්ය.

ගෝල්ඩන් කී කළු මුදල් තැන්පතුකරුවන් අතර අප සමාජයේ ප්‍රකට පුද්ගලයෝ සිටිති. නමුත් ඔවුන් තම තමන්ගේ ධන හානිය ගැන එළිපිට කතා නොකරන්නේ එවැනි මුදල් සම්භාරයක් උපයා ගත්තේ කෙසේද යන්න ප්‍රසිද්ධියේ කිව නොහැකි නිසාය. මේ අතර කොළඹ දිසාවේ සේවය කල පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සිටිති. එක් පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් මිලියන 10 වඩා තැන්පත් කොට තිබේ. මේ අතර දේශපාලාඥයන් රැසකි. මොවුන් කප්පම් ගැනීම, මත් ද්‍රව්‍ය ජාවාරම සහ අල්ලස් මෙන්ම කොමිස් ගැනීම මගින් උපයා ගත් මුදල් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ තැන්පත් කළහ. සාමාන්‍ය පවුලකින් පැමිණ මුලින් ගුරුවරයෙකු ලෙස මීගමුව ප්‍රදේශයේ සේවය කොට පසුව නීති වෘත්තියට විත් ප්‍රකට දේශපාලඥයෙකු වූ ජෙයරාජ් ප්‍රනන්දුපුල්ලේ විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ තැන්පත් කොට තිබු මුදල රුපියල් මිලියන 150 වැඩි බව වාර්තා වේ. ඔහුගේ මරණින් පසුව රටේ ප්‍රබල දේශපාලන නායකයෙකුගේ පුද්ගලික ඉල්ලිලීම මත ලලිත් කොතලාවල විසින් එම මුදල ඔහුගේ වැන්දඹු බිරිඳට ලබා දෙන ලදී. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද පෙරේරාගේ මුදල් සම්භාරයක්ද ගෝල්ඩන් කී මකරා විසින් ගිල දමන ලදී. හලාවත බිෂොප්වරයාගේ මිලියන ගණනාවක් ද බෙල්ලන්විල විමලරත්න භික්ෂුවගේ මිලියන 200 ද මෙලෙස ලලිත් කොතලාවල විසින් ඩැහැ ගන්නා ලදී. ආගමික නායකයන් වූ හලාවත බිෂොප්වරයා සහ බෙල්ලන්විල විමලරත්න භික්ෂුව ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කලේ තමන්ගේ ආගමික මද්‍යස්ථාන වලට කිසිම දැනුම් දීමකින් තොරව තම සිතැඟි පරිදිය. මෙම මුදල් අහිංසක බැතිමතුන් විසින් පන්සලට පල්ලියට පිදු මුදල්ය. ඔවුන් ඒවා පිල්ලි ගසා තණ්හාව පිට වැඩි පොලියක් අපේක්ෂාවෙන් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ තැන්පත් කළහ. අවසානයේදී මුදලුත් නැති කරගෙන ගලේ පැහැරූ බළලුන් මෙන් නිහඬ වන්නට ඔවුනට සිදු විය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමෙන් අයකර ගත යුතු ආදායම් බදු මුදල අඩු කර දීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇතැම් නිලධාරීන් ද අල්ලස් ලබාගෙන ඇති බවට දැන් වාර්තා වේ. මේ අනුව ගෝල්ඩන් කී මගඩිය යනු හොරා පිට හොරා නැගුනු අච්චාරුවකි. ගෝල්ඩන් කී මුල්‍ය වංචාව පෙන්වා දෙන්නේ ලලිත් සහ සිසිලියා කොතලාවලගේ වංක භාවය පමණක් නොවේ. එය අපගේ මුල්‍ය පද්දතියේ , නිලධාරීන්ගේ , දේශපාලකයන්ගේ , ආගමික නායකයන්ගේ හා මාධ්‍ය පාලනය කරන පතාකයන්ගේ නිරුවත පෙන්වයි.

Tell a Friend