සිගරට්‌ මාරයාද ආර්ථික ඝාතකයෙකි.

සිගරට් මාරයාට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් ද ඔක්සිජන් සපයති

අමිල ගුණරත්න

මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය සහ පිළිකා සරණ සංගමයේ සභාපති සමාධි රාජපක්‍ෂ පවසන අන්දමට සිගරට්‌ මාරයාද ආර්ථික ඝාතකයෙකි . ඖෂධ නිපදවන සමාගම් විවිධාකාරයේ අල්ලස් දීම් මගින් වෛද්‍යවරු නතු කරගන්නා අයුරින්ම සිගරට් කොම්පැනිද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තෝරු මෝරු බාගෙන තිබෙන බව රහසක් නොවේ. දුම්වැටි නිවාරණ වැඩ සටහන් කරන සෞඛ්‍ය ප්‍රවර්ධකයන් ගේ වැඩසටහන් වලට කකුල් මට්ටු දමන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් ද දැන් සිටින බවට වාර්තා වේ. මෑතකදී මහනුවර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක් අපට ප්‍රකාශ කලේ ඔහු විසින් දියත් කිරීමට නියමිතව තිබු දුම්වැටි නිවාරණ වැඩ සටහන් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ උසස් නිලයක් දරන වෛද්‍ය ප්‍රශාන්ත ද සිල්වා විසින් සුක්ෂමව අඩාල කල බවයි. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉර හඳ උලා කෑ නිලධාරීන් දැන් ඖෂධ නිපදවන සමාගම් වලින් පමණක් නොව සිගරට් කොම්පැනි වලින් ද මඩිය තර කර ගන්නා බව පෙනී යයි.

පිළිකා සරණ සංගමයේ සභාපති සමාධි රාජපක්‍ෂ පවසන අන්දමට දුම්වැටි සහ මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා සුරාබදු ප්‍රතිපත්තිය යොදාගැනීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙ තිබෙන පරිදි 2009 වසරේදී රු. මිලියන 29365 ක්‌ දුම්වැටිවලින් රජයට බදු ආදායම් ලැබුණ අතර එය 2010 වසර වන විට රු. මිලියන 29589 දක්‌වා වැඩි වී තිබේ. නමුත් දුම්කොළ සහ මද්‍යසාරවලට අදාළ බදු මගින් රජයට ලැබෙන්නේ සියයට 12 ක ආදායමකි. එහෙත් දුම්කොළ සහ මද්‍යසාර භාවිතය නිසා රෝගී වන අය සඳහා රජයට සියයට 22 ක්‌ වියදම් කිරීමට සිදුවේ. අපගේ රටේ තියෙන දුම්කොළ සමාගමෙන් සියයට 90 කට වඩා කොටස්‌ අයිතිය ඇත්තේ බී. ඒ. ටී. එනම් බ්‍රිතාන්‍ය ඇමැරිකානු දුම්කොළ කියන විදේශීය සමාගමටය. ඔවුන් ඇති විශාල මුදලක් දුම්වැටි අලෙවි කිරීම මගින් සොයගනිති. ලංකාවේ ගැමි ආර්ථික සංවර්ධනයට තියන ප්‍රධානතම බාධකයක්‌ වන්නේ අපේ ජනයා උපයන මුදල් සිගරට්‌ සමාගම් හරහා ධනවත් රටවල්වලට ඇද ගැනීමයි.

දුම්වැටි නිවාරණයට කැපවී වැඩ කල යුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සිගරට් කොම්පැනි වල සුරතලුන් වී ආර්ථික ඝාතකයන්ට උදවු කරන විට ජනතාවට කාගේ සරණද ?

Tell a Friend