අමිල ගුණරත්න
අනෝමා ජනදරිගේ ස්වයං චරිතාපදානය ගැන වචනයක් ලියන ලෙස මගේ හිතවත් නිස්සංක සහ රොෂෙල් මගෙන් ඉල්ලීමක් කළහ. එම නිසා පසුගිය සුමනේ මා නුගේගොඩ ප්‍රදේශයේ පොත් සාප්පුවකට ගොඩ වැදී එම පොත මිලට ගෙන කියවුයෙමි.
අනෝමා සහ හඳගම මට මුලින්ම හමු වුයේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය පිළබඳ කෙරුණු සංවාදයකදීය. එහිදී අනෝමා තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ එන නිරුවත් දර්ශනය සහ එයට සුචරිතවාදීන්ගෙන් එල්ල වූ කටුක ප්‍රතිචාර ගැන කතා කලාය. එහෙත් ඇයව මුලින්ම නිරුවත් කලේ ඇයගේ ලෝකයේ වැඩිහිටියන් විසිනි. සුදු සිල් රෙද්දේ පිරුවටයට මුවා වී මව සහ බාප්පා කල අසම්මත කාමාලිංගනය ඇයගේ ළමා ලෝකය උඩු යටිකුරු කළේය. දේශපාලනය කරපින්නාගෙන ගෙදර දොර බලු කපුටන්ට බාර දී රට හදන්නට ගිය ලෝකෙට පරකාස පියාගේ සෙවන නොලද ඇය කුරිරු බාප්පාගේ විෂ දල නිසා හැදුනේ වැදුනේ වෙනත් ගෙවල්වලය. මෙම කුරිරු විෂ කොතෙක් දුරට අනෝමාගේ නිවසට ශාපයක් වූයේද යත් ඇයගේ බාල නැගණිය මෙම පීඩනය හමුවේ දිවි නසාගත්තාය. නමුත් අනෝමා දිවි ගැලවුනේ කලාව තුලින් ලොව දෙස බලන්නට ඇයට තිබු හැකියාව නිසාවෙනි.
විශ්ව විද්‍යාලයට යන අනෝමා පරපීඩාකාමයෙන් සහ හීනමානයෙන් පෙලෙන නෂ්ඨකාමින්ගේ ඊනියා නවක වදයට මුහුණ දෙන්නේ නෂ්ඨකාමින්ගේ රෙදි ගලවමිනි. කලාව තුලින් ලොව බැලීමේ කුසලතාව නිසා ඇය තරුණ සිනමාවේදී අශෝක හඳගමගේ අවධානයට ලක් වේ. ඔවුන් දෙපොල නව නිර්මාණ කළහ. හඳගම අප හඳුනාගත්තේ මානව සාරාර්තයන්ගෙන් යුතු දුර්ලභ ගනයේ මිනිසෙකු ලෙසටය. නමුත් නිර්මාණකරණයේදී තම බිරිඳට අසාධාරණයක් කිරීමට මෙම සොඳුරු මිනිසාට හැකි වුයේ කෙසේද යන්න මට බලවත් විමතියකි. එහෙත් විදු වැනි දෙකයි පනහේ නිර්මාණයක් කොට කුලියට කඩේ යන තවත් සෝමරත්න දිසානායක කෙනෙක් වීමේ අසාර්ථක ප්‍රයත්නයත් සමග අප දැන හඳුනා සිටි හඳගම මියගියේය.
අනෝමාගේ පොත එක්තරා ආකාරයකට මරාගෙන මැරෙන අන්දමේ ප්‍රහාරයකි. අප සමාජයේ ජිවත් වූ සහ ජිවත් වන පරමාදර්ශී චරිත වල නිරුවත් භාවය නොබියව ඇය පෙන්වා දුන්නාය. මේ ඇයගේ කතාව පමණක් නොවේ. පුරුෂාධිපත්‍ය නිසා බැට කන නමුත් සදාචාර කඩතුරාව නිසා මුනිවත රැකීමට බාල කෙරුණු දස දහසක් වූ අනෝමලා අප අතර සිටිති. එය ඔවුන්ගේද කතාවයි.
Post a Comment