ප්‍රාග් ධනය, ශ්‍රමය හා රාජපක්ෂගේ දේශප්‍රේමී කූඤ්ඤය

මහින්ද රත්නායක

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, රෙකමාදාරුවක් ද සමඟින් රාජපක්ෂ පාලනයට ලබාදීමට එකග වු ණය වාරිකය මීට මාසයකට පමණ ඉහත දී මුදා හැරියේය. අනතුරුව, ප්‍රාග් ධන වෙළදපොල ශක්තිමත් කිරීමට පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත කඩිමුඩියේ පාර්ලිමේන්තුවට පැමිණේ. බෑන් කී මූන්ගේ උපදේශක කමිටු වාර්තාව රාජපක්ෂ ආණ්ඩුවට බාරදෙන්නේ මෙයින් පසුවය. එකී ආණ්ඩුවටම ලෝක බැංකුව ලබාදෙන ණය ප්‍රමාණය දෙගුණකින් වැඩි කර ඇති බව මේ සමඟම වාර්තා විය. කමිටු වාර්තාව හැර අනිකුත් සියලූ සංසිද්ධින් සෘජු ලෙසම ගෝලීය ධනවාදි ආර්ථීක ආයතන සමඟ රාජපක්ෂ රෙජීමය පවත්වන ආර්ථීක ප්‍රතිපත්තියට අදාල ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ගෝලීය ධනවාදයේ සිවිල් හා දේශපාලන කටයුතු කළමණාකරන ආයතනය වේ. ආන්දෝලනයට තුඩු දී තිඛෙන්නේ යුද නිමා කාලයේ දී හා පසු කාලීනව රාජපක්ෂ පාලනයේ සිවිල් හා දේශපාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්ට උපදෙස් ලබාගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව ය. මෙරට පාලකයින්ගේ උදහසට හේතුවී තිඛෙන්නේ ආර්ථීක උපදෙස් අනුගමනය කිරීමේ දී ගෝලීය ධනවාදයෙන් ලැඛෙන යහපත් රෙකමදාරුව මේ කමිටු වාර්තාවේ නොමැතිවීම සම්බන්ධයෙනි.

උක්ත විෂයන් දෙක සම්බන්ධයෙන් කරන ලද රෙකමදාරු බැලූ බැල්මට විසංවාදී සේ යමෙකුට දිස්විය හැකි නමුත්, ගෝලීය ධනවාදයේ මෙහෙයුම් බලහවුල වත්මනේ කටයුතු කරන ආකාරය නිරික්ෂණය කිරීමේ දි එය එසේ නොවන බව පැහැදිළි වේ. 

ජාතික රාජ්‍ය හා ගෝලීය ප්‍රාග් ධනය

ජාතික රාජ්‍ය හා ගෝලීය ප්‍රාග් ධනය අතර ව්‍යුහාත්මක සබඳතාවය තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත්ය. එක් පැත්තකින් ජාතික රාජ්‍ය හා ජාතික ප්‍රාග් ධනය අතර වු පැරණි සම්මුතිය ගෝලීයකරණය විසින් පසෙක තල්ලූකර දමා තිබේ. අනික් පැත්තෙන් නව සම්මුතියට අනුව වඩ වඩාත් ලිහිල් කරන ලද කොන්දේසි තුලින් තව දුරටත් ගෝලීය ප්‍රාග්ධනය ජාතික රාජ්‍යය හරහා ගමන් කෙරේ. මේ අනුව ශි්‍ර ලංකාවේ ජාතික රාජ්‍යයේ ආර්ථීක ප්‍රතිපත්තීන් ගෝලීය ප්‍රාග් ධනයට ආකර්ශනය කරගැනීම වේගවත් කිරීමේ උපායික සැලසුම් ලෙස ක්‍රියාත්මක වෙමින් ඇත. වඩා ලාභදායි ශ්‍රම කොන්දේසි, ආකර්ශනීය යටිතල පහසුකම්, අවම හා ලිහිල් කම්කරු නීති හා ලාභ අත්පත් කරගැනීමේ පුලූල් ඉඩකඩ ආදිය රාජපක්ෂ පාලනයේ ආර්ථීක ප්‍රතිපත්තිය බව වඩාත් හොදින් පැහැදිළි වෙමින් ඇත. මැයි දිනයට පෙර අනුමත කර ගැනීමට ඉදිරිපත් කර ඇති පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත මෙහි දී වඩාත් කැපී පෙනේ. මේ අනුව ගෝලීයකරන සමාජ ආර්ථීක වැඩපිළිවෙල රාජපක්ෂ රෙජීමය විසින් එක්සත් ජාතික පක්ෂයට වඩා හොඳින් සහ පහසුවෙන් කි්‍රයාවට නගමින් සිටී.

රාජපක්ෂ හා දේශප්‍රේමය

ගෝලීය ප්‍රාග්ධනය රට තුළට ගැලීම සීමා කෙරුනු ප්‍රධනතම කරුණක් වූයේ උතුරු නැගෙනහිර පැවති ජනවාර්ගික යුද්ධයයි. ඉන්දියාවේ හා බටහිර රටවල අනියම් සහය ඇතිව ලැබු යුධ ජය ග්‍රහණය උක්ත වැඩපිළිවෙල කි්‍රයාවට නැගීම පහසු කරණු ලැබීය. මේ නිසාම කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව ආණ්ඩුවට එරෙහිව මතුවන සියලූ විරෝධයන් යටපත් කිරීමේ මෙවලමක් ලෙස යුධ ජයග්‍රහණයෙන් කුල්මත් කළ දේශප්‍රේමය අඩහැරයක් කර ගැනීමට රාජපක්ෂ පාලනයට හැකි වී ඇත. ඇතැම් බුද්ධිමත්හූ ද, නිති විසාරදයෝ ද, පත්තර කාරයෝ ද, කලා කරුවෝ ද, ඇතැම් වාමාංශිකයෝ ද රාජපක්ෂ ජනාධිපති ගේ දේශප්‍රේමි අඩහැරයට පා තබනවා හැරෙන්නට යටින් දිවෙන සමාජ ආර්ථීක වැඩපිළිවෙලට නිහඩ වෙති. පාලක පක්ෂයෙන් ලැඛෙන වරප්‍රසාද හා පසුම්බියට එකතු වන මුදල පිළිබඳ සැලකිල්ලක් නොමැති නමුත් උපන් ගේ අන්ධයෝ ද මේ අතර සිටිති. බස තෝරන දා පටන් වෘත්තාන්ත ඉතිහාසය සැබෑ ඉතිහාසය ලෙස බාරගෙන ඇති ජනතාව ද මේ දේශප්‍රේමි අඩහැරයට දෙසවන් යොමා කල්ගෙවති. ජීවත්වීමට සරිලන වැටුපක් නොමැති කම්කරු පංතිය ද අයහපත් කොන්දේසි යටතේ මේ ඉරණමට ගොදුරු වී සිටී. මේ අතර ලාභ ශ්‍රමයේ ප්‍රතිලාභ සූරා කෑමට පැමිණෙන බහු ජාතික සමාගම් වලට යහපත් වටපිටාවක් නිර්මානය වෙමින් පවති. මාධ්‍ය තුළින් මුදා හැරෙන ආශ්චර්යයේ යථාර්තය මෙය වේ.

බැන්කි මූන් හා මානව හිමිකම්

තම හාම්පුතුන්ගේ සමාජ ආර්ථීක උවමනාව මනා ලෙස ඉටුකරන්නේ නම් බැංකි මූන් ජනාධිපති රාජපක්ගේ පාලනයට එරෙහිව මානව හිමිකම් තොරොම්බල් කරන්නේ මන් ද යන්න යමෙකුට සිතීම සාධාරණය. එහෙත් ප්‍රාග්ධනයේ මූලික න්‍යමය පිළිබඳ අවබෝධයක් ඇති මාක්ස්වාදියෙකුට හෝ ධනවාදියෙදියෙකුට මෙය තේරුම් ගැනීම එතරම් අපහසු නැත. ප්‍රාග්ධනයේ නිදහස් චලනයට කුල ව්‍යුහය අවහිරවීම ධනවාදයේ ප්‍රාසාරණයට බාධාවක් වූයේ යම් සේ ද එක් ජාතියක, එක් පක්ෂයක හො එක් පවුල් ව්‍යුහයකට ප්‍රාග් ධනය කොටු වන්නේ නම් ධනවාදයේ ප්‍රසාරණයට එය අවහිරයක් වේ. එල් ටී ටී ය බිමට සමතලා කිරීමෙන් පසු රාජ පක්ෂ පාලනය ප්‍රාග්ධනයේ නිදහසේ චලනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරණු ඇතැයි බෑන් කී මුන්ගේ හාම්පුත්තු අපේක්ෂා කළහ. නමුත් කඳින් පමණක් ධනවාදී වී සිටින රාජපක්ෂ පාලනයේ පෙට්ටගම් මනස එයට හරස් වී ඇත. ලිබරල්වාදයේ මානව හිමිකම් කෙවිට බෑන් කී මූන් තොරොම්බල් කරන්නේ ඔහුට දඩුවම් කිරීමට නොව විශේෂයෙන්ම සුලූජාතීන් ඇතුලූ සියලූ දෙනාටම තරගකාරීලෙස ප්‍රාග් ධනය කි්‍රයාවට ඇතුල් විමට හරස් වී ඇති රාජ පක්ෂ පාලනයේ වැඩවසම් මනසට ය.

මානව අයිතීන් පිළිබද ලිබරල්වාදයේ චපල බව මෙන්ම ජනාධිපති රාජපක්ෂ පාලනයේ පෙට්ටගම්වාදය අතර පවතින ගැටුමේ සාපේක්ෂ වාසිය තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. එසේ නොවන්නේ නම් ලිබියාව සම්බන්ධයෙන් වමට වූ අලකලංචිය මෙහිදී ද සිදුවිය හැක. මේ අනුව වම කළයුතු වන්නේ මානවවාදය පිළිබඳ ලිබරල්වාදයේ ඇති සීමාව පිළිබඳ වාද කිරීම නොව අවස්ථාවෙන් ප්‍රයොජන ගෙන පංති සටන මැදට රාජපක්ෂ පාලනය ගසා ඇති දේශප්‍රේමි කූඤ්ඤය ගලවා ගැනීමය.

කම්කරු පංතිය

දශක ගනනාවක් පුරාවට ක්‍රියාත්මක වන නව ලිබරල් සමාජ ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස සාමුහික සමාජ ව්‍යුහයන් දිය වී පුද්ගලවාදය ආදේශ වී තිබේ. කම්කරු පංති ව්‍යාපාරයේ පොදු ව්‍යුහයන් ද මේ ඉරනමට ගොදුරු වී ඇත. සංඛ්‍යාත්මකව ගතහොත් ව්‍යුහගතවී ඇති කම්කරු පංතියේ ප්‍රමාණය 15% නොයික්මවයි. ජාතිවාදී යුද්ධය මෙසේ දුබල වූ කම්කරු පංති ව්‍යාපාරය දෘශ්ඨිමය වශයෙන් ද අවුල් කලේය. කම්කරු පංතිය දේශප්‍රේමයෙන් අන්ධ වන විට වමේ නායකයින් පංති ව්‍යාපාරය රාජපක්ෂගේ මළපුඩුවට දැක්කුවේය. මෙහි ප්‍රතිපලයක් ලෙස ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර දිනාගත් අයිතින් ද අහිමි වෙමින් ඇත. ඉතිහායයෙන් දෙන ලද මේ අවාසිදායක කොන්දේසි තුළ පවා විශ්‍රාම වැටුප් ප්‍රෝඩාවට යටින් ඇති ප්‍රාග් ධන උවමනාව අතර ඇති ගැටුම පිළිබඳව කම්කරු පංතිය තරමක් සවිඤ්ඤාණක වීම මෙවර මැයි දිනයේ සාධනීය ලක්ෂණයකි. මේ ගැටුම මැදට දේශප්‍රේමී කුඤ්ඤය තවත් තද කිරීමට මූන්ගේ කමිටු වාර්තාව රාජපක්ෂ පාලනය විසින් මිටියක් ලෙස යොදා ගැනීමට සැරසෙන බව පෙනේ. දුබලව නමුත් සංවිධීත පංතියක් ලෙස රාජපක්ෂ පාලනයේ ව්‍යාජ දේශප්‍රේමය ගැන සවිඤ්ඤාණික වුවහොත් මේ මැයි දිනය කම්කරු පංතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. එය පංති ව්‍යාපාරය නැවතත් ප්‍රතිව්‍යුහගත කරගැනීට අත්‍යවශ්‍ය කොන්දේසියක් ද වේ. මෙවර මැයි දිනය කම්කරු පංතියට වැදගත් වන්නේ ඒ අර්ථයෙන්ම පමණි.

Tell a Friend