සිහින ලෝකය


නිලන්ත ඉලංගමුව


අපි යථාර්තයට බිය වෙමු. යථාර්තය විසින් අපිව පාගා දමා ඇති හෙයින් සහ එය වඩාත් වේදනාකාරී වන හෙයින් ඉන් අපගමනය වී ජීවත් වීමට යන්ත දරන්නෙමු. ප්‍රශ්ණ වලට උත්තර වෙනුවට ප්‍රශ්න ගැන සිතා ඉන් ප්‍රමෝදය ලබමින් සිහින දකින්නෙමු. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා හමායන ප්‍රජාතන්ත්‍රවාදී විපලවයේ කිරණ ලංකාවේ නැත්තට නැති වී සිටින විපක්ෂයට තාවකාලික ප්‍රමෝදයක් ලබා දී තිබේ. ලිප්ටන් වටරවුම , ඊජිප්තුවේ කයිරෝ නුවර බවට පත්කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට පහළ වී අදහස කදිමය. එහෙත් එය කෙදිනක සිදු වේද? ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය අපට තිබේද? යන්න මෙහිදී කල්පනා කළ යුතු කාරණය වේ. ලිප්ටන් වටරවුම ඊජිප්තුවේ කයිරෝව කිරීමට මාන බලන පක්ෂයේ මුල් නායකත්වය විසින් එනම් රෝහණ විජේවීර මහතා විසින් තමන්ගේ විප්ලවය ආරම්භ කිරීමට මොහොතකට පෙර තමන්ගේ කේන්ද්‍රය බලා සුභ වෙලාවක් ගැන සොයා බැලිය යුතු යැයි කියමින් සිංහල හින්දු බමුණු මතයේ එල්බගෙන තරුණ තරුණියන් දහස් ගණන් පරලොවට යැවූ අදාල විප්ලව දෙකෙන් අපට ශේෂ වූ දෙයක් ඇත්තනම් එය මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙනේ. අවසානයේදී සතුරා ශක්තිමත් කිරීම හැර වෙනත් විකල්පයක් වෙත තල්ලු වීමක් ලංකාවේ දේශපලන සන්දර්භය තුළ ජවිපෙ භූමිකාව විසින් සිදු කළ බවක් දක්නට නැත.

තමන් වෙනුවෙන් මැරී වැටුණු දහස් ගණන් පිරිස් වෙනුවෙන් නියමිත වාර්තාවක් හෝ ඉතිහාසයක් නිර්මාණය කිරීමට නොහැකි පක්ෂයක් මෙරට දේශපාලන පුනරුදයක් ඇති කරන්නේ කෙසේද යන්න හාස්‍ය ජනක සේම මහා භයානක කාරණයකි. මෙහි ඇති හාස්‍ය වන්නේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළදී ජවිපෙ කළ සියලුම කාර්යන් වලින් වාසි අත්පත් කර ගත්තේ බලය යොදා ගෙන මෙරට සාමාන්‍ය ජනතාවගේ අයිතීන් හූරා කෑ දේශපාලන බලවේගයන් වන හෙයින් මොවුන්ගේ අනාගත විප්ලවය ගැන හාස්‍යක් මිස බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. අවසානේදී ජවිපෙට සිදු වූයේ විමල් වීරවංශ වැනි දේපාලන කුහකත්වයේ නැවුම් නිෂ්පාදන ලංකාවට දායාද කිරීමට මිස වෙන ප්‍රගමනයක් කරා සමාජය තල්ලු කිරීමට නොවේ. මොවුන්ට විප්ලවයක් අවශ්‍ය නම් මුලින්ම ඉවත්විය යුත්තේ තමන්ගේ දේශපලනය නාභිගත කොට ඇති කුහකත්වයෙන්ය. මෙහි ඇති මහා භයානක කාරණය වන්නේ නිදහස වෙනුවට ඛේදවාචක වලින් සතුට සොයා යාම පුරුද්ද කරගෙන සිටින සමස්ත ශ්‍රී ලාංකිකයින් මොවුන් කෙරෙහි යළිත් විස්වාශය තබා පෙර සිදු කරගත් අත් වැරැද්දම යළිත් සිදු කර ගත්තොත් සිදු වන දෙය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා මැද පෙරදිග හමන සුළඟ ලංකාවේ ඇපත් නැතුව සිටින විපක්ෂයේ ප්‍රමෝදයට හේතු වූ පලියට ඉන් සමාජ පුනරුදයක් වේ යැයි සිතන්නේ නම් එය අපි සමාජය දෙස බලන පරාමිතීන් වල ගැටලුවක්‌ මිස සත්‍ය නොවේ.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැති රතු කමිස කරුවන්ගේ උද්ඝෝෂණයේදී ජනරාල් කත්යනා සහ ලේඛකයා හමු වූ අවසථාව

ගෙවී ගිය වසරේ දී තායිලන්තයේ පැවැති රතු කමිස කරුවන්ගේ උද්ඝෝෂණය ගැන සොයා බැලීම සඳහා මා හට අවස්ථාව ලැබුණි. එය ඔවුන්ට එනම් උද්ඝෝෂකයින්ට අනුව ඉතා සාර්ථක එකකි. නමුත් ආණ්ඩු පක්ෂයට අනුව යම් කිසි බලපෑමක් සිදු වූ නමුත් එය කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකි විය. අදාල උද්ඝෝෂණය කිලෝමීටර් ගණනාවක් පුරා විසිරි ගිය එකක් වූ අතර එහි සංවිධායකයින් මුණ ගැසීම සඳහා විශාල දුරක් පයින් යාමට සිදු විය. අවසානයේදී අදාළ උද්ඝෝෂණය සඳහා භුමියේ කටයුතු මෙහෙයවන විශාල පිරිසක් සමඟ සාකච්චා කළෙමි. ඒ සඳහා දේශපාලන පක්ෂ වල බලපෑමක් සේම නොයෙකුත් විශ්ව විද්‍යාල වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ සහයද ලැබී තිබුණි. ඊට සහභාගී වී සිටි ඇතැම් මහාචාර්යවරුන් සමඟ පුද්ගලිකව කතා කිරීමට මට හැකිවිය. ඒ සඳහා වූ ඔවුන්ගේ සංවිධානය කදිම විය. බොහෝ පිරිස් අදාළ උද්ඝෝෂණය සඳහා පැමිණ සිටියේ පිට පළාත් වලිනි. එසේම එහි පිටුපස සිටි තක්ෂින් ෂිනවත්‍රා හැකි පමණ මුදල් වියදම් කළේය. මාස ගණනාවක් බැංකොක් නුවර රැඳී සිටි ජනතාව වෙනුවෙන් ක්‍රමවත් ආහාර වැඩපිළිවෙලක් සහ පොදු යටිතල පහසුකම් සැපයීමක් සවිධානය වී තිබුණි. එසේම ස්ත්‍රීන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ආරක්ෂක සේවාවක් සේම ක්‍රමවත් වෛද්‍ය පහසුකම් නිරන්තරයෙන් ලබා දී තිබුණි. එපමණක් නොව අදාළ උද්ඝෝෂණය ගැන ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වෙනම 24 පැය පුරා ක්‍රියාත්මක වූ අන්තර්ජාල සේවාවක් තිබුණි. එය මෙහෙයවනු ලැබුවේ විශ්ව විද්‍යාල සිසු-සිසුවියන් පිරිසකි. තක්ෂින්ගේ "දුෂිත" දේශපාලනය ගැන කතා කිරීම මෙහිදී මුලික පරමාර්ථය නොවන අතර අදාළ උද්ඝෝෂණයේ සංවිධාන වියුහය ගැන සැලකීම වැදගත් වේ.

එසේම එම උද්ඝෝෂණයට හමුදාවේ සහයෝගය ලබා දුන් නායකයා වූ ජනරාල් කත්යානා මා සමඟ වඩාත් බලාපොරොත්තු සහගතව අදහස් හුවමාරු කර ගත්තේය. නමුත් දින කිහිපයකින් පසු ඔහු මරා දැමීමට හැකි විය. අදාළ ඝාතනය කවුරුන් කළේද යන්න ගැන තවමත් නිශ්චිත තොරතුරක් නැත. නමුත් තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. එය ලංකාවේ එකේක වුවමනාවට සිදු කරන ඝාතන හා සමානය. අදාළ ඝාතනයත් සමඟ රතු කමිස කරුවන්ගේ උද්ගෝෂණය ක්‍රමයෙන් යටපත් විය. කතය්නාගේ හැසිරීම සහ මා සමඟ හුවමාරු කරගත් අදහස් වඩාත් සමීප වුයේ ජනරාල් සරත් ෆොන්සේකා, ජනාධිපති රාජපක්ෂ ගැන ඉදිරිපත් කළ අදහස් වලටය. රටක ආරක්ෂක අංශවල අභ්‍යන්තර අර්බුද දෙදරා යාම හෝ රටේ දේශපාලන නායකත්වය සහ මිලිටරිය අතර මතවාදීමය ගැටීම් ඇතිවීම වඩාත් සංවේදී කාරණයකි. විශේෂයෙන් ලංකාව වැනි රටක දේශපාලකයින් සහ ඔවුන්ගේ පක්ෂ කෙරෙහි කිසිඳු විශ්වාශයක් මහජනතාව තුළ නැති වූ කළ බොහෝ ජනතාව මිලිටරිය ඔස්සේ බලාපොරොත්තු ඇති කර ගැනීම සාමාන්‍ය කාරණයකි. ලංකාවේ දේශපාලකයා යනු බොරුකාරයෙකි, රැවටිලිකාරයකි, ජනතාව තුළ මනෝභ්‍රන්තිය ඇති කරගනිමින් බලය ගසා ගන්නෙකි. ඔවුන්ට නවීන වාහන - කුලී ආරක්ෂක හේවායන් අවශ්‍ය වන්නේ ඒ නිසාය. වහලුන් මෙන් ලෝකේ සිටින තක්කඩි-ධුෂිතන් රැකීමට තමන්ගේ ජීවිත කැප කිරීමම ඛේදවචකයකි.

ජනරාල් ෆොන්සේකාගේ සිද්ධිය හෝ ඔහුගේ ලේඛම් වරායව සිටි සේනක සම්බන්ධයෙන් ඊට සහයෝගය දක්වන පක්ෂ වලින්ම සිදු කරන සැලකිල්ලෙන් ගැටලුවේ ඇති තවත් පැතිකඩක් අවබෝධ කර ගත හැකිය. මෙවැනි මට්ටමක සිට කොළඹ ලිප්ටන් වටරවුම ඊජිප්තුවේ කයිරෝ නුවර කිරීමට බලාපොරොත්තු වීම වූ කලී, තමන්ගේ මෝඩකම පෙන්වන උපහාසයන් මිස වෙන කිසිවක් නොවේ. එසේම ලංකාවේ තත්වය සැලකීමේදී කයිරෝවක් තබා , අසාර්ථක වූ බැංකොක් රතු කමිස කරුවන්ගේ උද්ඝෝෂණයක තත්වයටවත් පත් කිරීමේ හැකියාවක් අපට නැත. එය ඇති කර ගැනීමේ මුලික කාරණය වන්නේ කුහකකමින් ඉවත් වීම සහ තමන් වෙනුවෙන් කැප වෙන ජනතාවට කෘත ගුණ සැලකීමට දක්වන නැඹුරු බව පෙන්වීමය. මෙහි ඇත්තේ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට වඩා සාමාන්‍ය ජනතවගේ මානසික තත්වය වෙනස් කිරීමේ හැකියාවක් සහ වෙනස් කිරීමෙන් පසු ඇති වන තත්වය කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබේද යන්නය. එසේම ඊට නායකත්වය දීමට සෑම මට්ටමකම ශක්තිය ප්‍රමාණවත්ද යන්නය.

එසේම මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සිදු වෙමින් පවතින දේශපාලන වෙනස හදිසියේ ඇති වූ දෙයක් නොව එය කාලාන්තරයක් තිස්සේ ඇති වූ වැඩපිළිවෙලක පුපුරා යාමකි. සත්‍යවශයෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇෆ්ඝනිස්ථානය සහ ඉරාකය ආක්‍රමණය කළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ දුෂ්ට ක්‍රමවේදය සිදු විය යුතුව තිබුණේ මේ ආකාරයෙනි. එය එසේ සිදු වූයේනම් එක්සත් ජනපදය ආර්ථික වශයෙන් බංකොලොත් වන්නෙත් නැත. මෙතරම් සාමාන්‍ය ජනත්වක් මිය යන්නෙත් නැත. සමුහ සංහාරක අවි වැනි ගොතන ලද ජාත්‍යන්තර බොරු අක්‍රමණය සඳහා භාවිත කළ හුදු කල්පිතයන් පමණක් බව දැන් ඔප්පු වී හමාරය. කෙසේ වෙතත් මීට පෙර ජෝර්ජියාව, යුක්රේනය, කසස්ථානය ඇතුළු පැරණි සෝවියට් සමුආණ්ඩුවට අයත් වූ රටවල් වල මෙන්ම ලෙබනනය ඇතුළු මැද පෙරදිග ඇති වූ වර්ණ විප්ලව සමඟ සැලකීමේදී මෙහි අති විශාල වෙනසක් නැත. ඒ අනුව කල්පනා කිරීමේදී ජවිපෙ දකින සිහින ලෝකය සඳහා යෑමට කෙටි මාර්ග අපට නැත. මන්ද අපට බොර තෙල් තවමත් නැත. එසේම රට මුහුණ දී ඇත්තේ අතිශය සංවේදී අර්බුද ගණනාවකටය. එක් අතකින් ව්‍යවස්ථා සංශෝධනයක් ඔස්සේ රාජපක්ෂ, ලිබියානු නායාක ගඩාෆිගේ මුල් අවුරුදු 20 කාලය සහ සමාන අකාරයෙන් රඟ පාමින් සිටියි. දෙවැන්න ආර්ථිකමය වශයෙන් රට අඝාදයකට තල්ලු වී තිබේ. තෙවැන්න විපක්ෂය අතිශය දුර්වල වී ඇති අතර ඊට නායකත්ව ලබා දීම පැරණි දුර්ගන්ධ ප්‍රතික්ෂේපිත චරිත වලින් සිදු කරමින් තිබේ. මෙහි සම්පුර්ණ වාසිය රාජපක්ෂට මිස වෙන කිසිවෙකුට අත් වන්නේ නැත. මේ අවස්ථාවේදී රටේ දේශපලන අස්තාවරත්වයක් ඇති කොට තමන්ගේ කුණු වසා ගැනීමට රාජපක්ෂට හැකියාව තිබේ. මේ නිසා ලිප්ටන් වටරවුම, කයිරෝවක් කිරීමට යන්ත දරණ සිහින කුමාරවරුන් අමතක කොට දමා ඇත්තේ තවමත් ලංකාවෙන් තෙල් ගැනීමට හැකියාවක් ලැබී නැති බවයි. විදේශ වෙළඳ පොළ සමඟ අපට අති ධනාත්මක සම්බන්ධය වන්නේ රෙදිපිළි සහ ගෘහ සේවිකාවන් පමණි. එසේම අපට ඇති ඍනාත්මක සම්බන්ධය වන්නේ ණය ගනු දෙනුය. එය බටහිර සමඟ පමණක් නොව රාජපක්ෂ තමන්ගේ හිතු මනාපෙට චීනය වැනි රටවල් සමඟ අත්සන් කොට ඇති ගිවිසුම් වලින් රට හෙළා ඇත්තේ අනතුරේය. මේ නිසා පවතින ඇත්ත තේරුම් නොගෙන දේශපාලන විප්ලව වලට කර ඇදීමත් රෝහණ විජේවීර විපලවයට පෙර තමන්ගේ කේන්ද්‍රය බැලීමත් අතර කිසිඳු වෙනසක් නොමැත.

Tell a Friend