"පසුගිය කාලේ මම විතර අපහස විඳපු කෙනෙක්‌ නැහැ"

මහින්ද රාජපක්ෂ විසිනි
( ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ පවත් වූ කතාව ඇසුරින් සකස් කරන ලදී )

මමත් පුස්‌තකාලයෙන් මගේ ජීවිතය පටන්ගත්තේ. වයස 17 දී පමණ විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ පුස්‌තකාලයේ සේවය කරන්න අවස්‌ථාව ලැබුණා. මේ රටේ දරුවන්ට කරන්න පුළුවන් විශාලම සේවය පුස්‌තකාල ඇතිකර දරුවන්ගේ දැනුම වැඩිකිරීමට අවස්‌ථාව සලසාදීමයි. පුස්‌තකාල හැදුවට විතරක්‌ මදී. එහි පොත පත පරිහරණය කරන්න දරුවන් උනන්දු කළ යුතුයි. ඒ තුළින් දරුවන්ගේ දැනුම වර්ධනය වෙනවා. ඉදිරියේදී මේ පුස්‌තකාලයේ පරිගණක ඒකකයක්‌ ඇතිවේවි. ඒ තුළින් තවදුරටත් දැනුම වැඩිකරගන්න අවස්‌ථාව ලැබෙනවා. අපේ අනාගත පරපුරයි අපි මේ හදන්නේ. දරුවන්ට පමණක්‌ නොව වැඩිහිටියන්ටත් තම දැනුම වර්ධනය කරගන්න මෙය ප්‍රයෝජනවත්. කඩුවෙල අද ජනප්‍රියතම නගරය බවට පත්වෙලා. අද හුඟක්‌ දෙනෙක්‌ තමන්ගේ ඉඩම් විකුණාගෙන ඉඩම් ගන්නේ කඩුවෙලින්. ඒකට හේතු තියෙනවා. ඒ නිසා ප්‍රදේශය ඉතා සීග්‍රයෙන් ජනාවාස වනවා විතරක්‌ නොවේ දියුණු වන නගරයක්‌ බවට පත්වෙලා තියෙනවා. අපි සැලැස්‌මක්‌ ඇතිව මේ නගරය සංවර්ධනය කරන්න ඕන. එහෙම නැති වුණොත් අනාගතයේදී අපිට වෙනත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. අවධිමත් ලෙස ගොඩනැඟිලි ඉදිකර තිබීම සංවර්ධනයේදී විතරක්‌ නෙවේ ජනතාවටත් ප්‍රශ්නයක්‌ වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී මහ නගර සභාවක්‌ බවට පත්වීමට නියමිත කඩුවෙල ඉතා සැලසුම් සහගතව දියුණු කරන්න ඕන.

අද අපි රටක්‌ සංවර්ධනය කරනවා. අවුරුදු 30 ක කුරිරු යුද්ධය අපි අවසන් කරලා තියෙනවා. ඒ කුරිරු යුද්ධයත් එක්‌ක ජනතාවගේ හදවත් දිනා ගැනීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තියෙනවා. අද අපට නොයෙක්‌ විදිහේ බලපෑම් තියෙනවා. නොයෙක්‌ විදිහේ අභූත චෝදනා අද අපි ඉදිරියේ දිග හැරෙනවා. මේ රට ලබාගත් ජයග්‍රහණ වෙනත් ආකාරයට පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස්‌ ඩොලර්වලට යටවූ ඇතැම් පිරිස්‌ මේ සඳහා විශාල වැඩපිළිවෙළක්‌ දියත් කරලා තියෙනවා. පිටරටවල අද සමහරු අපිව විදුලි පුටුවට ගෙනියන්න ලෑස්‌ති වෙනවා. මේ මොකටද මේ ජයග්‍රහණය තවත් බාල්දු කරන්න.

ඉන්දියාවෙන් පැමිණි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කර්තෘවරයෙක්‌, මාධ්‍යවේදියෙක්‌ ඊයේ මා සමග කතා කළා. ඔහු ඉතා පැහැදිලිව කිව්වා මේ ලංකාවේ කරපු මානුෂික මෙහෙයුම් පිළිබඳව ඔහු දරන්නේ ඉතාම ඉහළ තක්‌සේරුවක්‌ කියලා. ආරම්භ කළේ කිසිම සිවිල් වැසියකුට සීරීමක්‌වත් ඇති නොවන අකාරයෙන් කියලා. නැගෙනහිර මුදා ගැනීමේදී කිසිම සිවිල් වැසියකුට සීරීමක්‌වත් වුණේ නැහැ. එහෙමනම් ඇයි උතුර නිදහස්‌ කරගැනීමේදී වෙනත් ආකාරයකින් බලන්නේ. සම්පූර්ණයෙන්ම අපි වගකීම භාර අරගෙන ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදියාට විරුද්ධව කරපු ක්‍රියාවලියක්‌ මිස පැහැදිලි ලෙසම මෙය වෙනත් ක්‍රියාවලියක්‌ නොවේ.

අවුරුදු 30 ක්‌ අපි ත්‍රස්‌තවාදයෙන් බැට කෑවා. බියෙන් හා සැකයෙන් ජීවත් වුණා. දැන් අපි ඒකෙන් නිදහස්‌ වෙලා. අද ඒ ප්‍රදේශවල සංවර්ධනය ආරම්භ කරලා තියෙනවා. ත්‍රස්‌තවාදීන් කඩා බිඳ දැමූ පාරවල්, පාසල්, රෝහල් මේවා සියල්ලම නැවත ගොඩනගනවා. ඒ එක්‌කම මේ රටේ මහා සංවර්ධනයකට අපි ගමන් කරනවා. ඒ සංවර්ධනය දිහා බලන්න. මංමාවත් දිහා බැලුවොත් ඔබ රටේ ඇවිදිනවානම් ඔබ ත්‍රිකුණාමලයට යනවානම් කන්ද උඩරටට යනවානම් ඔබට මේ සංවර්ධනය පැහැදිලිව පේනවා.

අපි යමක්‌ කරන්න ඕන අද ගැන. ඡන්දේ ගැන හිතලා නොවෙයි අපි ඒවා කරන්නේ රට ගැන අනාගත පුරපුර ගැන හිතලා. අනාගතයේදී ඉපදෙන දරුවාට හෙට ඉපදෙන දරුවා වෙනුවෙන් අපි මේ රට සංවර්ධනය කරන්න ඕන. එහෙමනම් මේ රට සංවර්ධනය කිරීමේදී අපි සියලු දෙනා එකතු විය යුතුයි.

අද අපට නොයෙක්‌ අපහාස කරනවා. පසුගිය කාලේ මම විතර අපහස විඳපු කෙනෙක්‌ නැහැ. මම ඒවට උත්තර දෙන්නේ නැහැ. විරුද්ධ පක්‌ෂයේ අපේක්‌ෂකයා ගැන මම පුද්ගලික කිසිවක්‌ කිසි දවසක සඳහන් කරලා නැහැ. කිසි දෙයක්‌ කියලා නැහැ. මගෙන් සමරුන් අහනවා ඇයි මෙතරම් අපහාස කරද්දී කටවහගෙන ඉන්නේ කියලා. මේකේ භයානකම තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ ලෝකය ඉදිරියේ අපි අපහාසයට පත් කරන්න. මේ බොරු ප්‍රචාර ගෙන යන්නේ ලෝකයාට මහ ඒකාධිපතියෙක්‌ මේ රටේ පාලනයක්‌ නැති මිනිහෙක්‌ මහ අපරාධ රාශියකට යන මේ වගේ පුද්ගලයෝ තමයි රට පාලනය කරන්නේ කියලා ලෝකය ඉදිරියේ අපේ රට හෑල්ලු කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතිං මේවා පිළිබඳ අපේ ජනතාව දැනුවත් වෙන්න ඕන. අපහාසයේ සීමාවන් තියෙන්න ඕන. වෙනදා ජනාධිපතිවරුන්ට ඔහොම අපහාස කරන්නෙ නැහැ. මොකද ඒ අය ක්‍රියාත්මක වෙනවා. එවැනි යුග මේ රටේ තිබුණා.

ඒත් අද එවැනි තත්ත්වයක්‌ මේ රටේ නැහැ.

අපි මොන දේශපාලනය කළත් රටට තියන ආදරය රටට තියන ගෞරවය නැති කරන්න හොඳ නැහැ. අපි එක මතකය ඉන්න ඕන. ඒක හෑල්ලු කරන්න හොඳ නැහැ. මේ රටේ සංවර්ධනය නතර කරන්න මේ රටේ සංවර්ධනය හා ජනතාවට ලැබිය යුතු දේවල් නතර කරන්න හදනවානම් ඔහු රටට ආදරය කරන කෙනෙක්‌ද? ජනතාවට ආදරය කරන කෙනෙක්‌ද කියලා ඔබට දෙපාරක්‌ හිතන්න වෙනවා. ඒ නිසා මේවා පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි.

මම ඉන්දියාවට ගිය වෙලාවේ එහි විපක්‌ෂ නායකවරයා මුණගැසුණු අවස්‌ථාවේ ඔහු කිව්වේ අපි මේ ඉන්දියාව තුළදී ආණ්‌ඩුවට පහර ගහනවා, ඔවුන්ගේ හැම ක්‍රියාවක්‌ම හෙළා දකිනවා. නමුත් විදේශ ප්‍රතිපත්තියක්‌ ලෙස අපේ රට බාල්දු කරන්නේ නැහැ කියලයි. අපේ රටට ලැබුණ ජී.එස්‌. පී. කපන්න ඉල්ලුවේ සමහර වෘත්තීය සමිති නායකයෝ, සමහර දේශපාලනඥයෝ, සමහර එන්.ඕ.ජී. ඔවුන් මොකක්‌ද මේ කරන්නේ. රට ගැන හිතන්න මැතිවරණයකදී මට පහර ගහන්න අපහාස කරන්න ඕන දෙයක්‌ කරන්න.

මම අවුරුදු 40 ක්‌ දේශපාලනයේ ඉන්නවා. මම දන්නවා සමහර දේශපාලනඥයෝ ඉපදුන කාලයේ ඉඳන්. අද එදා තිබුණ යුගයට වඩා වෙනසක්‌ තියනවා. අපි මේ ගමන යන්න ඕන. මේ රටේ සංවර්ධනය ගැන හිතන්න ඕන. විදුලිය කපන්නේ නැති විදිහට අපි විදුලිබලාගාර ඇති කළා. දැවැන්ත වරායන් ඇති කළා. මේ සියල්ල අපි ගොඩනඟාගෙන යනවා. රටක්‌ සංවර්ධන කරන කොට මේ පළාත් සංවර්ධනය කරලා රජයත් සමග එක්‌ව වැඩ කරලා රට ගොඩනගන්න සියලු දෙනා එක්‌වෙන්න ඕන. අපේ නගරය අපේ ගම ගොඩඟන්න ඕන. ඒ සඳහා අද ශක්‌තිමත් අවස්‌ථාවක්‌ තමුන්නාන්සේලාට ලැබිලා තියෙනවා.

Tell a Friend