රනිල්ගේ සමාව


පුද්ගලයෙකු පළමුව සමාව ගත යුත්තේ තමන්ගෙන් අනුන්ට  වුණ වැරදි වලට මිස පිටත අය නිසා ඇති වූ දෑට නොවේ. තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා අනෙක් අයගේ වැරදි වලට සමාව ගන්නේ නම් එතන ඇත්තේ කූට උපායකි. සැබවින්ම රනිල් සමාව ගත යුතු කාරණා ගැන දීර්ඝ ලැයිස්තු තිබේ.

නිලන්ත ඉලංගමුව


තමන්ගේ පැවැත්ම උදෙසා කුමන හෝ බලවේගයක් විසින් එල්ලවන බලපෑම් ක්‍රමානුකුලව වෙනතකට යොමු කිරීමට විපක්ෂ නායක සහ එදා මෙදා එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ බිහි වූ නිවට සහ කට්ට කයිරාටක නායකයා වන රනිල් වික්‍රමසිංහ සමත්ය. මේ තරම් තමන්ගේ පුටුව රැක ගැනීම සඳහා එකම තැන කුණු වේවි සිටින නායකයෙක් මේ ලෝක ඉතිහාසයේවත් සිටීද යන්න ගැටලුවකි. රනිල් මේ ආකාරයෙන් හැසිරෙන්නේ මන්ද? සැබවින්ම ඇතැමුන් කියන ආකාරයෙන් රනිල්ට පරාජය අමතක වීමේ රෝගයක් හෝ ලජ්ජා නැති කමක් තිබේද? එසේත් නොවේ නම් අද දින ( සැප්තැම්බර් 24) දිනමිණ හෙවත් ආණ්ඩුවේ පුවත් පතේ කතුවරයාගේ අදහසට අනුව රනිල් වූ කලි මහජන විඥානයෙන් වියුක්ත වුවෙක්ද? මෙය රනිල්ගේ දේශපාලනයට අදාල දැයි සිතම අසීරුය.


පළමුව රනිල් විසින් 18 වන ව්‍යවස්ථා සංශෝදනයට තම පක්ෂයේ පිරිසක් සහය දැක්වීම ගැන සමාව ඉල්ලීම ගැන කල්පනා කිරීම වටී. ඔහු සමාව ඉල්ලනු ලැබුවේ පක්ෂයා තුළ මෙන්ම ඉන් පිටතද තමාට විරුද්ධව දැඩි විවේචන එල්ල වෙමින් තිබෙන අවස්ථාවකදීය. පුදුමයට මෙන් ආණ්ඩුවට හිතවාදී පිරිස් විසින්ද රනිල්ව විවේචනය කිරීම තමාට තිබු අවසන් බලාපොරොත්තුවත් සුන්වීමකි. මෙනිසා පවතින තත්වය වෙනතකට යොමු කිරීම තම සම්ප්‍රදායික පුරුද්ද කරගත් රනිල් මෙවර එජාපයේ තරුණයින් රැස් කොට සමාව ගත්තේය. සැබවින්ම මෙය ඔහුට විරුද්ධව පවතින විවේචනය මග හැරවීම සඳහා කළ උප්පරවැට්ටියක් මිස ඊට එහා ගිය සුජාත බවක් එහි නොමැත. අද රනිල් ජනාධිපති වුයේ නම් ඔහු සිදු කරන්නේද මහින්ද කළාට වඩා වැඩි දෙයක් මිස යහ පාලනයකට රට හැරවීමට යන්ත දැරීම නොවේ. රනිල් සමාව ගත යුත්තේ 18 වන සංශෝධනයට තම පක්ෂයෙන්, ආණ්ඩු පිලට පැන්න පින් පොන් දේශපාලකයින් ගැන නොවේ. එනම් තමා විසින් කළ හාස්‍ය මෙන්ම දුෂ්ට අත්වැරැද්ද ගැනය. දකුණේ තරුණ තරුණයින් 60,000 ක් ටයර් දමා පුළුස්සන විට රනිල් හිටියේ මේ ලංකාවේ, මේ රටේ මිනිසුන්ගෙන් ලැබූ චන්ද වල අනුහස බුක්ති විඳිමිනි. ඒ කිසිවකට හෙතම වැඩිම කාලයක් පක්ෂයේ සිටි නායකයින්ගෙන් අයෙක් ලෙසවත්, මනුෂයෙක් ලෙසවත් කතා කළේ නැත.


පුද්ගලයෙකු පළමුව සමාව ගත යුත්තේ තමන්ගෙන් අනුන්ට වුණ වැරදි වලට මිස පිටත අය නිසා ඇති වූ දෑට නොවේ. තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා අනෙක් අයගේ වැරදි වලට සමාව ගන්නේ නම් එතන ඇත්තේ කූට උපායකි. සැබවින්ම රනිල් සමාව ගත යුතු කාරණා ගැන දීර්ඝ ලැයිස්තු තිබේ. මේ ආකාරයෙන් එළඹෙන දෙසැම්බර් දක්වා තමන්ගේ පැවැත්මට ඇති බාධා ඉවත් කර ගැනීමට සමාව ගැනීම් තුළ ඇත්තේ කපටිකම මිස වෙන කිසිවක් නොවේ.


එසේම ඔහු ඉතා වැදගත් කතාවක් ඉදිරිපත් කොට තිබේ. එනම් තම පක්ෂයේ නියෝජිතයින් ලෙස කටයුතු කරමින් සිටින අය ස්වාධීනව කටයුතු කිරීමට අර අදින්නේනම් පක්ෂයෙන් ඉල්ලා අස් වන එක හොඳ බවය. අනෙක් අදහස ආණ්ඩු පක්ෂය සමග එඅකතු වීමට ඔවුන් පෙලඹවීමය. රනිල්ගෙන් මේ ආකාරයෙන් නිරුපණය වන පරාජයේදී ආරක්ෂාව පතා කට්ට ඇතුලට රිංගන ගොළුබෙල්ලකු මෙන් හැසිරීම සහ තමාට එරෙහි කුණාටු වලදී අනෙක් අය බිල්ලට දී තම ආසනය රැක ගැනීමේ පුරුද්ද පිටු පස ඇති සබැ උවමනාව මින් එලියට පැන ඇත. එබැවින් මෙය තරමක් දුරට හෝ අවබෝධ කර ගැනීමට යන්ත දැරීම වැදගත් වේ.


රනිල්ට සහ මහින්දට; දේශපාලනික මිත්‍රත්වයට වඩා එහා ගිය පුද්ගලික මිතුරු කමක් තිබේ. එසේම මේ දෙදෙනා සතුව තිබෙන පොදු ගුණ තිබේ. ඒ අතර මහින්ද තම දේශපාලනික විඥානය තුළ කුලවාදය සහ පවුල් වාදය ප්‍රමුක කොට කටයුතු කරනවා සේම රනිල්, තමාගේ පරම්පරාව ඉදිරියට ගෙන යා හැකි අයෙකි ජාතක කිරීමට හැකියාවක් නොමත්තෙක් වුවද ඔහුගේ විඥානය තුළද මහින්දගේ මෙන්ම ඉතා ශුක්ෂම වුවමනා එපාකම් තිබේ. මතක තබා ගත යුත්තේ බොහෝ පාවාදීම් වලින් ලබා ගන්නා තනතුරු රැක ගැනීම සඳහා ඊටත් වඩා පාවාදීම් සිදු කිරීමට සිදු වීම මුලික කාරණයක් බවයි. මම ජාතියේ බාරකරුවා මිස අයිති කරු නොවෙමි; යැයි අඬ බෙර ගසමින් 2005 දී බලයට පැමිණි රාජපක්ෂ අද රටේ අයිති කරු ලෙසත් "සියල්ල මට සහ මගෙන් පසු මගේ අයට ඉන් ඉතුරු වෙන ශේෂය තමන්ගේ වහලුන් හටය," යන රාජපක්ෂ චින්තනයට සමස්ත රට තල්ලු කිරීමත්, තමාගේ පන්තියට ගැලපෙන අයෙක් එනතුරු කෙසේ හෝ මෙය රැක ගත යුතුය; යන අදහසේ පිහිටා කටයුතු කරණ රනිලුත් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ( පක්ෂ අභ්‍යන්තර ප්‍රතිපත්ති ) කිසිඳු වෙනසක් නොමැත.


රනිල්, ස්වාධීනව සිටින්නේනම් පක්ෂයෙන් ඉවත් වන්න යැයි අදාල කැරලිකාර මන්ත්‍රී කණ්ඩායමට සඳහන් කරන්නේ මේ නිසාය. එමගින් ඔහුගේ යටි අරමුණු ඉටු කර ගත හැකිය. සැබවින්ම ලංකාවේ දේශපාලනය තුළ ඉදිරියට යාමටනම් අනුගමනය කළ යුත්තේ මහින්දගේ උපක්‍රමය මිස, ගෙම්බන් මෙන් පැත්ත මාරු කිරීම නොවේ. එජාපයෙන් ආණ්ඩුවට පැන්න අයවලුන් නිසා මහින්ද අරමුණු දෙකක් ඉටු කර ගත්තේය. පළමුවැන්න අපි සියලු දෙනාම දන්නා ආකාරයෙන් තමාට රිසි සේ පිස්සු කෙලිම සඳහා පාර්ලිමේන්තුවේ බලය වැඩි කර ගැනීමය. දෙවැන්න එනම් අනුවේදනීය කරණය වන්නේ, එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය එනම් ජෙෂ්ටත්වය මත මීළඟට නායකත්වයට පත්වීම සඳහා නියමිතව සිටි පිරිස් ක්‍රමෝපයිකව පාලනය කළ හැකි වීමය. ඔවුන්ට එජාපය සමග එකතු විය නොහැකිය, එසේම පක්ෂයේ නායකත්වය මොන තීරණ ගත්තත් එය හොඳ හෝ නරක වුවද "එහෙයි" කිව යුතුව තිබේ. පක්ෂය මාරු කළහොත් තම දේශපාලන බලය ඉවරය. පක්ෂයේ සිටින්නේනම්, එජාපයේ පතාක යෝධයින්ද ජනාධිපතිවරයා සමග හෙයින් කට පියාගෙන සිටිය යුතුය. මේ නිසා රාජපක්ෂගේ අදහස් පැහැදිලිය, පක්ෂයේ දෙවන පෙළ "එහෙයි" පිරිසක් බවට පත් කිරීමෙන් තමන්ගේ අනාගත අපේක්ෂා ඉටු කර ගත හැකි බව හෙතම දන්නේය. නාමල් රාජපක්ෂ නිව් යෝර්ක් යනවිට තමන්ට ඩෙංගු මදුරුවා පිටිපස්සේ යෑමට මෛත්‍රිපාලට සිදු වී තිබෙන්නේ මේ නිසාය.


එසේම එජාපය පැත්තෙන්ද කතාව සරලය. එනම් පක්ෂයේ සිටින අයවලුන් ආණ්ඩුවට එකතු වීමෙන් තමන්ට විරුද්ධව නැගෙන බලවේගය පමණක් නොවේ සුදුසු කම් මත මීළඟ නායකත්වයට පත් වන පිරිස එලවා දැමිය හැකිය. එමගින් තමාට රිසි පිරිස් ඉදිරියට ගෙනවිත් තමන්ගේ පුද්ගලික වුවමනා එපාකම් විෂයෙහිලා කටයුතු කළ හැකිය. පක්ෂය තුළ කුණු වේවි සිටින රනිල්ගේ, දුර්ගන්දය ඉවසීමට නොහැකි පිරිස් ඔහුට විරුද්ධව කැරලි ගැසීමට හෝ පක්ෂය මාරු කරණ විට, රුවන් විජේවර්ධන වැනි අය රනිල් සමග එකත් පසෙක සිටින්නේ මේ නිසාය. අපි සියල්ලම දන්නා පරිදි ලාංකීය දේශපාලනය, ජනතාව ඉලක්ක කරගත් හෝ සබැ ගැටලු විසඳීම ඉලක්ක කරගත් එකක් නොවේ. එය ඉලක්ක කරගෙන ඇත්තේ මෙවැනි මනෝ මුලික ක්‍රමෝපායන් ඉටු කර ගැනීම සඳහාය. එලෙබෙන දෙසැම්බර් වන විට, සජිත් ප්‍රේමදාස එහි නායකයා වන්නේද යන්න රනිල් සහ මහින්ද මේ වනවිටත් තීරණය කර නොමත්තේනම්, අය-වැයට පෙර තවත් වතාවක් රනිල්, සිනි නැති කලු කොපි බිමට රජගෙදරට රිංගුවහොත් එය පුදුමයක් නොවේ.