චන්ද්‍රිකාට සුභ උපන් දිනයක්

වර්ගවාදීන්ගේ කොදෙව්වක් ලෙස හංවඩු ගසමින් තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හුදෙකලා වෙමින් තිබුණි. සිංහලයින් යනු අනෙකාගේ මත නොඉවසන - සුළු ජන කණඩායම් වල අයිතීන් පාගා දමන  මිනිසුන් කොටසක් බවට වූ ව්‍යාජ මතයක් ලෝකය පුරා ව්‍යාප්ත කොට තිබුණි.  චන්ද්‍රිකාගේ දේශපාලනය වඩාත් වැදගත් වන්නේ මෙම සමාජ ව්‍යාකූලත්වය තේරුම් ගැනීමේදී ඇය දැක් වූ කුසලතාවය නිසාය. 

කතුවැකිය 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ හැත්තෑ පස්වන ජනම දිනය අදට යෙදී තිබේ. ගත වූ වසර හැත්තෑපහක කාලය යනු මෙරට ඉතිහාසයේ තීරණාත්මක කාලයක් විය. එසේම කෘතහස්ත දේශපාලනඥයෙකු ලෙස ඇය කළ කාර්යය භාර්ය  ඉතාම වැදගත් වේ. සමස්ථ සමාජයේ දියුණුව වෙනුවෙන් ඇය කළ සේවය අතිශය ප්‍රසංශනීය වේ. 

හිටපු ජනාධිපතිනිය මෙරට සමාජ ක්‍රමවේදය තුළ ඉතාම තීරණාත්මක චරිතයකි. පළමුව ඇයගේ පෞද්ගලික ජීවිතය,  පැවති ගෝත්‍රිකවාදී සමාජ ක්‍රමය වෙනස් කිරීමට අවංකව උත්සහ කළ ආදර්ශයක් විය. පෞද්ගලික ජීවිතයේ ඇය ගත් තීන්දු ඉතාම පෙරළිකාරී විය.  දෙවනුව දේශපාලනඥයෙකු ලෙස  දශක ගණනාවක් තිස්සේ සමස්ත සමාජය පීඩා විඳි කාරණා වලට අවංකව  විසඳුම් සෙවීමට උත්සහ කළ චරිතයක් ලෙස ක්‍රියාවෙන් ඔප්පු කරණු ලැබුවාය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය
චන්ද්‍රිකා මැතිණිය දේශපාලනයට පිවිසෙන්නේ ගෝලීය වශයෙන් ඉතාම වැදගත් දේශපාලන සිදුවීම් රාශියක් සිදුවෙමින් පැවති කාලවකවනුවකය. ඇය දේශපාලනයට අවතීර්ණ වන විට පැරණි ලෝකය බිඳ වැටෙමින් තිබුණි. නව ලෝකයක් සඳහා මිනිසුන් අරගල කරමින් සිටියෝය. එසේම, ප්‍රධාන පාර්ශව දෙකක් අතර දෝලනය වෙමින් පැවති ගෝලීය දේශපාලන බලය එක් කඳවුරක් වෙතට තල්ලු වෙමින් තිබුණි. එම ගෝලීය දේශපාලනයේ ගොදුරක් වීම වැලැක්වීම සඳහා හිටපු ජනාධිපතිනියගේ මව වන  එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දකුණු ආසියානු කලාපය සාම කලාපයක් කිරීම නම් වූ දැවැන්ත දේශපාලන මෙහෙයුමේ කොටස්කරුවකු වූවාය.දකුණු ආසියානු කලාපය සාම කලාපයක් කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙල ඉතාම සාර්ථක  වැඩපිළිවෙලක් විය. 

කෙසේ වෙතත් අසූව දශකයේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ තත්වය වර්ගවාදය හේතුවෙන් නරක අතට හැරෙමින් තිබුණි. 1971 දී සිදු වූ තරුණයින්ගේ නැගිටීම ජාත්‍යන්තර සහයෝගය ඇතිව ක්‍රමානුකූලව යටපත් කිරීමට ආණ්ඩුවට හැකි වුවද අසූව දශකයෙන් පසුව උදා වූ තත්වයන් වඩාත් සංකීරණ විය. එසේම රටේ සමාජ ආර්ථික ගැටලු වඩාත් ව්‍යාකූල වෙමින් පැවතුණි.  එම තත්වය විවිධාකාර පිරිස් තම පෞද්ගලින් වාසි සඳහා ඉතාම අප්‍රසන්න ලෙස භාවිතා කරනු ලැබුහ. නායකයින්ගේ ඇස් වලට වැලි ගසා ඔවුන් නොමග යවන අවස්තාවාදී  පුද්ගලයින් අද මෙන් එදත් සිටියෝය. බොහෝමයක් නායකයින් විසින් දියත් කරනු ලැබූ බොහෝමයක් මානුෂික මෙහෙයුම් එම පුද්ගලයින්  විසින් කඩාකප්පල් කරනු ලැබූහ.  

වර්ගවාදීන්ගේ කොදෙව්වක් ලෙස හංවඩු ගසමින් තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හුදෙකලා වෙමින් තිබුණි. සිංහලයින් යනු අනෙකාගේ මත නොඉවසන - සුළු ජන කණඩායම් වල අයිතීන් පාගා දමන  මිනිසුන් කොටසක් බවට වූ ව්‍යාජ මතයක් ලෝකය පුරා ව්‍යාප්ත කොට තිබුණි.  මෙවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පැවති කළහකාරී තත්වයට ජාත්‍යන්තර අවධානයක් ලැබුණි. එය ශ්‍රී ලංකාවේ ගැටලුවක් පමණක් නොව ජාත්‍යන්තර ගැටළුවක් ලෙස බොහෝ පිරිස් අර්ථ ගන්වනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙස විවිධාකාර පිරිස් වලින් නඩත්තු කරනු ලැබූ වර්ගවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය ආදී අමනුෂ්‍යය භාවිතයන් වල ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබුණි. 

එක් අතකින් දෙමළ වර්ගවාදය පෝෂණය වෙමින් දෙමළ ජාතික ප්‍රජාව තුළ ජීවත් වූ සමාජ ප්‍රතිසංස්කරණ වාදීන් සහ සැබෑ බුද්ධිමතුන් අකාලයේ මියැදෙමින් සිටියෝය. අනෙක් අතින් ඉස්ලාම් අන්තවාදය  පිළිකා ශෛලයක් මෙන් නිහඬව සමාජය ගිල ගනිමින් තිබුණි. ඒ අතර ඇතැම් සිංහල කණ්ඩයාම් මෙම සමාජ තත්වයට ප්‍රතිචාර දැක්වීමේදී දුරදිග නොබලා කටයුතු කොට සමස්ථ සමාජය අකුලේ හෙළනු ලැබීය. 


චන්ද්‍රිකාගේ දේශපාලනය වඩාත් වැදගත් වන්නේ මෙම සමාජ ව්‍යාකූලත්වය තේරුම් ගැනීමේදී ඇය දැක් වූ කුසලතාවය නිසාය. පළමුව ඇය, රාජ්‍යය නායිකාව ලෙස රට තුළ විවිධ පාර්ශවයන් විසින් දියත් කරනු ලැබූ වර්ගවාදී කෝලාහල වලට ගොදුරු වූ සියලුම දෙනාගෙන් සමාව ගත්තාය. ඉන් පසු, රටේ  භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍යය ක්‍රමෝපායික වැඩපිළිවෙලකට අවශ්‍යය මූලික අඩිතාලම දමනු ලැබුවාය. එහි ප්‍රධාන උපාය මාර්ගයක් වූයේ කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට මුහුණ දී සිටි දෙමළ දේශපාලන පක්ෂ සහ සමාජ කණඩායම් ඒකරාශී කිරීමය.  ඉන් පසු, තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය දැනුවත් කිරීම සඳහා කදිරගාමර් වැනි බුද්ධිමතුන් දේශපාලනයට එකතු කර ගත්තාය. 

ශ්‍රී ලංකාව ගැන කොටි සංවිධානය ලෝකය පුරා නිර්මාණය කොට තිබූ ජාත්‍යන්තර ප්‍රතිරූපය කඩා බිඳ දැමුවේ එලෙසය.එසේම ඊශ්‍රායලය වැනි රාජ්‍යයන් සමග විදේශ කටයුතු යළි ස්තාපිත කරනු ලැබුවාය. එය මෙරට ආරක්ෂක අංශ වල ශක්තිය වර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක් විය.  

විදේශ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී  කදිරගාමර් මහතා වැනි පුද්ගලයින් විසින් සිදු කරනු ලැබූ සේවය මිල කළ නොහැකිය. අදටත් ඔහු නැතිවීම නිසා ඇති වූ රික්තය පිරවීමට අවශ්‍යය ජීව ගුණයෙන් යුතු පුද්ගලයින් සොයා ගැනීමට නොහැකිය.  බොහෝ අවස්ථා වලදී චන්ද්‍රිකා විසින් තම දේශපාලන උපාය මාර්ග සාර්ථක කර ගැනීම සඳහා නිවැරදි පුද්ගලයින් තෝරා ගනු ලැබුවාය. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී, නායකයින් වටා එකතු වන අවස්ථාවාදීන් හේතුවෙන් ඉටු කළ යුතුව තිබු ඇතැම් වැදගත් දෑ මග හැරුණි. එය සෑම නායකයෙකුට මෙන් චන්ද්‍රිකාටද පොදු විය. 

ජනාධිපති ධූරයේ සේවය කිරීමෙන් පසු වසර කිහිපයක විවේක කාලයක් ගත කළ ඇය යළිත් සක්‍රීය දේශපාලනයට පිවිසුණි. එම කාලය තුළ රටේ සංහිඳියාව වෙනුවෙන් ඇය කළ කටයුතු ඉතාම වැදගත් විය. ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශය පිහිටුවා එය ජන කොටස් අතර ස්ථීර සාර සාමයක් උදා කිරීමේ පාලමක් බවට පත් කරනු ලැබීය. එම ආයතනය ජනවාර්ගික කොටස්  වල ඇති ගැටළු හඳුනා ගෙන ප්‍රතිකර්ම කිරීම සඳහා අවශ්‍යය බහු ස්ථර  ක්‍රමවේදයක් භාවිතා කරනු ලැබීය.

සංස්කෘතික උත්සව එකතු වී සැමරීම, සියලුම ජනවර්ග නියෝජනය වන පරිදි පාසල් දරුවන් එක් ස්ථානයකට ඒකරාශී කිරීමේ සහෝදර පාසල් සංකල්පය හඳුන්වාදීම, එසේම රටේ විවිධ කාරණා කටයුතු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යය නොවන සංවිධාන සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීම, පුනරුත්ත්පනය කරනු ලැබූ කොටි සංවිධානයේ සේවය කළ  සාමාජිකයින්ට ජීවත් වීම සඳහා අවශ්‍යය මූලික වටපිටාවක් සකස් කිරීම, සහ ගැටුම් හේතුවෙන් අවතැන් වූ සිංහල ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍යය පහසුකම් ලබා දීම, ආදී කටයුතු රාශියක් එම ආයතනය විසින් සිදු කරනු ලැබීය. එම ආයතනයේ මූලික අභිමතාර්ථය වූයේ වර්ගවාදය සහ අන්තවාදය නමැති වෛරස වලින් රට මුදා ගෙන සෑම අයෙකුටම ගෞරවාන්විතව ජීවිත් වීමට හැකි පරිසරයක් සකස් කිරීම සඳහා සහයෝගය දැක්වීමය. 

රටේ මුස්ලිම් ජනතාව අවස්ථාවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත් වෙමින් තිබෙන බව ඇය වසර ගණනාවක සිට ඉතාම ප්‍රවේශමෙන් නිරීක්ෂණය කොට තිබුණි. එම අන්තවාදීන් විසින් මද්‍රසා පාසල් වැනි ක්‍රමවේද ඔස්සේ කරනු ලැබූ මොළ ශෝධනය ගැන මනා අවබෝධයක් ඇයට තිබුණි. ඊට එකම  විසඳුම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් නිර්මාණය කොට මුස්ලිම් දරුවන්ට රටේ අනෙකුත් දරුවන් සමග එකතුවිය හැකි පරිසරයක් නිරමාණය කිරීම විය. සහෝදර පාසල් නමැති සංකල්පය ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මීට අන්තවාදීන්ගෙන් එල්ල වූයේ කපන්න බැරි අත ඉඹීම පන්නයේ ප්‍රතිචාරයකි. 

අවස්ථාවදී හිස් විවේචකයින්ට මෙම කටයුතු වල ඇති සමාජීය දර්ශනය අවබෝධ වූයේ නැත. නමුත් වාසනාවට මෙන් වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා මේ ගැන අවබෝධයක් ඇති නායකයෙකු බව ක්‍රියාවෙන් ඔප්පු කොට තිබේ. එය ඉතාම හොඳ තත්වයකි. රටට අවශ්‍යය වන්නේ පක්ෂ පාට දේශපාලනයකින් තොරව පොදු සමාජ ගැටලු හඳුනා ගෙන ඒවාට ප්‍රතිකර්ම කළ හැකි දර්ශනයක් ඇති නායකයින්ය. එවැනි නායකයින් සහ ඔවුහුට සහයෝගය දීම සඳහා අවංක පිරිසක් එකතු වන්නේ නම්, එම රාජ්‍යය අදීන රාජ්‍යයක් බවට වේ. එහි රාජ්‍යයේ පුරවැසියන් ප්‍රෞඩත්වයෙන් පිරි සමගි සම්පන්න පිරිසක් වේ. අපට අවශ්‍යය වන්නේ එයයි. අපි විශ්වාස කරන අන්දමට චන්ද්‍රිකාගේ දේශපාලන දර්ශනයද එයයි.  


මැතිණියනි, ඔබට සුභ උපන් දිනයක් වේවා! දීර්ඝායුෂ ලැබේවා!