- මහේෂ් හපුගොඩ -
The World's Fastest Indian
කාලයක් තිස්සේ හිතේ තිබුණට කෙළින්ම අකුරු වලට ගත්තේ නැති ෆිල්ම් එකක් තිබුණ. ඒ තමයි රොජර් ඩොනල්ඩ්සන් ගේ The World's Fastest Indian (2005). ජනප්‍රිය නවසිලන්ත මෝටර් සයිකල් ධාවකයෙක් වුන බර්ට් මුන්රෝ ගේ (Burt Munro) ජීවිත කතාව සහ ඔහුගේ මඳක් වෙනස් කරන ලද බයිසිකලය (Indian Scout) ගැන තොරතුරු ඇතුලත් චරිතාපදානයක් හැටියටත් මේ චිත්‍රපටය සලකනවා. මේ වෙලාවේ මේක ලියන්නේ බර්ට් මියගිහිල්ල ගොඩක් කාලයක් උනත් එක් විශේෂ මිනිසෙක් ගැන මේ වෙලාවේ ලෝකයේ අවධානය යොමු වෙලා තියන නිසා. ඒ තමයි බ්‍රිතාන්‍ය දෙවන ලෝක යුධ වීරයෙක් වෙච්ච ටොම් මෝර් විසින් කරලා තියන පුණ්‍ය කටයුත්ත (charity fund raiser). ඒ තමයි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය සේවය වෙනුවෙන් පවුම් දාහක් හොයල දෙන්න එයා ගත්ත උත්සාහය නතර වෙච්ච් තැන. අද වෙනකොට ඒක පවුම් මිලියන විසි තුනක් වෙලා. නයිට් නාමයකුත් දෙන්න හදනවා.
වයස නිශේධනාත්මක සාධකයක්
වයස කියන එක නිශේධනාත්මක සාධකයක්, සමාජයට බරක්, වදයක්, මේ ලෝකෙන් ඉවත් කළයුතු දෙයක් කියල මේ කොරෝනා යුගයේ සලකන වෙලාවක ඒ නිශේධනාත්මක දෙය ම අනෙක් පැත්තට ධනාත්මක දෙයක් වෙන්නේ කොහොමද කියල ටොම් මෝර්, බර්ට් මුන්රෝ වගේම අර්නස්ට් හෙමිංවේ ගේ ධීර චරිත අපට පෙන්නලා දෙනවා. මෙවන් අවදානම් යුගයක ධෛර්යය සම්පන්නව කෙළින් හිටගන්නේ කොහොමද කියන එක ගැන එයාල අපිට එයාලගේ ජීවන ලෝකය ඇතුළේ පෙන්වල දෙනවා. හැම වෙලාවේම පරණ පරම්පරාව අපිට ඉගෙන ගන්න දෙයක් ඉතුරු කරලා තියනවා. අපි නිහතමානී වෙන්න ඕනි එයාලගෙන් ඉගෙන ගන්න.
මේ සටහන ලියන්න මම ආරම්භය ගන්නේ බර්ට් මුන්රෝ එයාගේ අසල්වැසි කුඩා දරුවා වන තෝමස් ට කියන එක වගන්තියකින්. ඒ එයා එයාගේ මුල්ම ඇමෙරිකා ගමන යන්න ලැහැස්ති වෙලා තෝමස් එයා ළඟට ආවම. එයා කියනවා මිනිසෙක් තමන්ගේ සිහිනය හඹා ගියේ නැත්නම් එයාගේ මනස නිකම් එළවළුවක් (ගෝවා ගෙඩියක්) වගේ වෙනවා කියල. ප්‍රයෝජනයි තමයි ඒත් එතනින් එහාට වැඩක් නැහැ.
සිහින හඹායන්න - මනස, ශරීරය සහ ජීවගුණය
ඒ වගේම එයා කියනවා එහෙම සිහිනය හඹා යන්න නම් මිනිසාට දේවල් තුනක් තියෙන්න ඕනි කියල. ඒ තමයි මනස, ශරීරය සහ ජීවගුණය (spirit = ආත්මය). පරිකල්පිත සිහිනයක් නැත්නම් යුතෝපියාවක් වෙනුවෙන් මනස උවමනා වෙනවා. ඒ වගේම ඒ වෙත භෞතිකව යන්න සහ අත්දකින්න ශරීරය උවමනා වෙනවා. ඒ දෙකම තිබුණත් ඒ වෙතට යන්න ධෛර්යය, ආත්ම විශ්වාසය සහ මොන බාධා ආවත් එකම අරමුණක අවසානය දක්වා එල්ලිලා ඉන්න පුළුවන් වෙන්න ඕනි කියන එකත් අවශ්‍යයි. ඉතිං බර්ට් ඒ යන ගමනේදී ගොඩක් බාධා එනවා. අනතුරු වෙනවා. ලෙඩ රෝග ඇතිවෙනවා. වාහනේ කැඩෙනවා. ඒ වගේම අතරමඟ එක එක නැවතුම් පොළවල් උනත් හම්බ වෙනවා. ඒ තැන්වල ඉන්න කියල එයාට කියනවා. අර ඇමෙරිකන් වාහන වෙන්දේසියේ අයිතිකාරයා උනත් කියනවා මගේ ළඟ ඉන්න මම රස්සාවක් දෙන්නම් කියල. එයා නවාතැන් ගත්ත තැන හිටපු සංක්‍රාන්ති ලිංගිකයෙක් වෙච්ච ටීනා එයා එක්ක ගැඹුරින් මිත්‍ර වෙනවා. ඒ වගේම රතු ඉන්දියානු සම්භවයක් තියන කෙනෙකුත් බර්ට් ට මඟදී හම්බ වෙනවා. ලස්සන කියන්නේ බර්ට්ගේ මෝටර් බයිසිකලෙත් ඉන්ඩියන්. ඒ රතු ඉන්දියානුවා බර්ට් ට සම්ප්‍රදායික බේත් හේත් වගයකුත් දෙනවා. බර්ට් ඒවත් ගන්නවා. ඒවායින් යම් ගුණයකුත් බර්ට් ට ලැබෙනවා. නූතන සහ සම්ප්‍රදායික කියල වෙනසක් නැතුව ඒ සියළු දේත් මේ අරමුණට යන්න එයා පාවිච්චි කරනවා. මේ නිසා බර්ට් මට මගේ සන්දර්භය ඇතුලේ ගොඩක් වැදගත්.
තවත් ඉස්සරහට යද්දී මඟදී මිතුරියක් හම්බ වෙනවා ඒඩා කියල. එයා ඒ කොහෙවත් නතර වෙන්නේ නැහැ. එකම අරමුණ වෙච්ච තමන්ගේ බයිසිකලයෙන් ඒ වේග වාර්තාව තියනකම් එයා යනවා. ග්‍රස්තික හඹා යාමක්.
මෙතැන දකින්න පුළුවන් දේ තමයි ඒ 'ආත්මය' (ජීවගුණය, ආධ්‍යාත්මික බව, පැවැත්මේ සාරය) කියන දේ එයාගේ සාමානය එදිනෙදා ජීවිතයේ පැවැත්මෙන් තරමක් ඔබ්බෙන් තියන දෙයක් වීම. එච්චර පිළිවෙලක් නැති අල්පේච්ඡ ජීවිතයක් ඇතුලේ ඉන්න බර්ට් මුන්රෝ ගේ කාර්මික ලට්ට ලොට්ට දාල තියන රාක්කේ ලියල තියෙන්නේ මේ ඔක්කොම වේගයේ නැත්නම් ජව සම්පන්න බවේ දෙවියන් වෙත පුජා කරනවා කියල. දෙවියන් නැති ලෝකයක එයාට ම වූ දෙවියෙක් ඉන්නවා. ඒ වගේම එයා සිහින දකින්නෙත් වේගය ගැන. විස්සයි, තිහයි, හතළිහයි කියල එයා වේගය හීනෙන් කවුන්ට් කරනවා. ඒ කරලා ගැස්සිලා ඇහැරෙනවා. එයාගේ සහෝදරයා අන්තරා වෙලා මැරුණු හැටි ගැන නිතරම සිහිවෙනවා. එයාගේ යටි හිත දන්නවා ඕනෑම් වෙලාවක මාරයා තමන් කරාත් එන්න පුළුවන් කියල. ඒත් ඒ කිසිවකට එයාව පස්සට යවන්න පුළුවන් වෙන්නේ නැහැ.
තව දුරටත් ගත්තම මේ බර්ට් ගේ ග්‍රස්තික හඹා යාම ඇතුලේ තියනවා යම් දිව්‍යමය බවක්. සාමාන්‍ය මිනිසෙක් තුළ නැති අසාමාන්‍ය බවක්. ඉතාම සාමාන්‍ය මිනිසෙක් ලෙස සිටියත් එසේ සාමාන්‍ය නොවන අහං පරමාදර්ශයක් (ego-ideal) වෙනුවෙන් ඔහු සිහින දකිනවා. මේක පටන් ගන්නේ එයාගේ රාක්කේ ලියල තියන 'වේගයේ දෙවියන්' (God of Speed) ගෙන්. එයා මුල්ම වතාවට ඇමෙරිකාවේ බොන්විල් වල පිහිටලා තියන ලවණ තලාවට සහ එහි වේග පථයට ගියාම ඒ තැන්න දිහා බලල මුමුණන්නේ 'මේක ශුද්ධ භූමියක්' (Holy ground) කියල. ඒ කියන්නේ මිනිසුන්ට දෙවියන් වෙත යන්න, ඒ දෙවියන් ලබන අත්දැකීම ම මේ මිහිපිටදි ගන්න, මේ පොළොව මතුපිට ස්වභාව ධර්මය (දෙවියන්) හදල දීලා තියන ත්‍යාගයක් හැටියට. හැබැයි ඒක ඒ විදියට තේරෙන්නේ ඒ සාමාන්‍ය බව ඉක්මවා ගිය අධ්‍යාත්මික ජීව ගුණයක් තියන මිනිහෙක් ට විතරයි. අනික් අයට ඒක නිකම් තවත් එක මිදිච්ච ලවණ තලාවක් විතරයි.
දැන් බලන්න අර තෝමස් ගේ තාත්තා. එයා සාමාන්‍ය මිනිහෙක්. පවුලක් හදා ගෙන බාහිර ලෝකේ ගැන බයෙන් සහ සැකෙන් ජිවත් වෙන මනුස්සයෙක්. තෝමස් ට උනත් බර්ට් ලඟට යන්න දෙන්නේ නැහැ. හරි පරිස්සම්. අසල්වැසි බර්ට් නිසා පහළ බැහැල තියන ඉඩමේ වටිනාකම ගැන හිතන්නේ මධ්‍යම පන්තිකයෙක් හිතන විදියට. එදිනෙදා ජීවිතේ හැර ලොකු සිහින නැහැ. නිකම් එළවලු වගේ. ගෝවා ගෙඩියක් වගේ. ඉතින් තෝමස් ගේ වීරයා වෙන්නේ එයාගේ ගෝවා ගෙඩියක් වගේ ඉන්න තාත්ත නෙවෙයි වේගයේ දෙවියන් ගැන සිහින මවන බර්ට්. එයාගේ ජීවන ආශ්වාදය එන්නේ බර්ට් ගෙන්.
තෝමස් සහ බර්ට් අතර තවත් එක් අපූරු කතා බහක් සිදුවෙනවා. ඒ තමයි ඇමෙරිකා යන්න ඔන්න මෙන්න කියල තෝමස් බර්ට් ගෙන් අහනවා ඔයාට ඔය වේග වාර්තාව කඩන්න පුළුවන් වෙයිද කියල. එහෙම කියල තෝමස් කියනවා එයාගේ තාත්ත නම් එහෙම හිතන්නේ නැහැ කියල. මොකද එයා කොහොමත් ඉහල සිහිනයක් තිබ්බ කෙනෙක් නෙවෙයි. එහෙම කියල තෝමස් කියනවා ඉන්වකාගිල් ගමේ කවුරුත් එහෙම විශ්වාස කරන්නේ නැහැ කියලත් තාත්ත කියනවා කියල. එතකොටම කැමරා ක්ලෝස් අප් එකෙන් බර්ට්ගේ මුහුණට පොඩි දුකක් එනවා චිත්‍රපටකරු පෙන්නනවා. ඒත් එක්කම තෝමස් කියනවා 'මම එහෙම හිතන්නේ නැහැ' කියල. ඒ කියන්නේ බර්ට් ගේ ආත්මයට සමීපවම හිටපු කෙනා හැටියට තෝමස් දන්නවා බර්ට් කියන්නේ කොච්චර ලොකු ආත්ම ධෛර්යයක් තියන කෙනෙක් ද කියන එක. ඒ කියන්නේ බර්ට් ගැන හොඳම රීඩින් එක තිබිලා තියෙන්නේ තෝමස් ට.
බර්ට්ස් ගේ ගමේ බැංකු පෙම්වතිය පවා බර්ට් ගේ මේ සිහිනය ගැන ලොකු විශ්වාසයක් තිබ්බ කෙනෙක් නෙවෙයි. එයා උදව් කළාට, ලඟින් හිටියට තෝමස් නම් කුඩා දරුවට තිබ්බ ආත්මීය අවබෝධය එයාට තිබ්බේ නැහැ. යන්න පිටත් වෙන මොහොතේ බර්ට් අහනවා ඒ පෙම්වතිය ගෙන් 'ගමේ අයනම් මම ගැන විශ්වාසයක් නැහැ ඒත් ඔයා මොකද හිතන්නේ' කියල. එතකොට එයා දෙන්නෙත් වැනෙන උත්තරයක්. මම විශ්වාස කලත් නැතත් ඒකෙන් වැඩක් නැහැ බර්ට් වගේ එකක්. එහෙම දෙකට වැනෙන උත්තරයක් කියවෙන්නේ අර ඓන්ද්‍රීය අවබෝධය නැති නිසා.
ගමෙන් යන්න ඔන්න මෙන්න කියනකොට ම එනවා ඔන්න ගමේ කොල්ලෝ සෙට් එක. අර එක පාරක් බර්ට් ට අභියෝග කල මදාවියෝ ටික. උන් ඇවිල්ලා දෙනවා පොඩි මුදලක් බර්ට් ට. ඒ එක්කම ගමෙන් එළියට යනකම් ම උන් සෙට් එක බර්ට් ගේ කාර් එක එක්කම යනවා හරියට ආචාර පෙළපාලියක් යනවා වගේ. බයිසිකල් පිස්සෝ හැටියට උන් එදා වැල්ළේ දී දැන ගත්තා බර්ට් ගේ බයිසිකල් එකේ තරම. යන්න කලින් එයාල කියනවා ඇමෙරිකාවට පෙන්නපන් නවසීලන්ත කාරයන්ටත් ඉගිලෙන්න පුළුවන් කියන එක කියල.
අර්නස්ට් හෙමිංවේ තමයි වයෝවෘද මිනිසුන් ගේ සැඟවුණු ධෛර්යමත් ආත්මය ලෝකයට චිත්‍රණය කළේ. ඉතින් බොන්විල් ලුණු තලාවේ තරඟ සංවිධාකයින් එකතු වෙලා බර්ට් ට ලොකු පිළිගැනීමක් අරන් දෙනවා. පවත්නා පිළිවෙල උල්ලංඝනය කරලා එයාට තරඟ කරන්න අවස්ථාව ලබා දෙනවා. එයාල බර්ට් ඒ වසරේ ක්‍රීඩකයා ලෙස තෝරා පත් කර ගන්නවා.
ඇමෙරිකන් ආගමන විගමන නිලධාරියා බර්ට් ගේ කතාව අහල එයාව පිළිගන්නේ 'අපි ඔබව ගෞරවයෙන් මේ රටට පිලිගන්නවා' කියල. ඒ සියලු දෙනා බර්ට් ට දීපු ගෞරවය වෙනුවෙන් එයා ප්‍රතිචාර දක්වන්නේ ඇමෙරිකානු බොන්විල් ලවණ තලාවේ 1000cc කාණ්ඩය වෙනුවෙන් වන නව ලෝක වාර්තාවට හිමිකම් කියල. ඒ වාර්තාව අදටත් එහෙමමයි.
ඇමෙරිකා යන්න සල්ලි නැති නිසා ඉන්න ගේ පොඩ්ඩ උකස් තියන්න බැංකුවට ගිය වෙලාවේ එතන සේවිකාවක ගේ නම 'ස්ප්‍රින්ෆීල්ඩ්' කියල ලියල තියනවා දැකල බර්ට් කියනවා ලෝකේ හොඳම මෝටර් සයිකල් හැදුවේ ඇමෙරිකාවේ ස්ප්‍රින්ෆීල්ඩ් වල කියල. ඒ තමයි එයාගේ ජිවිතේ ට නම් ගම් අර්ථවත් වෙන ආකාරය. තමන් ආදරය කරන දෙය එක්ක තමයි ලෝකය අර්ථවත් වෙන්නේ. අනිත් දේවල් නිකම් දැනුමක් විතරයි.
ලෝක වාර්තාව තියල එයා තෝමස් ට තමයි මුල්ම දුරකතන ඇමතුම දෙන්නේ. ඒ තොරතුර එයා බෙදා ගත්තේ එයාට හිටපු එයාව තේරුම් ගත්ත ඇත්ත ම ඇත්ත ඓන්ද්‍රීය මිතුරා එක්ක. 'ඔව් තෝමස්, මම ඒ ලෝක වාර්තාව තිබ්බා. ඇය තමයි ලෝකේ වේගවත්ම බයිසිකලය'. ඒක තමයි බර්ට් සහ මේ බයිසිකලය අතර ආත්මීය සම්බන්දය.
එකම එක බලාපොරොත්තුවක් වෙනුවෙන් විශ්වාස කරන්න
එකම එක බලාපොරොත්තුවක් වෙනුවෙන් විශ්වාස කරන්න
බර්ට් එයාගේ ඉන්වකාගිල් කියන ගමේ නම ලෝක ගෝලයේ සදා නොමැකෙන අයුරින් සනිටුහන් කළා. ආශාවේ අවසානය තෙක් ගියා. බලාපොරොත්තු අහිමි කරගත්ත දහස් ගණනක් අතර උනත් එකම එක බලාපොරොත්තුවක් වෙනුවෙන් විශ්වාස කරන සහ ඒ වෙනුවෙන් සටන් කරන එකම එක මිනිහෙකුත් ඇති දුර ගමනක් යන්න. ඒකට වයස අදාල වෙන්නේ නැහැ. බලන්න ඕනි කොච්චර හයිය හීනයක් තියනවද කියන එක විතරයි.
(ලෝකයේ සියළු සම්භාව්‍ය මෝටර් සයිකල් පිස්සන් වෙනුවෙන්)
Post a Comment