වසංගත අර්බුදයකට අතිරේකව රට ව්‍යවස්ථා අර්බුදයක් කරා




- වික්ටර් අයිවන් - 




වසංගත තත්ත්වය - වර්ගභේදය හා ආගම්භේදය

දරුණු වසංගත තත්ත්වයක් ඇතිව තිබියදී එය නොසලකා රටේ ජන සමාජය තුළ වර්ධනය වෙමින් තිබෙන වර්ගභේදය හා ආගම් භේදය එම වසංගත තත්ත්වය පාලනය කරගැනීමට තිබෙන හැකියාව දුර්වලකොට වසංගත තත්ත්වයෙන් රටට සිදුවන හානිය වර්ධනය කිරීමට හේතුවෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. වසංගත තත්ත්වය ඇතිවීමෙන් පසුව හිස ඔසවමින් තිබෙන වර්ගභේදය හා ආගම්භේදවාදී රැල්ල ස්වාභාවිකව ඇතිවූ දෙයකට වඩා හිතා මතා ඇති කොට පවත්වාගෙන යන තවත් වසංගතයක් ලෙසද සැලකිය හැකිය. ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී වර්ගභේදවාදී හා ආගම්භේදවාදී ආවේගයන් ඉස්මතුවීමක් සිදු නොවීය. වර්ගභේදවාදී හා ආගම්භේදවාදී ආවේගයන්ගෙන් තොරව පොදු ජාතික හැඟීමකින් යුතුව රටේ ජනතාව ඊට මුහුණ දුන්නේය. වසර 15ක් තරම් කාලයක් තුළ ලංකාවේ සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන විකෘතියේ තරම අතිවිශාලය.

19 වැනි සංශෝධනය

වසංගත තත්ත්වය රටේ ආණ්ඩු පාලනය විකෘති කිරීමට හේතුවී තිබෙනවා සේ ම රටේ ආණ්ඩුක්‍රමය රටේ පවතින වසංගත පාලනයද අවුල් කිරීමට හේතුවී තිබේ. 19 වැනි සංශෝධනය හා එය නීතිගත කෙරුණු ආකාරයේ ලොකු දෝෂ තිබුණද මොන මොන හේතු නිසා හෝ එය විරුද්ධ පක්ෂයේද සහාය ඇතිව ජනාධිපති බලතල විෂයයෙහි ලොකු වෙනස්කම් ඇති කිරීමට හේතුවූ ව්‍යවස්ථා සංශෝධනයක් බවට පත්විය. ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණ වූයේ ජනරජයේ මුදල් බලය හැර රාජ්‍යයේ ජනාධිපතිවරයා හිමිකරගෙන සිටි අනිකුත් බලය ඔහුගෙන් ඉවත් කොට ජනාධිපතිවරයාගේ භූමිකාව නාමමාත්‍රික තත්ත්වයට පත්කොට ඒ බලය නැවත පාර්ලිමේන්තුව සතු කිරීමය. ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගන්නා අවස්ථාව වන විට විධායක ජනාධිපති ක්‍රමය නමැති ආයතන ක්‍රමය අන්ත දූෂිත තත්ත්වයකට පත්ව තිබුණා සේ ම පාර්ලිමේන්තු ක්‍රමය නමැති ආයතන ක්‍රමය තිබුණේද අන්ත දූෂිත තත්ත්වයකය. ජනාධිපති බලරහිත කොට ජනාධිපති සතුව තිබූ විධායක බලය පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ පැවති දූෂිත ව්‍යුහයන් එම තත්ත්වයෙන් මුදාගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් තොරවය. එය එම ව්‍යවස්ථා සංශෝධනයේ දර්ශනයට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකිය. ඒ ගැන වන මගේ විවේචනය මා ඒ කාලයේදීම පළකරනු ලැබුවත් එම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටියවුන් ඒ මගින් සිදුවන්නට යන බරපතළ වරද නිවැරදි කිරීමක් කළේ නැත. යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වූයේ ජනාධිපති සතුව තිබූ බලතල ඉවත් කොට ඒ බලය පාර්ලිමේන්තුවට ලබාදීම මිස රාජ්‍ය බලය වෙලාගෙන තිබුණ දූෂිත ව්‍යුහයන්ගේ විපර්යාසයන් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ නොවීය.

සාමාන්‍යයෙන් නාමික ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ අගමැතිගේ නිර්දේශය මත හෝ සීමිත ඡන්ද බල මණ්ඩලයක ඡන්දයෙනි. එහෙත් 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ක්‍රමයේ වෙනසක් ඇති නොකළේය. විධායක බලය අහිමි කළ නාමමාත්‍රික ජනාධිපතිවරයා තෝරා පත් කරගත් ක්‍රමය වූයේද පරණ ක්‍රමයට එනම් මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා මහජන ඡන්දයෙනි. එයද එම ව්‍යවස්ථා සංශෝධනයට ආවේණික බරපතළ දෝෂයක් විය. ජනාධිපති බලතල විෂයෙහි ඇති කර තිබූ මෙම විපර්යාසය කවර හේතුවක් නිසා හෝ මහජන සාකච්ඡාවකට ලක් කිරීමක් සිදු නොවීය. මොන හේතුවක් නිසා හෝ කිසිදු දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් ඒ ගැන රටට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේ නැත. මොන හේතුවක් නිසා හෝ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන්ද ඒ ගැන කිසිවක් කතා කළේ නැත. ඒ නිසා බලතල විෂයෙහි ඇතිව තිබූ එම වෙනස ගැන සමාජය දැන නොසිටියා සේ ම දේශපාලකයන්ට පවා ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණි. ඒ නිසා ඒ ගැන මහජනතාව පමණක් නොව දේශපාලනඥයන්ද දැන සිටියේ විධායක ජනාධිපති සතුව තිබූ බලතලවල 19 වැනි සංශෝධනයෙන් කිසියම් වෙනසක් ඇති කර ඇතත්, තවදුරටත් විධායක බලය තිබෙන්නේ ජනාධිපතිට බවය.

ඒ ගැන වන ව්‍යාකූලභාවය කොතරම් ඉහළ මට්ටමක පැවැතියේද කියතොත් පූර්ව නාමයෝජනා කාලයේදී ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන දේවල් ගැන කියන කතා මගේ පුදුමයට හේතුවී විධායක බලයක් නැති ජනාධිපතිවරයෙකු එවැනි පොරොන්දු දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ලිපි කිහිපයක්ම ලියන්නට මට සිදුවිය. ඊළඟ ජනාධිපති විධායක බලයක් නැති නාමමාත්‍රික ජනාධිපතිවරයෙකු බව අවධාරණය කරන පළමු සමාජ දේශපාලන සංවාදය එය වී යැයි කිව හැකිය. ඉන්පසු ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි විශාරදයෙකු ලෙස සැලකිය හැකි නිහාල් ජයවික්‍රම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විග්‍රහ කරමින් ඊළඟ ජනාධිපතිවරයාට විධායක බලයක් නැති බව හා ඔහු ජනාධිපති විලියම් ගොපල්ලවට සමාන නාමමාත්‍රික ජනාධිපතිවරයෙකු බව පෙන්වා දෙන ලිපියක් ලියා පළ කරන ලද අතර එය ව්‍යවස්ථා සම්පාදන විෂයට සම්බන්ධ උගතෙකු 19 වැනි සංශෝධන නිවැරදි ලෙස පැහැදිලි කිරීමක් කළ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහුගේ එම කරුණු පැහැදිලි කිරීම පවා දේශපාලන තලයේ හා මහජනයා අතර ඒ පිළිබඳව පැවති ව්‍යාකූලභාවය මුළුමනින් දුරු කිරීමට හෙතු වූයේ නැත.

වර්ගවාදය කරළියට ඒම

2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ පරාජය එම පක්ෂයේ සිංහල ආධාරකරුවන් අන්ද මන්ද කිරීමට හේතුවිය. එය ඔවුන් දැක්කේ දකුණේ සිංහල සුළු පිරිසක් සුළු ජාතීන් සමග එකතු වී සිය නායකයා පරාජය කළ අවස්ථාවක් වශයෙනි. එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළකීමට නම් සිංහල ඡන්ද බලයෙන් පමණක් බලය දිනාගත හැකි ක්‍රමයක් ගැන අවධානය යොමු කරන්නට එම දේශපාලන බලවේගයේ න්‍යායවාදීන්ට සිදුවිය. සිංහල වර්ගයා අවධි කරන්නට නම් බලවත් සතුරකු කරළියට ගැනීම අවශ්‍ය බව ඔවුන් දැන සිටියේය. ඒ සඳහා පෙර යොදා ගනු ලැබූ පරණ සතුරා (ප්‍රභාකරන් සංකේතවත් කළ දෙමළ ජනයා) පරාජය කර ඇති බැවින් අලුත් සතුරකු කරළියට ගැනීමේ අවශ්‍යතාව ඔවුන් තේරුම් ගෙන තිබුණා විය යුතුය. මුස්ලිම් සතුරෙකු කරළියට ගැනුණේ එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාය.

බෙදුම්වාදී යුද්ධයේදී මුස්ලිම් ජනයා සුළු ජාතියක් ලෙස සලකා ප්‍රභාකරන්ගේ පැත්ත ගත්තේ නම් ප්‍රභාකරන් පරාජය කිරීම මහා දුෂ්කර දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එහෙත් ප්‍රභාකරන්ගේ එම අරගලයේදී නැගෙනහිර මුස්ලිම් ජනයා පෙනී සිටියේ දෙමළ බෙදුම්වාදයට එරෙහිවය. ඒ වෙනුවෙන් මුස්ලිම්වරුන්ට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවූ අතර උතුරේ ජීවත් වූ මුස්ලිම් ජනයා එම ප්‍රදේශවලින් පලවා හරින ලදි.

මුස්ලිම්වරුන්ට අදාළ ඒ සියල්ල අමතක කොට සිංහලයන් තුළ මුස්ලිම්වරුන් කෙරෙහි වෛරයක්ද, පිළිකුලක්ද ඇති කිරීමට හේතුවන බිහිසුණු කතා නිර්මාණය කොට ඒවා සමාජගත කිරීමක් සිදුවිය. සමාජ ගත කරන ලද කතා අතර සිංහලයන් වඳ කිරීම සඳහා යොදා ගැනෙන වඳ බෙහෙත් කතාව ප්‍රභලව බලපෑමක් ඇති කළ කථාවක් ලෙස සැලකිය හැකිය. යහපාලන ආණ්ඩුව එම මුස්ලිම් විරෝධී ප්‍රචාරක වැඩසටහනේ කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේ නැතත්, එම ප්‍රචාරක වැඩසටහනට එරෙහිව ක්‍රියාකිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් මගින් ඊට ආධාර කළේය.

මුස්ලිම් අන්තවාදී තරුණ කණ්ඩායම් විසින් පාස්කු ඉරිදාවක මරාගෙන මැරෙන පහරදීම් ගණනාවක් සිදු කළේ කතෝලිකයන් හා ක්‍රිස්තියානින් එල්ල කොටගෙන වුවත්, එම බිහිසුණු සිද්ධිය සිංහල ජනයා අතර වපුරමින් තිබූ වෛරසහගත ආකල්ප උපරිම තත්ත්වයකට වර්ධනය කිරීමට හේතුවිය. එය ගෝඨාභය රාජපක්ෂට සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් ඇතිකර දුන්නේය.

අපේක්ෂාවේ අවුල

ගෝඨාභය රාජපක්ෂ පරම බලය ඇති එකම නායකයා බවට පත්කර ගනිමින් සිංහල බෞද්ධ අපේක්ෂාවන්ද ආරක්ෂා කරගනිමින් ලංකාව, සිංගප්පූරුව වැනි දියුණු රටක් බවට පත් කරගැනීම ගෝඨාභය දේශපාලන කරළියට ගේන සිංහල බෞද්ධ ව්‍යාපාරයේ නියමුවන්ගේ පරම අභිලාෂය යැයි කිව හැකිය. එහෙත් එම අභිලාෂයේ අවුලක් තිබුණු අතර 19 වැනි සංශෝධනය ජනාධිපතිට තිබූ බලය අහිමි කොට ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත් කොට තිබූ බව, ඒ සියලු දෙනා හෝ දැන සිටියේ නැත.

සිංහල බෞද්ධ බලවේගයන් අපේක්ෂා කළ ආකාරයටම දෙමළ, මුස්ලිම් සහායක් නැතිව සිංහල බෞද්ධ ඡන්ද මත පමණක් පදනම් වී අතිවිශාල ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගෝඨාභ‍ය රාජපක්ෂ සමත් වුවත් ජයග්‍රාහකයා අතට පත්වූයේ විධායක බලයක් නැති ජනාධිපති තනතුරකි. ජනාධිපතිට හිමි බලයේ සමානත්වය සඳහා නව ජනාධිපතිවරයා බලයට පත් කරන ක්‍රියාවලියේ නියමුවන් වශයෙන් ක්‍රියා කළ වූවන්ට පවා අවබෝධයක් ඇති කර ගැනීමට හැකිවූයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය.

පළමුවෙන් ඇතිකරගෙන තිබුණු අපේක්ෂා බිඳ වැටීමෙන් පසු ඔවුහු නැවත අලුත් අපේක්ෂාවන් ඇතිකර ගත්තෝය. එනම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ජනාධිපතිවරයාට පක්ෂපාත වියතුන්ට බර තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තවුක් ඇති කරගනිමින් 19වැනි සංශෝධනය අහෝසිකොට ජනාධිපතිට පරමබලය ලැබෙන පරණ ක්‍රමය ස්ථාපිත කිරීමය.

ජනාධිපතිවරණයෙන් පසු පරාජිත පිල තමන්ට තිබූ ආණ්ඩු බලය අත්හැර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු ජයග්‍රාහී පිලට ආණ්ඩු බලය ලබා දුන්නේය. එය මැතිවරණය තෙක් පවත්වාගෙන යන තාවකාලික භාරකාර ආණ්ඩුවක් වීම හේතු කොටගෙන අයවැයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවූවත් මැතිවරණය තෙක් පාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වියදම් අනුමත කරගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරගැනීම අත්‍යවශ්‍ය විය. ඒ සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සහිත යෝජනාවක් ඉදිරිපත් කරනු ලදුවත් විරුද්ධ පක්ෂය එය පරාජය කරනු ඇතැයි කියන බිය නිසා ආණ්ඩුව එම පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කර ගත්තේය. එහෙත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කරන බව ප්‍රකාශ කරන තර්ජනයක් විපක්ෂය විසින් කර නොතිබුණි. ඒ නිසා ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාමට සිදුවී තිබුණේ ව්‍යවස්ථානුකූලව වෙන් කළ මුදල් නැතිවය.

ව්‍යවස්ථා අර්බුදය

පාර්ලිමේන්තුව එහි කාලය සම්පූර්ණ කරන්නට පෙර විසුරුවා හැරීම කෙරෙහි මුදල් අනුමත කරගෙන නොතිබීමේ ප්‍රශ්නය ද බලපා තිබුණි. ජනාධිපතිවරයා ජාතිය අමතා කරන ලද කතාවේදී ඒ ගැනද කතා කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය තමාට වැදගත් නොවන බවත්, එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර නාමයෝජනා භාරගැනීමෙන් පසු රටේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ බලය තමන්ට ලැබෙන බවත්, එය ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා ඉතා අවශ්‍ය දෙයක් බවත් ජනාධිපතිවරයා එහිදි කියා සිටියේය. ජනාධිපතිවරයාගේ මතය නිවැරදිය. එහෙත් ව්‍යවස්ථාව අනුව ඒ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ අප්‍රේල් 30 වැනිදා දක්වා පමණය.

ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා නියම කරන ලද දිනයේදී (මාර්තු 18) නාමයෝජනා ලබා ගත්තද මැතිවරණය සඳහා නියම කර තිබූ දිනය (අප්‍රේල් 25) ඇතිවී තිබුණ වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දිනය ලෙස පිළිනොගෙන මැතිවරණය කල් දැම්මේය. ඉන්පසු මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට යවන ලිපියක් මගින් මැයි මාසයේ අගද මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බැවින් කඩිනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීම් ලබාගැනීම සුදුසු බවද දැනුම් දුන්නේය. එය මැතිවරණ කොමසාරිස්වරයාට ඒ අවස්ථාවේදී ගත හැකිව තිබුණු හරි තීරණය ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාවේ 70 (7) යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකිය. සැකයක් හෝ නොපැහැදිලිභාවය තිබෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසිය යුතුය.

එහෙත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කැමති බවක් පෙනෙන්නේ නැත. අධිකරණයෙන් කරුණු විමසන්නට කැමති බවක්ද පෙනෙන්නට නැත. ව්‍යවස්ථාවේ 76 (1) යටතේ පාර්ලිමේන්තුව සතුව තිබෙන ව්‍යවස්ථාදායක බලය ඉවත් කිරීම හෝ අන් සතු කිරීම කළ නොහැකිය. වසංගතය තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය කවදා පැවැත්විය හැකිද යන්න පැහැදිලි නැත. කවදා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන තෙක් ආණ්ඩුවේ කටයුතු කරගෙන යාමේ බලයක් ව්‍යන්‍ස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී නැත. ඒ සඳහා බලය ලබාදී තිබෙන උපරිම කාලය මාස තුනකි. ඒ බලය අප්‍රේල් 30 වැනිදායින් අවසන් වේ. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් ලබාදී මගපෙන්වීම් නොසලකා ක්‍රියා කරන තැනකට ගියහොත් කොරෝනා වසංගතය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදයට අතිරේකව ව්‍යවස්ථා අර්බුදයක්ද ඇතිවීම වැළකිය නොහැකිය.

ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වැළැක්වීම

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව යළි කැඳවීමකට කැමති නැත්තේ පාර්ලිමේන්තුවේ, බහුතර බලයක් ආණ්ඩුවට නැති නිසාය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමකින් පසු විපක්ෂය නැවත ආණ්ඩු බලය ලබා ගන්නා තැනකට ගියහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැන ලොකු කනස්සල්ලක් ආණ්ඩුවට තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර එය සාධාරණ සැකයක් ලෙසද සැලකිය හැකිය.

ව්‍යවස්ථානුකූල නොවන හිතුවක්කාරී පාලනයක් ස්ථාපිත වීම වැළකීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක් වන අතර රටේ බිහිසුණු වසංගත තත්ත්වයක් තිබියදී බලය සඳහා කුළල් කා ගන්නා තත්ත්වයක් පොදු යහපතට හේතුවන්නේ නැත. ආණ්ඩුව පාර්ලිමේන්තුව නොකැඳවන්නේ බහුතර බලයක් නැතිකම නිසා ඇති කරගත් බිය නිසා නම් ඒ බිය නැති කිරීම සඳහා විරුද්ධ පක්ෂයට ආණ්ඩුවට සහතිකයක් දිය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සහායදීමට පොරොන්දු විය හැකිය.

ඇතිවී තිබෙන වසංගතය මිනිසුන්ගේ ජීවිතයත් මරණයත් තීන්දු කරන සෞඛ්‍ය ප්‍රශ්නයකට සීමාවූ අර්බුදයක් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. එහි ආර්ථික පැත්තක්ද පවතී.රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග බිදවැටී තිබේ. ලක්ෂ ගණනකට ඔවුන් ගේ ජීවන මාර්ග අහිමි කිරීමට නියමීතය. මෙම දැවැන්ත අභියෝගය ජයගැනීම සදහා දේශපාලන ඒකාග්‍රතාවක් ඇතිකර ගැනීම අවශ්‍ය වනවා සේම වාර්ගික හා ආගමික වශයෙන්ද ඒකාග්‍රතාවක් ඇති කර ගැනීම අවශ්‍ය ය. මෙම අර්බුදය අවසන් වනතෙක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය. පාර්ලිමේන්තුව නැවත කැදවිය යුතුය. ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂයද මෙම අර්බුදය අවසන් වනතෙක් දේශපාලන බල පොරය අත් හල යුතුය.ඒ ගැන දෙපක්ෂයම ප්‍රසිද්ධ ප්‍රකාෂයක් කලයුතුය. ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්වය ඉදිරියේ පාර්ලිමේන්තුවේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට අවහිර නොකොට සහාය දෙන පිලිවෙතක් අනුගමනය කල යුතුය. ඒ සදහා විරුද්ධ පක්ෂය ආණ්ඩුවට සහතිකයක් දිය යුතුය. තීන්දු ගැනීමේ ක්‍ර‍යාවලිය පටු දේශපාලන රාමුවක සිර නොකට පුලුල් ජාතික රාමුවකට ගෙනා යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී ව ක්‍රියා කරන මහජනයාට විනිවිදව පෙනෙන හා මහජනයාට වග කියන ක්‍රියාවලියක් විය යුතුය. ප්‍රශ්නයේ සෞඛ්‍ය පැත්ත පමණක් නොව ආර්ථික හා සමාජ පැතිද සලකා බලන තැනකට යායුතුය. සිදුවන හානි අවම කරගන්නා අතර ලංකාවට නැගිටීමට මෙම අර්බුදය අවස්ථාවක් කරගැනීම වැදගත් අරමුණක් කර ගත යුතුය.