කොවිඩ් මර්දනයට ආගමික විශ්වාසයන් බාධාවක්ද ?



- පාඨලී චම්පික රණවක -


කොවිඩ්-19 වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සමග විවිධ ආගමික විශ්වාසයන්ද ගැටෙමින් ඇත. ඊශ්‍රායලයේ සාම්ප්‍රදායික යුදෙව්වන් වාසය කරන ප්‍රදේශයක් Lock Down කර ගැනීමට බලධාරීන්ට මහත් අරගලයක් කරන්නට සිදුවිය. කොරියාවේ රෝග ව්‍යාප්තියට හේතුවක් ලෙස එහි කිතුණු නිකායක් සිදුකළ යාඥා දේව මෙහෙයක් හඳුන්වා දී තිබිණි. ඉන්දියාවේ හා පාකිස්ථානයේ පවත්වන ලද තබ්ලික් ජමාත් සමුළුවලින් පසු රෝග ව්‍යාප්තිය උග්‍ර වූ බවට සංඛ්‍යාලේඛණ ඇත. (ශ්‍රී ලංකාවේද තබ්ලික් ජමාත් දිල්ලි සමුළුවට ගිය රෝගීන් හමුවිය) විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකු කොවිඩ් රෝගයෙන් මියගිය විට ඔහුගේ දේහය වල දැමීම වෙනුවට ආදාහනය කිරීම ගැන විවාදයක් ඇතිවී ඇත. මේ පිළිබඳව සිංහල - මුස්ලිම් ජනයාට පැහැදිලි කිරීමක් කරදීම ගැන මුර්ෂික් නම් මවුලවිතුමාට මම ස්තුතිවන්ත වෙමි. සුවිශේෂී තත්වයන් මත අන් අයගේ සෞඛ්‍ය තත්වයට හානිවන ආකාරයට ආගමික ඇදහීම් හෝ අවසන් කටයුතු පවා සිදු නොකළ යුතු බව ඔහු රූපවාහිනී නාලිකාවකට පැමිණ පැවසීය. මේ පිළිබඳව අප වඩාත් බුද්ධිමත්ව බැලිය යුතුය.

පළමුව අපගේ සතුරා තවත් මානවයෙකු හෝ අඩුම තරමින් සත්වයෙකු‍ හෝ නොවේ. වෛරසයක් යනු ජීව-අජීව දෙක අතර පවතින ජාන ක්‍රියාවලියකි (අඩු තරමින් ඒක ශෛලිකයක් හෝ නොවේ) එමෙන්ම, වාහකයෙකු සමග ව්‍යාප්ත වන ක්‍රියාදාමයකි. ඉතින් ඔවුනට මානවීය ගුණධර්ම හෝ ආගමික සදාචාරයන්ට අනුව ක්‍රියා කරන්නැයි ඉල්ලා සිටිය නොහැකිය. (ඇතැම් රෝග වලට ජානමය ප්‍රතිකාර (Gene Therapy) කරලීම සඳහා විද්‍යාඥයින් ඇතැම්විට වෛරසයන්, වාහකයන් ලෙස යොදා ගන්නා අවස්ථාද ඇත.)

දෙවැන්න, කොවිඩ්-19 වාහකයාත්, ආසාදිතයාත් මරණයට පත් වන්නාත් මානවයා නමැති (හෝමෝ සේපියන් නම් වූ) සත්වයාය. එහිදී ද ඔහුගේ භාෂාව, ඇදහිල්ල හෝ සංස්කෘතිය අදාල නැත. සත්වයෙකු ලෙස වසර ලක්ෂ ගණනක් (සියළු භාෂා හා ආගම් බිහි වන්නට පෙර) පරිනාමය වූ සිරුර ආසාදිත වන අතර, සුව වන්නේද සිරුර විසින්ම ලබා ගන්නා ප්‍රතිශක්තියකිනි. ඒ නිසා මේ සඳහා ප්‍රතිකාර කළ හැක්කේ මානව වර්ගයාම එක ලෙසට ගනිමිනි.

තුන්වැන්න මානවයාට බොහෝ පොදු ශාරීරික සමානකම් තිබුණද සියුම් ශාරීරික වෙනස්කම් ඇත. එබැවින් ඇතැම් අය කොවිඩ් රෝගයට ඔරොත්තු දෙන අතර, තවත් අය මිය යති. එමෙන්ම, එයට වඩා පුළුල් ජාතික, ආගමික, සංස්කෘතික දේශපාලන මතවාද වෙනස්කම් පවතී. කොවිඩ්-19 මර්ධනයේදී මානවයාට ප්‍රමුඛත්වය දෙන අතර, ඔහුගේ ඉහත කී විවිධත්වය හැකිතාක් දුරට ආරක්ෂා කර ගැනීමද අපගේ වගකීමය.

බටහිර ලෝකයේ කාලයක් පැවති අදහසක් වූයේ මානවයා අතර උසස් ශාරීරික තත්වයන් සහිත (ජාන වලින් උසස්) උසස් සංස්කෘතික තත්වයන් සහිත සුවිශේෂී ප්‍රජාවන් වාසය කරන බවය. බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, ජර්මනිය හා රුසියාව පවා මෙවන් සුවිශේෂී රෝගාබාධ නැති උත්තර මානවයෙක් තම ජාතිය තුළසිටින බව විශ්වාස කළෝය. ලෝකයේ අධිරාජ්‍යවාදී කොල්ලයටත්, යුරෝපා යුද්ධ වලටත් (පළමු හා දෙවැනි ලෝක සංග්‍රාම) හේතු වූයේ එම චින්තනයයි (Eugenics).

නමුත් දැන් ලෝකය වටහාගෙන ඇත්තේ එවැනි සුවිශේෂී ශාරීරික උත්තර බවක් (උසස් බවක්) කිසිදු ජන කණ්ඩායමකට නැති බවය. විවිධත්වය පමණක් පවතින බවය. එහෙයින් අපි ලෝකයක් ලෙස, රටක් ලෙස කොවිඩ්-19 මර්ධනය කළ යුතුය. තමන්ගේ ශ්‍රේෂ්ඨ ජාතීන්ට කොවිඩ්-19, සාමූහික ප්‍රතිශක්තිය (Herd Immunity) මගින් මර්ධනය කළ හැකි යැයි සිතූ බ්‍රිතාන්‍ය, ස්වීඩනය, නෙදර්ලන්තය පවා දැන් පොදු වැඩපිළිවෙලකට පැමිණ ඇත්තේ ඒ නිසාය.

කොවිඩ්-19 නිසා අපි අපගේ ජාතික, ආගමික හෝ දේශපාලනික වෙනස්කම්, ඇදහීම් අත්හැර දැමිය යුතු නැත. නමුත්, රෝගය මර්ධනය කිරීමට නම් අප සැම ජීවත් වීමට නම්, අනාගතයේ බහු ඇදහිලි සහිත සමාජයක් පැවතීමට නම් අපි මානවයන් ලෙස විශේෂඥ ක්‍රමවේද අනුව ක්‍රියාකළ යුතුය. ඒ අතරේ හැකි සෑම විටම සමූහයාගේ හා පුද්ගලයාගේ භාෂාව, ආගම, සංස්කෘතිය හා දේශපාලන චින්තනයටද ගරු කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. කොවිඩ් මර්ධනය කරලීමට භාෂාව, ආගම පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයද අවශ්‍ය නැතැයි ලෙස වූ මතයක් පැතිර යමින් පවතී. කොවිඩ් මර්ධනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව අප අමතක කළ යුතු නැත. භාෂාමය, ආගමික වෙනස්කම් මෙන්ම, දේශපාලනමය වෙනස්කම්ද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පිළිගනිමින් කොවිඩ් මර්ධනය සඳහා මානව සමූහයා ලෙස ක්‍රියා කිරීම අපගේ ප්‍රතිපත්තිය විය යුතුය.