- මහේෂ් හපුගොඩ -
කොරෝනා අවදානම් තත්වය පහවෙලා ආපහු කෙමෙන් කෙමෙන් 'සාමාන්‍ය ජන ජීවිතය' වෙත යන්න දැන් මිනිස්සුන්ගේ මනස සුදානම් කරමින් ඉන්න වෙලාවක් මේක. හැම ජන මාධ්‍යයක් ම වගේ 'දැන් කොරෝනා ඉවරයි' කියන බණ පදේ ගහමින් ඉන්නවා. ඒකට පිටිපස්සේ වෙනත් දේශපාලන අරමුණුත් තියන්න පුළුවන්. හැබැයි දෛනික වැඩ වල යෙදිලා ජීවිකාව හොයා ගන්න අයට කොහොමවත් තව දුරටත් ලොක්-ඩවුන් වෙලා ඉන්න බැරි බව ඇත්තක්. රටකට හැමදාම එකතැන පල්වෙන්න බැරි බවත් ඇත්ත. මිනිසුන්ට හැමදාම ගෙවල් අස්සට වෙලා ඉන්න බැරි බවත් ඇත්ත. ඒ කියන්නේ දැන් තියෙන්නේ අන්ත දෙකක් අතර ආතතියක්. ආරක්ෂාව සඳහා ගෙවල් වලට වෙලා තව මාස දෙකක් තුනක් හෝ ඊටත් වැඩි කාලයක් ඉන්නව ද නැත්නම් 'කොහොම හරි' සාමාන්‍ය ජීවිතය වෙත යනවද? දෙපැත්තටම සමාන විදියට හේතු දක්වන්න පුළුවන්.
විශේෂයෙන් කොරියාව, ජපානය, ජර්මනිය සහ චීනය පවා කොරෝනා දෙවන රැල්ලක් ගැන පුරෝකතනය කරමින් ඉන්න නිසා පුද්ගල ආරක්ෂාව ගැන හිතන අයට ලොකු නෛතිකභාවයක් මේ වෙලාවේ තියනවා. මොකද කොරෝනා තත්වය පාලනය කළා කියපු රටවල් මේ වෛරසයේ පුරෝකතනය කල නොහැකි එකවරම මතුවන නැවත සක්‍රීයභාවය ගැන දැන් දැන් බිය පළ කරනවා. විශේෂයෙන් නිශ්චිත එන්නතක් නැතිවීම, ශරීරය තුළ උදාසීන ලෙස තිබී එකවරම නැවත සක්‍රීය වීම, වෛරසයේ සංයුතිය, ව්‍යාප්තියේ වේගවත් බව, එම වේගවත් බවට සාපේක්ෂව අවශ්‍ය වෛද්‍ය පහසුකම් 'ඉතාම දියුණු' කියන රටවල් වලට පවා නොමැති වීම, සමාජ දුරස්ථබව ගැන ඇති පුද්ගල අකමැත්ත වගේ කරුණු මෙතැනදී ප්‍රධාන වෙනවා. ඉතාම දියුණු කියන රටවල් පවා තමන්ගේ වැඩිහිටි ප්‍රජාව යම් විදියකින් 'කැපකරන්න' (homage) මෙතැනදී උත්සාහ කිරීම අප බරපතල ලෙස හිතන්න ඕනි දෙයක්. තරුණ රෝගීන් වෙනුවෙන් මහළු අය කැප කරනවා (හැබැයි අර අවුරුදු සීයක් වෙච්ච බ්‍රිතාන්‍යයේ දෙවන ලෝක යුද්ධ වීරයෙක් බ්‍රිතාන්‍ය වෛද්‍ය සේවයට පවුම් මිළියන විස්සක් හොයනවා). බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාස වල සිදුවූ කණගාටුදායක දේවල් වගේම, ඊයේ හෝ පෙරේදා ජපානයේ වැඩිහිටි කෙනෙක් ඉස්පිරිතාලයක් නැතුව (කිසිම රෝහලකට බාර ගන්නේ නැතුව රෝහල් 38කට ගිහිල්ලා) සිදුවූ ප්‍රශ්නයක් දක්ෂිනාන්සික ප්‍රවෘත්ති ඒජන්සි විසින් ම වාර්තා කිරීම මේ තත්වයට හොඳ නිදසුනක්.
පුද්ගලික අංශයේ රෝහල් නැවත රජය විසින් අත්පත් කරගැනීම, ගෝලීය ලිබරල් වෙළඳ පල පැත්තකින් තියල ඇමෙරිකන් ආණ්ඩුව ජාතික ආරක්ෂක විධි විධාන යටතේ තමන්ගේ නිෂ්පාදන තමන්ගේ රටට ගෙන්වා ගැනීම, බ්‍රිතාන්‍ය ආණ්ඩුව පුද්ගලික රෝහල් රාජ්‍ය සෞඛ්‍ය සේවය වෙත මුදල් ගෙවා නැවත අත්පත් කර ගැනීම වැනි කරුණු විසින් මෙතෙක් අප දන්නා ලිබරල් යථාර්තයන් ආපසු හැරවෙමින් තිබෙනවා. ඉතිං මිනිසුන්ගේ ආරක්ෂාව පැත්තෙන් ගත්තම ලෝකයේ කප් ගහපු දක්ෂිනාන්සික ආණ්ඩු වලට බල කෙරිලා තියනවා ඔවුන්ගේ ම ප්‍රතිපත්ති ගැන නැවත හිතන්න. බ්‍රෙක්සිට් ගැන කතා කරපු බෝරිස් ජොන්සන් ස්තුති කළා තමන් රෝහලේ දි බලා කියා ගත්ත නවසීලන්ත හෙදියට. ලංකාවේ රනිල් වික්‍රමසිංහ පවා ගෝලීයකරණය ගැන දැන් දැන් සැක පළ කරනවා මම අහගෙන.
ඒ අතරම අනික් පැත්තෙන් මිනිස්සු සාමාන්‍ය ජීවිතය නැවත හොයමින් ඉන්නවා. ඊයේ යන්තම් ලොක්-ඩවුන් ලිහිල් කරනවත් සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරළට ආයෙත් මිනිස්සු එකතුවෙන්න පටන් අරගෙන. මුලින් දුර තියා ගත්තත් පස්සේ ඒක එයාලට අමතක වෙනවා. මිනිස් ස්වභාවය ඒක. එයාල බලන්නේ අනෙකාට ලංවෙන්න. පරණ ජීවිතය හොයන්න. බ්‍රිතාන්‍ය යේ 'කොවිඩ් තකතිරුවන්' යනුවෙන් දක්ෂිනාන්සික මාධ්‍ය හඳුන්වන සුපර් මාකට් වලට අත්‍යවශ්‍ය නොවන දේවල් ගන්න එන සුපුරුදු පාරිභෝගික ප්‍රජාව නොනවත්වා වෙළඳ සැල් වලට එමින් පවතිනවා.
ඒ වගේම ආර්ථික සහ නිෂ්පාදන ක්‍රියාවලිය එකතැන ගර්හිත වෙලා. කිසිම විදියකින් ජීවිතය ඉස්සරහට යන්නේ නැහැ. ආපසු සාමාන්‍ය ජීවිතයක් නැතිවෙයි කියල පවා හිතන අරාජක (anarchists) අය මේ වෙනකොට ලෝකය පුරා ඉස්මතු වෙමින් පවතිනවා. සමහරු කියන්නේ ඉදිරි වසර දෙකක කාලයක් ඇතුලේ මේ වෛරසයට එන්නතක් නැතිවෙයි කියල සහ මේ මාරක වෛරසය එක්ක අපට 'ජීවත් වෙන්න' හුරු වෙන්න වෙයි කියල.
එක පැත්තකින් නැවත සාමාන්‍ය ජීවිතයට යන්න තියන බය සාංකා තත්වය, අනෙක් පැත්තෙන් සියල්ල එකතැන නතරවෙලා, ලෝකය එකතැන පල්වෙලා ජීවිතය නවතී කියල හිතන සාංකා තත්වය වගේම මේ දෙකට උත්තරයක් විදියට 'මරණය එක්ක නැවත ජීවත් වෙමු' කියන යෝජනාව තමයි දැන් අපි වටේ තියන තවත් එක විකල්පයන් වෙන්නේ.
නමුත් මේ ඇතිවෙච්ච ආපතික තත්වය වෙනත් සමාජ ක්‍රමයක් ගොඩ නඟා ගැනීම සඳහා යොදාගනිමු කියල යෝජනා කරන කට්ටිය නම් ඉතාම අඩුයි. ඒ කියන්නේ 'ගෙදර ඉඳලා පරිස්සම් වෙමු' කියන අය සහ 'කොහොම හරි වැඩට ගිහිල්ලා සාමාන්‍ය තත්වය නැවත ඇති කරමු' කියන ප්‍රවාද දෙක සංස්ලේෂණය කරලා ඒ දෙකම ඉක්මවා යන අලුත් ප්‍රවාදයක් හදන්න උත්‍සාහ කරන අය නම් ගොඩක් අඩුයි. මම හිතන්නේ කොරෝනා වලින් පස්සේ අනාගතය තියෙන්නේ මේ නිෂ්ක්‍රීය බව සහ සක්‍රීය බව අතර සංස්ලේෂණයක් කරන්න පුළුවන් වුනොත් එතැන. ඒ කියන්නේ අපි නැවත අළුත් විදියකට සාමාන්‍ය වෙන්නේ කොහොමද කියන එක අපි ගැඹුරෙන් සාකච්චා කරන්න ඕනි. මිහිතලයට ගැළපෙන තිරසාර සංවර්ධන මොඩලයක් ගැන අපි හිතන්න ඕනි. මට හිතෙන හැටියට ආයේ පරණ විදියට යක්කු වගේ තරඟෙට බැහැල 'සාමාන්‍ය' වෙනවට වඩා හොඳයි නිකම් ගෙදර ඉන්න එක.
ජෝඩන් පීටර්සන් සමඟ ස්ලාවෝ ජිජැක් කරපු සංවාදයේ දී ජිජැක් කියනවා මම මාක්ස්වාදියෙක් නෙවෙයි, මම හෙගලියානුවෙක් කියල. ඒ වගේම එතැනදී එයා කියනවා එහෙම හෙගලියානුවෙක් කියන්නේ විඥාණවාදී දාර්ශනික පද්ධතියක් එක්ක අනන්‍යවීමක් කියල (හේගල් අයිති වෙන්නේ ජර්මානු විඥාණවාදී ධාරාවට). මෙහෙම කියන්නේ හොඳ භෞතිකවාදියෙක් වගේම විසි එක් වන සියවස වෙනුවෙන් ස්වීය දාර්ශනික ප්‍රවාදයන් (original philosophical hypotheses) ගණනාවක් එකතු කරපු මිනිහෙක් කියන එකත් හොඳින් මතකයේ තියාගන්න.
ඒ සංවාදයේ දී ඔහු මතුකරන වැදගත් කරුණ වෙන්නේ හේගල් අනුසාරයෙන් ඔහු ගෙනෙන එක අදහසක්. ඒ තමයි හේගල් පවසන දර්ශනයේ පවතින අවසන් හිස් බව (final emptiness) පිළිබද අදහස. ඒ කියන්නේ එක් අන්තයක දර්ශනය සිරගත නොකරන එක. පරස්පරතා එක්ක මිනිස් සවිඥාණය තව තවත් සංස්ලේශී වෙනවා මිසක් එක් අන්තයක සිට තවත් අන්තයකට ගමන් කිරීමේ ප්‍රයෝජනයක් නැහැ කියන එක. හේතුව පවතින හැම වෙලාවක ම හිස් බව අනෙක් අන්තයෙන් මතුව එනවා. ඒ හිස් බව ඇතුලෙන් අපි තව මොනවා හරි මතුකර ගත්තත් එයත් අන්තිමට හිස් බව වෙතට ම දුවනවා. '... scepticism must wait to see whether something new comes along and what it is, in order to throw it too into the same empty abyss'.
කොරෝනා තත්වය විසින් බොහෝ දේ කැප කරන්න දැන් හැමෝටම බල කෙරිලා. ආගම, සමාජ සම්බන්දතා, වැඩිහිටියන්, පවුල, රැකියාව, අධ්‍යපනය, ජීවිතය, පුවත්පත්, ජනමාධ්‍ය සහ සමාජ ක්‍රමය යන සියල්ල තියෙන්නේ සැක සහිත තැනක (skeptic position). නමුත් හොඳටම සැකසහිත උනත් මේවා අපි පුර්ණ වශයෙන් කැපකරන්න කැමති නැත්තේ ඊට පස්සේ අපි ඉස්සරහ තියන පරම හිස්බවට (absolute emptiness) අපි බිය නිසා. කොරෝනා වලට වඩා අපි ඒ හිස් බවට බයයි. ඒ හිස් බව නිසා අපි ආයෙත් බලනවා ට්‍රම්ප් ල, බෝරිස් ල, මෝදි ල, ජින්පින් ල මොනව හරි කරයි කියල. එතැනින් ඔබ්බට අපි හිතන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නොහිතන තාක් අපිට ගැලවීමකුත් නැහැ.
ඇත්තටම අපි බිය වෙන්න ඕනි ධනවාදය විසින් ඇතිකරලා තියන අවුල ඇතුලේ වඩාත් හොඳින් පවතින නයෝමි ක්ලේන් කියන 'ව්‍යසන ධනවාදය' (disaster capitalism) ගැන නොවෙයි. ඒ වෙනුවට මේ ව්‍යසනය නිසා පොහොසතුන්ට වඩාත් වාසි සළසන 'ව්‍යසන සමාජවාදයක්' (disaster socialism) මේ කට්ටිය එකතු වෙලා පටන් ගන්න පුළුවන් එක ගැන. එයාලගේ බැරි බැරියාව ඒකෙන් වහගන්න උත්සාහ කරයි.
ඒක නිසා කොරෝනා වලින් පස්සේ අපි ආයෙත් යකඩ මල්ලට ගුල්ලෝ ගහල කියල දැන දැනත් හාල් මල්ල ඔබ ඔබ බලන එක නම් වැඩක් වෙන්නේ නැහැ...
Post a Comment