‘‘ප්‍රභාකරන් පරාජයේදී ගෝඨාභය රාජපක්‍ෂ සාධකය සරත් ෆොන්සේකාටත් වඩා ප්‍රබල වුණා‘‘ - රහීම්


එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි  ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් (ශ්‍රී කුමාර් කනගරත්නම්) වර්තමානයේ ජීවත් වන්නේ කැනඩාවේය​. ඔහු සහ සිංහ රෙජිමේන්තුවේ කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) අතර අපූරු මිතුදමක්ද තිබුණේය​. රහීම් හෙවත් ශ්‍රී කුමාර් කනගරත්නම් තමන්  එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගත කළ කාලය පිලිබඳව මෙසේ මතකය අවදි කරයි. 


සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම් ජයතුංග




ඔබ එල්.ටී.ටී.ඊ  සංවිධානයේ  සාමාජිකයෙක් වුණේ ඇයි ? 

මම ජීවත් වුණේ සිංහලයන් අතර​. මට සිංහල මිතුරන් හිටියා. එහෙත් 1977, 1983 ජාතිවාදී කලබල වලදී මම දැක්කා නිරායුද අහිංසක දෙමල ජනයාට පහර දුන් ආකාරය​. 1977 දී කළුතර පොලිස් අධිකාරී වුණේ මගේ ඥාතියෙක්. එහෙත් ඔහු ද්‍රවිඩ පුද්ගලයෙකු නිසා කළුතර ඔහුගේ නිවසට පවා ජාතිවාදී පිරිස් පහර දීමට ආවා. පොලිස් අධිකාරී කෙනෙක් උනත් ඔහුට තමන් ගේ ගෙදර ආරක්‍ෂා කර ගන්න පොලිස් භටයන් යොදා ගන්න සිදුවුණා. ඒ වගේම මා ආශ්‍රය කළ සිංහල මිතුරන් සමහරක් මගෙන් ඈත්වුණා. සමහරක් මාව හැඳින්වූයේ ‘පර දෙමළා‘ කියලා. මේ නිසා කවදාවත් නොතිබුණු ලෙසට මට මම කවුද ? කියන අනන්‍යතාවය ගැන ප්‍රශ්නයක් ආවා. මට සිංහලයන් සමග ද්වේෂයක් තිබුණේ නෑ. 1983 ජාතිවාදී කෝලහලයේදී කොලඹ අපගේ නිවස බේරාගත්තේ සිංහල අසල්වැසියෙක්. නමුත්, පොදුවේ ද්‍රවිඩ ජනතාව වෙත මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිසා මට එල්.ටී.ටී.ඊ  සංවිධානයට බැඳීමට අවශ්‍ය කෙරුණා.


ඔබ එල්.ටී.ටී.ඊ  සංවිධානයට බැඳුණේ කවදාද ? 

මම එල්.ටී.ටී.ඊ  සංවිධානයට බැඳුණේ 1983 ඔක්තෝබර් මාසයේදී. මහත්තයා හරහා තමයි මම  සංවිධානයට බැඳුනේ. එතකොට මගේ වයස අවුරුදු 16. මේ කාලය වන විට බි‍්‍රගේඩියර් තිස්ස වීරතුංග උතුරේ භීෂණයක් පතුරවමින් හිටියා. 1983 දීම මාව ඉන්දියාවට යවනවා යුද පුහුණුවට. අපිව පුහුණු කලේ ඉන්දියානු හමුදාවේ නිලධාරීන්. ඔවුන් නිල ඇඳුම් අඳින්නේ නොමැතිව සිවිල් පිට තමයි අපිව පුහුණු කළේ. අපේ රහස් කඳවුර තිබ්බේ හිමාචල් ප්‍රදේශයේ. තමිල්නාඩුවේ නොවෙයි. මා සමග ද්‍රවිඩ තරුණයන් 200 පමණ පුරුදු වුණා. අපිට අවි භාවිතය, බුද්ධි අංශයේ කටයුතු, සිතියම් කියවීම වගේ දේවල් ඉගැන්නුවා.  පුහුණුව මාස දෙකහමාරයි. ඉන් පසුව මම ගියා තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ   දේශපාලන කාර්‍යාලයක සේවය කරන්න​.   


එතකොට ඔබ නැවත ලංකාවට එන්නේ කවදාද ?

1984 දෙසැම්බර් වලදී මම හොරෙන් ධීවර යාත්‍රාවකින් ලංකාවට එනවා. මම ප්‍රථම වතාවට යුද හමුදාව සමග සටනට යනවා 1985 පෙබරවාරි 14 දින​. අපි 115 පමණ පිරිසක් කොක්කුලායි හමුදා කඳවුරට පහර දෙනවා. නමුත් අපගේ ප්‍රහාරය අසාර්ථකයි. අපගේ එල්.ටී.ටී.ඊ  සාමාජිකයන් 16 දෙනෙකු මේ ප්‍රහාරයේදී මිය යනවා. ඔවුන් ගේ සිරුරුවත් අපිට ගේන්නට ලැබුණේ නෑ. අපගේ ප්‍රහාරයෙන් පසුව හෙලිකොප්ටරයකින් රවී ජයවර්ධන කොක්කුලායි වලට එනවා. එහිදී ඔහු දකිනවා මිය ගිය එල්.ටී.ටී.ඊ  සාමාජිකයන් ගේ මෘත ශරීර සහ ඔවුන් ගේ අවි. ඒ අතර නයිට් විෂන් පවා තියනවා. මේක දකින රවී ජයවර්ධන කියනවා ‘We are fighting a sophisticated army‘ කියලා. ඉන් පසුව හමුදාව වටහා ගන්නවා ඔවුනුත් නවීන අවි වලින් සන්නද්ධ වීමට අවශ්‍ය බව. 

ඔබ සහභාගී වූ වෙනත් ප්‍රහාරයන්  මොනවාද ?  

අප මන්නාරම පොලිස් ස්‍ථානයට ප්‍රහාර එල්ල කොට මන්නාරම පොලිස් ස්‍ථානය අල්ලා ගත්තා. අප මන්නාරම පොලිස් ස්‍ථානයට ප්‍රහාර එල්ල කරන්නේ 1985 මැයි මාසයේදී. එහිදී අපි පොලිස් භටයන්  දෙදෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා. පසුව ඔවුන් දෙදෙනාව අප යලි රජයට භාර දුන්නා.  මේ ප්‍රහාරයේදී මම තුවාල ලැබුවා. 

ඉන් පසුව අපි යාපනය කොටුවට ප්‍රහාර එල්ල කළා. ඒ වාගේම නිරන්තරයෙන් තිබුණු අවි ගැටුම් වලට සහභාගී වුණා.

ඔබට ප්‍රභාකරන් හමුවී තිබෙනවා නේද ? ඔහු කෙබඳු කෙනෙක්ද ?

මට මුලින්ම ප්‍රභාකරන් හමුුවුණේ ඉන්දියාවේ පුහුණුවට ගිය සමයේ 1983 දී. පසුව ඔහු සමග මම වැඩ කළා. ප්‍රභාකරන් සෞම්‍ය ලෙස කතා කරන කෙනෙක්. හරි පිරිසිදුයි. පිළිවෙලයි. ඔහුට ඉතා හොඳ මතකයක් තිබුණා. ඒ වගේම හොඳ විනයක් තිබූ කෙනෙක්. ඔහු තේ කෝපි වත් බිව්වේ නෑ. බිව්වේ කිරි වගේ පාන​. 1987 අගෝස්තු වලින් පසුව මට ඔහුව හමු වුණේ නෑ.

ප්‍රභාකරන් ගේ වැටීමට හේතු මොනවාද ?

මම හිටපු කාලයේදී වගේ නොවෙයි. පසුව එල්.ටී.ටී.ඊ  සංවිධානය වෙනස් වුණා. ගරිල්ලා සංවිධානයක් නොව රජයක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. 911 වලින් පසුව ලෝකය වෙනස් වුණා. නමුත් ප්‍රභාකරන් වෙනස් වුණේ නෑ. 

ඔබ දකින හැටියට ප්‍රභාකරන්  පරාජය කිරීමේදී  මූලික කාර්‍යභාරය කළේ සරත් ෆොන්සේකාද ? ගෝඨාභය රාජපක්‍ෂද ?

මගේ අදහස අනුව ප්‍රභාකරන්  පරාජය කිරීමේදී  ගෝඨාභය රාජපක්‍ෂ සාධකය සරත් ෆොන්සේකාටත් වඩා ප්‍රබලව ආවා. 

ඔබ ගරු කරන සිංහල යුද හමුදා නිලධාරියා කවුද ? 

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඔහු නියම සොල්දාදුවෙක්. යුද භූමියෙත් විනය රැක්කා. 

එල්.ටී.ටී.ඊ  සංවිධානයේ බහුතරයක් කාඩර්වරු කුල හීනයන්. ඔබ ‘වෙල්ලාල‘ ජාතිකයෙක්. මේ සාධකය කොහොමද බලපෑවේ ? 

මුල් කාලයේදී  වෙල්ලාල ජාතිකයන් පවා ප්‍රභාකරන් වටා එකතු වුණා.  ප්‍රභාකරන් අයත් වුණේ ‘කරයර්‘ කියන කුලයට. නමුත් ඒක අපිට ගැටළුවක් වුණේ නෑ. අපි ඔහුගේ නායකත්වය පිළිගත්තා. නමුත්, පසු කාලයකදී සමහර වෙල්ලාල ජාතිකයන් එල්.ටී.ටී.ඊ  සංවිධානය දෙස බැලුවේ බයෙන් සහ සැකයෙන්. 

යළිත් ඊලාම් යුද්ධයක් ලංකාවේ ඇතිවෙයිද ?

මගේ අදහස අනුව යලිත් ඊලාම් යුද්ධයක් ලංකාවේ ඇති වෙයි කියා හිතන්නට අපහසුයි. මිනිසුන් 30 අවුරුදු යුද්දයකින් හති වැටිලා. බොහෝ ද්‍රවිඩයන් ලංකාව අත හැර ගිහින්. දැන් ද්‍රවිඩයන් ලංකාවේ නියම ලෙසින් සුුළු ජාතියක්. ඉස්සර රජයේ ආයතන වල ලොකු පුටු වල ද්‍රවිඩයන් බොහෝ හිටියා. සිංහල ප්‍රදේශ වල තැපැල් කන්තෝරුවල පෝස්ට් මාස්ටර් පවා වුණේ ද්‍රවිඩ පුද්ගලයෙක්. නමුත් අද ඒ සංඛ්‍යාව බෙහෙවින්ම පහළ ගිහිල්ලා. ද්‍රවිඩයන්ට එදා වගේ සිවිල් බලයක් නෑ. 

ඊලාම් යුද්ධයෙන් පසුව සිංහල ජන මනසේ වෙනසක් ඔබ දකිනවාද ? 

ඔව් මම සිංහල ජන මනසේ ධනාත්මක වෙනසක් දකිනවා. 1977 , 1983 වගේ කාලේ වගේ ද්‍රවිඩ විරෝධයක් බහුතරයක් සිංහලයන් අතර නෑ. ඔවුනුත් යුද්ධයත් සමග වෙනස් වුණා. මම මීට වසර කීපයකට ඉහතදී ලංකාවට ගියාම මේ වෙනස දැක්කා. මේ විදියට සිංහල සහ ද්‍රවිඩ මිනිසුන් සහයෝගයෙන් සිටිනවා නම් ලංකාව සීඝ්‍ර දියුණුවක් ලබයි.