''රටේ පරිසර පද්ධතිය යථාවත් කරන්න අපි සූදානම්'' - අනුර



ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (17) දින උඩවලව කොට්ටවත්ත විලේජ්හිදී ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අවධාරණය කළේ පරිසරය රැකගැනීමට හැකි අන්දමේ සංස්කෘතික වෙනසක් මෙරටට අවශ්‍ය බවයි. 


''අපේ රටේ වෙනස් ක්‍ෂේත්‍රවලින් දිනපතා ව්‍යවසනයක් සිදුවන ක්‍ෂේත්‍රය තමයි පරිසර ක්‍ෂේත්‍රය. ඒත් එයට වැඩි අවධානයට ලක් නොවුණු ක්‍ෂේත්‍රයන් එකයි. හොඳ සූර්යාලෝකය තිබෙන රටක් අපිට තිබෙනවා. රට මැද මධ්‍ය කඳුකරයෙන් රූරා ගලන ගංගා 103ක් ඒ වාගේම අනු ගංගා 94කින් සමන්විත රටක් අපට තිබෙනවා. මේක දිය ඇලි, පොකුණු, විල්, වැව්වලින් සමන්විත රටක්.

අපි පොඩිකාලෙ මේක සුන්දර දිවයිනක් කියල ඉගෙන ගත්තා. ඒත් අපි අපේ ජීවිත කාලය තුළදීම දකිනවා විශාල ලෙස ස්වභාවික විපත් සිදුවෙනවා. අපේ ජීවිත කාලය තුළ අපේ කුඩා කල ඉගෙනගත් දේට පටහැණි දේ අත් විඳිමින් ඉන්නවා. අවුරුදු 71ක් ගිය තැන මේ පාලකයන් අපට ඉතිරිකර තිබෙන්නේ විශාල වශයෙන් පරිසරය විනාශ කරපු රටක්.

විශාල ජල ප්‍රශ්නයකට අපේ රට මුහුණ දීල තියෙනවා. 2014 දී වකුගඩු රෝගයෙන් මිනිසුන් 2147ක් මියගියා. 2015 දී 1901ක් මියගිහින් තිබෙනවා. 2016 දී එම ප්‍රමාණය 1788ක්. වකුගඩු රෝගය නිසා මේ වසර 03 පමණක් 5836 දෙනෙක් මියගිහින්. අද අනුරාධපුර ගිහිල්ල බැලුවොත් වැඩිපුරම තියෙන්නෙ වතුර කඩ. ගෙවල් ගානෙ ඇවිල්ල ලීටර් 05 ක් රු. 40 ගානෙ වතුර විකුණනවා. පැත්තකින් කුණු කඳු කඩන් වැටිල මිනිස්සු මැරෙනවා. ලෝකයේම තිබෙන සායනික අපද්‍රව්‍ය ගෙනල්ලා රට තුළ ගොඩගහන රාජ්‍යයක් බවට අපේ රට පත්කරලා. අක්‍රමවත් සංවර්ධනය හේතුකොටගෙන මීගමු කලපු මුහුදු තීරය විශාල ඛාදනයකට ලක්වෙලා. මාස 34ක් වැනි කාලයක් තුළ අලි ඇතුන් 340ක් ඝාතනය වෙලා තියෙනවා. අද කැලෑවල ඉන්න අලින් පැහැරගෙන යනවා. අලි පිළිබඳ වාර්තා තබන අලි පොත අතුරුදහන් වෙලා. ජාතික වන උද්‍යාන ගණනාවක් විනාශ කරමින් යනවා. ඒ නිසා ජල පෝෂක කලාපයන් විශාල අනතුරකට ලක්වෙලා. සති 2 වහිනකොට ගං වතුර ගලනවා. මාසයක් පායනකොට නියඟය එන රටක් බවට මේ රට පත්කරලා. යුද්ධයෙන් ඇතිවූ විනාශයට වඩා විනාශයක් අද පරිසර විනාශය නිසා ඇතිවෙලා තියෙනවා. ඕනෑම පාලනයක අත්හැරිය නොහැකි වගකීමක් තමයි පරිසර පද්ධතිය යළි යථාවත් කිරීම. ඒ සඳහා සැලසුම් සහගත පියවර ගැනීම.

අපේ රටේ ජනයාට රටේ දූ දරුවන්ට පිරිසිදු රටක්, පිරිසිදු වෙරළ තීරයක්, පිරිසිදු ආහාර වේලක් ලබාදීම පාලකයන්ගේ අත්හළ නොහැකි වගකීමක්. පරිසරය රැකීමට නම් පළමුව සැලසුම් සහගත භූමි පරිහරණ සැලැස්මක් අපිට අවශ්‍යයි. අද ඒක තියෙන්නෙ පොතේ විතරයි. ඒ වගේම පරිසරය රැකීමේ නීති පද්ධතියක් ඊළඟට අපිට අවශ්‍යයි. ජාතික ජනබලවේගයේ අපි ක්‍ෂේත්‍රයේ විද්වතුන් මැදිහත්කරගෙන පරිසරය සුරකින විද්‍යාත්මක ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. එය අද ඔබ අතට පත්කරනවා. ඒ වැඩපිළිවෙළට අනුව රටේ පරිසර පද්ධතිය යථාවත් කරන්න අපි සූදානම්.''