''ජනාධිපති අපේක්ෂකයන්ට ප‍්‍රශ්න මාලාවක්' - වික්ටර් අයිවන්



1. ජාතික ආරක්ෂාව ගැන

ජාතික ආරක්ෂාව මෙම ජනාධිපතිවරණයේ මහජන උනන්දුවට හේතුවී තිබෙන වැදගත් මාතෘකාවක් වී තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ හැඟීම පාස්කු ඉරිදා ඇතිවූ පහරදීම් ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන විශේෂ තත්ත්වයක් ලෙස ද සැලකිය හැකිය. ජාතික ආරක්ෂාව පිළිබඳව අවධියෙන් සිටින කාර්යක්ෂම ආරක්ෂක ක‍්‍රමවේදයක් රටට තිබිය යුතු බවට කිසිදු සැකයක් තිබිය නොහැකිය. එහෙත් ලංකාවේ ආරක්ෂාවට එල්ල වූ ලොකුම තර්ජනයන් ලෙස සැලකිය හැක්කේ දකුණේ විජේවීරගේ ව්‍යාපාරයෙන්ද උතුරේ ප‍්‍රභාකරන්ගේ ව්‍යාපාරයෙන්ද අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව සහරාන්ගේ ව්‍යාපාරයෙන්ද එල්ල වූ ප‍්‍රචණ්ඩ නැගිටීම් ලෙස සැලකිය හැකිය. පළමු ව්‍යාපාරය සිංහල ව්‍යාපාරයක් වන අතර දෙවැනි ව්‍යාපාරය දෙමළ ව්‍යාපාරයෙන්ද, තුන්වැනි ව්‍යාපාරය මුස්ලිම් ව්‍යාපාරයක් ලෙස ද සැලකිය හැකිය.

එහෙත් ඒ එකදු ව්‍යාපාරයක්වත් අහසින් කඩා වැටුණු ව්‍යාපාර නොවන අතර ඒවා විදේශ ආක‍්‍රමණයන් ලෙසද සැලකිය නොහැකිය. එම අන්තවාදී ව්‍යාපාර ඇතිවීම කෙරෙහි බලපෑවේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, සමාජ-දේශපාලන ප‍්‍රශ්නයන්ය. ප‍්‍රචණ්ඩ ගැටුම් ඇතිවීමට ඉඩක් නොලැබෙන ලෙස වර්ග, කුල, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම අවම කොට සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප‍්‍රවේශයන් තුළ නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට සමත් වී නම් එවැනි ප‍්‍රචණ්ඩ අරගල ඇති නොවන්නට ඉඩ තිබුණි.

ජේවීපී දෙවැනි කැරැල්ල අවසන්වීමෙන් පසුව රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා තරුණ අසහනය කෙරෙහි බලපෑ හේතු සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතර එම කොමිසමේ පිළිගත් නිල මතය වූයේද දකුණේ සිංහල කැරලි කෙරෙහි සේ ම උතුරේ දෙමළ කැරලි කෙරෙහිද වර්ගය, කුලය හා ආගම යන සාධක බලපා තිබෙන බවය. සහරාන්ගේ එක් දින මරාගෙන මැරෙන කැරැල්ල කෙරෙහි අන්තර්ජාතික මුස්ලිම් අන්තවාදී අදහස් බලපා තිබෙනවා විය හැකි වුවත් අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසුව මුස්ලිම්වරුන්ට එල්ල වූ පහරදීම්ද ඒ කෙරෙහි බලපාන්නට ඇතැයි සිතිය හැකිය.

ආරක්ෂක හමුදා හා ඔත්තු සේවා නවීන කිරීම හා සීරුවෙන් තැබීම අවශ්‍ය වුවත්, ජාතික ආරක්ෂාව සඳහා සම්පූර්ණ කළ යුතු ප‍්‍රධානතම කොන්දේසිය වනුයේ වර්ගය, කුලය හා ආගම යන සාධක ආශ‍්‍රයෙන් ප‍්‍රචණ්ඩ ගැටුම් ඇතිවීමට ඉඩක් නැති ආකාරයට වසර 71ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ සම්පූර්ණ කරගැනීමට නොහැකි වී තිබෙන ජාතිය ගොඩනගා ගැනීම සම්පූර්ණ කරගැනීම නොවේද? එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් තොරව ආරක්ෂක හමුදා හා ඔත්තු සේවා නවීන කිරීම හෝ සීරුවෙන් තැබීම එම ප‍්‍රශ්නයට විසඳුමක් වන්නේ කෙසේද?

(I) ඒ ගැන ජනාධිපති අපේක්ෂකයන් දරන මතය කුමක්ද? (II) ලංකාවේ සිංහල හා දෙමළ සමාජය කෙරෙහි බලපා තිබෙන කුල ක‍්‍රමය හා කුලභේදය ගැන ඔවුන් දරන මතය කුමක්ද? (III) කුල ක‍්‍රමයේ තිබෙන ඉතුරු බිතුරු පීඩිත කුලවල ජනයා කෙරෙහි නින්දාවක් හා පීඩාවක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පිළිගන්නේද? (IV) ඒ තත්ත්වය නැති කොට ඔවුන්ට මනුෂ්‍ය ගෞරවය ලබාදීම සඳහා ඇති කළ යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාද? (V) වර්ග හා ආගම් අතර ගැටුම් ඇති නොවන ලෙස සහජීවනයක් ඇති කරන්නේ කෙසේද? (VI) සිංහල, දෙමළ කැරලි කෙරෙහි බලපෑ හේතූන් ගැන හා ඒ කැරලි විසින් කැරලි මර්දනයේදීද ඇති කර තිබෙන මානුෂික ප‍්‍රශ්න ගැන සොයා බලන තැනකට යාම අවශ්‍ය වේද?

2. පාර්ලිමේන්තුව ගැන

19 වැනි සංශෝධනය අනුව ඊළඟ ජනාධිපති පත්වූ මොහොතේ සිට රට පාලනය කිරීමේ විධායක බලය හිමිවන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුවටය. එහෙත් පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ වෙත පැවරෙන වගකීම් සමුදාය හරියාකාරව ඉටුකළ හැකි තත්ත්වයක නොව, ඉතාමත් අකාර්යක්ෂම හා දූෂිත තත්ත්වයකය. එහි අකාර්යක්ෂම බව හා දූෂිත බව කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධානතම හේතුව වී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල බහුතරයක් නීතියට පටහැනිව ඍජු ලෙස හා අනියම් ලෙස රජය සමග ව්‍යාපාර කරන ජාවාරම්කරුවන් බවට පත්ව සිටීමය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම ඔවුන්ගේ මන්ත‍්‍රී ධුර අහිමි කිරීමට හේතුවන බරපතළ වරදකි. මේ වරද අවුරුදු 40ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන වරදක් වන අතර එම දූෂිත තත්ත්වය වෙනස් කිරීමට පාර්ලිමේන්තුව එම දීර්ඝ කාලය තුළ කිසිදු උත්සාහයක් දරා නැතිවා සේ ම එම තත්ත්වය වෙනස් කිරීමටද කැමති නැත.

(I) ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් සමහරෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අපේක්ෂකයන් වන අතර විශේෂ වශයෙන් එම අපේක්ෂකයන් පාර්ලිමේන්තුව සමග ව්‍යාපාර කරන මන්ත‍්‍රීවරුන් පිළිබඳ ප‍්‍රශ්නය ගැන දරන මතය කුමක්ද? (II) එම ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දූෂිත කිරීමට හේතුවී තිබෙන බරපතළ ප‍්‍රශ්නයක් ලෙස සලකන්නේ නම් ඒ ගැන පාර්ලිමේන්තු පරීක්ෂණයක් සඳහා වන යෝජනාවක් ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම්ද? (III) පාර්ලිමේන්තුව නියෝජනය නොකරව පක්ෂවල අපේක්ෂකයන් ඒ ප‍්‍රශ්නය ගැන කියන්නේ කුමක්ද?

3. වත්කම් බැරකම් නීතිය ගැන

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේ නීතිය ප‍්‍රධාන කොට අයථා ලෙස වත්කම් උපයාගන තිබෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මාණ්ඩලික ගණයේ රාජ්‍ය නිලධාරීන් මහජන සහාය ඇතිව නීතියේ දැලට කොටු කර ගැනීම සඳහා තිබෙන ඉතා බලවත් නීතියක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය සකස් කර තිබෙන්නේ එම නීතියේ දැලට හසුවූ පුද්ගලයකුට ඉන් ගැලවී යා හැකි හිල් තිබෙන ආකාරයටය. එහි තිබෙන එම හිල් කිහිපය වැසීමෙන් පමණක් එය අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති අය කොටු කරගත හැකි බලවත් නීතියක් බවට පත්කර ගත හැකිය.

එම නීතියට අනුව වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින කෙනකුට පැනවිය හැකි දඬුවම රුපියල් 1000ක දඩයකි. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීම සඳහා සකස් කර තිබෙන පෝරමයද අදට ගැළපෙන්නේ නැත. හිතා මතා වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටින පුද්ගලයකුට පැනවිය හැකි දඩය රුපියල් ලක්ෂ 5ක් බවට පත් කොට ඒ සඳහා ඊට අතිරේකව එක් අවුරුදු සිරදඬුවමක් ලබාදීමද අනිවාර්ය කළ හැකිය. පුරවන්නට දෙන පෝරමයද විධිමත් කොට එය විද්‍යුත් පෝරමයක් බවට පත් කොට සියලූ වත්කම් බැරකම් ප‍්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හෝ විගණකාධිපති ඒ සඳහාම පවත්වාගෙන යන වෙබ් අඩවියක් මගින් ප‍්‍රසිද්ධ කරන ක‍්‍රමයක් ඇති කළ හැකිය. එම නීති ප‍්‍රතිසංස්කරණයෙන් පමණක් අයථා ලෙස වත්කම් උපයාගෙන සිටින අය නීතියේ දැලට කොටු කරගත හැකිය.

(I) ඒ ගැන ජනාධිපති අපේක්ෂකයන් කියන්නේ කුමක්ද? (II) පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අපේක්ෂකයන්ට එම නීති ප‍්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය යෝජනා ජනාධිපතිවරණයට පෙර ප‍්‍රකාශයට පත් කළ හැකිද?

4. අධ්‍යාපනය ගැන

ජාතියක කොඳු නාරටිය ලෙස සැලකිය හැක්කේ අධ්‍යාපනයයි. රටේ අධ්‍යාපන ක‍්‍රමය තිබෙන්නේ යල්පැනගිය අවුල්සහගත තත්ත්වයකය. බහුත්වවාදී විනයගරුක ඒකාග‍්‍ර සමාජයක් ඇති කිරීමට අවශ්‍ය දැනුම, වටිනාකම් හා ශික්ෂණයක සමාජයට උරුම කරදීමට අධ්‍යාපන ක‍්‍රමය සමත් වී නැත. සමාජයේ පවතින වර්ග, කුල, ආගම් භේදවල තිබෙන පිළිගැනීම දුර්වල කිරීමට සේ ම මේ රටේ ආර්ථික දියුණුව සඳහා ප‍්‍රමාණවත් තරමේ කාර්යභාරයක් ඉටුකිරීමටද අධ්‍යාපන ක‍්‍රමය සමත් වී නැත.

1 වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ක‍්‍රියාත්මක වන්නේ කට පාඩම් කිරීම පදනම් කරගත් අධ්‍යාපන ක‍්‍රමයකි. එය දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මොට කරන විනාශකාරී ක‍්‍රමයක් බව තේරුම් ගැනීමට අධ්‍යාපන බලධාරීන් හා ගුරුවරුන්ද සමත් වී නැත. කටපාඩමින් සියලූ දේ ඉගෙන ගන්නා ක‍්‍රමය සමස්ත ශිෂ්‍ය පරපුර මානසික ආතතියෙන් පෙළෙන පිරිසක් බවට පත්කිරීමට හේතුවී තිබෙන අතර එම තත්ත්වය පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇදීයාම කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙසද සැලකිය හැකිය.

ලංකාව සැලකෙන්නේ ගණිත විෂය ළමුන්ට හරියාකාරව උගන්වන්න දන්නේ නැති රටක් ලෙසය. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේදී එම විෂයේදී අසමත්වන්නන්ගේ අනුපාතිකය සියයට 65ක් තරම් ඉහළ මට්ටමක පැවති අතර එම තත්ත්වය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන බලධාරීන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය වූයේ ළමුන්ට ගණිත විෂය ඉගෙන ගැනීමට ආශාවක් ඇති කිරීමට හේතුවන නව ඉගැන්වීමේ ක‍්‍රම යොදා ගැනීම වෙනුවට සමත් වන ලකුණු සංඛ්‍යාවේ කඩඉම ලකුණු 29 දක්වා පහත දැමීමය. ඒ නිසා දැන් සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතයෙන් සමත්වන්නන්ගේ අනුපාතිකය සියයට 65ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ මගින් ශිෂ්‍ය පරපුරට ඇතිකර තිබෙන හානියේ තරම අතිවිශාලය.

ලෝක බැංකුවේ මතය අනුව රජයේ වෙනත් රැකියාවන්ට සාපේක්ෂව අඩුම වැටුප් ලබන්නන් ලෙස සැලකිය හැක්කේද ගුරුවරුන්ය. ලංකාවේ රජයේ අධ්‍යාපන ක‍්‍රමය නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් ලෙස සැලකෙතත් තරග විභාග ජයගැනීම සඳහා ටියුෂන් අධ්‍යාපනය නැතිව බැරි කොන්දේසියක් ලෙස ක‍්‍රියාත්මක වේ. එය දුප්පතුන්ට අධ්‍යාපනයෙන් ඉහළ නැගීමට තිබෙන ඉඩ සීමා කරන වැදගත් සාධකයක් ලෙස ක‍්‍රියා කරයි.

රජයේ පාසල් ක‍්‍රමය සකස් වී තිබෙන්නේ ඇති හැකි අයට සුපිරි පාසල් ද, නැතිබැරි අයට කමකට නැති පාසල් ද ලබාදෙන ක‍්‍රමයකටය. ඒ මගින්ද දුප්පතුන්ට අධ්‍යාපනයෙන් ඉහළ නැගීමට තිබෙන හැකියාව සීමා කර තිබෙන්නේ යැයි කිව හැකිය. දියුණු අධ්‍යාපන ක‍්‍රමයක් පවත්නා හැම රටකම පාහේ ප‍්‍රාථමික අධ්‍යාපනය සඳහා තෝරා ගන්නට සිදුවනුයේ නිවසට ආසන්නයේ තිබෙන පාසල් කිහිපයෙන් එකකි. හැම ප‍්‍රාථමික පාසලකම තත්ත්වය බොහෝ දුරට එක සමානය. ඒ නිසා පළමු පාසල තෝරා ගැනීම සඳහා ලොකු තරගයකට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත. ලංකාවේ පාසල් ක‍්‍රමය සකස් කර තිබෙන්නේද පළමු පාසල සඳහා අයදුම් කරන්නන්ට ලොකු තරගයකට මුහුණදෙමින් අතිවිශාල වියදමකින් තොරව හොඳ පාසලක් ලබාගත නොහැකි ආකාරයටය. මෙම දූෂිත ක‍්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තරුණ අසහන කොමිසම විසින්ද, ජාතික අධ්‍යාපන කොමිසම විසින් ද බලවත් ලෙස නිර්දේශ කර ඇතත් බලධාරීන් එම දූෂිත ක‍්‍රමය වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැත.

(I) ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ගැන කල්පනා කරන්නේ කෙසේද? අධ්‍යාපන ක‍්‍රමයට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ මොනවාද?

5. කිරි සහ මස් ප‍්‍රශ්නය ගැන

ලංකාව කිරි පිටි ආනයනය සඳහා වැය කරන වාර්ෂික වියදම ඩොලර් මිලියන 500ක් තරම් විශාලය. ලංකාවට අවශ්‍ය කිරි ලංකාවේම නිපදවා ගැනීමේ ඇත්ත හැකියාවක් ඇතත්, මසට හරක් හැදීම පාපයක් බවට රටේ පවතින ජනප‍්‍රිය මතවාදය එයට තිබෙන ලොකුම සම්බාධකය ලෙස සැලකිය හැකිය. කිරි සඳහා පමණක් හරක් හැදීම ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ නැත. හරක් හැදීම ආර්ථික වශයෙන් ඵලදායි වනුයේ කිරිවලට අතිරේකව මස් පිණිසද හරක් හදන්නේ නම් පමණය. ගව පට්ටි පාලනය සඳහා ආයෝජකයන් ආයෝජනය නොකරන්නේ හරක් මස් සඳහා වන පිළිගත් යථාර්ථවාදී ප‍්‍රතිපත්තියක් රටට නැති නිසාය.

ඉන්දියාව හින්දු රටක් ව අතර හින්දුන් හරක් මස් කන්නේ නැත. එහෙත් ලෝකයේ ලොකුම හරක් මස් අපනයන කර්මාන්තය තිබෙන්නේ ඉන්දියාවේය. 2014 වසරේදී ඉන්දියාව අපනයනය කර තිබෙන හරක් මස් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 2087000කි. එය ලෝක හරක් මස් අපනයනයෙන් සියයට 20කි. ඉන්දියාව ඒ මගින් එම වසරේදී උපයන ලද ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 4781.18කි.

ලංකාවටද හරක් මස් පිළිබඳව යථාර්ථවාදී ස්ථිර ප‍්‍රතිපත්තියක් ඇතොත් කිරිවලින් ස්වයංපෝෂිත වීමේ අරමුණ ජයගනිමින් ගව පට්ටි පාලනය දියුණු කළ හැකි අතර ලංකාව හරක් මස් නොකන්නේ නම් හරක් මස් අපනයනය වැදගත් ආදායම් මාර්ගයක් බවට පත් කරගත හැකිය.

(I) එම ප‍්‍රශ්නය ගැන ජනාධිපති අපේක්ෂකයන්ට තිබෙන මතය කුමක්ද? (II) මස් පිණිස හරක් හැදීමට අනුබල දෙන ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිගන්නේද?

6. කුණු කසළ ප‍්‍රශ්නය ගැන

ඉවත දමන කුණු කසළ ප‍්‍රශ්නයට ලංකාව යොදාගෙන තිබෙන විසඳුම වී ඇත්තේ තෝරාගත් තැන්වල කුණු කඳු ගොඩ ගැසීමය. දැන් ලංකාවේ හැම ප‍්‍රධාන නගරයක් අවට ලොකු කුණු කඳු තිබෙන අතර විටින් විට කුණු කඳු කඩා වැටීමෙන් හා පිපිරීමෙන් ඇතිවන ජීවිත හා දේපළ විනාශයන් ගැනද අසන්නට ලැබෙන්නේය. තෝරා ගත් ස්ථානවල කුණු ගොඩ ගසන්නේද ඒ අවට ජීවත් වන මිනිසුන්ට ඉන් ඇතිවන හානිද නොසලකාය.

(I) ලංකාවේ කුණු කසළ ප‍්‍රශ්නය ගැන ජනාධිපති අපේක්ෂකයන් දරන මතය කුමක්ද? (II) ඔවුන් ලංකාව පවත්වාගෙන යන ප‍්‍රතිපත්තිය පිළිගන්නේද? (III) ඊට වෙනත් විසඳුමක් සඳහා අදහස් තිබෙන්නේ නම් ඒ මොනවාද?

7. කෘෂිකර්මයට හානි කරන වන සතුන් ගැන

කෘෂිකර්මයට හානි කරන වඳුරන්, රිලවුන්, වල් ඌරන්, මොනරුන්, ඉත්තෑවන්, දඬු ලේනුන් වැනි වන සතුන්ගේ ගහණය පාලනයකින් තොරව වර්ධනය වන්නට ඉඩ හැරීම නිසා එම වන සතුන්ගේ අසාමාන්‍ය තරමේ වර්ධනය සිදුවී තිබෙන අතර උන් කෘෂිකර්මයට කරන හානියද විශාල වර්ධනයක් වී තිබේ. අසාමාන්‍ය තරමේ වේගවත් වර්ධනයත් ඇතිවී තිබේ. ආණ්ඩුවේ ගණන් බැලීම අනුව එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට 30ක් තරම් විශාලය.

මොනම රටක්වත් කෘෂිකර්මයට හානි කරන සතුන්ගේ ගහණය පාලනයකින් තොරව වර්ධනය වන්නට ඉඩ දෙන්නේ නැත. සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන පිළිගත් ප‍්‍රතිපත්තිය වනුයේ කිසියම් සත්ව විශේෂයක වර්ධනයක් පෙනෙන අවස්ථාවලදී එම සත්ව විශේෂය දඩයම් කිරීමට මහජනයාට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. නැතහොත් පළාත් පාලන ආයතන ලවා ඒ දේ කරවීමය. කැන්ගරා ඕස්ටේ‍්‍රලියාවේ ජාතික සත්වයාය. කැන්ගරු ගහණය මිලියනයකින් අඩු කිරීමට ඕස්ටේ‍්‍රලියාවේ ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන අතර පළමු අදියරයේදී කැන්ගරු දස දහසක් මරා දමන ලදි.

කෘෂිකර්මයට හානි කරන වන සතුන් පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට තිබෙන හොඳම ක‍්‍රමය ඒ සතුන් දඩයම් කිරීමේ අයිතිය සමග එම මස් ළඟ තබා ගැනීමේ ප‍්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය ගොවීන්ට ලබාදීමය.

(I) ඒ ප‍්‍රශ්නය ගැන ජනාධිපති අපේක්ෂකයන් දරන අදහස් මොනවාද? (II) වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඔවුන් දරන අදහස් මොනවාද?

(8) අපරාධ නඩු ගැන

පසුගිය ආණ්ඩු කාලයේ සිදුවී ඇතැයි කියන සමහර අපරාධ මහත් විවාදයට හේතුවී තිබෙන මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, තාජුඞීන් ඝාතනය, කප්පම් සඳහා තරුණයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් ඔවුන් අතුරුදන් කිරීම, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් යන ජනමාධ්‍යවේදීන්ට බිහිසුණු ලෙස පහරදීම යන සිද්ධීන් ඒ අතර ප‍්‍රධානය. එම සිද්ධීන් පිළිබඳව ආරම්භ කොට පවත්වාගෙන යන පරීක්ෂණ හා ඉන් සමහර සිද්ධීන්ට අදාළව පවරා තිබෙන නඩු සම්බන්ධයෙන් ඉදිරියේ අනුගමනය කළ යුතුව තිබෙන ප‍්‍රතිපත්තිය කුමක්ද?

(I) ඒ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන් දරන මතය කුමක්ද? (II) ඒ නඩු හෝ පරීක්ෂණ ඉදිරියට ගෙන යා යුතුද? නැත්නම් ඒවා නතර කළ යුතුද?

9. ව්‍යවස්ථාව ගැන

දැන් ව්‍යවස්ථාව තිබෙන්නේ පාරිශුද්ධභාවය සේ ම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග‍්‍රතාව අහිමි කරගත් තවදුරටත් ප‍්‍රයෝජනයට ගත නොහැකි ව්‍යවස්ථාවක කඩමාල්ලක තත්ත්වයකය. ඒ නිසා දැන් රට තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් හදා ගැනීම නැතුවම බැරි කොන්දේසියක් වී තිබෙන තත්ත්වයකය. ව්‍යවස්ථා සම්පාදනයේදී ලංකාව මෙතෙක් යොදා ගත් ක‍්‍රමය වූයේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්වී ව්‍යවස්ථාවක් හදා ගැනීමේ ක‍්‍රමයයි. එහෙත් ඒ ක‍්‍රමය දැන් ලෝකය සලකන්නේ යල්පැනගිය ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රමයක් වශයෙනි. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් දූෂණයෙන් කුණුවී තිබෙන තරම අනුව ලංකාවේ පාර්ලිමේන්තුවට හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ඇත්ත හැකියාවක්ද නැත.

21 වන සියවසේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රමය ලෙස සැලකෙනුයේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුළ මහජන මන්ත‍්‍රීවරුන්ට අඩු බලයකුත් මහජන නියෝජිතයන්ට වැඩි බලයකුත් ලැබෙන සහභාගි ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රමයයි. එම ව්‍යවස්ථා සම්පාදන කාර්යයට පමණක් සීමා නොවූ සමස්ත ක‍්‍රමයේ වැරදි අඩුපාඩුකම් සොයා බලා සමස්ත ක‍්‍රමය වෙනස් කරගැනීම සඳහාද යොදාගත හැකි පිළිගත් ක‍්‍රමයකි.

(I) ඒ ගැන ජනාධිපති අපේක්ෂකයන් සිතන්නේ කෙසේද? (II) නව ව්‍යවස්ථාවක් සකස් කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට සීමා කළ පරණ ක‍්‍රමයටද? නැතිනම් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මහජනයාට වැඩි බලයක් ලැබෙන නව ක‍්‍රමයටද ?






සබැඳි පුවත්