- මහේෂ් හපුගොඩ -
ෆ්‍රෙඩී මර්කරි හා එල්ටන් ජෝන්
ගිය අවුරුද්දේ ඔස්කා සම්මාන කිහිපයක් දිනා ගත්ත Bohemian Rhapsody චිත්‍රපටය එක්ක ගත්තම Rocketman කියන්නේ මට අනුව දුර්වල චිත්‍රපටයක්. හැබැයි මේ දවස්වල බටහිර චිත්‍රපට ලෝකය ගොඩක් තැනක් දෙන්නේ පුද්ගල සුවිශේෂ අනන්‍යතා ගැටළු වලට නිසා මේ චිත්‍රපටයට උනත් ඔස්කා යන්න පුළුවන් වෙයි. දැන් බලන්න දේශපාලනය වුනත් උඩ දමන්නේ පුද්ගල සුවිශේෂතා. අප හිතනවා ඒ සුවිශේෂ අයට අපව ගලවා ගන්න පුළුවන් වෙයි කියල. ඉතිං සජිත් ප්‍රේමදාස නම් රූපවාහිනියට ඇවිල්ලා අලි මන්තර උනත් මතුරනවා තමන්ගේ සුවිශේෂ හැකියාව පෙන්වන්න. තව අර බටකොළ ආච්චිට වගේ හරි කොන්ඩදෙණියේ හාමුදුරුවවන්ට වගේ හරි මරදන් කඩවල යකඩයා ට වගේ හරි ගුප්ත බලයක් වගේ එකක් තිබුණා නම් ඔහුට මේ තත්වය තවත් ත්‍රිව්ර කර ගන්න තිබුණා. අද දේශපාලනය තනිකර පෝස්ට් මොඩන් කියන්නේ මේක තමයි.
මොඩන් ලෝකයේ මර්ධිත අතිරික්තය නැවත ඇවිල්ලා අපව හොල්මන් කරමින් ඉන්න යුගයක් මේක. මේ යුගය පන්න ගන්න එක ගොඩක් අමාරු වෙයි. මොකද මොඩන් ප්‍රොජෙක්ට් එකක් මේ වෙනකොට කොහේවත් නැති නිසා.
ෆ්‍රෙඩි මර්කරි වගේම එල්ටන් ජෝන් ගේ සංගීත ආගමනය සහ එයාලගේ පෞද්ගලික ජීවිතය අතර ආතතිමය සහ සාංදෘෂ්ටික අරගලය තමයි මේ චිත්‍රපට දෙකටම පාදක වෙන්නේ. විශේෂයෙන් බටහිර පශ්චාත් - කාර්මික නාගරික ලෝකයේ විගලිත බව, ලිංගික අනන්‍යතා ප්‍රශ්නය, විගලිත බව ඇතුලෙම විකසිත වන නිර්මාණශීලි බව සහ ඒ ඔස්සේ ඉස්මතු වන දේශපාලනය, මානසික ලෝකයේ අධි යථාර්ත කානිවල් කරණය, මත්ද්‍රව්‍ය ඔස්සේ යථාර්තයෙන් පලා යාම සහ පාර යථාර්තයක් වෙත ගමන් කිරීම මේ චිත්‍රපටයේත් දකින්න පුළුවන්. Rocketman ගලා යන්නේ යම් භාව විමෝචක ස්වභාවයක් එක්ක. තමන්ගේ ළමා කාලයේ ක්ෂිතිමය මතකය ගැන මනෝ විශ්ලේෂණ කවිච්චියේ කරන අධි යථාර්ත හෙළිදරව්වක ස්වරුපයෙන් තමයි චිත්‍රපටය ව්‍යුහගත වෙන්නේ.
ගීත සහ නැටුම් වලට දීලා තියන අවකාශය ගත්තම මට දැනුනේ බටහිර සාන්දෘස්ටික ගැඹුරකට වඩා නිකම් හින්දි චිත්‍රපටයක් බලනවා වගේ හැඟීමක්. නමුත් ඉතිහාසය ගලා ගිය අධි යථාර්තය ඇතුලේ බොලිවුඩ් ලක්ෂණ සුදු ස්වාමියාගේ සිතේ ඇතිවෙන්නත් පුළුවන් නේද කියලත් මට හිතුණා.
එල්ටන්ගේ ජීවිතයේ සත්‍යය හා ප්‍රබන්ධය තිරය මත
ටයිම් සඟරාව කියන්නේ සියලු සිදුවීම සත්‍ය නොවුනත් එල්ටන් ගේ ජිවිතයේ සත්‍යය සහ ප්‍රබන්ධය අතර සම්බන්ධයක් මේ චිත්‍රපටය අරන් එනවා කියන එක.
සම්පුර්ණයෙන් ම චිත්‍රපටය දිගහරින තේමාව තමයි එල්ටන් ගේ ළමා කාලයේ දෙමව්පිය ආදරය අහිමිවීම කියන එක සම්බන්දයෙන් එයාගේ ප්‍රත්‍යාවලෝකනය. එයාට ඒ ළමා කාලයෙන් ගැලවෙන්න බැහැ. සමාජයේ සංකේත ලෝකයට කොතරම් ඇතුළු වුනත් අර මර්ධිත, නොලැබුන, මඟ හැරුණ, ආදරය නම් හිඩැස විටින් විට ඔහුව තෝන්තු කරනවා. හැබැයි ඔහුගේ නිර්මාණ එතරම් පෞද්ගලික වෙන්නෙත් (ඒ එල්ටන් ඒ සංගීතයේ සුවිශේෂ ශක්තිය කියල තමයි කියන්නේ) ඔහු මුහුණ දුන් සුවිශේෂ පුද්ගල අත්දැකීම හරහා ම යි. වෙන විදියකට කිව්වොත් ඔහුගේ සංගීතය සම්බන්ද ආශාව ඇති වෙන්නෙත් අර අවුල් පවුල් සංස්ථාව ඇතුලෙම හිටිය තමන්ගේ පියාගේ රෙකෝඩින් ටික දැකල ම තමයි.
ඉතින් පශ්චාත් ලිංගභේද යුගයක (පශ්චාත් මිනිසා වගේම) අපට උගන්වන දේ තමයි අපගේ ජීව විද්‍යාත්මක සීමාවන් අපගේ ඇත්ත නිදහසට බාධාවක් කියන එක. ඉතින් මේ භෞතික සීමාවන් ගෙන් මිදිලා කෘතීම මත්ද්‍රව්‍ය වගේ ඒවා හරහා මිනිසා දෙන ලද සීමා ඉක්මවා යන්න හදනවා. මොනවා හරි සීමාවක් දැක්කොත් ඒ සීමාවෙන් එහාට යන්න මිනිසා ආශා කරනවා කියල සද්ගුරු කියනවා. ඒක තමයි මිනිස් ගතිය. හැබැයි ඒ සීමාවල් ඉක්මවා ගිය නිසාම තමයි අද මේ වගේ ලෝකයක් (ගැටළු සහිතව උනත්) ගොඩ නගා ගන්න පුළුවන් වුණේ.
පශ්චාත් ලිංගිකයේ යුගය (the age of post-gender)
Rocketman ගීතය චිත්‍රපටය ඇතුලේ නිරූපණය කරන හැටි දැක්කම හිතුන දෙයක් තමයි එල්ටන් තමන්ගේ ඇත්ත ජිවිතයේ තිත්ත මතකයෙන් ගැලවෙන්න මේ ලෝකයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙනවා කියන එක. මිදිලා එයාගේම මරණීය සිහිනයක් වෙත යනවා. අර මම කලින් ලිව්ව Call Me By Your Name චිත්‍රපටයේ වගේම මෙතනදීත් වෙන්නේ එක නිශ්චිත තැනක (ඒ කියන්නේ එක් ගුරුත්ව බලයක) රැඳෙන්න එල්ටන් ට බැරි වුණා කියන එක. ෆ්‍රෙඩී මර්කරි ටත් බැරි උනා. ඒ ඔක්කොමල එක් වරෙක විෂම ලිංගික විවාහය ඇතුලට යනවා. නමුත් එහි සීමාව දැකල එයින් ඉවත් වෙලා සම ලිංගික සම්බන්ධයකට යනවා. ඔහොම ඔහොම දිගටම යනවා.
ඒ නිසයි මේ යුගයට කියන්නේ පශ්චාත් ලිංගිකයේ යුගය කියල (the age of post-gender). විශ්වීය ලෙස ලිංගිකය ද්‍රවශීල වෙලා තියනවා කියල තමයි ගෝලීය විචාරකයෝ මේ ගැන කියන්නේ (fluidification of sexual identities). ලිංගික බව අහෝසි වෙලා තියන නිසා ලිංගික වීම සඳහා මේ මොහොතේ ඇති එකම ක්‍රමය නිර්-ලිංගික වීම හැටියට තමා ජිජැක් මේ තත්වය විග්‍රහ කරන්නේ (the only way to be sexualized is to be asexual). නිශ්චිත අනන්‍යතාවයක් නැහැ. කෙනෙකුට ඇත්තටම හිමිවීම වෙනුවට තියන්නේ කිසිවෙකුට හිමි නොවී වාෂ්ප වීම. හිමිවීමේ ගුරුත්ව බලයෙන් මිදීම. කිසිවකට අයිති වෙන්න (belonging) කවුරුත් කැමති නැහැ. අවම වශයෙන් දේශපාලන පක්ෂයකටවත්. වැඩි ගුරුත්ව බලයක් නැති ලාමක ටිං ටිං කේන්ද්‍රයන් වටා මිනිස්සු එකතු කරන්න දැන් හැමෝම උත්සාහ ගන්නේ ඒකයි. මිනිසුන්ට ඕනි විකේන්ද්‍රණය වෙච්ච කේන්ද්‍රයක් (de-centralized center). මේ යුගය පොස්ට් මොඩන් නිසයි. ඒවාට දෙන ද්‍රවශීල නම තමයි 'මහජන ව්‍යාපාර' කියන එක. ටිකක් ගුරුත්ව බලයක් තියනවා නම් ඒ තියන්නේ ජාතිකවාදී ව්‍යාපාර වලට විතරයි මේ යුගයේ. ඇමෙරිකාව ප්‍රථමයෙන් චීනය ප්‍රථමයෙන් වගේ.
අනන්‍යතා වරදකාරී බව වටහා ගනිමු
මම කියන්නේ නැහැ පරණ කේන්ද්‍රයන් නැවත අටවා ගමු කියල. නූතන බව විසින් මර්ධනය කරන ලද අනන්‍යතා වල වරදකාරී බව විසින් අපි දැන් ඕනිම දෙයක් පිළිගන්න තත්වයට යන එක නම් එතරම් සුබ දෙයක් නෙවෙයි කියලයි මම කියන්නේ. ලිංගික අනන්‍යතා චිත්‍රපට වලට හෝ ගාල සම්මාන හම්බ වෙන්නේ ඇත්තම ඇත්ත යථාර්තයක් ඒවා තුල තියන නිසා නෙවෙයි අපේ පරණ වරදකාරී බව අපට වද දෙන නිසා. ඒ නිසා අපි අපේම ඇත්ත අනන්‍යතා එක්ක වුනත් දැන් දක්වන්නේ දුරස්ථ සම්බන්දයක්. මොකද ඇත්තම ඇත්ත ලෙස පිරිමි කම හෝ ගැහැණු කම එක්ක අනන්‍ය වුනොත් අනෙකාට රිදෙයි කියල අපි බයයි. ඒ නිසා අනන්‍යතාව හංගගෙන කොයි පැත්තටවත් නැහැ වගේ අපි ඉන්නවා. මේ නිසා නිර්පාක්ෂික - නිරාගමික - නිර් ලිංගික වගේ වචන වේගයෙන් අහසේ පාවෙනවා. වරදකාරී බවෙන් ගැලවෙන්න ඕනි නිසා පරණ බයිනරියෙන් (යථාවෙන්) ගැලවෙන්න හදනවා කියල තමයි මේ වැඩේට ජිජැක් කියන්නේ.
ඒ කියන විදියට ගත්තොත් අපි තේරුම් ගන්න ඕනි දේ තමයි දේශපාලනය කරන්න කලින් අපි පිරිමිද ගැහැණුද කියන එක තෝරා බේරා ගන්න ඕනි කියන එක. මොකද ඇත්ත පරස්පරතාව තියෙන්නේ එතන. එල්ටන් ගේ අම්මයි තාත්තයි ගැන විතරක් බැලුවත් ඇති ඒ සත්‍යය තේරුම් ගන්න.
Post a Comment