ප්‍රචණ්ඩත්වයට එරෙහිව තරුණයින් ඉදිරියට
‘ශ්‍රී ලංකාවේ ප්රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේදී තරුණ නායකයන්ට හා ස්වේච්ඡා සේවකයන්ට දැරිය හැකි භූමිකාව’ නම් අධ්‍යයනයේ මූලික සොයාගැනීම් ප්‍රසිද්ධ කරමින් සහ ‘තරුණ සාම මණ්ඩලය’ දියත් කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ජාත්‍යන්තර සාම දිනය සමරයි.
ලොව බොහෝ තැන්වල නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ක්ෂණික සහ කෘර ප්‍රහාර පැනනැගීම සමග ප්රචණ්ඩ අන්තවාදය දරුණු ගෝලීය ප්‍රශ්නයක් ලෙස අවධානයට ලක් විය. පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ පසුගිය දශක කීපය තුළ ප්රචණ්ඩ අන්තවාදය බොහෝ ස්වරූපවලින් සිදු විය. එහි ආසන්න ම සිදුවීම වන්නේ තරුණ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් පාස්කු ඉරු දින දියත් කරන ලද ප්‍රහාර මාලාවයි. ශ්‍රී ලංකාව තම උද්දේශනය හා ප්‍රතිපත්ති මගින් තම අභිප්රායන් සාමකාමී මාර්ග ඔස්සේ රැගෙන යාමට තරුණ ජනයාට උපකාරී වන බව තහවුරු කිරීම ඉතා වැදගත් ය. ප්රචණ්ඩ අන්තවාදය වැළැක්විය හැක්කේ එමගිනි.
ප්රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේ ලා තරුණ භූමිකාව තේරුම්ගනිමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයෝ සංවිධානය (UNV) විසින් 2018 සැප්තැම්බර් මාසයේදී ‘ශ්‍රී ලංකාවේ ප්රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේදී තරුණ නායකයන්ට හා ස්වේච්ඡා සේවකයන්ට දැරිය හැකි භූමිකාව’ නම් අධ්‍යයනය සඳහා බලය පවරන ලදී. මෙම අධ්‍යයනය සිදු කළේ මූලෝපායික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය (RCSS) විසිනි. එයට උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වයස අවුරුදු 15-29 අතර 2800ක තරුණ නියැදියක් යොදාගන්නා ලදී. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන කරනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙර 2018 නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී ය. එම සොයාගැනීම් අනුව, 25%ක් ම සම වයස් සගයන් ප්රචණ්ඩ අත්තවාදී දෘෂ්ටිවාදයන්ට ආකර්ශනය වන බව පළාත් හතරේ තරුණයෝ විශ්වාස කළ හ.
ලංකාව ඉන්නේ ගිනිකන්දක් මත
මූලෝපායික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ මහාචාර්ය ගාමිනී කීරවැල්ල අධ්‍යයනයේ වැදගත් සොයාගැනීම් නිවේදනය කළේ ය. ඉන් අනතුරුව පැවැත්වුණ සාකච්ඡා සභාවට රාජ්‍ය, පෞද්ගලික අංශවල, තරුණ සංවිධානවල සහ මාධ්‍යවල නියෝජිතයෝ සහභාගි වූ අතර එහිදී අවධානය යොමු කරනු ලැබුවේ නිර්දේශ ඉදිරියට ගෙන යන ආකාරයයි. එම අවස්ථාවේදී සභාව අමතමින්, මහාචාර්ය කීරවැල්ල මෙසේ පැවසී ය: “ප්රචණ්ඩ අන්තවාදය සහ තරුණයන් බිලී බාගැනීමට එයට ඇති හැකියාව සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව සිටින්නේ ගිනිකන්දක් මත ය. බහුතරයක් තරුණ ජනයා සිතන පරිදි රටේ තිබෙන තත්වයන් යුද්ධය අවසන් වීමේ සිට සංවර්ධනය වී තිබේ. අපට එය සරලව ගත නොහැකි ය. තරුණ නායකයන්ගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ කුසලතා භාවිතා කිරීම සඳහා ජාතික සහ පළාත් මට්ටම්වලදී මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් විධිමත් ලෙස පිහිටුවිය යුතු ය.”
මෙම අවස්ථාවේදී ම ‘තරුණ සාම මණ්ඩලය’ ද දියත් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පළාත් නවයෙන් විවෘත අයදුම්පත් කැඳවීමකින් තෝරාගන්නා ලද තරුණ සාම උද්දේශකවරුන් 30දෙනෙකුගෙන් ‘තරුණ සාම මණ්ඩලය’ සමන්විත ය. එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලේ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ක්‍රිසැලිස් සංවිධානය සමග දියත් කරන ලද ‘යූත් ෆෝ යූත්’ (Youth4Youth) වැඩසටහනේ කොටසක් ලෙස දියත් කරනු ලබන ‘තරුණ සාම මණ්ඩලය’ යනු, බිම් මට්ටමේ තරුණ ප්‍රජාව වැදගත් ප්‍රතිපත්ති සම්පාදක පාර්ශ්වකරුවන් සහ වේදිකාවන් සමග සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේ ප්රයත්නයන්ට දායක වන තරුණ නායකයන්ගේ ස්වාධීන සහ අපක්ෂපාතී කණ්ඩායමකි.
තරුණ සාම මණ්ඩලය අමතමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මෙසේ පැවසුවා ය: “දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගන්නා ලද තරුණ පිරිසක් වන ඔබට පැවරී තිබෙන්නේ සාමය ගොඩනැගීමේ සහ සමාජ ඒකාබද්ධතාව ගොඩනැගීමේ ක්‍රියාකාරකම් ඔබගේ ප්‍රජාවන් තුළ ධෛර්ය සම්පන්න ලෙස ඉදිරියට ගෙන යාමයි. ඉදිරි සති, මාස සහ අවුරුදුවලදී ඔබගේ ක්‍රියාකාරකම් ප්රචණ්ඩ හැඟීම් උත්කර්ෂයට නැංවීම වැළැක්වීමේ ලා නිත්‍ය වශයෙන් ම උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. වෛරය ජයගත හැක්කේ ආදරයෙනි.”
මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු සහ කුසලතා සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝදි මෙසේ පැවසුවේ ය: “සාමකාමී සහජීවනය සඳහා තරුණ ප්‍රජාවේ ශක්තිය ශක්තිය ගොනු කරගැනීම උදෙසා විධිමත් ප්රවේශයන් ක්‍රියාත්මක වන බව ජාතියක් ලෙස අප තහවුරු කළ යුතුයි. සාමය තිරසර කිරීමේදී තරුණයන් වැදගත් භූමිකාවක් ඉටුකරනවා. අප ඔවුන් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියට සහභාගි කරගත යුතුයි. සාමකාමී සමාජයන් ගොඩනැගීම සඳහා තරුණ ප්‍රජාව බලමුළුගැන්වීම පිළිබඳ මා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට ප්‍රශංසාව පිරිනමනවා.”
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් කතා කරමින් මෙසේ කීවා ය: “එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අප වෙහෙසෙන්නේ සෑම තරුණ පුද්ගලයකු ම තම පූර්ණ හැකියාවන් අත්කරගනු තහවුරු කරනු සඳහායි. එහි අරුත වන්නේ, තරුණයන්ට තම හිමිකම් උපයෝගී කරගැනීමට සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ සාමය තිරසර කිරීම සඳහා සක්‍රිය ලෙස සහභාගි විය හැකි විවෘත සහ ආරක්ෂාකාරී අවකාශයක් සැපයීමයි. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ වැරදි තොරතුරු මගින් වාර්ගික ප්රචණ්ඩත්වයන් ඇවිලුණ ආකාරය අප දැක තිබෙනවා. තරුණ සාම මණ්ඩලය ඔස්සේ අප බලාපොරොත්තු වන්නේ, සියලු දෙනා වෙනුවෙන් වඩා අපක්ෂපාතී, සාමකාමී සහ සාධාරණ අනාගතයක් වෙනුවෙන් තරුණ ප්‍රජාව වඩා දැනුවත්භාවයට පත්වීමයි.
Post a Comment