වැලිකඩ ඝාතනයේ ප්‍රධාන විත්තිකරුවන් කවුද ?
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ වැලිකඩ ඝාතනයේ වග උත්තරකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තුමේන්තුව චෝදනා ගොනුකොට නඩුව විභාගයට ගන්නට දින නියම කර ඇත. ඝාතනයේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව, හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් සහ බන්ධනාගාර බුද්ධි ඒකකයේ හිටපු නිලධාරියෙකු වන ඉන්දික සම්පත් යන අයයි.
විධායකයේ අණින් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් පහල තැනින් වතුර ගලා යාමට සලස්සවා තවත් දේශපාලන තුරුම්පුවක් ගසා ඇත. වැලිකඩ සිරකරු ඝාතනයේ ප්‍රධාන විත්තිකරුවන් විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු අනුර සේනානයක, එවක බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර ඇමැති, හමුදා පොලිස් විශේෂ කාර්‍ය බලකා ඛණ්ඩ වලට අණදුන් ප්‍රධානීන්ය. වැලිකඩ සිරකරු ඝාතනයේ පිඹුරුපත් සැකසීම ඇරඹෙන්නේ ඒ අනුපිළිවෙලින් මිස පිස්තෝල කටුවක් අතට ගෙන යටත් වු සිරකරුවන්ට වෙඩි තබන්නට පැමිණි බිලි බොයිස්ලාගෙන් නොවිය යුතුය. ඉන්දික සම්පත්, එමිල් රංජන් සහ රංගජීව ඉටුකළේ ඉහලින් පැමිණි ඕඩරේට තමන්ගේ පුද්ගලික එදිරිවාදීන්ගේ නම් කිහිපයක් එම ඝාතන ලිස්ට් එකට එකතු කොට ඝාතනය කිරීමය. ඒ නයින් මේ නඩු පවරා ඇත්තේ වැලිකඩ සිරකරු ඝාතනයේ නකුටට පමණකි.
බිලි බෝයිස්ලා එළියට දැමීම
රාජපක්ෂලාගේ මිත්‍යා දෘෂ්ටියේ ප්‍රතිඵලයක් ලෙස වැලිකඩ ඝාතනයේ මූල බීජය කඩු හොරකමෙන් පටන් ගෙන කෝට්ටේ පන්සලේ හාමුදුරුනමක් ඝාතනය කිරීමෙන් ඇරඹෙන අතර පසුව හාමුදුරු ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමේ මෙහෙයුම ලෙස වැලිකඩ සිරමැදිරි සෝදිසිය මුවාවෙන් කලඑළි බසින්නේය. ඉන්දික සම්පත්, එමිල් රංජන්, රංගජීව ඉහත කුමන්ත්‍රණය හාංකවිසියක්වත් නොදන්නා බිලි බොයිස්ලාය. බන්ධනාගාරයට කඩා වැදී අනවශ්‍ය කලබලයක් ඇති කර කඩු හොරකමේදී සිදු වූ සාමනේර නමක් ඝාතනයේ විත්තිකරු (රාජපක්ෂලාට තර්ජනයක් වූ සාක්කිය) මරා දැමීමේ නාටකයේ පිටපත වෙන අතකට පෙරලා සමාජගත කිරීමේ කොන්ත්‍රාත්තුව වූයේ ඊට සමගාමීව මත්ද්‍රව්‍ය ජවාරමට හා පාතාලයේ නමගිය කිහිපපොලක් ඝාතනය කර මෙය හුදු ගැටුමක් බවත් පාතාල පිළිල ඉවත් කිරීමක් බවත් හගවන්නට කටයුතු කිරීමයි. එම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් බෙල්ල දෙන්නට ඉදිරිපත් වූ පිරිස් අතර ඉන්දික සම්පත්, රංගජීව, එමිල් රංජන් ඉදිරියෙන්ම සිටින්නේය. එපමනක් නොව තමන්ට මානවහිමිකම් නඩු පවරා හිර හැරයක් වී තිබූ එදිරිවාදීන් අකුළා දැමිමේ තක්කඩිකමද එමිල් හා රංගජීව ඊට එකතු කළේය.
වැලිකඩ සිරකරු ඝාතන කුමන්ත්‍රණය දියත් වුණ දිනයේ රාත්‍රී 7.00 – 10.00 අතර බොරැල්ල ප්‍රදේශයේ බන්ධනාගාර අමාත්‍යාංශයේදී සිරකරු ඝාතනයේ දෙවන පිටපත මෙහෙයවීමට එක්වූ අතර අනුර සේනානායක, බන්ධනාගාර ඇමති ගජදීර, එවක බන්ධනාගාර කොමසාරිස්, එමිල් රංජන් හා රංගජීවද ඇතුළු පනාගොඩ හමුදා කඳවුරේ ඉහළ නිළයන් පිරිසක් එක් වී ඇත.
බලහත්කාරයෙන් සිරගෙදරට අවි අතැතිව බන්ධනාගාරයට ආරක්ෂක අංශ නිළධාරීන් ඇතුළු වීමේ සිට, කුමන්ත්‍රණයට හසු වී පීඩාවට පත්වී සිටි සිරකරුවන් සිරගෙදර අවි ගබඩාව කඩන අවස්ථාවේ එය වැලැක්නොවීමේ සිට, එවක වැලිකඩ අධිකාරීවරයා ප්‍රශ්නය ඝාතන රැල්ලක් දක්වා යාමෙන් වළක්වා ගැනීමේ අරමුණින් සිරකරුවන් සමග එකඟතාවයකට පැමිණ සිරකරුවන් අත තිබූ ආයුධ නැවත බන්ධනාගාරය තුළ සිටි වැඩ බලන ප්‍රාධාන ජේලර් කුඩා බණ්ඩාර මහතාට භාර දී තිබියදී තත්වය පලනය කර ගැනීමට බන්ධනාගාර නිළධාරීන්ට බන්දනාගාරයට ඇතුල් වීම වලක්වාලීම දක්වා ක්‍රියාත්මක වූ අදිසි බලවේගය කවුද ? ඒ සම්බන්ධයෙන් රනිල් හා මෛත්‍රීපාලලා ජනයාගෙන් සඟවා සිටින තුන් තේරෙවිල්ලක් ඇත. පිලිතුර පැහැදිලිවම ගෝඨාභය රාජ්පක්ෂ වූවාට ගෝඨා වැලිකඩ ඝාතනයට සම්බන්ධ වන කොටස් ඉතා සූක්ෂමව අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් හා නීතිපති දෙපාර්තමේන්තුව හරහා ගලවා වැඩි පරිස්සමට විධායකයේ සහ ආණ්ඩුවේ බල පෙරළි නාඩමගට සාක්කුවේ දමාගෙන ඇත.
වින්දිතයින් කවුද ?
රනිල් වික්‍රමසිංහලා බලයට පැමිණෙන තෙක් වැලිකඩ ඝාතනයට සාධාරණයක් කරන බව සිවිල් බලවේග හරහා මහජනතාව හා වින්දිතයන් රවටමින් පොලොවේ හැපෙමින් සපථ කළේය. අවසානයේ 2015 ජන 08 බලය හිඟාකා අතට ගත් විගස එක් පසෙක රනිල්ලාගේ පංති මිතුරු භාවයද, අනෙක් පස රාජපක්ෂලා දංගෙඩියට යවන්නට ගොස් ආණ්ඩුවටත් කෙළවී ආණ්ඩුවේ පුටු අල්ලාගත් සිවිල් සමාජ කොන්ත්‍රාත්කරුවන්ටත් කෙලවෙන්නට ඇති ඉඩ කඩ නිසා ඒ දෙපිරිසම වැලිකඩ ඝාතනය දේශපාලන බල හුවමාරුව වලක්වාගැනීමේ කෙවිටක් පමනක් කර ගත්හ. එදා ඔවුන් සිරකරු ඝාතනයේ නගුට හරියේ සිටි අපරාධකරුවන් වූ එමිල් රංජන් හා රංගජීව මත සියලු බර යොදමින් මදය රැක්කේය.
මෙදා යලිත් වරක් බලය පිහිටුවා ගැනීමේ මරු විකල් වැටී සිටින සිරිසේන වැලිකඩ ඝාතනයේ සහ රාජපක්ෂ සමයේ සිදුවූ බොහෝ අපරාධවල යට ගිය සැඟවූ කොටස් තමන් අතට ගෙන රාජපක්ෂලා මෙල්ල කොට දෙපතුලටගෙන තමන්ට බලය පිහිටුවා ගැනිමේ මෙහෙයුම දියත් කොට ඇත.
ඒ නයින් වැලිකඩ සිරකරු ඝාතනයේ රංගජීව හා එමිල් රන්ජන්ලා යනු නිසැක අපරාධකරුවන් වූවද මේ මොහොතේ බල දේශපාලන ගැටයේ තවත් වින්දිතයන් දෙදෙනෙකු පමණි.
වැලිකඩ ඝාතනයට සාදාරනය පැතූ යුක්තිය ඉල්ලු මිනිසුන්ගේ හා වින්දිතයන්ගේ උත්සාහයන් ඉහත සිමාවන් පසු කර යාමට ප්‍රධාන දහාරාවේ විකල්ප දේශපාලන බලවේග වල සහය නොමදව ලැබිය යුතු වූවත්, ඔවුන් යලට මහට හොරු අල්ලන තියරියටම මනුෂ්‍ය ඝාතනද තැකුවේය. පාර්ලිමේන්තුවේ ඉද හිට වචනයක් දෙකක් තොල් පැටල වූයේය. දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නයේදීද එසේය. ප්‍රධාන දහරාවේ විකල්ප බලවේග රාජපක්ෂ රෙජීමය විසින් යුද සමය තුල කොළඹ නගරය තුළ හා ඉන් පිටත රාජ්‍ය මිලිටරි කල්ලි යොදා සිදු කෙරුනු සිදුකරනු ලැබූ ඝාතන අපරාධ සම්බන්ධයෙන් ඇල්මැරුණු ස්වාභාවයකින් කටයුතු කළේය.
විකල්ප ධාරාවේ දේශපාලනය නිහඬ ඇයි ?
එකල රාජපක්ෂ පාලන සමයේ දමිල මාධ්‍යවේදීන්, දමිළ පාසල් සිසුන් පැහැරගැනීම මරාදැමීම ඇතුළු දමිළ දේශපාලන නායකයින් ඝාතනය වීම සම්බන්ධයෙන් ඉහත විකල්ප ප්‍රධාන දහරාවේ දේශපාලනය කට හොලවන්නේ නැති තරම්ය කට හෙලෙව්වත් ඉතා පරිස්සම් සහගතවය. එයින් අප තේරුම් ගත යුත්තේ ඔවුන් පීඩිත දෙමල ජනයාට එරෙහි යුද්දයේ කොටස් කරුවන් වීමේ හර්දසාක්ෂිය මුලුමනින් තවමත් පහව නැති බවේ හැඟවුමයි. හුදු ප්‍රජාතන්ත්‍රවාදී අරගල නියෝජනය කලද ජාතිවාදයෙන් ඔද වැඩී කැකෑරෙමින් සිටින දකුණේ ජනයාගේ ඔලුගෙඩි තමන් වෙත නතු කරගැනීමේ සිග්නල් එක බිම තබන්නට ඔවුන් කිසිසේත් සූදානම් නැත. ඒ නයින් යුක්තිය සෙවීමේ භාර දූර කාර්යකර ගැට ගැසිය යුත්තේ බලය සදහා ගැට ගැසෙන පිට් පොකට් බල දේශපාලනය මත නොව ඉන් එහා බලපෑමක් කල හැකි දේශපාලන වැඩ බිම් තුල ගැට ගැසීමෙන් පමනය. සමාන මත දරමින් කුඩා කන්ඩායම් වශයෙන් බෙදී වෙන්වී සිටින ප්‍රගතිශීලී බලවේග පොදු වැඩ බිම් වලට එකතු කිරීමේ සංවිධායකයන්ගේ අඩුව පිරවීමත්, නායකත්ව පොරයත් පරණ ලෝකයට අයිති විෂබීජ වම්මුත් කුණු කූඩයට දමා කල්ලිවාදය පරාජයකොට යා හැකි නව ගමනකින් මිස පවතින පටු සිමාවන් තුළ යුක්තිය සෙවිල්ල අමු මුලාවකි.
(‘අකුණ නිවුස්‘ හි පළවූවකි)
Post a Comment