''රට දියුණු කරන්න අනාගත තාක්ෂණය අවශ්‍යයි'' - අගමැති



දැනුමෙන් දියුණු ජාතියක් වශයෙන් අතීතයේ කටයුතු කළාක් මෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට නවීන දැනුම හා තාක්ෂණය මුසුකරමින් නැවතත් ශ්‍රී ලංකාව ලොව දැනුමෙන් දියුණු රටක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කරමින් පරිගණක අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද "ශිල්පසේනා" ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවසුවේය. 

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ නවෝත්පාදන බිහි කිරීමට කටයුතු කරන සමාගම්වලට බදු සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි. 

 අගමැතිවරයා පෙන්වා දුන්නේ, 

''රටක් ඉදිරියට ගමන් කිරීමට නම් තොරතුරු තාක්ෂණ දියුණුව මගින් පමණක් සෑහීමකට පත් නොවී කෘතිම බුද්ධිය වැනි අනාගත තාක්ෂණයන් සමඟ කටයුතු කළ යුතුයි. 

සංචාරක ව්‍යාපාරය විද්‍යා තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මූලික වශයෙන් අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. මේ සියලූ දේ සිදුකිරීමට පෙර ග්‍රාමීය යටිතල පහසුකම් ලබාදිය යුතුයි. ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ගම්පෙරළිය, එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් හරහා පියවර ගෙන තිබෙනවා.'' යන්නයි. 


පසුගිය වසර හතරක කාලය තුළ දී ලොව නවෝත්පාදන බිහිකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් අසු අට වන ස්ථානයට පත්වීමට හැකිවී තිබෙන බව පැවසූ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සූජිව සේනසිංහ එය 70 වන ස්ථානය දක්වා ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වා දුන්නේය. 

රට තුළ සිදු කරගෙන යන ශක්තිමත් වැඩපිළිවෙල හේතුවෙන් වෙළදාම් කිරීමේ හැකියාව අනුව ශ්‍රී ලංකාව එකසිය දහ වන ස්ථානයේ සිට අනු අට වන ස්ථානය දක්වා ඉහලට පැමිණ ඇති බව ද ඔහු පැවසුවේය. 

මෙම අවස්ථාවට දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජේ. සී. අලවතුවල, ආශු මාරසිංහ, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, රෝසි සේනානායක, චින්තක එස්. ලොකුහෙට්ටි, විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.