“යුද්ධය නම් නිමයි - ඒත් සාමය තව දුරයි”



තිස් වසරක යුද්ධයක් නිමවී දශකයක කාලයක් ගෙවී ඇතත් නැවතත් මෙවැනි භයානක තත්වයක් මේ මහ පොළොව මත මින් මතුවට ඇති නොවන බවට සනාථ කරලීමට අපට නොහැකි වී තිබීම අභාග්‍යට කරුණකි. 

මෙහි ලා පුර්ණ වගකීම රජයට ලඝු කර දෑත් පිසදා ගැනීමට සර්ව ජන චන්ද බලය හිමි පුරවැසියන් වන අපට නොහැකි බව පසක් කරලීමට කැමැත්තෙමු. සැබෑ සංහිඳියාව තුළින් ස්ථිර සාමය ඇතිකරලීමට රජයකට මෙන්ම පුරවැසියන් වූ අපටද ඇත්තේ සාමූහික වගකීමකි.

“අහන්න... මේ ඇහෙන්නේ සාමය ගැනයි”

“අහන්න - கேளுங்கள் - Listen” එවකට (2018 අගෝස්තු) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවතින සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව මෙන්ම සිවිල් පුරවැසි සංවිධාන එකතුවෙන් පණ පොවන ලද වැඩසටහනකි.


“තිරසාර සංවර්ධනය ඇතිකළ හැක්කේ සැබෑ සංහිඳියාව තුලින් පමණකි” යන්න තේමාව කොට ගත් අහන්න වැඩසටහනේ මුලික අදියරය මොණරාගල ප්‍රදේශයේ පැවති "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගම් දනව් හතළිස් හතරක (44) පුරවැසියන් පහළොස් දාහකට (15,000) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුණි. එක් කණ්ඩායමක් දෙහිවල නගරයෙන් ගමන් අරඹා මුහුදුබඩ මාර්ගය ඔස්සේ මොණරාගල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණ භූමියටද, අනෙක් කණ්ඩායම කඩවත නගරයෙන් ගමන් අරඹා මහා නුවර හරහා මොණරාගල - ඔක්කම්පිටිය නගරය දක්වා ද සන්හින්දියාවේ පණිවිඩය රැගෙන ගමන් ගන්න ලදී.

මෙලෙස නගරයක් නගරයක් පාසා ගමන් කල “අහන්න” වැඩසටහනට මහජනතාවගෙන් ලැබුණේ ද මහගු ප්‍රතිචාරයකි. ජනමාධ්‍ය තුල මෙන්ම සමාජ මාධ්‍ය තුලද “අහන්න” පිළිබඳ වුයේ මහත් උද්‍යෝගයකි. එනිසාම පුරවැසියන් අතර සංහිඳියාව පිළිබඳ කතිකාවතක් ඇතිකරලීමට අපට මහඟු අවස්ථාවක් සලසා ගැනීමට හැකි වුනි.

අහන්න මුලික අදියරේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වනුයේ, පශ්චාත් යුධ සමයේදී ජාතින් සහ ආගම් අතර ගැටුම් සිද්ධ වූ ප්‍රදේශ බොහෝමයක් ආවරණය වන ලෙස වැඩසටහන් සකස් කර තිබීමයි. එලෙස ගැටුම් ඇතිවූ ගිංතොට, දිගන, අලුත්ගම, වැනි නගරවලදී පැවති අහන්න වැඩසටහන් වලදී ප්‍රදේශවාසීන් එවැනි අප්‍රසන්න ගැටුම් නැවත ඇති නොවීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් කාලීන බව නිතැතින්ම පිළිගැනීම තුළින් ඉස්මතු වූයේද රටේ පුරවැසියන් දරණා සාමයට ලැදි භාවයයි. අහන්න වැඩසටහන තුල ක්‍රියාත්මක වන වීදී නාට්‍යයයෙන් කියැවෙන “අළු යට සැඟව ඇති ගිනි පුපුරු” සංකල්පය අවබෝධ කරලීමට වැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවුයේ ද සෑම නිවහල් පුරවැසියෙකුගේම හදවතෙහි මේ කියූ කරුණු වලට සමපාත වන ආකාරයේ සිතිවිලි සැඟවී ඇති නිසාම යන්න රහසක් නොවේ.

අම්බලන්තොට, බරණගම ගරු නන්දසිරි ස්වාමින් වහන්සේ සංහිදියාවේ වටිනාකම පිලිබඳ අදහස් දක්වමින්




“අහන්න පාසලට”

“අහන්න පාසලට” කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹෙන්නේ අහන්න මුලික අදියරේදී පුරවැසියන් විසින් සිදුකල ඉල්ලීම්වලට එක් ප්‍රතිචාරයක් ලෙසිනි. "අහන්න පාසලට" යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් දහයක (10), ශිෂ්‍ය ශිෂ්‍යාවන් හාරදහසකට (4,000) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වැඩසටහන් 10ක් දියත් කරන ලදී. 

“අහන්න පාසලට” වැඩසටහන පාසල් සිසුන්ගේ සිත් දිනාගැනීමට නිතැතින්ම සමත් විය. සිසුදැරියන් ප්‍රශ්ණ අසමින්, අදහස් උදහස් දක්වමින් ක්‍රියාකාරීව වැඩසටහන්වලට සහභාගී විය. අහන්න පාසලට වඩාත් සුවිශේෂී වැඩසටහනක් වුයේ, දරු දැරියන් සමඟ සංහිඳියාව පිළිබඳ කතිකාවේ නියැළීමට, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වන චමින්ද ගුණසිංහ, ප්‍රසංග ප්‍රනාන්දු, රවිඳු උස්වැටකෙයියාව යන අයට අමතරව තවත් සුවිශේෂ චරිතයක් වන, ශ්‍රී විභූෂණ විශ්වකීර්ති ජනාධි නන්දන (විශ්‍රාමලත්) ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ද මෙම වැඩසටහනට එක්වීම නිසා බව කිව හැකිය.

සිසු දැරියන් "අහන්න පාසලට" වැඩසටහන තුලදී ඇසු කියූ කරුණු කරණා වැඩිහිටියන් වන අපටද සංහිඳියාව ඇතිකිරීමෙහිලා බෙහෙවින් අත්‍යවශ්‍ය පණිවුඩ රැසක් පසක්කරලීමට සමත් විය. සිසු දැරියන් සංහිඳියාවට ඇති ප්‍රධාන බාධක සොයාගෙන අවසන්ය. ඒභාෂාව, ජාතින්වලට බෙදුණු පාසල්, ආගම් මුල්කරගෙන බෙදී ඇති පාසල් සහ රටක් දැයක් පාලනය වන ව්‍යවස්ථාවේ පවතින සුවිශේෂ දුර්වලතා වන ජාතීන්, ආගම්, ලිංගිකත්වය මත මිනිසුන් බෙදා ඈත් කර ඇති ආකාරයන් වැනි වැදගත් කරුණු බොහොමයක් ඒ අතර වේ. අනාගතයේදී මේ දරු දැරියන් වැඩිහිටියන් බවට පත්වී ඔවුන්ට අවශ්‍ය ස්ථානයට අද අප සිටිනා රට පරිවර්තනය කරණු නොඅනුමානය. අප සැමගේ දු දරුවන්ට අවශ්‍ය එම සංක්‍රාන්තිය කරා පියනැගීමට අවශ්‍ය අඩිතාලම දැමීමට "අහන්න" වැඩසටහන මහඟු තෝතැන්නක්වූ බව ඉතාමත් පැහැදිලිය.




- දේශාන් පෙරේරා -