ඕමල්පේ හිමි සහ බෞද්ධත්වය


වචනයක අර්ථයක් පැහැදිලි කර ගැනීමට නොහැකි "දේශප්‍රේමීන්ට", බෞද්ධ දර්ශනයේ ඇති සැබෑ සත්‍යය රටේ ජනතාව හමුවේ තේරුම් කරදීමේ හැකියාවක් හෝ චේතනාවක් තිබේ යැයි කිසිසේත්ම කිව නොහැකිය. එවැනි අයවලුන්ට සංහිඳියාව වෙනුවෙන් සිදුකරන පුළුල් සහ ගැඹුරු සමාජීය කටයුතු හෑල්ලුවට ලක් කිරීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.







කතුවැකිය

ඕමල්පේ සෝභිත හිමියන් විසින්, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් අනුග්‍රහය දැක්වූ ගුවන්විදුලි නාට්‍යයන් කිහිපයක් සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කරමින් ඒවා බෞද්ධ ආගමට නිගා කිරීමේ අරමුණින් නිර්මාණය කොට ඇතිබව දේශනා කොට ඇත්තෝය. උන්වහන්සේට අනුව මෙම කටයුත්ත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කුමන්ත්‍රණයකි. අදාළ ස්වාමින්වහන්සේගේ අදහස සත්‍යයක් යැයි එලෙසම පිළිගනිමින් හෝ එය තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කරමින් හිටපු ජනාධිපතිනිය විවේචනය කිරීමේ ස්වභාවයක් මෙම සිදුවීම අරඹයා දක්නට ලැබේ. එසේම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් සිදු කරනු ලබන කටයුතු ඒ ඔස්සේ හෑල්ලු කිරීමට ඇතැමුන් දැඩි උත්සාහක් ගනිමින් සිටිති.

අවාසනාවට මෙන්, අනෙකාගේ කටයුතු විවේචනය කිරීමට පෙර තමන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න සොයාබැලීම මෙවැනි රටකට වැදගත් නැත. එසේම කරුණු හරි හැටි අවබෝධ කරගැනීම වෙනුවට ගැලරියට ගල් ගැසීමෙන් "වීරයෙකු" වීමට හැකි සරල සමාජ වටපිටාවක් අප හමුවේ නිර්මාණය වී තිබේ. හුදු තාවකාලීක ප්‍රසිද්ධියක් සහ ප්‍රමෝදයක් වෙනුවෙන් කටයුතු කරන පිරිස් වැඩිවීම යනු එම සමාජයේ බංකොලොත් බාවය විස්තාරණය වීම ඔප්පු වීමකි. රටක් හැටියට අපි ලබා ඇති බරපතළ වියවුල මෙයයි.

ඇතැම් බෞද්ධ භික්ෂුන්, බෞද්ධ පුනරුදය වෙනුවෙන් කටයුතු කොට චරිත භික්කවේ චාරිකන් බහුජන හිතාය සුඛාය පසෙකලා නමැති මූලික ඉගැන්වීම පසෙකලා, වෙනත් සෑම කටයුත්තක්ම පාහේ සිදු කරමින්, බෞද්ධ වෙස් මුහුණ වාසි ලබා ගැනීමේ අරමුණින් භාවිතා කරනු ලබයි. අනෙකුත් බොහෝ ක්ෂේත්‍රවල දැක ගත හැකි මූලික රටාව වන්නේද එයයි. තමන්ට අයිති වගකීම හැර වෙන ඕනෑම කටයුත්තක් කොට ඒ ගැන උදම් ඇනීමට ආසා කරන සමාජ රටාවක් අප හමුවේ නිර්මාණය වී තිබේ.

ඕමල්පේ හිමියන් විසින් රට හමුවේ ඔප්පු කොට ඇති කාරණය කුමක්ද? සමාජයේ පවතින රටාවට වඩා වෙනස්ව සිතමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව සහ රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන භික්ෂුවක් නොවන බව උන් වහන්සේ විසින්ම අවස්ථා ගණනාවකදී ඔප්පුකොට ඇත. ඉන් ප්‍රධාන සිදුවීම් එකක් පමණක් මෙහිදී සඳහන් කිරීම වැදගත් යැයි සිතේ. මෙම සිදුවීම අසත්‍යයක් වන්නේ නම් උන්වහන්සේට වහාම ප්‍රතිචාර ලබා දිය හැකි අතර එය එලෙසම පල කිරීමට අපි කිසිඳු පැකිලීමකින් තොරව කටයුතු කරන්නෙමු.

එනම්, සුනාමි ඛේදවාචකය ඇති වූ සමයේදී ඕමල්පේ හිමියන්ට සිංගප්පූරුවෙන් ලැබුණු ආධාර වලට සිදු වූ ඉරණමයි.

බොහෝ අවස්ථා වලදී සිංගප්පූරුවේ සංචාරය කරන මෙම ඕමල්පේ හිමි, සුනාමි ඛේදවාචකය ඇති වූ අවස්ථාවේදීද එහි ගොස්, ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එරට පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය උන් වහන්සේට සිදුකරන ගරුකිරීමක් ලෙස, සහනාධාර ඇතුළත් බහලුම් රාශියක් මෙරටට එවනු ලැබූ අතර එහි, එක බහාලුමක එම කොමසාරිස් කර්යාලයේ සේවය කරන සේවිකාවකගේ පවුලේ අයට අවශ්‍යය ආධාර තිබුණි. ඕමල්පේ හිමි භාරගත් වගකීම වූයේ එම ආධාර සුනාමියෙන් විපතට පත් අදාළ සේවිකාවකගේ පවුලේ සාමාජිකයින්ට අනිවාර්යෙන්ම ලබාදෙන බවය. පවුලේ සාමාජිකයින් එම ආධාර ලබාගැනීම සඳහා, උන් වහන්සේ හමුවට ගියෝය. එහිදී, උන් වහන්සේ කියා ඇත්තේ උන්වහන්සේට එවැනි ආධාරක් නොලැබුණු බවය. තමන්ට එවැන්නක් නොලැබුණු බව සඳහන් කරමින්, අමුතුම මුසාවාදයක් නිර්මාණය කළ ඕමල්පේ හිමිට අවසානයේ හොඳ සුද්ධ සිංහලෙන් අහ ගැනීමට ලැබුණේ, උන්වහන්සේට ආධාර එකතුකිරීමට, ගබඩා කිරීමට, නැව්ගත කිරීමට සහ රේගුවෙන් නිෂ්කාශනය කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කළ රාජ්‍යය ධූත සේවයේ සේවය කළ නිලධාරීන්ගේන්මය.

මෙය එක් සිදුවීමක් පමණි. වසර කිහිපයකට පසු, තමන් අවට සිටි පිරිස් රිප් වෑන් වින්කල් පන්නයේ දීර්ඝ නින්දකින් අවදි වූ අයවලුන් යැයි සිතා, බෞද්ධ ධර්මයේ හර පද්ධතිය ගැන වහරති. ඒ ගැන විවිධ කතා දේශනා කරමින්, තම පටු දේශපාලන වාසිය සොයන්නෙක් ලෙස, තැන නොතැන නොබලා ගිනි අවුළුවමින් සිටිති. එවැනි කතා මර්වින් සිල්වා වැනි අයෙකු සඳහන් කිරීම සහ ඕමල්පේ වැනි භික්ෂුවක විසින් දේශනා කිරීම අතර විශාල වෙනසක් ඇත්තේ, රටේ සංස්කෘතික රටාව විසින්, භික්ෂුවගේ සිවුරට ලබා දී ඇති අමුතුම පන්නයේ ගරුත්වය හේතුවෙනි.

නමුත් මෙම සිවුරේ ගරුත්වය රැකීමට වඩා එය මෙවලමක් ලෙස භාවිතා කොට තම පෞද්ගලික වාසී සොයන්නන්, රටේ ඉඳ හිට හෝ පහළ වී සත්‍යය අනුව වෙසෙන සහ සත්‍යය අනුන්ගේ සුඛය වෙනුවෙන් දෙසන ඒ අනුව තම දිවි පෙවත ගෙවන සැබෑ භික්ෂූන් වහන්සේලාට විශාල හානියක් සිදු කරමින් සිටිති. බෞද්ධයින් මෙය මනාව තේරුම් ගත යුත්තේය. සම්මා දිට්ටිය ඉගැන්වීම සඳහා වගකීම පැවරී ඇති බුදුන්ගේ ධර්මයේ අනුගාමිකයින් යැයි සිතා රැවටිලිකරුවන්ට හසු වීම දැන්වත් අත්හළ යුත්තේය.

ඕමල්පේ හිමි විසින් විවේචනය කළ රේඩියෝ නාට්‍යයන් ගැන සුළුවෙන් හෝ මතක් කිරීම වැදගත් වේ. එය අදාළ කතා ගැන අඳුරේ අතපත ගෑමකි. අදාළ නාට්‍යය වලින් එකකට හෝ ඇහුන්කන් දීමට ඕමල්පේ හිමි කටයුතු කළේ දැයි නොදනිමු. නමුත් උන් වහන්සේගේ විවේචන වලින් ඔප්පුවන කාරණය වන්නේ හෙතම එම කිසිඳු නාට්‍යය පිටපතක් හෝ කියවා නැතුවා පමණක් නොව අසා හෝ නැති බවයි.

බුදුන් වහන්සේ විසින් කාලාම සූත්‍රයේ උගන්වන මූලික මූලධර්ම ඕමල්පේ හිමි විසින් කිසිඳු හිරිකිතයක් නොමැතිව අමතක කරමින් තම දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා යම් කාරණයක ඇති බරපතල සත්‍යය ව්‍යාකූල කොට ඇත. නිහොන් යනු ජපානයට කියන තවත් නමකි. නිහොන් සැප යනුවෙන් අදාළ නිර්මාණකරුවා අරුත්ගන්වා ඇත්තේ ජපානයේදී ලැබිය හැකි සුඛිතය, මිස බුද්ධ ධර්මයේ ඉගැන්වෙන නිවන නොවේ. කනට පාරක් යනුවෙන්, අදාළ නිර්මාණකරුවා අරුත්ගන්වා ඇත්තේ කනට හෙවත් ශ්‍රවණයට මාර්යයක් යන්න මිස කනට ප්‍රහාරයක් ලබා දීමක් ගැන නොවේ. ඔහු නිර්මාණය කර ඇති නාට්‍යයන් රාශියක අර්ථය බැලුවිට තේරුම් ගත යුතු සත්‍යය වන්නේ එයයි. මෙම කාරණය හරි හැටි අවබෝධ කර නොගෙන හෝ එහි අර්ථය හිතා මතාම වැරදි ලෙස අරුත් ගන්වමින්, හිටපු ජනාධිපතිනිය හෝ ඇයගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන රාජ්‍යය ආයතනය විවේචනය කිරීම නොගැලපෙන කටයුත්තකි. එය බෞද්ධ භික්ෂුවක් විසින් කළයුතු සිල්වත් කටයුත්තක් නොවේ.

වචනයක අර්ථයක් පැහැදිලි කර ගැනීමට නොහැකි "දේශප්‍රේමීන්ට", බෞද්ධ දර්ශනයේ ඇති සැබෑ සත්‍යය රටේ ජනතාව හමුවේ තේරුම් කරදීමේ හැකියාවක් හෝ චේතනාවක් තිබේ යැයි කිසිසේත්ම කිව නොහැකිය. එවැනි අයවලුන්ට සංහිඳියාව වෙනුවෙන් සිදුකරන පුළුල් සහ ගැඹුරු සමාජීය කටයුතු හෑල්ලුවට ලක් කිරීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. ඔවුහුට එම කටයුතු විවේචනය කිරීමට අවශ්‍යය වන්නේ නම්, පළමුව වැදගත් වන්නේ එම කටයුතු ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමය.

අවසානයේ මතක් කළ යුතු මූලික කරණය කුමක්ද?

ලේ වැගිරීම් නිසා වැනසී ගිය ජාතියක්; තම පවුලේ සාමාජිකයින් අකාලයේ මියයෑම නිසා විඩාවට පත් වූ ජාතියක්; තම අනාගතයේ ඇති සුරක්ෂිතබව ගැන ස්ථීර විශ්වාසයක් නැතිකම නිසා සැකය සහ අනාරක්ෂාව ජීවිත වල අරග්ගෙන ඇති ජාතියක්; තවදුරටත්, මෙම පටු දේශපාලන වාසි සොයන්නන්ගේ ව්‍යාජ වාග්මාලාවන් සහ හැසීරීම් වලට විනාශ කිරීමට ඉඩදිය යුතුද?

කිසිසේත්ම නැත. නමුත් ඒ වෙනුවන් ජනතාව හමුවේ පැවරී ඇති වගකීම් සහ යුතුකම් රාශියකි.  ඉන් පළමුවැන්න වන්නේ, කෙටි කාලීන සුඛය සහ සැපය සොයා අනෙකා මුලාවේ හෙළන රැවටිලිකරුවන්ගෙන් අත්මිදීමය.



සබැඳි රචනා


බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා


සෝභිත සාදුගේ සහ “ආචාර්යය” මර්වින්ගේ කුප්ප විවේචනයට විනයානුකූල පිළිතුරක්